theleaderlk 01

බලශක්ති ක්ෂේත්‍රය පමණක් නොව, සෑම ක්ෂේත්‍රයක ම නව පෙරළියක්, දියුණු අනාගතයක් ගැන තම පක්ෂය කථා කරන බව ජාතික ජන බලවේගයේ

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක (AKD) පැවසී ය.

අනුර කුමාර දිසානායක මෙලෙස පැවසූවේ පසුගිය 15වන (අගෝ. 15) දින කොළඹ මැරියට් හෝටලයේ පැවති ‘ජාතික පුනරුදය බලගැන්වීම’ ජාතික ජන බලවේගයේ බලශක්ති සංසදය අමතමිනි.

අනුර කුමාර දිසානායක එහිදී මෙසේද පැවසිය.


විදුලි අර්බුදයට ඇත්ත හේතු මොනවා ද...?


‘‘මේ මම නාමයෝජනා භාරදුන්නට පස්සෙ කරන ප්‍රථම ආමන්ත්‍රණය. අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රය ගුණාත්මකව උසස් වී තිබේ ද කියන ප්‍රශ්නය අප හමුවේ බරපතළ ප්‍රශ්නයක් ලෙස තිබෙනවා. මේ ගෙඹි දේශපාලනය වෙනස් නොකර එවැනි අනාගතයක් අපට ගොඩනැගිය හැකිද? මේ ජරා මජර දේශපාලන සංස්කෘතිය වෙනස් නොකර වෙන කුමන ක්ෂේත්‍රයකවත් වර්ධනයක්, අනාගත දියුණුවක් අත්පත් කර ගත හැකිද? අපේ රටේ එම අලුත් දේශපාලන මානය රැගෙන එන්නේ ජාතික ජන බලවේගය තමයි. විසිවන සියවසේත් අපේ රටට අඛණ්ඩ බලශක්ති සැපයුමක් ලබා දීමට නොහැකි වී තිබෙනවා. මිනිසුන්ට දරාගත හැකි සාධාරණ මිලකට එය සපයන්නට අපට නොහැකි වී තිබෙනවා. අනෙක් පැත්තෙන් විදුලි සැපයුම් ලක්ෂ දහයක් වසරකට විසන්ධි කරනවා.

මේ අර්බුදයට හේතු හැටියට ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම ඉදිරිපත් කරන දෙයක් තමයි විදුලිබල මණ්ඩලයේ තිබෙනවා යයි කියන ඉංජිනේරු මාෆියාව. තව කට්ටියක් කියනව මණ්ඩලයේ අතිරික්ත සේවක සංඛ්‍යාවත් අර්බුදයේ හේතුවක් කියලා. තවත් විටෙක කියනව රජය විසින් මෙම ආයතන මෙහෙයවීම තමයි මේ අර්බුදයේ මුල කියලා; එම නිසා රජයේ මැදිහත්වීම අත්හරින්න ඕනෑ කියලා. මේ කිසිවක් මේ අර්බුදයේ ඇත්ත හේතු නෙමෙයි. අද මණ්ඩලයට විදුලි ජනන සැලස්මක් නොමැතිකම විදුලි ඉංජිනේරුවන්ගේ ප්‍රශ්නයක් ද, නැතිනම් සේවකයන්ගේ ප්‍රශ්නයක් ද?  


අඛණ්ඩව විදුලිය සැපයීමේ සැලසුම

මේ ආණ්ඩු මේ අර්බුදයට විසඳුම් හැටියට ගේන්නේ මොනවාද? ඒව තමයි හදිසි මිලදී ගැනීම්. බෙල්ල ළඟටම හිරකරලා අහනවා මේ හැර වෙනත් විසඳුමක් තිබෙනව ද කියලා. ඖෂධ අර්බුදයෙදීත් කරන්නේ ඒකමයි. පටිපාටියට පිටින් ක්ෂණික මිල දී ගැනීම් කරනවා. ඒ තුළ විවිධාකාරයේ ගසාකෑම් සිදුකරනවා. මේ ගොල්ලන්ගේ ඊළඟ විසඳුම තමයි ජනතාවට ලබා දෙන විදුලිය විසන්ධි කිරීම. තව කාලෙකට වර්ෂාව මත තියලා විසඳුම් බලාපොරොත්තු වෙනවා. අපි මේ ප්‍රශ්නය විසඳීම සඳහා ජාතික ජන බලවේගය හැටියට නිශ්චිත ක්‍රමවත් සැලැස්මක් සකස් කර තියෙනවා. අඛණ්ඩව විදුලිය සැපයීම, සාධාරණ මිලකට සැපයීම සහ කාර්යක්ෂමව විදුලිය සැපයීමට අපි සැලසුම් හදා ඉවරයි.

ජනතාව දෙන ජන වරමට වගවීම ඉටුකිරීම තමා අපේ කාර්යභාරය. ජනතාවට පොදුවේ බලශක්තිය සැපයීමේ දී අනිකුත් ක්ෂේත්‍රවල මෙන්ම අපේ වගකීම අපි නිසි ලෙස ඉටුකරනවා. ආර්ථිකයේ වර්ධනයක් අත්පත් කර ගැනීමට එය බලශක්ති ක්ෂේත්‍රය සමග ද අන්තර් සම්බන්ධතාවයක් තිබිය යුතු බව දේශපාලඥයින් හැටියට අපි තේරුම් ගෙන තිබෙනවා. අපි අපේ බලශක්ති අවශ්‍යතාවය ඉටුකර ගත යුත්තේ ආර්ථිකය හකුළුවාලමින් නොවේ; එය ප්‍රසාරණය කරමිනුයි. අපේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ අතයට ගනුදෙනු බොහොමයි. විදුලියෙන් ආලෝකය දුන්නට බලශක්ති ක්ෂේත්‍රය අඳුරුයි. අපි බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදය විසඳීමට එහි ප්‍රභවයන් වර්ධනය කිරීමටත් බාරදෙන්නේ ඒ පිළිබඳ විශේෂඥ දැනුම තිබෙන විද්වතුන්ටයි. අපි බාරගන්නේ රටටත් ජනතාවටත් ඒ පිළිබඳව දේශපාලනිකව වගවීමයි.


බලශක්තිය පිළිබඳ අපේ තීරණය

WhatsApp Image 2024 08 17 at 5.26.15 AM

අයුක්ති සහගත බලශක්ති ව්‍යාපෘතිවලට නම් ජාතික ජන බලවේගය කිසිසේත්ම අවසර දෙන්නේ නැහැ. මන්නාරමේ එකම තැන සුළං විදුලි බලාගාර හදා ඉන්දියාවට ශත තුනහමාරටත් ලංකාවට ශත අටහමාරකටත් දෙන්න ගිවිසුම් ගත වෙනවා නම් එය යුක්තිසහගත වෙන්නේ කොහොමද? අපි තවදුරටත් ස්වෛරී ජාතියක් නොවේ. තීන්දු තීරණ ගැනීමේ බලය අද ලංකා රජයට නැහැ. එම නිසා බලශක්ති ක්ෂේත්‍රයේත් අපි පරාධීනයි. ප්‍රශ්නය තිබෙන්නේ එතන.

අපි ජාතික ජන බලවේගයේ රජයක් යටතේ රට ගැන මෙන්ම බලශක්තිය ගැනත් තීන්දු තීරණ ගැනීමේ ස්වෛරී බලය අප නැවත අත්පත් කර ගන්නා බවට ඔබට සහතික වෙනවා. විදුලි ජනන කාර්යයේ දී අපිට දේශීය මෙන්ම විදේශීය අයෝජකයින්ගේ ආයෝජන ලබා ගැනීමට අපි එකඟයි. හැබැයි අපිට ඒ අයගෙන් ඒ සඳහා ඇල්වතුර වීදුරුවක්වත් එපා. බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදය විසදීමේ විද්‍යාත්මක හා වෘත්තීමය කාර්යය අපි ඒ සඳහා සුදුසුකම් ලත් විද්වතුන්ට පවරනවා. හැබැයි අපි ඒ අතරම මේ බලශක්ති ක්ෂේත්‍රය පුරා පැතිර ඇති කළු පැල්ලම් මකා දමන බවට සහතික වෙනවා. ආලෝකය තරමටම ප්‍රභාස්වර ක්ෂේත්‍රයක් බවට අපි බලශක්ති ක්ෂේත්‍රය පත්කර දෙනවා. අද අපේ රටේ පුරවැසියාට කිසිසේත්ම දැරිය නොහැකි මිලකට තෙල් ලීටරයක් ගන්න වෙලා තියෙනවා.

මේ සියලුම ක්ෂේත්‍ර අද වසා පැතිර තිබෙන්නේ මේ මජර දේශපාලන සංස්කෘතියයි. අපේ පළමු කාර්ය එය අවසන් කර දැමීමයි. අපි බලශක්ති ක්ෂේත්‍රයේ සැලසුම් කර තිබෙන ඉලක්කවලට යන්න ඒ පිළිබඳව වූ විද්වතුන්ටත් ව්‍යවසායකයින්ටත් තම කාර්යය කිසිදු දේශපාලන බලපෑමකින් තොරව කරගෙන යාමේ හොඳම පරිසරය නිර්මාණය කරනවා. ඒ ගැන අපි ඔබ සියලු දෙනාටම ජාතික ජන බලවේගය හැටියට සහතික වෙනවා.’’



බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න සහ විසඳුම්

WhatsApp Image 2024 08 17 at 5.26.35 AM                                       ඉංජිනේරු පුබුදු නිරෝෂන්


ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටු සාමාජික ඉංජිනේරු පුබුදු නිරෝෂන්,


‘‘අපි බලශක්තිය ස්මාට් කළ යුතුයි. එය එක දෙයකට එක ක්ෂේත්‍රයකට ලඝුකරන්න බැහැ. මේ සියල්ලේ ම ප්‍රතිඵල අවසානයේ ජනතාවට ලැබිය යුතුයි. අපේ රටේ බලශක්ති අර්බුදයට විසඳුම් ලෝකෙ කොහේ හරි තැනක පාව්ච්චි කරපු ක්‍රමවේදයන් එලෙසට ම ගෙනත් මෙහෙට ඔබ්බලා හොයන්න බැහැ. බලශක්ති ක්ෂේත්‍රයේ අපිට තිබුණ ප්‍රධාන ප්‍රශ්නය මේ කලාපයේ රටවල් අතර අපි ඒ සඳහා වැඩිම මිලක් ගෙවන රටක් වීම යි.

අපේ සැලස්මේ මූලික පියවරක් තමයි ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ මුල් අවුරුදු පහ තුළ මෙම බලශක්ති මිල සාධාරණ තලයකට ගේන එක. ඊළඟ සැලස්ම තමයි අපේ විදුලි බිල එම අවුරුදු පහ තුළ දී ජනතාවට දරාගත හැකි මට්ටමකට අඩු කිරීම. ඊළඟට අපි බලශක්තියේ දී තෙල් මත ම යැපෙන තත්වයෙන් ක්‍රමානුකූලව විතැන්න වෙන්න ඕනෑ. විවිධ දේශපාලන බලපෑම් නිසා අපිට තවම එල්.එන්.ජී. බලාගාරවලට පරිවර්තනය වෙන්න නොහැකි වී තිබෙනවා.

 අපි සැලසුම් කර තිබෙනවා ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඉදිරි වසර 03ක් තුළ ක්‍රමානුකූලව තාප බලාගාර වලින් ලාභදායක එල්.එන්.ජී. බලාගාරවලට යන්න. අපිට බලශක්ති ප්‍රභවයක් ලෙස සුළං ද පාවිච්චි කළ හැකියි. එය ජනතාවට දරාගත හැකි මිලකට ලබාදෙන්න අපි සැලසුම් කර තියෙනවා. දශක දෙකක් එල්.එන්.ජී. බලාගාර අහිමි කර ගත්තා. එසේම තවත් විවිධ බලශක්ති ප්‍රභේද ලෝකයට එමින් පවතිනවා. මේ සියල්ලේ ප්‍රතිලාභ ජනතාවට ලබාදෙන්න අපේ සැලසුම්වලට පුළුවන්.


රාජ්‍ය, පෞද්ගලික සහ විදෙස් අයෝජකයන්ටත් ඉඩ


අපේ පාලනයක් යටතේ අවුරුදු පහක් තුළ සූර්යබලශක්ති ධාරිතාව මෙගාවොට් දෙදහස දක්වා වර්ධනය කරන්න අපි සැලසුම් කර තිබෙනවා. දැනට එම ධාරිතාව තිබෙන්නේ වසරකට මෙගාවොට් එකසිය පනහක මට්ටමේ පමණයි. අපි බලශක්ති ක්ෂේත්‍රයට එකතු කළ හැකි ලාභදායීම ප්‍රභවය තමයි සුළං. අපේ රජයක් යටතේ අපි ඒ සඳහා ප්‍රමුඛතාව දෙන්න සැලසුම් හදා තියෙනවා. 

 
බලශක්ති ක්ෂේත්‍රය ප්‍රජාමූල බලශක්ති ක්ෂේත්‍රයක් ලෙසත් බලශක්තිය සඳහා වාර්ෂිකව රටින් පිටට ඇදී යන අධික ඩොලර් ප්‍රමාණය වෙනුවට රටට ඩොලර් එන සැලස්මක් අපි දැන් කෙටුම්පත් කර තියෙනවා. අපි මේ සියල්ල සැලසුම් කර තියෙන්නේ රාජ්‍ය පෞද්ගලික සහ විදෙස් අයෝජකයන්ටත් විනිවිදභාවයකින් යුතුව ඒ සඳහා අයෝජනය කරන්නට හැකිවන සහ ප්‍රතිලාභ ලබාගත හැකි වන පරිදියි.’’

(සටහන - ජයසිරි අලවත්ත)
 

pe2024 2

worky sin

නවතම පුවත්