ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ පාසලකට උදෑසන කාලයේ එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් කාන්තාවන්,
දරුවන් ඇතුළු සීයකට වැඩි පිරිසක් මිය ගොස් සිව් දිනක් ගතවෙද්දී, දහඅට වසරකට ඉහත දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ප්‍රහාර එල්ල කොට මරා දැමූ පාසැල් දැරිවියන් පනස් හතර දෙනකු ඇතුළු 61ක් වන්නියේ දී අනුස්මරණය කර තිබේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ, 2006 අගෝස්තු 14 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මුලතිව්, වල්ලිපුනම්හි සෙන්චෝලේ ළමා නිවාසයට එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් එහි සිටී පාසැල් දැරිවියන් 54 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 7ක් ඝාතනය වී තිබුණි.
එකසිය පනහකට වැඩි පිරිසක් බරපතල ලෙස තුවාල ලැබූහ. ඇතැමෙක් සදාකාලයටම ආබාධිත වූහ.
බෝම්බ හෙළා මරා දැමුණු දැරිවියන්ගේ ඥාතීහු 18 වැනි වතාවටත් 2024 අගෝස්තු 14 වැනි බදාදා මුලතිව් ඉඩෙක්කට්ටු හංදිය ආසන්නයේ ළමා නිවාසය පිහිටා තිබු භූමියට රැස්ව ඝාතනයට ලක් වු තම සමීපතමයන් සිහි කරමින් මල්, පහන් හා ඉටි පන්දම් දල්වා ඔවුන් අනුස්මරණය කර තිබේ.
අනුස්මරණයට එක්ව සිටි උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් සමරු දිනය හැඳින්වූයේ ‘සුදු නිල ඇඳුමින් සැරසි සිටි දරුවන් රතු නිල ඇඳුමට මාරු කරලා බලන්න ඕනෑ කියන අරමුණින් ශ්‍රී ලංකා රජය ම්ලේච්ඡ ජන සංහාර සිදු කළ දිනය’ ලෙසයි.
උතුරු, නැගෙනහිර දෙමළ ජනයාට වසරේ සෑම දිනයක්ම අනුස්මරණ දිනයක් වන්නේ ඇයිද යන්නත් ඔහු එහිදී පැහැදිලි කර තිබුනි.
"අවුරුද්දේ හැම දවසක්ම අපිට අනුස්මරණයක් කරන්න පුළුවන් දවසක් තමයි. මොකද අපේ උතුරු, නැගෙනහිර මේ වගේ ම්ලේච්ඡ ජන සංහාර සහ ප්‍රහාර හැමතැනම කරලා තියනවා. "
ආපදාවන්ට මුහුණ දීම සහ ප්‍රථමාධාර ලබාදීම පිළිබඳව සිසුවියන් සඳහා වූ වැඩමුළුවක් මුලතිව් දිස්ත්‍රික්කයේ වල්ලිපුනම් හි සෙන්චෝලේ අනාථ නිවාසයේ පැවැත්වෙද්දී 2006 අගෝස්තු 14 දා හෙලන ලද සුපර්සොනික් ප්‍රහාරක යානා බෝම්බ වැලකින් සිසුන් ඝාතනය වීම ගැන ඒ සමයේ ශ්‍රී ලංකා රජයේ ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සෙන්චෝලේ එල්ටීටීඊ යුද පුහුණු කඳවුරක් බවට චෝදනා කරමින් ප්‍රකාශ කළේ එය යුක්ති සහගත ඉලක්කයක් බවයි.
එසේ වෙතත්, ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු උතුරේ රාජකාරියේ යෙදී සිටි සහන සේවා ගණනාවක් විසින් තහවුරු කරන ලද පරිදි සෙන්චෝලේ අනාථ නිවාසය කිසිදු යුද පුහුණු ආයතනයක් නොවේ.
සටන් විරාම නිරීක්ෂණ කමිටු ප්‍රධානී උල්ෆ් හෙන්රික්සන් ප්‍රකාශ කර තිබුනේ බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව එතැනට ගිය තම නිරීක්ෂකයන්ට දැක ඇති පරිදි ප්‍රහාරයට ලක්වී ඇති ස්ථානයේ කිසිදු හමුදා ස්ථාපනයක් හෝ ආයුධ තිබූ බවට සාක්ෂියක් නැති බවයි.
“මේ ප්රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්ව ඇත්තේ අහිංසක දරුවන් යැ,” යි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) විධායක අධ්‍යක්ෂිකා ඈන් මාග්‍රට් වෙනෙමන් කියා තිබුණි.
මුලාශ්‍ර :
Israeli strike on Gaza school kills more than 100 people