theleaderlk 01

ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ජනතාව වෙනුවෙන් පොදු අපේක්ෂක ලෙසින් ඉදිරිපත්ව සිටින සිය පක්ෂයේම ඉහළ පෙළ නායකයකුට සහාය දෙන්නේද යන්න

සම්බන්ධයෙන් ස්ථිර තිරණයකට එළඹීමට පාර්ලිමේන්තුවේ ප්‍රධාන දෙමළ පක්ෂය මේ දක්වාම අසමත්ව සිටී.

දෙමළ පොදු අපේක්ෂකයාට සහාය පලකළ දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකයා මුණගැසී තිබේ.  

පක්ෂයේ අභ්‍යන්තර කරුණු මෙන්ම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අගෝස්තු 11 වැනි ඉරිදා වව්නියාවේ පිහිටි සිය පක්ෂයේ දිස්ත්‍රික් කාර්යාලයේදී රැස්වූ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) මධ්‍යම විධායක කමිටුව විසිර ගොස් ඇත්තේ තීන්දුවකට එළඹීමෙන් තොරවය.

එම සාකච්ඡා හමාර වීමෙන් පසු පක්ෂ නායක සිවඥානම් ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා ප්‍රදේශයේ මාධ්‍යවේදීන් වෙත කියා සිටියේ දෙමළ පොදු අපේක්ෂකයාට සහාය දැක්විය යුතුය යන ස්ථාවරයේ තමන් තවමත් සිටින නමුදු දකුණේ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් සම්බන්ධයෙන්ද සලකා බැලීමට සුදානම් බවයි.

"පොදු අපේක්ෂකයා ගැන කිසිම විරෝධයක් නැහැ. මත තියෙනවා. පක්‍ෂයේ විවිධ පුද්ගලයන්ගේ පක්ෂ හා විරුද්ධ මත තිබෙනවා. නමුත් මම ඊට පක්‍ෂව මගේ අදහස ප්‍රකාශ කර තිබෙනවා. දැන් මම පැහැදිලිවම පක්ෂපාතී මගේ මතය ඔබ ඉදිරියේ කියනවා. නමුත්  දකුණේ අපේක්ෂකයන් මේ සම්බන්ධයෙන් නිවැරදි කාරණාව ඉදිරිපත් කරනවානම්, දෙමළ ජනතාවගේ දේශපාලන විසඳුම සම්බන්ධයෙන්, දේශපාලන අභිලාෂය ඉටු කිරීමට ඉදිරිපත් වෙනවානම් ඒ පිළිබදව සලකා බැලීමට අප සුදානම්."

දෙමළ ජාතික පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නල්ලතම්බි ශ්‍රී කාන්තා අගෝස්තු 8 වැනි බ්‍රහස්පතින්දා යාපනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශයට පත් කළේ ITAK හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් දෙමළ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවයි.


‘දෙමළ පොදු අපේක්ෂක’ ලෙසින් ITAK හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් නම්කළ පක්ෂ තුනක නායකයෝ ඔහු ඇප මුදල් තැන්පත් කළ දිනම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණගැසී ජනාධිපතිවරණය ගැන සාකච්ඡා කර තිබේ.

සාකච්ඡා 'පලදායී' බව TELO මාධ්‍ය ප්‍රකාශක සුරේන්ද්‍රන් ගුරුසාමි කියාසිටී.

දෙමළ පොදු අපේක්ෂකයකු පරාජය කිරීම පිණිස පියවර ගත යුතු බවට මුල සිටම දැඩි ස්ථිවරයක සිටි ඉලංගෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා එම පක්ෂයේ විධායක කමිටු රැස්විම හමාර වීමෙන් පසු ප්‍රදේශයේ මාධ්‍යවේදීන් වෙත කියා සිටියේ පොදු අපේක්ෂකයාට සහාය ලබා දීම හෝ නොදීම සම්බන්ධයෙන් පක්ෂය තවමත් තිරණයකට එළඹ නොමැති බවයි.

"ඇතැම් දේශපාලන පක්‍ෂ සහ සිවිල් සංවිධාන නමින් පෙනී සිටින කීප දෙනෙක් දෙමළ පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර තිබෙන නිසා අපේ ජනතාව සහ අපේ පාක්‍ෂිකයන් සමඟ මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම අවශ්‍ය බව අද අවධාරණය කරා. අපි මේකට සහයෝගය දෙනවද, විරුද්ධ වෙනවාද නැද්ද කියලා තීරණයක් අරගෙන නැහැ."

එම්. ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා අගෝස්තු 11 වැනිදා මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනේ පක්ෂයේ අනුමැතියකින් තොරව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් ට තහංචියක් පනවා ඇති බවයි.


"ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම විධායක කමිටු සාමාජික අරියනේත්‍රන් පක්‍ෂයේ අදහස් විමසීමකින් තොරව දෙමළ පොදු අපේක්‍ෂකයා ලෙස තමන්ව ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමට තීරණය ගත්තා. පක්‍ෂයට සිය පැහැදිලි කිරීම ඉදිරිපත් කිරීමට සතියක කාලයක් ද ලබා දෙනවා. එතෙක් ඔහුට පක්ෂයේ කිසිදු දෙයකට ආරාධනා නොකිරීමට තීරණය ගත්තා."

සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී  දකුණෙන් තරග වදින ප්‍රධාන පෙලේ අපේක්ෂකයෙකුට ඉලංගෙයි තමිල් අරසු කච්චි සහාය දීම සඳහාද ඉඩ තබා ගනිමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුනේ දකුණේ  ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගෙන් කිසිවකු මේ දක්වා සිය පක්ෂයේ දේශපාලන ස්ථිවරයට එකග වී නැතත් යම් අපේකෂකයෙක් ඒ සදහා එකඟ වන්නේනම් ඔහුට සහාය දැක්වීමේ හැකියාව සාකච්ඡාවට බඳුන් වු බවයි.

"මෙතෙක් ඔවුන් කිසිවකු ඉදිරිපත් කළ අදහස් අපගේ දේශපාලන අභිලාෂයන් සපුරාලන්නේ නැහැ. අපි ඒ අයටත් මේ ගැන කියලා තියෙනවා. අපි සියලුම අපේක්ෂකයන්ට ප්‍රසිද්ධියේ කියන්නේ දෙමළ ජනතාවගේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ස්ථාවරය වන්නේ ඒකාබද්ධ උතුරු නැගෙනහිර පදනම් කරගත්, බලය බෙදා ගැනීමේ පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමයි. කෙටියෙන් කියනවානම් මේක අපේ දේශපාලන ස්ථාවරයයි. මේක තමයි අපිත් එක්ක සාකච්ඡා කරන්න එන සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට අපි කියන්නේ. මේකට කවුරු හරි එකඟ වෙනවානම් සහාය පළ කළ හැකි බව මේ රැස්වීමේදී ප්‍රකාශ උනා. තීරණ මුකුත් ගත්තේ නැහැ. නමුත් එහෙම මතයක් රැස්වීමේදී ආවා."

දකුණේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ස්ථිවරය ප්‍රකාශයට පත් කරන බව පැවසු සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් අවධාරණය කළේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න දකුණේ අපේක්ෂකයන් විසින් සිංහල ජනතාවට ප්‍රකාශ කළ යුතු බවයි.


"එයාලට අපි පැහැදිලිව කියලා තියන දේ තමයි ඔයාලාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය මොනවද කියලා තියෙන්නේ කියලා අපි බලන්න යනවා. ඔවුන් අප සමග එකඟතාවයකට එන එක, එක පැත්තකින් මුළු රටටම එයාලා මොනවද කියන්න යන්නේ කියන එක අපි බලන්න ඕනේ දෙයක්. ඒ නිසා ඔවුන් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් විශේෂයෙන් මොනවද කරන්න යන්නේ කියලා සිංහල ජනතාවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුයි. ඉතින් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ආවම පැහැදිලිවම ඒ අය කියන දේවල් අපි බලලා අපිත් අපේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරනවා."

පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් නියෝජනය කරන ITAK පක්ෂයේ යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු එම් ඒ සුමන්දිරන් දෙමළ පොදු  අපේක්ෂකයකු ඉදිරිපත් වීම මීට ඉහතදී ප්‍රතික්ෂේප කර තිබුනේ  ‘පිස්සු අදහසක්’ ලෙසිනි.

දෙමළ අපේක්ෂකයා සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් නොලදහොත් එය ස්වයංතීරණ අයිතිය ප්‍රතික්ෂේප කිරීමක් ලෙස දකුණේ දේශපාලකයන් විසින් නිර්වචනය කරනු ඇති බවට මන්ත්‍රීවරයා රුපවාහිනී සාකච්ඡාවකදී බිය පළකර තිබුණි.

ජනාධිපතිවරණය යනු ‘දෙමළ ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් කොට නොගත යුතු’ යයි විශ්වාස කරන මන්ත්‍රීවරයා තවදුරටත් පවසා තිබුනේ ඡන්දය දීමට සුදුස්සකු තෝරා ගැනීම සඳහා මේ වනවිටත් දකුණේ පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කොට ඇති බවයි.

මුල්ලිවයික්කාල් සංහාරයට පසු ගෙවි ගිය වසර 15 කාලය තුළ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සහ දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම් ලබා දීම සඳහා මෙතෙක් පැවති ආණ්ඩු කිසිදු පියවරක් ගෙන නොමැති නිසා ඉදිරි ජනාධිපතිවරණයේදි දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට දෙමළ දේශපාලන පක්ෂ හතක් සහ දෙමළ සිවිල් සමාජ ක්‍රියාකාරීන් හත් දෙනකු “දෙමළ ජාතික පොදු රාමුව ” නමින් 2024 ජුලි 22 වැනිදා යාපනයේ දී  ගිවිසුම් අත්සන් කර තිබුනි.


එලෙස ගිවිසුමට අත්සන් කර තිබුනේ ටෙලෝ , ප්ලොට්, EPRLF , දෙමළ ජනතා ජාතික සන්ධානය, දෙමළ ජාතික පක්ෂය, දෙමළ ජාතික හරිත ව්‍යාපාරය හා ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමින්ගේ පක්ෂයයි.


ජනපති හා විපක්ෂ නායක හමුව

එම පක්ෂ 7 අතුරින් “දෙමළ ජාතික පොදු රාමුව ” නියෝජනය කරමින් ටෙලෝ , ප්ලොට් හා  ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමින්ගේ පක්ෂයේ නියෝජිතයන් ජනාධිපතිවරයාගෙන් ලද ආරාධනයක් පරිදි  අගෝස්තු 12 වැනි සදුදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී  ඔහු මුණ ගැසී සාකච්ඡාවක්ද පවත්වා තිබුනි.

ඊට සහභාගී වී තිබුනේ තමිල් ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) නියෝජනය කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන්, ටෙලෝ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුනාකරන්, ප්ලොට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්, ටෙලෝ මාධ්‍ය ප්‍රකාශක ගුරුසාමි සුරේන්ද්‍රන් , ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමින්ගේ පක්ෂයේ නායක සී වින්දන් හා  එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කේ. තුලසිය.

එම සාකච්ඡාව නිමා වීමෙන පසු අගනගරයේ මාධ්‍යවේදීන් වෙත ටෙලෝ මාධ්‍ය ප්‍රකාශක ගුරුසාමි සුරේන්ද්‍රන් සිංහල බසින් පවසා තිබුනේ බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනාවලියක් ලබා දුන් බවයි.


"අපේ දෙමළ මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්න ඔක්කොම ජනාධිපතිට අපි පැහැදිලිව කිව්වා. එතුමා අපේ දේශපාලන විසදුම අලුත් පාර්ලිමේන්තුව ඉදිරිපත් උනාට පස්සේ තමයි ඒක ගැන තීන්දුවක් දෙන්න පුළුවන් කියලා අද අපිට ප්‍රකාශ කරා. ඒ වගේම 13 වැනි සංශෝධනය එතුමා ගොඩක් විදිහට, බලය බෙදා ගැනීම ගැන අපට යෝජනාවලියක් දිලා තියනවා. ඒකත් අපේ අනික් පක්ෂ සහ අනිත් කට්ටියත් එක්ක අපි සාකච්ඡා කරලා තව ඉදිරියටත් එතුමාත් එක්ක අපි මේ සාකච්ඡාව ගෙනි යන්න අපි සුදානම් වෙලා ඉන්නවා."

ජනාධිපතිවරයා එම සාකච්ඡා තුලදී උතුරේ දෙමළ පොදු අපේක්ෂකයාගේ සහාය ඉල්ලා සිටියේදැයි අගනගරයේ මාධ්‍යවේදියකු නැගු පැනයට පිළිතුරු දෙමින් ටෙලෝ මාධ්‍ය ප්‍රකාශක  සදහන් කළේ එවැනි සහායක් ඉල්ලා නොසිටිය බවයි.

ජනපති හමුවට පසුදා වන අගෝස්තු 13 වැනි අගහරුවාදා ඔවුන්  අතරන් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමින්ගේ පක්ෂයේ නියෝජිතයන් හැර  තමිල් ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) නියෝජනය කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන්, ටෙලෝ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුනාකරන්, ප්ලොට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්, ටෙලෝ මාධ්‍ය ප්‍රකාශක ගුරුසාමි සුරේන්ද්‍රන් යන අය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුණගැසී සාකච්ඡා සිදු කර තිබේ.

WhatsApp Image 2024 08 14 at 06.43.13උතුරු නැගෙනහිර දේශපාලන නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක අතර හමුවක්

එම සාකච්ඡා අවසානයේ ටෙලෝ මාධ්‍ය ප්‍රකාශක ගුරුසාමි සුරේන්දුන්ගෙන් උතුරේ දෙමළ මාධ්‍යවේදීන් සිදුකළ විමසීම් හමුවේ පවසා ඇත්තේ විපක්ෂ නායකයා ජනාධිපතිවරණයේ දී දෙමළ ජනතාවගේ සහාය අපේක්ෂා කළ බවයි.

" තමන් ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන්ට සහ සියලුම ආගම්වලට ආදරය කරන බවත්, තමන් ජාතිවාදියෙකු නොවන බවත්, දෙමළ ජනතාව ඒ පිළිබඳව සලකා බැලිය යුතු බවත්, එමනිසා ඉදිරි මැතිවරණයේ දී තමන්ට සහයෝගය දෙන්න ඕනේ කියලා ඉල්ලීම් කළා."

ඒකීය රාජ්‍යයක් තුළ රටේ බහුතර ජන වර්ගය වෙනුවෙන් පමණක් කටයුතු කිරීම සඳහා රාජ්‍ය නායකයකු තෝරා ගන්නා කටයුතු කරන ජනාධිපතිවරණය දෙමළ ජනතාව විසින් වර්ජනය කළ යුතුයයි ඉල්ලා සිටිමින් දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) උතුරු නැගෙනහිර ගෙන්ගෙට යාමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

 
 WhatsApp Image 2024 08 14 at 06.43.13 1
 

pe2024 2

worky sin

නවතම පුවත්