theleaderlk 01

අද රටේ සිදුවන්නේ ඉහළින් පහළට අදහස් ගලා යන චෞර තන්ත්‍රවාදය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.


විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ අද (17) බණ්ඩාරගම නගරයේ පැවැති ජන රැළිය අමතමිනි

විපක්ෂ නායකවරයා කළ සම්පූර්ණ කතාව මතු දැක්වේ.

අනීතිකව ලබාගත්තු බාර් ලයිසන් අවලංගු කරනවා

‘‘රටක් ගොඩනැගීමට නම් පැහැදිලි වැඩපිළිවෙළක් තිබිය යුතුයි. රජයක් තුළ ඉහළින් පහළට අදහස් ගලා යාම මෙන් ම පහළින් ඉහළට ද අදහස් ගලා යාමක් සිදුවිය යුතුයි. නමුත් අද පැය විසි හතර ම, සතියේ දින හත ම වසරේ දින තුන්සිය හැට පහ ම: දූෂණය, හොරකම, වංචාව, අල්ලස, රටේ රජවෙලා. රටේ සෑම ගනුදෙනුවක ම හොරකම. වීසා ගනුදෙනුව, පුනර්ජනනීය බලශක්ති ගනුදෙනුව, තෙල් ගනුදෙනුව ආදී ඕනෑ ම ගනුදෙනුවකින් හොරා කෑ සල්ලි ඔවුන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනය ශක්තිමත් කරන්න යොදා ගන්නවා. අද විවිධ කණ්ඩායම් එකට එකතු වෙලා. මේ එකතු වීම් සඳහා: වයින් ස්ටෝර්ස්, බියර් බලපත්‍ර ආදී වරදාන වරප්‍රසාද ලබා දිලා. විවිධ සහන ලබා දීලා විවිධ පුද්ගලයන් බිලී බා ගන්නවා. මම ජනාධිපති වුනාට පස්සෙ: අනීතිකව, පගාවට, අල්ලසට ලබා දුන් හැම බලපත්‍රයක් ම අහෝසි කරනවා. දේශපාලන අල්ලස්වලට සම්බන්ධ වූ දේශපාලනඥයන්ට සහ නිලධාරින්ට නීතිය හමුවේ උත්තර බඳින්න සිද්ධ වෙන නිසා වැරදි දේ නොකර රට ගැන හිතල කටයුතු කරන්න කියල මම ඉල්ලා සිටිනවා.

ජනාධිපතිවරයා සමග එයාගෙ ගජ මිතුරු කණ්ඩායම් එකතු වෙලා

යම් පුද්ගලයෙක් දේශපාලන ගමනක් යා යුත්තේ: දර්ශනයක්, ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක් නිසා. සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් සමග එකතු වුණ සියලු දෙනා එකතු වුණේ: මුදලට, පගාවට අල්ලසට නෙවෙයි; ප්‍රතිපත්තිගරුකව. මේ දුෂිත චෞර දේශපාලනයට, මේ අධම සංස්කෘතියට නැවතීමේ ලකුණ තැබිය යුතු ම යි. මිනිසා නොහදා රට හදන්න බෑ කියල මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් පැවසුවත් අද සිදුවෙලා තියෙන්නෙ රට හදනවා කියල, ආර්ථික දියුණුව ඇති කරනවා කියල, ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලකයන් සමග ගජමිතුරු කණ්ඩායමක් එකට එකතු වෙලා ඔවුන්ගේ සුරසැප ජීවිත ශක්තිමත් කරන එක. සංවර්ධනය සහ දියුණුව විදියට සමගි ජන බලවේගය අදහස් කරන්නේ ලක්ෂ දෙසිය විස්සක් ජනතාවගේ සංවර්ධනය. දියුණුව ලෙස ඉලක්කම් ඉදිරිපත් කිරීමෙන් ඵලක් නෑ. ඒක හැම පුරවැසියකුට ම දැනිය යුතු යි; ඒ සුබසාධන ප්‍රතිලාභය බුක්ති විඳිය යුතු යි.

රට ගොඩනගන්න සෘජු විදේශ ආයෝජන අවශ්‍ය යි

අද වරදාන වරප්‍රසාද සියල්ල භුක්ති විදින්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ලක්ෂ දෙසිය විස්සක් ජනතාව අනාථ කරලා, මැතිවරණ සමයේ බොරු උප්පරවැට්ටි පොරොන්දු ඉදිරිපත් කරලා මෙවරත් රටේ ජනතාව රවට්ටන්න උත්සාහ කරනවා. සමගි ජන බලවේගය මෙරට ප්‍රශ්නවලට විසඳුම් සපයන්න සූදානම්. ආර්ථිකය ඝාතනය කරපු, ආර්ථික ඝාතනය හරහා රට විනාශ කළ අවස්ථාවක රට ගොඩගන්න, රට ශක්තිමත් කරන්න, සංවර්ධනයේ අරුනළු ලබා දෙන්න අපි සූදානම්. එසේම මම රට ශක්තිමත් කරන්න කැපවෙනවා. සක්වල හා හුස්ම හරහා ජනතාවට සේවය කළ ආකාරයෙන්ම බලය ලැබුනට පස්සෙ ජනතාව වෙනුවෙන් සේවාවක් ඉටු කරනවා. මේ හැම දෙයක් ම කළේ රජයේ මුදලින් නෙවෙයි; ප්‍රදාන සහ ආධාරවලින්. මේ රට ගොඩනගන්න සෘජු විදේශ ආයෝජන අවශ්‍ය යි. සක්වල හා හුස්මින් හොර බොරු වංචා අල්ලස් සිදු නොවුණ නිසා විශාල පිරිසක් මේ සදහා උදව් දෙන්න ඉන්නවා.

අපි සංවර්ධන යුගයක් බිහි කරනවා

අරගලයෙන් පස්සෙ දේශපාලනඥයන් විශ්වාස නොකිරීමට ජනතාව පෙළඹිලා. නමුත් වෙනත් දේශපාලනඥයන් වගේ නෙවෙයි; සමගි ජන බලවේගය විපක්ෂයේ ඉඳගෙනත් ජනතාව වෙනුවෙන් සුවිශාල සේවාවක් ඉටු කරා. මහබැංකුව ස්වාධින කිරීමේ දී, අල්ලස් දූෂණ පනතට වඩා නව පනතක් ගෙනවිත් දූෂණය වළක්වා ගැනීමේ දී පවා සමගි ජන බලවේගය සුවිශාල සේවාවක් ඉටු කරා. මේ රටට අවශ්‍ය කයිවාරුව නෙවෙයි; වැඩ. මේ රටට අවශ්‍ය සංදර්ශනනෙවෙයි; සංවර්ධනය. ඒ නිසා අපි කියන දේ කරන, කතාව මහපොළොවේ යථාර්ථය බවට පත් කරවන සංවර්ධන යුගය බිහි කරනවා. සුහුරු තාක්ෂණය තුළින් සෑම ක්ෂේත්‍රයක්ම සවිබල ගන්වනවා. නව දැනුම ක්‍රමෝපාය සහ තාක්ෂණ උපකරණ ලබා දීලා නිෂ්පාදන ධාරිතාව වර්ධනය කරලා රටේ ආර්ථිකය වර්ධනය කරනවා.’’

(සටහන - ජයසිරි අලවත්ත)


pe2024 2

worky sin

නවතම පුවත්