ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා

 

එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ සහ එම පක්ෂයෙන් ඉවත්වී සමගි ජන බලවේගය පක්ෂය ගොඩනගා නායකයා වී සිටින සජිත් ප්‍රේමදාස කරගෙන යන කටයුතු පිළිබඳව විගණකාධිපති වාර්තා ඇසුරෙන් තොරතුරු ඉදිරිපත් කළ හැකි බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා පවසයි.

හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (14) පැවති ජාතික ජන බලවේගයේ ගණකාධිකාරී හා විගණන වෘත්තිකයන්ගේ මාධ්‍ය හමුව අමතමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇන්ටන් පෙරේරා...

‘‘රජයේ ආයතනවලට රුපියල් කෝටි පහක භාණ්ඩ රජයේ වාණිජ හා විවිධ නීතිගත සංස්ථාවෙන් මිලදී ගැනීමට රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා නිකුත් කර තිබෙන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සම්බන්ධයෙන් මෙයට පෙර අපි කරුණු හෙළිකළා. ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දීමෙන් පසු භාණ්ඩ බෙදීමේ ක්‍රියාවලිය නවත්වා තිබෙනවා. ප්‍රසම්පාදන කොමිසමට මේ සම්බන්ධයෙන් තරගකාරී ලංසු ක්‍රමය අනුගමනය කරන ලෙස දන්වා තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවත් ප්‍රසම්පාදන කමිටුවත් ක්ෂණික පියවර ගැනීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය වෙනත් මැතිවරණ නීති විරෝධී කටයුතුවලට සූදානම් වෙනවා. 

ඉදිකිරීම් කර්මාන්තයට බලපාන ගැටලු ගැන සාකච්ඡා කිරීමේ මුවාවෙන් ජනාධිපතිවරයා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සංගමය හමුවීමට යොදාගෙන තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ප්‍රධානම අභියෝගය එල්ල වී තිබෙන අවස්ථාවක ප්‍රසන්න රණතුංගගේ අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් මේ හමුව යොදාගෙන තිබෙනවා. නිලධාරීන් සම්බන්ධ කරගෙන ජනාධිපතිවරණ අපේක්ෂතයෙක් පවත්වන මේ හමුව පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට අපි පැමිණිලි කර තිබෙනවා.

ඊට අමතරව කුලියාපිටියේ ෆෝක්ස්වැගන් කාර් එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම පිළිබඳව නිතර කතාවෙනවා. නමුත් එම ව්‍යාපෘතිය නතර වුණේ ඇයි කියලා හරියට ම කවුරුත් දන්නේ නැහැ. මහාභාරකාර දෙපාර්තමේන්තුවට අයත් මහනුගලියැද්ද ඉඩමේ අක්කර තිස්හතක් ආයෝජන මණ්ඩලයට පවරාගෙන තිබුණා. අදාළ සමාගමෙන් මේ සඳහා යම් මුදලක් කිසිදු සැලැස්මක් නැතිව වැයකර තිබුණා. නමුත් මේ වන විට භූමිය පිළිබඳව අයිතිය නිරවුල් කර නොගෙන කටයුතු කිරීම නිසා අධිකරණය හමුවේ නඩු විභාගයක් පවතිනවා. මේ ඉඩම ආයෝජන මණ්ඩලයට පවරාගෙන වෙස්ටර්න් ඔටෝ මොබයින් පුද්ගලික සමාගමට විකුණා තිබෙනවා. රුපියල් මිලියන හැත්තෑවක් කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා ඉඩමේ කටයුතු ආරම්භ කිරීමට උත්සාහ කළත් මේ වන විට මහාභාරකාර මණ්ඩලයේ තිබුණු ඉඩම අහිමි වී ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාවත් නතරවී තිබෙනවා. මහා කළමනාකරුවෙකු බව කියන රනිල් වික්‍රමසිංහ මේ කර්මාන්ත ශාලාව ආරම්භ කර තිබෙන්නේ මූලික නීතිමය කටයුතු පවා නිරවුල් කර ගැනීමෙන් තොරවයි. පසුගිය කාලයේ දී මධ්‍යම සංස්කෘතික අරමුදල සහ ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් මෙම දෙදෙනා කටයුතු කර ඇති ආකාරය විගණන වාර්තාවලින් පැහැදිලිවී තිබෙනවා.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණකයෙකු ලෙස කටයුතු කරන යෝගරාජා මහතාට මැර ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. වැලි කැණීම්වලට අදාළ විගණන විමසුමක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බව වාර්තා වෙනවා. මෙය ඉතාමත් පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර, වැරදිකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකර සිටිනවා. අඹේපිටිය මහතාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් පසුව දිගින් දිගටම විගණකවරුන්ට එල්ල කරන විවිධ තර්ජනවල තවත් පියවරක් ලෙස මෙම ප්‍රහාරය සඳහන් කරන්න පුළුවන්.’’

සජිත් ප්‍රේමදාසගේ අයථා මුදල් ගනුදෙනු

 PHOTO 2024 08 15 14 21 52

හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති රම්‍යා ලාලනී

 

හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති රම්‍යා ලාලනී,

‘‘සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දෙදහස් පහළව සිට දෙදහස් දහනවය කාලයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු පිළිබඳව දෙදහස දහඅට සහ දෙදහස් දහනවය විගණකාධිපති වාර්තාවෙන් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ සභාපති ලෙස අගමැතිවරයාත්, විෂයභාර ඇමතිවරයාත්, මුදල් අමාත්‍යවරයාත්, එක්සත් ජාතීන්ගේ සංස්කෘතික සහ අධ්‍යාපනය සම්බන්ධ කටයුතු කරන විෂයභාර අමාත්‍යවරයා, හින්දු කටයුතු බාර අමාත්‍යවරයාත්, සංස්කෘතික කටයුතු බාර අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු දහතුන් දෙනෙකුගේ මණ්ඩලයක් පත්කරනවා. එය ඝන පූරණය ලෙස සිව්දෙනෙක් සහභාගීවීම දක්වා තිබෙනවා. සංස්කෘතික අරමුදලේ මුදල මෙහෙයවීම සම්බන්ධයෙන් සියලු තීරණ ගන්නේ මේ පාලක මණ්ඩලයෙන්. නමුත් දෙදහස් පහළව සිට දෙදහස් දහනවය දක්වා වසර පහක් තුළ ඔවුන් රැස්වී ඇත්තේ අවස්ථා දහතුනක දී පමණයි. සභාපති ලෙස අගමැති රැස්වීම් වාර තුනකට පමණක් සහභාගීවී තිබෙනවා. නමුත් සභාපති ලෙස මූලාසනය දරා ඇත්තේ එක් අවස්ථාවක දී පමණයි. 

පාලක මණ්ඩලයේ අනුමැතිය මත ප්‍රවේශ පත්‍ර අලෙවිකරුවන් දාහතර දෙනෙකු දෙදහස් දහඅටේ දී බඳවාගෙන තිබෙනවා. දෙදහස් පහළවේ සිට අරමුදලේ ආදායම රුපියල් බිලියන දෙකයි දශම අටේ සිට: දෙදහස් දහසය රුපියල් බිලියන තුනයි දශම හතක්, දෙදහස් දාහතේ දී රුපියල් බිලියන හතරයි දශම හතරක්, දෙදහස් දහඅටේ දී රුපියල් බිලියන හතරයි දශම නවයක් සහ දෙදහස් දහනවයේ දී රුපියල් බිලියන හතරයි දශමක් වශයෙන් උපයාගෙන තිබෙනවා. මේ අරමුදලෙන් දෙදහස් පහළවේ දී රුපියල් මිලියන පනහක්, දෙදහස් දහසයේ දී රුපියල් මිලියන සීයයක්, දෙදහස් දාහතේ දී මිලියන තුන්සිය හැට දෙකයි දශම හතක්, දෙදහස් දහඅටේ දී මිලියන එකසිය විසි හයයි දශම හයක් සහ දෙදහස් දහනවයෙ දී රුපියල් මිලියන දෙදහස් පනස් දෙකයි දශම හතරක් වශයෙන් පාලක මණ්ඩලයේ අනුමැතියක් නොමැතිව ලබාගෙන තිබෙනවා. මේ මුදල් ආපසු අයකර ගෙන නැහැ. නමුත් මේ මුදල් යෙදවූයේ කුමන කටයුතු වෙනුවෙන්ද යන්න හෙළිකර නැහැ.

සංචාරයන්ගෙ වැසිකිළි ඉදිකරලත් නැහැ

රුපියල් මිලියන එක්දහස් පන්සිය විසි නවයක් වුණ මෙහෙයුම් ක්‍රියාකාරකම් හාරසිය විසි එකකක් දෙදහස් දහඅට වසරේදී කළ යුතුව තිබුණා. එයින් ක්‍රියාවට නංවා ඇත්තේ එකසිය අසූනවයක් පමණයි. පනස් පහක් සම්පූර්ණ කිරීමට අපොහොසත් වී තිබෙනවා. දෙදහස් දහනවයෙදී රුපියල් මිලියන තුන්සිය අසු හතරක් යොදවා කැණීම් හා සංරක්ෂණ ක්‍රියාකාරකම් පනස් තුනක් සිදුකළ යුතුව තිබුණා. නමුත් දෙදහස් දහනවයෙ දෙසැම්බර් තිස් එක වන විට එම කටයුතු ආරම්භ කර හෝ තිබුණේ නැහැ. නමුත් දෙදහස් දහඅට වැඩ සැලැස්මට අනුව අභයගිරි ව්‍යාපෘතියට අදාළව කොන්ත්‍රාත් වටිනාකම රුපියල් මිලියන නවයයි දශම හතරයි අටක් වන රථ ගාල් දෙකක් ඉදිකළ යුතුව තිබුණා. නමුත් දෙදහස් දහනවයෙ ජූලි තිස් එක වන විටත් එය ඉටුකර තිබුණේ නැහැ. සංචාරකයන්ගේ ප්‍රයෝජනය සඳහා වැසිකිළි පද්ධතියක් ඉදිකළ යුතුව තිබුණත් එය සිදුකර තිබුණේ නැහැ. එය සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමට හේතුවි තිබුණා. ඒ වගේම කළමනාකරණ ක්‍රියාකාරකම් යටතේ සංචාරකයන් වෙනුවෙන් ආපනශාලාවක් ඉදිකිරීමට රුපියල් මිලියන හයයි දශම දෙකක් යෙදවිය යුතුව තිබුණා. එයින් රුපියල් මිලියන හයයි දශම දෙකයි හතක් වියදම් කර තිබුණත්, දෙදහස් දහනවයෙ ඔක්තෝබර් අවසන් වන විට ඉදිකිරීම් අවසන්කර තිබුණේ නැහැ.

අනීතිකව සේවකයින් එක්දහස් අසූ නව දෙනකු බඳවාගෙන

ඒ වගේම රුපියල් මිලියන විවිසි දෙකයි දශම එකයි පහක චෙක්පත් අවලංගු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි අනුව ක්‍රියාමාර්ග ගත යුතුව තිබුණත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. ඒ වගේම විදේශ සංචාරකයන් සඳහා මුද්‍රණය කර තිබූ ප්‍රවේශ පත්‍ර වංචනික ලෙස යොදාගැනීම වැළැක්වීමට ආරක්ෂිත ක්‍රමවේදයක් සකස් කළ යුතුව තිබුණත් එය ක්‍රියාත්මක කර තිබුණෙත් නැහැ. මධ්‍යම සංස්කෘතික අරමුදල් පනත අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්ෂිකව ලබාදිය යුතු මුදල් දෙදහස් දාහත වසරෙ රුපියල් මිලියන හත්සිය හැට හතරක්. දෙදහස් දහඅටේ දී රුපියල් මිලියන පන්සිය හැත්තෑ එකක් සහ දෙදහස් දහනවයෙ රුපියල් මිලියන දෙසිය දහතුනක් ලබාදී තිබුණේ නැහැ. සංස්කෘතික අමාත්‍යංශයේ සේවකයන් බඳවා ගැනීම හැර වෙනත් ආයතනයක් වෙනුවෙන් සේවකයන් බඳවා ගැනීමේ හැකියාවක් සංස්කෘතික අරමුදලේ නැහැ. 

එසේ තිබියදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් පුරාවිද්‍යා සහායකයන්, කම්කරුවන් හත්සිය දහතුනක්, මුරකරුවන් තුන්සිය හැත්තෑහයක් වශයෙන් එක්දහස් අසූ නව දෙනෙකු බඳවාගෙන තිබුණා. ඔවුන් වෙනුවෙන් දෙදහස් දහඅටේ දී රුපියල් මිලියන හාරසිය හැත්තෑ නවයක් වියදම් කර තිබුණා. දෙදහස් දහනවයෙදී රුපියල් මිලියන පනසිය අසූ දෙකක් වියදම් ර තිබුණා. වෙනත් ආයතනයක් වෙනුවෙන් ඒ පිරිස බඳවාගෙන සංස්කෘතික අරමුදලෙන් වැටුප් ගෙවීමට මෙම මුදල් වියදම් කර තිබුණා.

ප්‍රවේශපත්වලින් මිලියන13,500ක් හොරා කාලා

 

PHOTO 2024 08 15 14 21 53
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරකම් පිළිබඳව විශේෂ විගණන වාර්තාවෙන් තවත් කරුණු හෙළිවෙනවා. දෙදහස් පහළව දෙදහස් දහනවය කාලයේ සමස්ත වියදමෙන් සියයට තිස් අටක් - සියයට පනස් අටක් අතර ප්‍රමාණයක් වියදම් කරල තියෙන්නෙ කාර්යමණ්ඩල වැටුප් වෙනුවෙන්. ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීමට අදාළ ප්‍රමාණවත් වියදම් දරා නැහැ. ඒ වගේම පුරාවිද්‍යා පනත අනුව සංස්කෘතික ත්‍රිකෝණයේ සමහර ආයතනවල ටිකට් පත් විකිණීමට තිබෙන සීමාවලින් පිට වෙනත් ස්ථානවල දෙදහස් පහළව දෙදහස් දහනවය කාලයේ ටිකට්පත් විකුණා රුපියල් මිලියන දහතුන් දහස් පන්සිය විසි දෙකක්  උපයාගෙන තිබෙනවා. ආගමික ස්ථානවල ටිකට්පත් කවුන්ටර් ආරම්භ කර නොමැතිව රුපියල් මිලියන හයයි දශම නවයක් වැයකර තිබුණා. 

ආගමික ස්ථානවලින් ලබාගන්නා ටිකට්පත් මුදල් එම ආගමික ස්ථානයට හෝ එය පාලනය වන සමිතියකට බැර කළ යුතුව තිබියදී කුලියාපිටිය ආගමික ස්ථාන හතරකින් උපයාගත් රුපියල් මිලියන දෙකක් අවස්ථා හතරකදී සණස බැංකුවකට බැර කර තිබුණා. සජිත් ප්‍රේමදාස මහත්මයා විෂයභාර ඇමතිවරයාව සිටි කාලයේ නීති විරෝධිව සිදුකර තිබුණු කටයුතු කිහිපයක් පිළිබඳවයි විගණන වාර්තා ඇසුරෙන් ඒ කරුණු ඉදිරිපත් කළේ.’’

මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා නීති කටයුතු අමාත්‍යංශයේ විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී වසන්ත පෙරේරා සහ වරලත් ගණකාධිකාරී රංජිත් දිසානායක ද සහභාගී වූහ.

(සටහන - ජයසිරි අලවත්ත)

 


 

worky sin

නවතම පුවත්