පුද්ගලික සමාගම් සහ ඇතැම් පුද්ගලයන් විසින් සිය වගා භුමි හා පදිංචි ඉඩම් අක්කර ගණනින් ආක්‍රමණය කිරීම ඇතුළු ප්‍රදේශවාසි බහුතර ජාතීන්ගෙන් සිදුවන පීඩා නිසා නැගෙනහිර වෙරළබඩ මුල්ම ලංකාවාසීන් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති.


හද කම්පා කරවන සුළු එම තොරතුරු හෙලි වී ඇත්තේ අගෝස්තු 9 වැනි දිනට යෙදී තිබු ලෝක ආදිවාසී දිනය නිමිත්තෙන් ත්‍රිකුණාමලයේ, මුතුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මනෙයිමුන්දල් ග්‍රාමයේ පවත්වන ලද ශාන්තිකර්මයකට සහභාගිවූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයන්ට මුහුදුබඩ වැදි ජනතාව විසින් තමන් මුහුණ දෙන ප්‍රශ්න ඇතුලත් කරමින් “ අපද සොබාදහමේ කොටසකි” යන තේමාව යටතේ බාර දුන් සංදේශයකිනි.

 

සිය අනන්‍යතාවය සමාජ-ආර්ථික සහ සංස්කෘතික සම්ප්‍රදායන් කෙරෙහි සංවේදීතාව ප්‍රකාශ කරමින් නිර්මාණය වූ නීතිමය සහ ප්‍රතිපත්තිමය පිළිගැනීමක් දක්නට නොමැති බව පෙන්වා දෙන එම සංදේශය, ආදිවාසි ජනතාව වන තමන් නිරන්තරයෙන් පීඩාවට, නොසලකා හැරීමට සහ වෙනස් කොට සැලකීමට ලක්වන අනාරක්ෂිතභාවය මෑත කාලයේ දී තීව්‍ර වී ඇති බව අවධාරණය කර තිබේ.

 

2007 සැප්තැම්බර් 13 වැනි දින ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්මත  වී වසර 17ක් ගතවී ඇතත් එම ප්‍රඥප්තියට අනුව අපේ රටේ ආදිවාසී ජනතාවගේ පැවැත්ම සහ නිදහස තහවුරු කිරීමට නීතියක් සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වී ආකාරයත් ඔවුන් සිය සන්දේශය මගින් සිහි ගන්වා ඇත.

 

rt 54
මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහ වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බොහෝ ආදිවාසී ජනතාව විවිධ දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික ගැටලුවලට මුහුණ පා සිටින බව පෙන්වා දෙන එම සංදේශය මගින් තමන් මුහුණ පා සිටින ප්‍රමුඛතම දුෂ්කරතා 20 ක් පිළිබදව ආණ්ඩුකාරවරයාගේ අවධානයට යොමු කරමින් ඔවුන් ඉල්ලා සිටින්නේ එම කරුණු කෙරෙහි පූර්ණ අවධානය යොමු කර ශ්‍රී ලංකාවේ ආදිවාසී  වැදි ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසයි.

ත්‍රිකුණාමලයේ කුවේණි ආදිවාසී සංගමය, පොදු ජනතාව සහ  සිවිල් සංවිධාන ඒකාබද්ධව යොමු කළ එම සංදේශය මගින් පෙන්වා දී ඇති පරිදි ඉලසන්දෙයි ප්‍රදේශයේ ආදීවාසී ජනයාගේ වගා ඉඩම්, පාලෙයිවනම් වැව ආශ්‍රිත ප්‍රදේශය සම්පූර් ගම්මානයේ ඇතැම් පුද්ගලයන් විසින් ආක්‍රමණය කිරීමට අමතරව පුද්ගලික සමාගමක් විසින් ඔවුන්ගේ ඉඩම් අක්කර 100 ට වැඩි භුමියක් අත් පත්කරගෙන තිබේ.

 

"2010 වසරේ සිට ‘ සිලෝන් බිස්නස් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි’  (Celon Business Private Matter Company) සමාගම විසින් වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යටතේ ඇති උප්පූරල් ගම්වාසීන්ගේ පදිංචි ඉඩම් හා වගා බිම් ඇතුළු අක්කර 100 කට වැඩි ඉඩම් ප්‍රමාණයක් අත්පත්කොට ගෙන ඇත. "

 

සන්දනවෙට්ටෙයි ගම්මානයට ආසන්නව පිහිටා ඇති ගල් කඳු , පරිසරය පිලිබඳ කිසිදු තැකීමක් නොමැති කොන්ත්‍රාත්කරුවන් විසින් ගල්කොරි දමා කඩා දැමීම නිසා විසිරෙන ගල් පාසල් පරිශ්‍රය තුළට වැටී පාසල් පරිසරය දූෂණය වන ආකාරයත්, නිවෙස් ආශ්‍රිතව මෙසේ පුපුරවා හැරීම නිසා ඇතිවන ශබ්දය සහ ගල් වීසිවීම හේතුවෙන් කුඩා මහලු සැමටම අනතුරුදායක පරිසරයක් නිර්මාණය වී ඇති ආකාරයත් ඔවුන් පළාත් ආණ්ඩාකාරවරයාගේ අවධානයට යොමු කර තිබේ.

උප්පුරල් සහ නල්ලූර් අතර පිහිටා ඇති සාත්තුකල් නම් ධීවර ප්‍රදේශය මාස 6ක ප්‍රයෝජනය සඳහා ඉල්ලා ලබාගත් ‘සහෝදර ජාතීන්ගේ’ ධීවරයන් කිහිප දෙනෙක් අද එම ප්‍රදේශ නැවත ආදීවාසීන්ට ලබාදීම මඟහරිමින් සිටින ආකාරයත්,  ‘සහෝදර ජාතීන්’ විසින් ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ බලතල යොදා ගනිමින් ආදිවාසී ජනතාවගේ සන්දනවෙට්ටෙයි,  උප්පූරල්,  නල්ලූර් වැනි ගම්මානවල  ඉඩම් ක්‍රමානුකූලව අත්පත් කර ගනිමින් සිටින ආකාරයත් එම සන්දේශය මගින් පෙන්වා දී ඇත.

 

rt 55
ත්‍රිකුණාමලයේ කුවේණි ආදිවාසී සංගමය පෙන්වා දෙන පරිදි  මූතූර් ආදිවාසී ජනතාවගේ ප්‍රධාන ජල මූලාශ්‍රයක් වූ උල්ලයිකුලම් වැව, වර්ෂ 1935 සිට 2010 දක්වා ආදීවාසීන් විසින් පිහිටුවා ගත පත්තිනියම්මන් ගොවිජන සංගමයේ පාලනය යටතේ වී තිබේ. මෙම භූමියට අයත් හිමිකම් ඔප්පු රැසක් ආදිවාසී ජනතාව සතුව තිබියදී තෝප්පූර් ප්‍රදේශයේ පදිංචි සහෝදරයන් සහ තරුණ ගොවීන් විසින් නීතියට පටහැනිව ව්‍යාජ ඔප්පු සකස් කර එම භූමිය බලහත්කාරයෙන් අත්පත් කොටගෙන ඇත. ඔවුන් ඉල්ලා සිටින්නේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණ පවත්වා උල්ලයිකුලම් වැව සම්පූර්ණයෙන්ම ආදිවාසී ජනතාවට පවරා දීමට පියවර ගන්නා ලෙසයි.

 

ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් වන වැදිජනයා ශ්‍රී ලංකාවේ වෙනත් ජාතීන් බිහිවීම සහ පදිංචි වීම ආරම්භයේ සිටම ජීවත් උවත් සිය උප්පැන්න සහතිකය ඇතුළු රජයේ කිසිදු සහතිකයක සැබෑ අනන්‍යතාවයක් නොමැති බව පෙන්වා දෙන ඔවුන් ඉල්ලා සිටින්නේ උප්පැන්න සහතිකය ඇතුළු ලියකියවිලි වලදී අභිමත පරිදි  තමන්ගේ ජාතිය ශ්‍රී ලංකා වැදි ජනතාව හෝ වෙරළබඩ වැදිජනතාව ලෙස සඳහන් කිරීමට ඉඩ දිය යුතු බවයි.

 

මේ වනවිට මලය රටේ දෙමළ ජනතාවට තම ජාතිකත්වය මලෛයහ දෙමළ ලෙස සඳහන් කිරීමට බලධාරීන්ගේ එකඟතාව පලවී තිබේ.

දඩයම් කිරීම, මී පැණි එකතු කිරීම, ලී කැපීම, කරදිය මසුන් ඇල්ලීම, මිරිදිය මසුන් ඇල්ලීම, බඩ ඉරිඟු වගාව සහ කුලී වැඩ වැනි ආදිවාසීන්ගේ ප්‍රධාන ජීවනෝපායන් වල යෙදෙන විට වන විනාශය සහ සතුන් දඩයම් කිරීම යැයි පවසමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය හරහා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන උසාවියේදී දඩ නියම කරන බව පෙන්වා දෙන කුවේණි ආදිවාසී සංගමය  එය වළක්වා ගැනීම සඳහා වනාන්තර තුළ ඉහත කී ජීවනෝපායන් වල යෙදෙන ආදිවාසී ජනයාට හැඳුනුම්පත් ලබාදී ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටි.

 

මූතූර් ප්‍රදේශයේ සහ වෙරුගල් ප්‍රදේශයේ ඇති ආදිවාසී ගම්මාන සදහා ආදිවාසී ජනතාව වෙනුවෙන් තනි ග්‍රාම සේවක ඒකක පිහිටුවීමට අවස්ථා තිබුණද ඒවා පිහිටුවා නොමැතිවීමෙන් පරිපාලන ආයතන යටතේ ලබාගත  හැකි සේවා ඇතුළු රාජ්‍ය සේවාවන් ලබාගැනීමට අපහසු වී ඇති ආකාරයත් එම සන්දේශය මගින් පෙන්වා දී තිබේ.

 

rt 56

 

මූතූර් ප්‍රදේශයේ නල්ලූර් ගම්මානයේ මනයිමුන්දල් ප්‍රදේශය ජනාවාස වූ ගම්වලින් එකක් වන අතර මෙම ප්‍රදේශයට ආදිවාසී විහාර පරිශ්‍රය, පොදු ඉඩම් සහ ජනතාවගේ ඉඩම් ඇතුළත් නමුත් මෙම භූමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් බව ඔවුන් පැවසීම නිසා තමන් මුහුණ දී ඇති දුෂ්කරතාවයන්ද මුහුදුබඩ වැදි ජනතාව  ආණ්ඩුකාරවරයාගේ අවධානයට යොමු කර ඇත.

"මූතූර් ප්‍රදේශයේ නල්ලූර් ගම්මානයේ මනයිමුන්දල් ප්‍රදේශය ජනාවාස වූ ගම්වලින් එකකි. මෙම ප්‍රදේශයට ආදිවාසී විහාර පරිශ්‍රය, පොදු ඉඩම් සහ ජනතාවගේ ඉඩම් ඇතුළත් වේ. නමුත් මෙම භූමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් බව ඔවුන් පවසති. එය ආදිවාසීන්ට අයිති භූමියක් බවත් එය නිදහස් කර ජනතාවට ලබාදිය යුතු බවත් පවසමින් දිගින් දිගටම ඉල්ලීම් කළද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම ඉඩම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති බව ප්‍රකාශ කර ඇති බවයි. මෙවැනි ගැටලු හේතුවෙන් අපගේ ඉඩම් අයිතිය සම්බන්ධ ගැටලු වලට අප මුහුණ දෙමින් සිටින්නෙමු. එබැවින්  මනෛමුන්දල් ප්‍රදේශයේ ඉඩම්  අපට ලබාදීමට අදාළ රජයේ දෙපාර්තමේන්තු ඉදිරිපත් විය යුතුය."

මූතූර් ප්‍රදේශයේ සන්තෝසපුර ග්‍රාමයේ වෙසෙන ආදිවාසී ජනතාවගේ ස්ථීර නිවාස 35කට අධික ප්‍රමාණයක්, වැසිකිළි සහ වගාබිම් ඇතුළු අක්කර 200කට අධික භූමි ප්‍රමාණයක් අධි ආරක්ෂිත කලාපය යටතට ඇතුලත් වීම සම්බන්ධයෙන්ද එහි තොරතුරු ඇතුලත්ව තිබේ.  

සිය දරුවන් ඉගැනුම ලබන පාසලක පවතින ගුරු හිගය, රජය විසින් ක්‍රියාත්මක කරන සහනාධාර වැඩසටහන් සහ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් වලදී සිය ප්‍රජාවට ප්‍රමුඛත්වය නොලැබීම, දරුවන්ට අධ්‍යාපනය සදහා නිසා අවස්ථාවන් නොමැති වීම හා පොදු ස්ථාන සහ පාසල් තුළ සෘජුව හෝ වක්‍රව කොන් කිරීමට ලක් වන ආකාරයත් එමගින් පෙන්වා දී ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙනත් ජාතීන් සිය ඉඩම් අත්පත්කර ගැනීම වෙනුවෙන් සිදු කරන උපක්‍රමද මෙම සන්දේශය මගින් පෙන්වා දී තිබේ.

 

"විශේෂයෙන්ම සහෝදර ජාතීන් විසින් ආදිවාසීන්ට කුඩා ණය ලබාදී ඒවා ගෙවා ගැනීමට නොහැකි වන විටදී හිස් පත්‍රිකාවක අත්සන් ගෙන නීති විරෝධී ලෙස ඉඩම් අත්පත් කරගැනීමේ සිද්ධීන් වාර්තා වී ඇත."

 

ආදිවාසී ජනයා සැලසුම්ගත ලෙස අන්‍යාගම්වලට හරවාගැනීම හරහා ආදිවාසී ජනයා අතර  පවතින සම්ප්‍රදායික සබඳතා, සංස්කෘතිය සහ කලා සංස්කෘතිය කෙරෙහි දැවැන්ත බලපෑමක්  ඇති කරන ආකාරයත් ත්‍රිකුණාමලයේ කුවේණි ආදිවාසී සංගමය ආණ්ඩුකාරවරයාට යොමු කළ ලිපිය මගින් පෙන්වා දී තිබේ.  

ප්‍රදේශවාසි බහුතර ජාතීන්ගෙන්, කාන්තාවන්ට සිදුවන පහරදීම් සම්බන්ධයෙන්ද එහි තොරතුරු ඇතුලත්ය.

"ආදිවාසී ජනයාගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියා කළ කාන්තාවන්ට පසුගිය කාලයේ උප්පූරල් ප්‍රදේශයේ ඇතැම් සහෝදර ජාතීන් විසින් පහර දී තිබේ. එවැනි ක්‍රියාකාරකම් වලින් අපගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි."

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයන්ට බාර දුන් සංදේශයේ  පිටපත් ත්‍රිකුණාමලය මානව හිමිකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජිතයන් වෙතත් ලබා දීමටත් ත්‍රිකුණාමලයේ කුවේණි ආදිවාසී සංගමය කටයුතු කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.


rt 58

 

worky sin

නවතම පුවත්