theleaderlk 01

තුන් වේල කාපු අපේ මිනිස්සුන්ව රොටියයි, ලුණු මිරිසයි නැති තැනට පත් කළේ ගෝඨාභය රාජපක්ෂ බව චම්පික රණවක පවසයි.


හෙතෙම මෙලෙස පැවසුවේ සමගි ජන සන්ධානය අකුරැස්සේදී පැවැත්වූ මහජන රැලිය අමතමිනි.

එම රැලියේ දී වැඩි දුරටත් අදහස් ප්‍රකාශ කළ චම්පික රණවක...

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුව ගිනිතියන්න සුදානම් වුණා

 ‘‘ඖෂධ ජාවාරමට කෙහෙළිය හිරේ යැවීමට හෝ වී එෆ් එස් ගනුදෙනුව නවතා දැමීම වෙනුවෙන් ජාතික ජනබලවේගයේ නායකයන් කිසි දිනක තම සහයෝගය ලබා දීලා නැහැ. එමෙන්ම දෙදහස් විසි දෙකේ ජූලි නව වෙනිදා මහජනයා විසින් මෙහෙයවූ අරගලය මගින් ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැවූ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් විසින් පාර්ලිමේන්තුව ගිනි තියලා, එයාලගෙ විප්ලවය ආරම්භ කිරීමට හොඳම අවස්ථාව කියල හිතුවට රටේ ජනතාව ඒකට ඉඩ දුන්නෙ නෑ. ඒ වෙලාවෙ හඳුන්නෙත්තිලාට ඒ මුග්ධ වැඩේ කරන්න අවස්ථාව ලැබුණා නම් අද ලංකාවට සිද්ද වෙන්න නියමිතව තිබුණේ බංගලාදේශයේ වගේ මිනී ගොඩ ගැසුණු, වසර ගණනාවක් ආපස්සට ඇදුණු රටක් වෙන එක.

උසාවිය රාජපක්ෂලා වරදකරවන් කර අවසන්

එදා අති මහත් ජනවරමක් ගෝඨාභය රාජපක්ෂට ලබා දුන්නා. නමුත් මොකද වුණේ. ධම්මික පැණියක් කියලා එකක් ගෙනවා. හෙළ ගොවිතැන කියලා බොරුවක් කරලා මේ රටේ කෘෂිකර්මාන්තය, තේ කර්මාන්තය, කුරුඳු කර්මාන්තය බිංදුවට දැම්මා. විශේෂයෙන් ම තෙල් සංස්ථාව ඉතාම මුග්ධ විදියට පාලනය කරලා, පාරවල්වල සති ගණන් තෙල් පෝලිම් හදලා, ඒවායේ මිනිස්සු මිය යන තැනට පත් කරා. ගෑස් ටැංකිය පිපිරෙන තත්වයට පත්වුණා. පැය දාහතර, පැය පහළොව විදුලි කප්පාදුව ඇතිවෙන තැනට කටයුතු යෙදුණා. ඒ වගේම රටේ ධනපතියන්ට දැවැන්ත බදු සහන ලබා දීලා, රටේ මූල්‍ය තත්වය පහළට ඇදලා දාලා, අන්තිමට රටට ණය ගෙවා ගන්න බැරුව, රට බංකොලොත් බව ප්‍රකාශ කරන තැනට පත්කළා. අද උසාවිය මහින්ද රාජපක්ෂ, ගෝඨාභය, බැසිල් රාජපක්ෂ මේ රට බංකොලොත් කරන්න, රටේ ස්වෛරීභාවය අහිමි කරන්න, රට හිඟමනට වැටෙන්න වරදකරුවන් කරලා අවසන්.

ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ක්‍රියාවලියක් රටට අවශ්‍යයි

දෙදහස් විසි දෙකේ ජූලි නවය මහජනයා කෙළින් ම පාරට බැහැලා තුන් ලක්ෂයක් හමුදාව පිරිවරාගෙන හිටපු ගෝඨාභය රාජපක්ෂට යන්න කිව්වා. අපේ ජනතා විමුක්ති පෙරමුණේ මහත්තුරු ටික හිතුවා මෙන්න නියම වෙලාව විප්ලවය කරන්න කියලා. බැස්සා ජූලි එකොළහ අනුර දිසානායක මහත්තයාගේ ගෝලබාලයෝ ටික පාර්ලිමේන්තුව ගිනි තියන්න. හැබැයි මේ රටේ පාරට බැහැපු ඒ අවංක මහජනයා ඒ කැරැල්ලට ඉඩ දුන්නේ නෑ. ඒක මහ පාරේදීම පරාජය කළා. එදා හඳුන්නෙත්තිලා ඒ මුග්ධ වැඩේ කරන්න ඉඩ දුන්නා නම් අද අනුර කුමාරට, මාතර රැස්වීම් තියන්නවත්, අපිට රැස්වීම තියන්නවත් වෙන්නෑ. අර බංගලිදේශේ වගේ මිනී කන කැත, රට අවුරුදු ගාණක් ආපස්සට යන භයානක ලේ විලක් බවට මේ රට පත්වෙනවා. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ක්‍රියාවලියක් රටට අවශ්‍යයි. බංකොලොත්භාවය මිදෙන වැඩපිළිවෙලක් අපිට අවශ්‍යයි.

අර්බුදය තාවකාලිකව සමනය කරලා තියෙන්නේ ජනතාව සූරාගෙන කාලා

අද මේ තියෙන්නේ තාවකාලික තත්වයක්. අපි ණය ගෙවන්න තීරණය කරලා තියෙන්නේ දෙදහස් විසි අටෙන් එහාට. අපි තුන් ගුණයක් තෙල් මිල ඉහළ නංවලා, දෙගුණයක් විදුලි බිල ඉහළ නංවලා තමයි අද මේ ස්ථාවරත්වය කියන එක ළඟා කරගෙන තියෙන්නේ. ඒ වගේම අද ලංකා විදුලිබල මණ්ඩලය පළවෙනි මාස හයේදී ඔබ සියලු දෙනාගෙන්ම රුපියල් විසිදාහක් අරගෙන තියෙනවා. අන්න ඒ විදියට ඔබව හූරන් කාලා තමයි මේ අර්බුදය තාවකාලිකව සමනය කරලා තියෙන්නේ. මේක කාගෙවත් මැජික් එකක් නෙවෙයි. ලක්ෂ දෙසීය විස්සක් අහිංසක මිනිස්සුන්ගේ කර මත, බදු බර පටවලා මිසක් ඒ බංකොලොත් භාවයට, වගකිවයුතු කිසිවෙක්ට බර දාලා නෙමෙයි. 

අන්න ඒ අයුක්තිය පරාජය කරන්න ලබන විසි එක් වෙනිදා ඔබට අවස්ථාවක් තියෙනවා. මතක තියාගන්න මහින්ද මහත්තයාටත් රාජපක්ෂවරුන්ටත් බහින්න කිව්වට වේදිකාවෙන් බහින්නේ නෑ, දේශපාලනයෙන් යන්නේ නෑ. විසි එක් වෙනිදට නාමල් මහත්තයට අපි පාඩමක් උගන්නලා පෙන්නමු සීයට එකට බස්සලා, ඒ දේශපාලනය අවසන් කරන්න පියවර තබන්න කියලා. තවත් අය ඉන්නවා මේකට පෙරහැරේ ගිය. රටේ තෙල් පෝලිං හදපු, ගෑස් පෝලිං හදපු, ඒ සියලු දෙනාට ම ප්‍රජාතන්ත්‍රවාදයෙන් අපිට පුළුවන් මේ අවස්ථාවේ දී විරෝධය පළ කරන්න.

අපි හැමෝගෙම පැටිකිරිය දන්නවා

මේ රට මෙතෙන්ට පත්වුණේ, දූෂිත දේශපාලනයයි, කැරලිකාරී ලේ වැගිරිච්ච දේශපාලනයයි නිසා. නැවත වතාවක් ඒ ලේ වැකුණු ඉතිහාසයට මේ රටේ දේශපාලනය බිලිනොදී රට මෙතනින් ඔබ්බට ගෙනියන්න පුළුවන් වැඩ පිළිවෙලක් තියෙන; කණ්ඩායමක් ඉන්න සමගි ජන සන්ධානයට අපි විසි එක් වෙනිදා රට බාර කරමු. ඔබට කියන්න ඕනේ ඔය ඇතැම් අය ඇවිල්ලා කතා පවත්වනවා. මාතරත් තිබුණා පච ගහ කියලා ගහක්. තෙල් බෙහෙත් වෙළෙන්දෝ තමයි එතන කතා කරේ. දැන් සමහර අය වගේ කතා පවත්වනවා; හරිම සුද්දවන්තයෝ වගේ කතා පවත්වනවා. අනිත් අයගේ පැටිකිරිය ගැන කියනවා. අපි දන්නවා ඔය ඔක්කොගෙම පැටිකිරිය. නැවත රැවටෙන්න දරුවන් වෙනුවෙන් ඔබට අයිතියක් නැහැ. රටේ තරුණ පරපුර රවට්ටන්න කිසිම කෙනෙකුට අයිතිය නෑ.

අනුර, කෙහෙළිය හිරකරන්න පුළුවන් එක වචනයක් කියල නෑ


ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අද රටින් යන්න බැරුව ඉන්නවා. තව පිරිසක් රටට එන්න උත්සාහ කරනවා. අද පාස්පෝට් එක ගන්න විදිහක් නෑ. මොකද වංචාව එතන රජ වෙලා. ඔය හැමෝම වංචා ගැන කිව්වට, පෙන්නුවට, වංචාව නතර කරලා පෙන්නුවේ ඒගොල්ලෝ නම් නෙමෙයි. එදා තිබුණා සෞඛ්‍ය සේවයේ ප්‍රශ්නයක්. අනුර දිසානායක මහත්තයා අද ඒකට දඬුවම් දීලා හිරේට ඇරියේ නෑ. එක වචනයක් කියලා නෑ සෞඛ්‍ය සේවයේ ක්‍රියාවලිය ගැන. මේ රටේ ස්වාධීන වෛද්‍යවරු ඒ වගේම මේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඒ විතරක් නෙවෙයි මේ රටේ සමාජ සමාජ ක්‍රියාකාරිකයෝ මහ පාරේ සටන් කරලයි අද කෙහෙළිය ඇතුළු පිරිස හිරේ දාලා තියෙන්නේ. වී එෆ් එස් ගනුදෙනුවෙන් රට, අපේ දේශ සීමාව උගස් කරද්දි විදේශිකයන්ට ජනතා විමුක්ති පෙරමුණ අනුර දිසානායක වචනයක්වත් කියලා තියෙනවද? නෑ. ඒකත් උසාවි ගිහිල්ලා නතර කරලා ඉන්දියාවේ පෙට්ටි කඩේකට විකුණපු ඒ දේශ සීමාව රැකලා දුන්නේ මමයි, සුමන්දිරන් මහත්තයයි, හකීම් මහත්තයයි උසාවියට ගිහිල්ලා. 

ඒ නිසා අපි දූෂණය නවත්තන්න, නිකන් ෆයිල් පෙන්න පෙන්න ඉඳලා නෑ. ඇත්තටම අපි දූෂණය නවත්තලා තියෙනවා. ඒ වගේම මේ අරගලය අපි ඉදිරියට ගෙනියනවා. මේ රට බංකොලොත් කරන්න ක්‍රියාකරපු සියලුම දෙනාට දඬුවම් ලැබිලා, යුක්තිය ඉටු වෙනකන් මේ අරගලය ගෙනියනවා. ඒකට අවශ්‍ය කරන ජන බලය, ජන ශක්තිය සැප්තැම්බර් විසි එක් වෙනිදට සජිත් ප්‍රේමදාස මහත්තයට ඔබේ ඡන්දයෙන් ලබා දෙන ලෙස ඉල්ලනවා.’’

(සටහන - ජයසිරි අලවත්ත)

 

pcr 497856465

 

pe2024 2

worky sin

නවතම පුවත්