අද තම පක්ෂයට තීරණාත්මකව විසඳා ගැනීමට ඇති ප්‍රශ්නෙ වන්නේ මේ රටේ පොදු මහජනතාවට, වැඩ කරන ජනතාවට අත් වී තිබෙන ඉරණම කුමක් ද සහ ඒ
ඉරණම වෙනස් කරන්නේ කෙසේ ද යන්න බව යැයි ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක නුවන් බෝපගේ පැවසී ය.
ඔහු මෙලෙස පැවසුවේ 2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ජන අරගල සන්ධානය සංවිධානය කරනු ලබන ජන රැළි මාලාවේ පළමු ජන රැළිය අමතමිනි. මෙම රැලිය ඊයේ (14) සවස 3.00ට නුගේගොඩ දී පැවැත්වුණි.
එම රැලියේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අදහස් දැක්වූ නුවන් බෝපගේ...
සූරාකෑමේ බරපතළ බව
‘‘JETRO කියන සමීක්ෂණයෙන් අනාවරණය කරා මේ කලාපයේ තියෙන අවම වැටුප් ලබන රට බවට අපේ රට පත් වෙලා කියලා. විශාල ආදායමක් සපයන ඇගලුම් සේවකයෙකුගේ වැටුප රුපියල් දහසය දහසකට අඩු වුණේ කොහොමද කියන කාරණය විශේෂයෙන්ම එහි සඳහන් කරනවා. මසකට තම සමාගමකට රුපියල් ලක්ෂයකට වඩා මුදලක් උපයලා දෙනවා එහෙම තත්ත්වයක් තුළ තමයි සේවිකාව රුපියල් දහසය දහසකපමණ වැටුපක් ලබාගන්නෙ. එතකොට එබඳු සූරා කෑමක් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන කොහොමද? ඊළඟට වී ගොවියකුගේ තත්ත්වය ගත්තොත් පස පෙරළා, කුඹුර හාලා, වපුරලා, තෙල් බෙහෙත් ගහලා කපලා, වේළලා රුපියල් එකසිය තිහක විතර වියදමක් වී කිලෝවකට වැය කරන කොට. අතරමැදියෙක් ගිහිල්ලා රුපියල් අසූපහට මිලදී ගන්න බලකරන ක්‍රමය මොකද්ද?
ඊළඟට මෑතකදී වර්ධනය වුණා GIG රැකියා ක්ෂේත්රය. ඒ අනුව ඇප් එකක් අතේ තියාගෙන ආහාර ප්‍රවාහනය කරන, මගීන් ප්‍රවාහනය කරන රැකියා කේෂේත්රය ගත්තොත් පැහැදිලිව සමීක්ෂණයකින් හෙළි වුණ කාරණය තමයි ඔවුන් බරපතළ සූරා කෑමට ලක්වෙන පිරිසක් කියන කාරණය. ඒ සූරාකෑම අපි තේරුම් ගන්නෙ මොකක් කියල ද...? ඊළඟට අපේ රට ගත්තට පස්සේ සීයට හැට හතක් අවිධිමත් ක්ෂේත්රයේ වැඩ කරන කම්කරුවෝ පිරිසක්; මේෂන්වරු වෙන්න පුළුවන්, කුලී වැඩ කරනවා වෙන්න පුළුවන්, මේ වගේ විශාල පිරිසක්; ඒ අය බරපතළ සූරා කෑමකට ලක්වෙන ක්‍රමය මොකද් ද? ඒ ක්‍රමය ධනවාදය; මොන නමින් ආවත් ඒක ධනවාදය.
අපේ ව්‍යාපාරයේ අරමුණ
රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර මොන සමුළු තිබ්බත් ඡන්දෙන් පස්සේ සමාජයට අත්වන ඉරණමේ වෙනසක් නැහැ. එහෙමනම් අපි... අපි මේ ක්‍රමය වෙනස් කරන්න යෝජනා කරන ව්‍යාපාරයක්. මිනිහෙකුට ජීවත් වෙන්න අවශ්‍ය අවම වැටුප මහ බැංකුව ම කියන විදියට අවම තරමින් පනස් හත්දහස් පන්සියයක්. අපි ඒ අවම වැටුප ජනතාවට හිමි කරන ව්‍යාපාරයක්; වෘත්තීය සමිති විදියට වැඩ කරන ජනතාව එකතු වී ඒ හරහා සාමූහික දේවල් කිරීම ප්‍රවර්ධනය කරන ව්‍යාපාරක්. අපි යෝජනා කරනවා අසනීප නිවාඩුව ව්‍යවස්ථාපිත නිවාඩු බවට පත්කරන්න.
විශේෂයෙන් කාන්තාවන් ඔසප් නිවාඩු හිමිකරන වැඩ බිම්වල ළමා සුරැකුම් මධ්‍යස්ථාන ඇතිකරන ප්‍රවාහනය සහ සනීපාරක්ෂක පහසුකම් ඇතිකරන වැඩකරන ජනතාවට උසස් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සලසන තාක්ෂණික පාසල් සන්ධ්‍යා පාසල් වැනි දේවල් නිර්මාණය කරන ව්‍යාපාරයක්.’’
කුඩය ලකුණ ඉහළින් ම තියන්න - ධර්මසිරි ලංකාපේලි
එහිදී අදහස් දැක්වූ ධර්මසිරි ලංකාපේලි...
පළමුවෙන් ම අද මේ නුගේගොඩ ජන රැළියට පැමිණි ඔබ සියලු දෙනාට ම ජන අරගල සන්ධානයේ ආචාරය පුද කරනවා. දැන් උදේ හවස සන්ධාන හැදෙනවා. ඒ සන්ධානවලට එහා ගිහිල්ලා ජනතාවගේ අපේක්ෂාවන් වෙනුවෙන් ජන බලය ගොඩ නගන්න තමයි ජන අරගල සන්ධානයේ හැදුණේ. මේ රටේ මෙච්චර කාලයක් තිබුණෙ පසුගාමී කුල පීඩිත සමාජයක්. එදා සමසමාජ ව්‍යාපාරය හුස්ම දුන්නේ එහෙම රටකට.
එදා පනස්තුනේ අරගලයේ අත්දැකීම් එක්ක තමයි විස්සයි විසි දෙක ගෝල්ෆේස් අරගලයට පසුබිම වැටුණේ. ඒ අරගලය ඇතුළෙ ගෝඨාභය රාජපක්ෂ පන්නන්න පෙරමුණ ගත්ත දේශපාලන ව්‍යාපාර එකතුවෙලා තමයි ජන අරගල සන්ධානය හැදුණේ. මේ දේශපාලන ව්‍යාපාරය ලංකාවේ වමේ බලයක් වෙනුවෙන් සටන් කරපු ව්‍යාපාරයක්. අපි දන්නවා... විස්සයි විසි දෙක අරගලය සම්පූර්ණ ජනතා ජයග්‍රහණයක් දක්වා ගෙනියන්න බැරි වුණා. රනිල් වික්‍රමසිංහ කුමන්ත්‍රණකාරීව ජනාධිපති වෙලා ජනතා මතයට එරෙහිව කටයුතු කළා. හැබැයි අද අපේ වේදිකාවේ ඉන්න නුවන් බෝපගේ ජනතාවගේ පැත්තේ හිටගන්න නායකයෙක්. ඒ අනුව නුවන් බෝපගේ සහෝදරයා කුඩය ලකුණින් ඉහළට ම ඔසවා තබන්න අපි සූදානම් වෙමු.’’
පීඩාව තව දුරටත් ඉවසනවා ද...? - නිරෝෂා ගුරුගේ
මෙම රැළියේ දී අදහස් දැක්වූ නිරෝෂා ගුරුගේ
‘‘දැන් අවුරුදු හැත්තෑ හයක් තිස්සෙ ඉෂ්ට වුණේ මේ රටේ පාලක අභිලාෂ විතරයි. හැබැයි අපි මේ රටේ: ශිෂ්‍ය, කම්කරු, ධීවර, ගුරුවරු මේ හැමෝම ජීවිත පරිත්‍යාගයෙන් කළ අරගලවල සටන්පාඨ අපි ජන අරගල සන්ධානයේ වේදිකාවට අද ගෙනාවා. අපේක්ෂකයෝ බුරුතු පිටින්. හැබැයි ජනතව වෙනුවෙන් කතාකරන්න කවුරුත් නැ. ළමා මන්දපෝෂණය වැඩි වෙලා . දරිද්‍රතාව වැඩිවෙලා . එහෙම රටක දැන් පාලකයෝ කියනවා මං නැව හොඳට පැද්දා ඒ නිසා ඉතුරු ටික පදින්න මට දෙන්න කියලා.
දැන් ඔය රනිල්ම තමයි කිව්වෙ ගියපාර ක්ෂුද්‍ර මූල්‍ය ණය කපනවා කියලා. දෙදහස් දහනවයෙදි ගෝඨාභය කිව්ව බලයට ආපු ගමන් ණය කපනවා කියලා. ක්ෂුද්‍ර මූල්‍ය ණය කපන්නැති පාලකයෝ මේ රටේ මහාපරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය බොල් ණය විදිහට කපනවා. ජනතාව පීඩාවට පත් කරන්න ව්‍යාපාරිකයන්ගෙ පැත්ත ගත්ත පාලකයන්ට තව මේ රටේ ඉඩක් නෑ. මේ රටේ ජනතාව තවදුරටත් පීඩාව ඉවසන්නෑ. ඒ නිසා මේ ජනාධිපතිවරණය එක්ක නුවන් බෝපගේ සහෝදරයා කුඩය ලකුණින් දිනවලා ජනතා ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවන්න එකතු වෙමු.’’
පරිසර ප්‍රතිපත්තිය දිනවමු - වෑකඳවල රාහුල හිමි
මෙම රැලියේ දී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ වෑකඳවල රාහුල හිමි
‘‘අද පරිසර ක්‍රියාදරයෙක් විදිහට මං බලාපොරොත්තු වෙන්නෙ ලංකාවේ පරිසර අර්බුදයට ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්තිය මගින් දීපු විසඳුම ගැන කියන්න. අද ගෝලීය උණුසුම ඉහල ගිය දේශගුණ විපර්යාස වර්ධනය වූ යුගයක් . අපි දැක්කා මේවා නවත්තන්න කියලා ජනාධිපතිවරු පරිසර ඇමතිකම් ගත්තා. ඇමතිවරු තමන්ගේ ගජමිතුරු සමාගම්වලට පරිසරය පාවාදුන්නා. එක්ස්ප්‍රස් පර්ල් නෞකා නිසා අපේ මුහුද විනාශ කරා. කඩොලාන ආශ්‍රිතව විශාල විනාශයක්රාකලා. ඒ ගමන් ඔක්සිජන් කන්නද කියලා අහපු පාලකයෝ අපිට හිටියා. මධ්යමකඳුකරය දක්වා විශේෂයෙන් විල්පත්තුව වගේ ලෝක උරුම පරිසරය පවා විනාශ කරා.
පසුගිය කාලේ මහාපරිමාණයෙන් හමුදාව මැදිහත් කරලා මේ ආණ්ඩුවලට ඕන උණේ විල්පත්තු උතුරු මායිමේ මාර්ග හදලා හෝටල්වලට, කර්මාන්තශාලාවලට විල්පත්තුව සින්නක්කර ලියල දෙන්න. හම්බන්තොට වගේ තැන්වල ජනතාව පීඩාවට පත් වෙද්දි ආණ්ඩු නෑසු කනින් ඉද්දි නුවන් බෝපගේලා තමයි වල්සපුගල ජනතාව එක්ක සටන් බිමට ආවේ. ඒ නිසා අපේ ජනාධිපති අපේක්ෂකයා නිකමෙක් නෙමෙයි. ඒ අත්දැකීම අපිට තියෙනවා ඒ ආශ්රයෙන් තමයි අපි අපේ පරිසර ප්‍රතිපත්තිය සකස් කලේ. ඒ නිසා ආදරණීය ජනතාවෙනි මේ ප්‍රතිපත්තිය දිනවන්න එකතු වෙන්න.’’
අපි ස්වයං පාලනය දෙනවා - දයාපාල තිරාණගම
එහි දී අදහස් දැක්වූ දයාපාල තිරාණගම,
‘‘මම මෙච්චර කල් ප්‍රධාන වාමාංශික පක්ෂවල වැඩ රේලේ නෑ. ඒකට හේතුව හැට පහේ ලංකාවේ බිහිවුණු අලුත් පැරණි වමේ කණ්ඩායම් අතර ජාතික ගැටලුව ගැන ප්‍රශ්නයක් වුණා. මුස්ලිම් දෙමළ ජනතාවට ප්රජාතන්ත්රවාදය නොදී සමාජවාදය හදන්න බෑ කියන මතේ මම තදින් හිටියා. මේ ජාතික ප්‍රශ්නෙදි සිංහල වාමාංශික පක්ෂ බහුතරයක් හිටියෙ සමාජ සාධාරණත්වය පිළිබඳ මතය දකුණේ තහවුරු නොකර. 1983 කෝලහාලයෙන් පස්සෙ මහා යුද්ධයක් ඇති වුණා එහි ප්‍රතිපල අදත් අපි භුක්ති විඳිනවා.
බිඳුණු තල් රුක රචනා කරා කියලා මගේ බිරිඳ පවා ඝාතනය කරා . හැබැයි අද ජන අරගල සන්ධානය බය නැතුව ජාතික ප්රශ්නය කතා කරනවා. ජන අරගල සන්ධානය පැහැදිලිව කියනවා ජනතාවට ස්වයංපාලන ප්‍රදේශය ලබා දෙනවා කියලා. අපි පාර්ලිමේන්තුව විතරක් විස්වාස කරන්නෑ. අපි ඒ මත යැපෙන්නෑ. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් පිටත මහා බලයක් ගොඩනැගිය යුතුයි. ඒ සඳහා ජන අරගල සන්ධානයට විතරයි හැකියාව තියෙන්නෙ.
නුගේගොඩ දී පැවැත්වූ ජන රැලියේ වේදිකාව මත පහත නියෝජිතයෝ සහ ජන අරගල සන්ධානයේ විධායක සභිකයෝ ගණනාවක් අසුන් ගෙන සිටියහ.
ධර්මසිරි ලංකාපේලි, වෑකඳවල රාහුල හිමි, වී. මහේන්ද්‍රන්, නිරෝෂා ගුරුගේ, දයාපාල තිරාණගම, රාජ්කුමාර් රජීව්කාන්ත්, නුවන් බෝපගේ, වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර, නූර් මොරීන්, ස්වස්තිකා අරුල්ලිංගම්, සුරේඛා සමරසේන, ඩේවිඩ් සුරේන්, පී. ඩී. සරණපාල, නිහාල් අජිත්, දුමින්ද නාගමුව, විජේපාල වීරකෝන්, අජන්ත අලහකෝන්, ධනූෂ පතිරණ, තරිඳු උඩුවරගෙදර, මරීසා ද සිල්වා, සිතාරා කුලරත්න, ජයන්ත ගමගේ, ධම්මික මුණසිංහ, තනුක මාධව සහ කල්ප රාජපක්ෂ.
(සටහන - ජයසිරි අලවත්ත)