සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර ගේ ජය තහවුරු කෙරෙන ප්රචාරක රැළි මාලාවේ මංගල ජනරැළිය හෙට (17) සෙනසුරාදා යාපනයේ රක්කාපාර පිට්ටනියේදී පැවැත්වෙන බව එම සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.
ජාතික මට්ටමේ දේශපාලන සන්ධානයක් යාපනයෙන් ජනාධිපති සටන අරඹන්නේ ඉතිහාසයේ පළමු වතාවට බවද ගම්මන්පිල කීය.
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් සාම්ප්‍රදායික මැතිවරණ ප්රකාශනයක් වෙනුවට උපායමාර්ගික වැඩසටහනක් ක්‍රියාත්මක කරන එකම ජනාධිපති අපේක්ෂකවරයා දිලිත් ජයවීර බවද ගම්මන්පිල කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
'' අපි යාපනයට යන්නේ ජාත්‍යන්තර බලවේග වලට උවමනාවට සිංහල දෙමළ ජනතාව අතර භේදය වෛරය වපුරලා මේ රට දෙපළු කරලා යාපනය වෙනත් රටක ප්‍රධාන නගරය කරන්න දරපු උත්සාහය පරාජය කරන්න අපි දායක වුණු නිසා. මේ රට අත්හැර ගිය පිරිසකගේ මුදල් වලින් ජාත්‍යන්තර බලවේග වල මුදල් වලින් හැමදාමත් ජාතිවාදය වපුරලා පාර්ලිමේන්තු එන දෙමළ ජාතික සංධානයේ ජාතිවාදි දේශපාලනය පරාජය කිරීම අවශ්‍ය නිසා.
ඉදිරියේ දී රට පුරා පැවැත්වෙන රැළි වල දී දිලිත් ජයවීර අනෙකුත් අපේක්ෂකයින්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන එක අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දිලිත්ගේ මැතිවරණ ප්රකාශනය වෙනස්. ප්‍රතිපත්ති ප්‍රකාශයක් වෙනුවට උපායමාර්ගික වැඩසටහනක් ඉදිරිපත් කරලා තිබෙන්නේ දිලිත් විතරයි. දිලිත්ගේ වගවීම වෙනස්. තමන් දුන් පොරොන්දු ඉටු නොකලොත් නඩු පවරන්න අවස්ථාව ජනතාවට ලබා දෙන බව කියන්නේ දිලිත් විතරයි. දිලිත්ගේ රට හදන දැක්ම වෙනස්. භෞතික සංවර්ධනයෙන් නොනැවති මානසික සහ අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති සතුටු දැයක් හදන බව කියන්නේ දිලිත් විතරයි. දිලිත්ගේ උපාය වෙනස්. ව්‍යවසායක රාජ්‍යයක් හරහා රට හදන බව කියන්නේ දිලිත් විතරයි. කෙටියෙන් කිව්වොත් අනිත් අපේක්ෂකයින්ට සාපේක්ෂව දිලිත්ගේ හැමදේම වෙනස්.''