අමනෝඥ පාලකයෝ නිසා විනාශ වූ රට නිවැරදි මාවතකට ගැනීම අපේ අරමුණ යයි සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, සජිත් ප්‍රේමදාස පවසයි.
වසර හතරක් පමණ වයසැති සමගි ජන බලවේගය අද මේ ස්ථානයට පැමිණ ඇත්තේ ජනතාව නිසා බව ද ඔහු කියා සිටියි.
විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ ඊයේ (14) මතුගම අගලවත්තේ පැවැති සමගි ජන බලවේග ජනපවුර වැඩසටහන සමග එක්වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස...
මම ඉහළ ම කැප කිරීම කරනවා
‘‘අද එන්න එන්නම ජනතාව තුළ අපේක්ෂාවක්, ප්‍රාර්ථනයක් වර්ධනය වෙමින් පවතිනවා. සාමාන්‍ය ජනතාව ජයග්‍රහණය කරන යුගය අත ළගයි කියන හැඟීම ඔවුන් තුළඇති වී තිබෙනවා. සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය තුළ ශක්තිමත් ජනතා කේන්ද්‍රීය ගමනක් ගියාට අනික් කණ්ඩායම් ක්‍රියාත්මක කරන්නේ කයිවාරුව පමණයි. ඒ වගේම සමහර නායකයන් වසර විස්සක් තිහක් දේශපාලන පක්ෂයක නායකයා වෙලා, ඓතිහාසික දේශශපාලන පක්ෂ විනාශ කරලා ස්වාධීන වුනාට සමගි ජන බලවේගයට එවැනි ගැටලු නෑ.
පසුගිය දශක කිහිපයේ අමනෝඥ පාලකයන් ගත් වැරදි තීන්දු නිසා පරම්පරා කිහිපයකට හොඳ අනාගතයක් අහිමි වෙලා; තරුණ පරපුරේ සිහින නැති නැති වෙලා. ඒ වැරදි නිවැරදි කිරීමේ බාරදුර අභියෝගය මා ඇතුළු කණ්ඩායම සතුයි. මේ රට නිවැරදි ගමනක යමින් මේ රටේ නායකයා ලෙස උපරිම කැපකිරීම කර ලක්ෂ දෙසිය විස්සක ජනතාව වෙනුවෙන් කළ හැකි ඉහළම කැප කිරීම කරන්න මම සූදානම්.
අපි රඟපෑවෙ නැහැ
විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත: රට වෙනුවෙන්, පොදු ජනයා වෙනුවෙන් අපි දැවැන්ත හඬක් නැගුවා මෙරට ආර්ථිකය විනාශ කරපු ආර්ථික ඝාතකයන් පවා අනාවරණය කළේ සමගි ජන බලවේගය යි. මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ රාජපක්ෂවරු ප්රමුඛ කණ්ඩායම ම ශ්‍රේෂ්ඨාධිකරණය අනාවරණය කරා. මෙතනදි සමගි ජන බලවේගය කවදාවත් ෆයිල් පෙන්න පෙන්නා ‘බලයට ආවම හොරු අල්ලනවා’ කියන රඟපෑම කරේ නෑ. ලක්ෂ දෙසිය විස්ස වෙනුවෙන් ඒ මූලික අයිතිවාසිකම් තීන්දුව අපි ගත්තා.
රාජ්‍ය දේපළ විකිණීම නැවැත්තුවෙ අපි
එමෙන්ම වීසා මගඩිය ගැන රට දැනුවත් කර ඒක හෙළි කරෙත් සමගි ජන බලවේගය; රටේ ලාභ ලබන ආයතන විකුණන අදූරදර්ශී ප්‍රතිපත්තිවලට විරුද්ධව හඬ නගමින් ඒවා විකිණීම නවත්ත ගත්තේ සමගි ජන බලවේගය. ජනාධිපතිවරණයක් ක්‍රියාත්මක වන අවස්ථාවේ වත්මන් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන ලාභ ලබන රාජ්‍ය සම්පත් හා දේපල විකුණන කුමන්ත්රණවලට හවුල්වන රාජ්‍ය සේවකයන්ට ද නීතිය හමුවේ දඩුවම් විදීමට සිදුවෙන බවඅනිවාර්ය යි.
මේ වෙද්දි රාජ්‍ය දේපළ හා සම්පත් අවභාවිතය ඉහළින්ම සිදුවෙනවා. පසුගිය සති දෙක තුනේ අපේ සක්වල හා හුස්ම වැඩසටහන තහනම් කරා. නමුත් රජයේ මුදල් වැය කරමින් ජනාධිපතිවරයාට විවිධ විවෘත කිරීම් කරන්න කිසිම තහනමක් නෑ. මැතිවරණ සමයේ මේ රාජ්‍ය දේළල අවභාවිත කළ අය ගැනත් සොයා බලන්න අපි කටයුතු කරනවා.
අපි කයිවාරු ගහන්නෙ නැහැ
රටේ ලක්ෂ දෙසිය විස්සක ජනතාව දුක් විඳිද්දි රටේ ආර්ථිකය විනාශ කරපු ආර්ථික ඝාතකයන් සුවසේ ඉන්නවා. අපේ රටේ නිහඬ බහුතරයට, හඬක් නොමැති ජනතාවට හඬක් වෙලා ඔවුන් මේ දුකින් මුදවා ගන්න අපි කටයුතු කරනවා. ගම හදා නගරය හදන, නගර හදා රට හදන වැඩපිළිවෙළක් අපේ පක්ෂයට තියෙනවා. මේවා බොරු පොරොන්දු නෙවෙයි; විපක්ෂයේ සිට ම අපි ඒවා තමා ක්‍රියාත්ම කරල තියෙනවා. අපේ ළඟ රැවටිලි දේශපාලනය, ජනතාව අන්දවන දේශපාලනය නැහැ; කයිවාරු දේශපාලනයත් නැහැ; අපි ළඟ තියෙන්නෙ වැඩ කරන දේශපාලනය.’’
(සටහන - ජයසිරි අලවත්ත)