theleaderlk 01

රට වත්මන් අර්බුදකාරී තත්ත්වයට ඇද දැමූ පිරිසම නැවත වතාවක් මාධ්‍ය රැළි පවත්වමින් ජනතාව රවටමින් ඉදිරියට පැමිණ තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ

නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසී ය.

හෙතෙම මෙලෙස පැවසුවේ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස කුරුණෑගල සත්‍යවාදී පිටියෙන් ආරම්භ කළ විජයග්‍රාහී මංගල ජන රැළිය අමතමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක...

රට අගාධයට ඇද දැමූ දේශපාලන අංශ දෙක ම එකවර පරාජය කරමු

‘‘එතනෝල්වලින්, මත්කුඩුවලින්, අයිස්වලින්, දේශපාලනයට ඇවිල්ලා, ඒ හරහා  ගෙනගිය දූෂිත දේශපාලනය සහ කැරලි හරහා, ලේ ගලන විප්ලව හරහා අපේ දරුවන්ව වෙන අතකට යොමු කරලා, රටේ ජාතික දේපල විනාශ කරලා, වැඩ වර්ජනවලින් මේ රට අතීතයට අරන් ගිය, ඒ දේශපාලනය තමයි අපට වරද්දපු තැන. ඒ ප්‍රධාන ධාරාවන් දෙකම ලබන සැප්තැම්බර් විසි එක්වෙනිදා පරාජය කරන්න ජනතාවට අද්විතීය අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ තමයි සජිත් ප්‍රේමදාසගේ මේ සන්ධානය. හැත්තෑ හය වසරක දේශපාලන ඉතිහාසය තුළ ජනතාවට වැරදුණු, ජනතාවට වැරැද්දුව තැන පිළිබඳව නිවැරදිව හඳුනාගත යුතු යි.

මේ රටේ දේශපාලනයට පැමිණි: දූෂිත, අකාර්යක්ෂම, අනාගතය පිළිබඳව දැක්මක් නැති පිරිස් නිසා රටට වැරදුණා. රටේ කැරළි කෝලහාල ඇතිකිරීම තුළින් රටේ දේශපාලනය වෙනස් කිරීමට කටයුතු කර, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට පිටින් ආණ්ඩු පිහිටුවා විප්ලව කිරීමට ගත ප්‍රයත්නයන් නිසා රටට වැරදුණා. රට මේ වන තෙක් ණය වී තිබෙන මුදල රුපියල් බිලියන තිස් හතක් පමණයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල නිසා, එල්. ටී. ටී. ඊ. කැරැල්ල නිසා රට ලබාගෙන තිබෙන බිලියන තිස් හතක ණය මුදල මෙන් පස්ගුණයක් රටට අහිමි වී තිබෙනවා. එළඹෙන සැප්තැම්බර් විසි එක් වන දින සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ රට හදන වැඩපිළිවෙළට මනාපය පළකිරීම තුළින් රට අගාධයට ඇද දැමූ දේශපාලන අංශ දෙක ම එකවර පරාජය කිරීමට ජනතාවට සුවිශේෂී මොහොතක් උදාවෙනවා.

රැලිවලට අහුවෙන්න එපා

“සැප්තැම්බර් විසිඑක්වෙනිදා මේ රටේ ඔබේ අනාගතය පමණක් නෙවෙයි මතු උපදින ඔබේ දරුවන්ගෙත් අනාගතය තීරණාත්මක දවසක්. දෙහස් විසි දෙකේ අප්‍රේල් දොළොස්වෙනිදා මේ රට බංකොලොත් රටක් බවට පත් වෙලා, අපට උරුම වෙලා තිබුණු ඒ ස්වෛරීභාවය එදා කන්ද උඩරට එක්දහස් අටසිය පහළවේ මාර්තු දෙවෙනිදා අපට අහිමි වුණාට පස්සේ මහා ජාතික අරගලයකින් නැවත නිදහස ලබාගෙන තිබුනු අපේ රටට අපේ ස්වෛරීභාවය අහිමි කරලා මේ රට අපේ ණය හිමියන්ට යටත් කරපු නින්දිත දවසක් තමයි දෙහස් විසි දෙකේ අප්‍රේල් දොළහ. මතක තියාගන්න... මේ මහා ණය කන්ද, මේ අතීත ණය කන්ද, තව අවුරුදු දහඅටක් ඔබට, අපට, අපේ දරුවන්ට ගෙවන්න තියෙනවා. අන්න ඒ නිසා ඒ දිනයේදී මේ ගැන ඉතාමත්ම කල්පනාවෙන්, ඉතාමත්ම වගවීමෙන් ඔබ අප සියලු දෙනාම කටයුතු කරන්න ඕන. 

 
අපට මතකයි එදා මහනගර ඇමති හැටියට අපේ අමාත්‍යාංශයෙන් මේ කුරුණෑගල මහ නගරයක් කරන්න වැව රවුම හැදුවා. ඒ වගේම මේ නගරය අනාගතය කරා අවශ්‍ය කරන වැඩපිළිවෙල ආසියානු සංවර්ධන බැංකුවෙන් අපි ආරම්භ කළා. මේ රැස්වීම් භූමිය තියෙන තැන, කුරුණෑගල ප්‍රධාන ආර්ථික, සුපිරි වෙළඳ සංකීර්ණයක් එක්ක නිවාස සංකීර්ණයකට අවශ්‍ය මුල්ගල පවා අපි තිබ්බා. ඒ සියලු දෑ අද ඉතිහාසයේ අතීතයට තල්ලු කරලා දැම්මා. මොකද, දෙදහස් දහනවයෙ මේ රටේ ඇති කරපු ඒ මහා කූට නාටකය, ඒ මාධ්‍ය නාටකයට දාහත් ලක්ෂයක් ඡන්ද තියෙන කුරුණෑගල ජනතාවත් හසුවීම නිසා. ඒ නිසා, නැවත වතාවක් නොයෙක් නාට්‍ය, මාධ්‍ය රැලි: ඔටත්, අපටත් පෙන්නමින් එනවා. ඒ කිසිවකට හසු නොවී ලබන විසි එක්වෙනිදා පළපුරුදු ඒ වගේම විශ්වාසනීය නායකත්වයකට සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක එකතු වෙන්න.

අපිට වැරැදුණු තැන්

අද කතා අහනවා හැත්තැහත් අවුරුද්දක් තිස්සේ මේ රටේ දේශපාලනයට මොකද උණේ කියලා. මතක තියාගන්න... අපට වරද්දපු තැන අපි නිවැරදිව හඳුනාගත යුතුයි. මේ රටේ දේශපාලනයට ආපු දූෂිත, අකාර්යක්ෂම, අනාගතය ගැන දකින්නෙ නැතුව තීරණ ගත්ත දේශපාලනයෙන් අපට වැරදුණා. ඒ වගේම කැරලි ගහලා රටේ දේශපාලනය වෙනස් කරන්න උත්සාහ කරලා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට පිටින් ආණ්ඩු පිහිටවලා විප්ලව කරන්න ගිහිල්ලා අපට වැරදුණා. ඒ වගේම වැඩ වර්ජනවලින් අපට වැරදුණා. මේ රටේ අනාගතය ගොඩනගන්න ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශාල පිරිසක් අපට නැති කරලා දාලා තියෙනවා. විශාල පරම්පරාවක් ඝාතනය කරලා. තවත් පරම්පරාවක් රටින් පලවා හැරලා, උගත් පිරිසට රට කරවන්න තියෙන අවස්ථා නැති කරලා. දැන් සමහරු අපේ තරුණයින්ට රටවල් හදන්න කතා කරනවා. ඒ දේශපාලන දෙකම ලබන විසි එක් වෙනිදට පරාජය කරන්න ඔබට අද්විතීය අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ තමයි සජිත් ප්‍රේමදාසගේ මේ සන්ධානය.

සමහරු හැත්තෑ හය අවුරුද්දකට සාප කරාට මේ හැත්තෑ හය අවුරුද්දේ අපි විශාල වර්ධනයන් ලබාගෙන තියෙනවා. මේ රටේ: අධ්‍යාපනය, සෞඛ්‍ය විශාල ඉදිරි ගමනක් ළඟා කරගෙන තියෙනවා. ඒ වගේම ආර්ථිකයත් බඩ ගගා නමුත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් අපි යම් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඒ නිසා ඒවාට ගරහ ගරහා කිසිම අත්දැකීම නැති කිසිම ආකාරයක රට පාලනය කිරීමේ කළමනාකාරීත්වයක් නැති බබ්බු රැලකට රට බාර දෙන්නැතුව පළපුරුදු, ඒ වගේම අලුත් අත්දැකීම් තියෙන නවීන තරුණ පරපුරක් එක්ක එකට එකතු වෙච්ච නව කණ්ඩායමකට රට බාර දීමේ වගකීම ඔබ අප හැමෝටම තියෙනවා. කුරුණෑගල නගරය මහා නගරයක් හැටියට, මේ කුරුණෑගල දිස්ත්‍රික්කය මහා බලගතු දිස්ත්‍රික්කයක් හැටියට, රටේ ආර්ථිකයේ මර්මස්ථානයක් හැටියට ගොඩනගනවාද? එහෙමත් නැත්නම් තව අත්හදාබැලීම් සියයක් හරහා මේ රට නැවත අතීතයට ගෙනිහිල්ලා බංගලිදේශය වගේ නැති බංගස්ථාන වෙන කැරලි කාරයින්ගේ මර්මස්ථානයක් කරනවද කියලා අපි තීරණය කළ යුතුයි.

ඛේදවාචකයට සෘජුව වගකිවයුතු පිරිස් විවිධ ලකුණුවලින් ඇවිත්

ඔබට මතක ඇති නේද එදා අපේ රටේ... විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව විශාල මුළාවන් ප්‍රමාණයකට දැම්මා. එදා මේ රටට වසංගතය ආපු වෙලාවේ මේක දූපත් රටක්. මේ දූපත් රටේ තැන් දෙකයි වහන්න තියෙන්නේ. වරායයි, ගුවන් තොටුපලයි. හැබැයි අත්හදා බැලීම් කරන්න ගිහිල්ලා, තිස්දහසකටත් මරණයට පත්වුණා. අර ධම්මික පැණිය කියලා එකක් ගෙනල්ලා, ඒ වගේම මුට්ටි හට්ටි ජීවම් කරලා, ගංගාවලට දාලා, වසංගතය නවත්තන්න පුළුවන් කියලා අපිට කිව්වා. අපේ තිස්දහසක් ජීවිත නැතිවුණා. අපේ දරුවන්ගේ අනාගතේ නැතිවුණා. රට ආපස්සට ගියා. ඒ ගොන්කම්වල ප්‍රතිඵල හැටියට. ඊළඟට, පොහොර නැතුව, ඒ වගේම අකාබනික ද්‍රව්‍ය නැතුව, ගොවිතැන් කරන්න පුළුවන්, හෙළ ගොවිතැන කරන්න ඕනේ කියලා රට වටා ගෙන ගිය ක්‍රියාදාමය අපේ තුන් වේල කාපු ගොවියා ඇමරිකන් පිටි කන ඉන්දියාවේ ලුණු මිරිස් කන හිඟන පිරිසක් බවට පත් කළා. 
 
ඊළඟට මහා පරිමාණයෙන් මහ බැංකුවේ සල්ලි අච්චු ගහලා, ඒ වගේම ධනපතියන්ට දැවැන්ත බදු සහන ලබා දීලා, රටේ මූල්‍ය ස්ථාවරත්වය කඩාකප්පල් කරලා, රටට ණය ගෙවන්න බැරි, හිඟන රටක්, ස්වෛරීත්වය අහිමි රටක් බවට පත් කළා. ඒවයේ කතා පවත්වපු කට්ටිය අද විවිධ සලකුණු ඔස්සේ ඉදිරිපත් වෙලා ඉන්නවා. මතක තියාගන්න ඒ කොයි සලකුණෙන් ආවත්, ඒ හැම සලකුණෙන්ම ඇවිල්ලා ඉන්නෙ අපේ, අපේ දරුවන්ගේ ඛේදවාචකයට සෘජුව වගකිවයුතු පිරිස්, එක දේශපාලන වළේ වළ දාන්න. ලබන විසි එක් වෙනිදට ඉදිරියට එන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා.

අනුර දිසානායක ළඟ තවමත් ෆයිල් තියෙනවලු

මේ රට මෙතනින් ඉදිරියට ගෙනියන්න ඕනේ. මතක තියාගන්න මේ සැප්තැම්බර් මාසේ ඉඳන් නැවත අපිට ණය ගෙවීම ආරම්භ වෙනවා. අපට සිද්ධ වෙනවා මහා පරිමාණයෙන් අපි ගත් ණය ආපහු ගෙවන්න. හරිහමන් අධ්‍යාපනයක් නැති, ලෝකය දැකලා නැති, කළමනාකාරිත්වය දන්නේ නැති පිරිසක් අතට මේවා පත්කරන්න එපා; මේ රට පත්කරන්න එපා. මට මතකයි මේ ඊයේ, පෙරේදා තිබ්බා, අයි. ටී. තාක්ෂණ සමුළුවක්. ඒ සමුළුවේ ගිහිල්ලා බොහොම බලගතු දේශන පවත්වනවා. හැබැයි මම අභියෝග කරනවා ඒ අයට අඩුගානේ එදා නිකුත් කරපු පොත කියවගන්නවත් බැහැ කියලා. අද මොකක්ද ප්‍රධාන තේමාව? දූෂණය නවත්තන්න. ඒ ගැන ෆයිල් තියෙනවලු මාලිමාවට. 
 
මේ රටේ ප්‍රධාන දූෂණයක් සිද්ධ වුණා. ඒ තමයි අර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇමතිතුමා ඇතුළු නිලධාරීන් සියලු දෙනා හිරේ දැම්මේ මාලිමාවේ අයද? නෑ. මේ අය නෙවෙයි. අර කාවින්ද ජයවර්ධන දොස්තර මහත්තයා, මේ වසන්ත යාපා මහත්තයා, ඒ වගේම චමල් සංජීව, අපේ අජිත් අමරසිංහ, ඒ වගේම මේ රටේ කැපවෙච්ච සමාජ සේවකයෝ ගණනාවක් උද්ඝෝෂණය කරලා තමයි, අද ඒ දඬුවම ලබාදීලා තියෙන්නේ. තාම අනුර දිසානායකගේ තියෙන්නේ, ෆයිල් ටික විතරයි. හැබැයි, ඒක අරගෙන, ඇමතිව හිරේ දැම්මේ මේ රටේ ජන ක්‍රියාකාරීන් කියන එක අපි මතක් කරන්න ඕනේ.

අනාගතය කරා යන අනාගතවාදය

මේ ඊයේ පෙරේදා: අපේ රවුෆ් හකීම් ඇමතිතුමා, මම, සුමන්දිරන් මන්ත්‍රීතුමා, අපි සියලු දෙනා ම මේ රටේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච විශාලතම වංචාවට විරුද්ධව අධිකරණයට ගියා. මොකක්ද ඒ? ඊ වීසා වංචාව. මේ රටේ ප්‍රකෝටි ගණන් ධනය විදේශික සමාගමකට දීලා තියෙනවා, රටේ පළවෙනි දේ තමයි, අපේ දේශසීමාව. ඒ දේශසීමාව ඉතිහාසයේ පළවෙනි වතාවට ටිරාන් අලස් මේ ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙනුවට ඉන්දියාවේ පෙට්ටි කඩේකට මේක බදු දීලා අපේ ස්වෛරීභාවය අපෙන් අහිමි කළා. ඒකට විරුද්ධව ඔය ඊනියා ජාතිමාමකයෝ එකෙක්වත් කතා කළාද? දූෂණය ගැන ෆයිල් ගැන තියෙන අනුර දිසානායකට, ටිරාන් අලස්ගේ නම මතකද? අපි උසාවි ගිහිල්ලා මේ රටේ දේශ සීමාවත් රැකලා රටේ ජනතාවත් රකින්න අපි උසාවි නියෝගයකුත් ගත්තා. 
 
මේ රටට තියෙන්නෙ අද ආදායම් දෙකයි. ප්‍රධාන වශයෙන් රටේ මිනිස්සු රට යනවා. ඒ වගේම පිටරටින් සංචාරකයෝ මෙහෙට එනවා. අද ඒ දෙකම නැවතිලා. සංචාරකයාට වීසා එක ගන්න විදිහක් නෑ. රටින් යන්න මිනිහටත් ඒක නෑ. අද ඒ වෙනුවට ජාවාරමක් කරගෙන යනවා. මිලියන පහක් පාස්පෝට් ගහන්න කියලා අරගෙන මොකද කරලා තියෙන්නේ? අපේ දරුවෙක් රටින් යන එක නතර කරලා තියෙනවා. ඉදිරියේදී අපි ඒ සියල්ල ගන්නවා. ඒ නිසා මතක තියාගන්න දූෂණය නවත්තනවයි කියන අයගේ අත්වල ලේ තැවරිලා, එවුන් ඔක්කොම උගුරට එනකන් මිනී ගිලපු පිරිසක්, අද ව්‍යාජ සළුපිළි පැලඳගෙන, ඔබ ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ අයගේ රැවටිලිවලට අහුවෙන්න එපා. අපි ඇත්තට ම දූෂණය නවත්වපු පිරිසක්; අපි ඒ වෙනුවෙන් දඬුවම් දීපු පිරිසක්; අපි ඒ වෙනුවෙන් සටන් කරපු පිරිසක්. ඒ නිසා, ව්‍යාජ බලවේගවලට රැවටෙන්නේ නැතුව, අනාගතය කරා යන අනාගතවාදයකට එකතු වෙන්න, ලබන සැප්තැම්බර් 21 වෙනිදා මේ මහජන ගඟ, විජයග්‍රහයේ ජන ගඟක් බවට පත් වේවා.!”

මෙම ජන රැළිය සඳහා සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, සමගි ජන බලවේගයේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින්, සමගි ජන බලවේගයේ ජනතා නියෝජිතයින් ඇතුළු අති විශාල ජනකායක් ද සහභාගි වී සිටියහ.

(සටහන - ජයසිරි අලවත්ත)

champika1
champika 4

pe2024 2

worky sin

නවතම පුවත්