සිංහල යනුවෙන් මහ ජාතියක් හෝ දෙමළ යනුවෙන් සුළු ජාතියක් හෝ නැති බව මව්බිම ජනතා පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.
මේ රටේ ජාතිවාදය වපුරමින් උතුර ගිනි තියන අතර කොළඹ සුඛෝපභෝගී ජීවිත ගතකරන දමිළ දේශපාලකයින් වපුරන වාර්ගික ගින්නට හසු නොවන ලෙසත්, සිංහල මහ ජාතියක් හෝ දෙමළ සුළු ජාතියක් නොව ඉන්නේ සියලුම වාර්ගික කොටස් එක් වූ මහා ජාතියක් බවත් ඔහු කියා සිටියි.
දිලිත් ජයවීර මේ බව පවැසුවේ 'සර්ව ජන බලය' සන්ධානය සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින් අගෝස්තු 17 දා යාපනයේ පැවති මංගල රැළිය අමතමිනි.
යාපනය පුස්තකාලයට ගිනි තැබීම සඳහා දකුණෙන් පැමිණි දේශපාලකයින් ඒ රාත්‍රී කෑම කෑවේ මේ උතුරේ දේශපාලකයින්ගේ නිවෙස්වලින් බව උතුරේ ජනතාව දන්නවා දැයි තමන් නොදන්නා බව ද ඔහු එහිදී කියා සිටියේය.
මෙවර ජනාධිපතිවරණයට 'තරුව' ලකුණෙන් තරග වදින, "සර්වජන බලය" දේශපාලන එකමුතුවෙහි අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර ට සහයෝගය පළ කිරීම පිණිස පැවති මහජන රැලිය යාපනය රක්ක පාර ක්‍රීඩාංගණයේදී (යාපනය බ්‍රිතාන්‍ය කවුන්සිලය අසල) පැවැත්විණි.
මෙම රැලියට සහභාගී වීමට ප්‍රථම ව්‍යවසායක දිලිත් ජයවීර ඇතුළු සර්වජන බලයේ නියෝජිතයින් එදින උදෑසන ම යාපනය නාග විහාරය වැඳපුදා ගනිමින් සහ මීගහජඳුරේ සිරිවිමල ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව යාපනයේ විකා ජෙනරාල් රදගුරු පදවිය අති උතුම් ජෙබරත්නම් රදගුරුතුමා යාපනය බිෂොප් නිවසේදී හමු වී ආශිර්වාද ලබා ගත්තේ ය. ඉන් අනතුරුව යාපනයේ ජුම්මා මස්ජිත් මුස්ලිම් දේවස්තානයෙන් ආශිර්වාද ලබා ගත් අතර යාපනයේ නල්ලූර් කන්දස්වාමි කෝවිලෙන් ආශිර්වාද ලබා ගෙන ජනාධිපතිවරණ රැලි මාලාවේ මංගල රැලියට සහභාගී වුහ.
අපි සියලු දෙනාම එකමුතු මහා ජාතියක්
පෙරේදා (17) යාපනය රක්ක පාර ක්‍රීඩාංගනයේ මහජන රැලිය අමතමින් ඔහු මෙසේ ද පැවසුවේය.
‘‘හැම මැතිවරණයක් එනකොටම මේ උතුරේ ඉන්න දේශපාලකයින් පටන් ගන්නවා ව්‍යවස්ථා සංශෝධන, දහතුන බලගන්වන්න ඕන, ඉඩම් දෙන්න ඕන කියන සිංදුව ගහන්න. උතුරට වෙනම පාලනයක් ඕන කියනවා. මේ ඔක්කොම ඔබව රවට්ටන්න කියන බොරු කතා.
අද අපිට සුවිශේෂී දිනයක්. මම ගාල්ල දිස්ත්‍රික්කයේ ඉපදිලා අද මම මේ යාපනය ප්‍රදේශයට එන්නේ ඔබව ආමන්ත්‍රණය කරන්න. අපි පාසල් යන කාලයේ අපේ පාසැල ඉස්සරහ තිබුණා කිත්තන්ගේ කියලා එකක්. අපේ පංතිවල ගොඩක් දමිල මිත්‍රයන් හිටියා. අසු තුනේ ආත්මාර්ථකාමි දේශපාලකයින් උතුරේ සහ දකුණේ එකතු වෙලා ගිනිතියනකම් මේ රටේ අපි දැනගෙන හිටියෙත් නැහැ අපි අතරේ යම්කිසි භේදයක් ඇති කරන්න හදනවා කියලා.
යාපනය පුස්තකාලයට ගිනි තියන්න දකුණෙන් ආපු ඒ දේශපාලකයින් රාත්‍රී කෑම කෑවේ මේ උතුරේ දේශපාලකයින්ගේ ගෙවල්වල කියලා ඔබ දන්නවාද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මම ඔබට ආයාචනා කරන්නේ සිංහල කියලා මහ ජාතියක්වත්, දෙමල කියලා සුළු ජාතියක්වත් නැහැ. ශ්‍රී ලාංකිකයින් හැටියට සභ්‍යත්වය විශ්වාස කරමින් අපි සියලු දෙනාම එකමුතු මහා ජාතියක් බව අපි එකග වෙන්න ඕන කාරණයක්.
තරුවේ වෙනස දැනගන්න කැමති ද...?
මට වගකීමෙන් කියන්න පුළුවන් කොළඹ සුඛෝපභෝගී ජිවිත ගත කරන මේ සියලු දේශපාලකයින් කරන්නේ ඔබ රැවටීම පමණයි. ඒකේ ප්‍රතිපලයක් හැටියට උතුරේ තරුණයින් කීදෙනෙක් මැරිලා තියෙනව ද? දකුණේ තරුණයින් කී දෙනෙක් මැරුණ ද? ආත්මාර්ථකාමී දේශපාලකයින් මේ ජාතිවාදය ඇතුළු බෙදීම් ඇති කරන්නේ තමන්ගේ සුඛ විහරණය සඳහා පමණක්ම යි. මෙන්න මේ බොරුව නවත්වන්න සංකේතාත්මකව ආදර්ශයක් දෙන්න තමයි අපි මේ යාපනයට ආවේ.
අපි හිතනවා උතුරේ ජනතාවත් නැගෙනහිර ජනතාවත් මේ රටේ ඉන්න සියලු ම දෙමළ, කතෝලික, හින්දු, බර්ගර් යනාදි ඒ සියලුම ජනතාවත් ඒ වගේම දකුණේ ඉන්න සිංහල බෞද්ධ ජනතාවත් සිංහල කතෝලික ජනතාවත් සිංහල ක්‍රිස්තියානි ජනතාවත් මේ හඬ තේරුම් ගනීවි කියලා. අපිට අවශ්‍ය නැහැ බෙදුණු ජාතිකත්වයක්. අපිට ඕන එකමුතු ජාතිකත්වයක්. ඒකයි තරුවේ වෙනස.
කතිරය ගහන්න කලින් හිතන්න දෙයක්
මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් කාන්තාවන්ට. කොච්චර අමාරුකම් තිබුණත් ගෙදර සතුට ආරක්ෂා කර ගනිමින් දරුවන් සහ ස්වාමි පුරුෂයා රැක ගන්නේ කාන්තාව. අද අපි ආවේ දකුණේ ආදරය අරගෙන. අපිට ඕන රට ගැන ඇති කරපු වැරදි අවබෝධය, දකුණ ගැන කියන වැරදි අවබෝධය වෙනස් කරලා අපගේ ආදරය ඔබට දීලා යන්න. උතුරේ ජනතාව අපිත් එක්ක ඉන්න. ඔබගේ සතුට ගැන සිතා අපි වැඩ කරනවා. අපි යන්නේ වෙනස් ම දේශපාලන ගමනක. අපි කවදාවත් කනගාටු හිතෙන දේශපාලනයක් කරන්නේ නැහැ. ඡන්දය දෙන්න පෙට්ටිය අස්සට ඔබ ගියාම දරුවන් ගැන හිතලා කතිරය ගහන්න. අපේ ආදරය කවදාවත් නැති වෙන්නේ නැහැ. අපි කරන්නේ බොරු දේශපාලනයක් නෙවේ.’’
ප්‍රජාත්‍රන්තවාදි වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී. තිලකසිරි
‘‘අපි වැඩ කරන්නේ පක්ෂ පාට භේදයකින් තොරවයි. ඒ නිසා තමයි අපිට ජනාධිපති ධුර අපේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් ඉන්නෙ. ඒ අතර දිලිත් ජයවීර ප්‍රධානයි. වාසුදේව නානායක්කාර ජල සම්පාදන ඇමති විදියට ඉන්න කාලෙ ඔහු විශාල ලෙස වැඩ කරා. ඒ නිසා තමයි ඔහු අප සමග එකතු වෙලා ඉන්නේ.’’
දිලිත්ට එරෙහිව උසාවි යන්නත් පුළුවන් - ගාමිණි වලේබොඩ
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ,
‘‘මේ ජනාධිපති ක්‍රමය පටන් ගත්ත හැත්තෑ අටේ සිට අද වෙනකම් ජනාධිපතිවරු රාශියක් පත් වෙලා තිබුණට කිසිම දවසක ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයා මුලින් තමන්ගේ රැස්වීම යාපනයේ පවත්වලා මට ඡන්දය දෙන්න කියලා ඉල්ලන්න ආවේ නැහැ. ඒ වගේම ඔබ ඒ සියලු ම ජනාධිපතිවරුන්ට හා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තෝරා ගන්නත් මිට කලින් අවස්ථා ගණනාවක් ඡන්දය පාවිච්චි කරලා ඇති. මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් තිස් අටක් ඉදිරිපත් වෙද්දි ඒ තිස්අට දෙනාගෙන් ම වෙනස් ජනාධිපති අපේක්ෂකයා තමයි දිලිත් ජයවීර.
අපි එහෙම කියන්නේ ඇයි? මිට කලින් ඔහු දේශපාලනය කරන්නේ නැතුව මෙවර දේශපාලනයට ප්‍රවේශ වෙලා ඔබ වගේ ම සාමාන්‍ය පවුලකින් ආපු, ඔබේ දුක හඳුනන, ඔබේ ගැටලුවලට විසදුම් දෙන්න පුළුවන්, අවංක චේතනාවකින් ආදරය අරගෙන ඔබ වෙත එන එකම අපේක්ෂකයා දිලිත් ජයවීර පමණයි. දේශපාලනය කරපු දේශපාලනය කරන නායකයින් ඔබට ඕන වෙලාවට හම්බ වෙන්න බැරි වුනාට දිලිත් ජයවීර ඕන වෙලාවක හමු වෙන්න ඔබට පුළුවන්. ඔහු එහෙම නායකයෙක්. සිංහල, දෙමල, මුස්ලිම් සහ අනිකුත් සියලු ජාතින් එකට අරගෙන සහෝදරයා කියලා කතා කරන්න පුළුවන්, අම්මේ කියලා කතා කරන්න පුළුවන්, අක්කේ, අය්යියේ කියලා කතා කරන්න පුළුවන් නායකයෙක් විදියට තමයි අපි ඔබට ඔහුව ඉදිරිපත් කරන්නේ. අනාගතයෙ දි මෙලොව එළිය දකින්න ඉන්න දරුවන්ගේ ගැටලු පවා විසඳන්න දිලිත් ජයවීර සුදානම්. එහෙම කියලා ආපු ජනාධිපතිවරු ඒවා ඉටු නොකර ඉන්න විට ඔබට කරන්න දෙයක් තිබුණේ නැහැ. එහෙම තමයි මීට පෙර තිබුණ තත්ත්වය.
හැබැයි මෙතුමා වෙනස්. මෙතුමාට ඒ දේවල් ඉටුකර ගන්න බැරි වුණොත් ඔබට පුළුවන් උසාවියට ගිහින් ඔහුට එරෙහිව නඩු කියලා ඔහුගෙන් ඒ පොරොන්දු වුන දේවල් ඉටු කර ගන්න. එවැනි දෙයක් කරන එකම ජනාධිපති අපේක්ෂකයා තරුවෙන් ඉදිරිපත් වන දිලිත් ජයවීර පමණයි. ඒ නිසා ඔහු අනිවාර්යෙන්ම ජනපති කරන්න ඕනෑමයි.’’
ඔබට ජය ලැබෙන්නෙ මෙහෙමයි -ගෙවිදු කුමාරතුංග
පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග,
‘‘අද අපිට ඓතිහාසික දිනයක්. අද අපි යාපනයේ සිට ඔබව අමතනවා. අපි සිහින දකින ශ්‍රී ලංකාව සිංහල දකුණත්, දෙමළ උතුරත් ද? නැහැ නැහැ නැහැ... ඔබෙත් අපෙත් එකම ශ්‍රී ලංකාවක්; එකමුතු ශ්‍රී ලංකාවක්. අපි සාමයට වඩා සමගිය ගැන වැඩි බරක් තබා තිබෙනවා. සුසාන භූමියේත් සාමය තියෙනවා. යුද්දය නතර වූ තැන සාමය තියෙනවා. ඒත් සමගිය ධනාත්මක දෙයක්; එය අප විසින් ළඟා කර ගත යුතු දෙයක්; එය අපේ සහෝදරත්වය මත ගොඩනැගෙන දෙයක්. අපි බලය ලබා ගත් සැණින් ක්‍රියාත්මක කළ යුතු අත්‍යවශ්‍ය නිවැරදි කිරීම් සිදු කරනවා.
උතුරු නැගෙනහිර පළාත්වලට විශේෂිත වූ කුල පීඩනය අහෝසි කිරීම සඳහා දැනට පවතින සමාජ දුබලතා වැළක්වීමේ පනත ශක්තිමත් කිරීම හා බලගැන්වීම අපේ එක් ප්‍රධාන ප්‍රතිඥාවක්. අපිට දැනගන්න තිබෙනවා උතුරේ ඇතැම් දේශපාලකයින් විග්නේශ්වරන් ඇතුළුව මේ උතුරු පළාත වෙනුවෙන් වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනව කියලා. මේ අය කරන්නේ මොන තරම් බොරුවක්ද...? විග්නේශ්වරන් ඉගෙන ගත්තේ මොන පාසලේද? කොළඹ රාජකීය විද්‍යලයේ. ඔහු ශේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් වශයෙන් විශ්‍රාම ගන්න තෙක් ජිවත් වුණේ කොහෙද? ඒ ඔහු අද දකුණ කියලා බෙදන ප්‍රදේශයේ; ඔහුගේ දරුවන් දෙදෙනාම එකේ පන්තියේ සිට අධ්‍යාපනය අවසන් කරන තෙක් ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ. දැන් ඔහුගේ දරුවන් ඉගෙන ගන්නෙත් රාජකීය විද්‍යාලයෙන්. දැන් ඒක මදි වෙලා ජාත්‍යන්තර පාසල්වලට යනවා. මොවුන් ඔබේ සහෝදරයෝ ද? සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉගෙන ගත්තේ රාජකීය විද්‍යාලයේ. ඔහුගේ දරුවන් ඉගෙන ගත්තෙත් රාජකියේ. ඇයි එහෙනම් ඔවුන් වෙනම උතුරක් ගැන කතා කරන්නේ...? ඒක පහත් ක්‍රියාවක්. මේ රැවටීම අවසන් කළ යුතුයි. ඒ නිසා ඔබේ ඡන්දය තරුව ලකුණට, දිලිත් ජයවීරට ලබා දෙන්න. එවිට ඔබට ජය ලැබේවි.’’
අපි එකතුවෙලා ගමනක් යනවා - අනුරාධා යහම්පත්
නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්.,
‘‘අද ඓතිහාසික දිනයක්; අපේ මව් රටේ අනාගතය වෙනස් කරන දිනයක් සතුටු දැයක් නිර්මාණය කරන දිනයක්. මව්බිම සංවර්ධනය කර ගැනීමට නම් සභ්‍යත්ව රාජ්‍ය මත ගොඩනැගුනු දියුණුවක් කරා අප යා යුතු වෙනවා. ඒ සභ්‍යවත්ව රාජ්‍ය කියන්නේ ඔබත් අපත් මුළු රටම එකට එකතු වී ගොඩනගා ගන්න සභ්‍යත්වයයි. අද මේ රැස්වීම මුළු රටටම ආදර්ශයක්. අපිට කෙනහිලිකම් කරන සමහරක් ජාත්‍යන්තර බලවේගවලටත් බටහිර රටවල්වලටත් අපේ අසල්වැසි ඉන්දියාවටත් මේක හොඳ පණිවිඩයක්. අපි එකතුව ගමනක් යනවා.
ඒ වගේම අපේ රටේ කාන්තාවන්ට විශේෂිත වූ ගැටලු තියෙනවා. කාන්තාවන්ට නිසි තැන. නිසි ආරක්ෂාව ලැබෙනවද කියන එක ගැටළුවක් වෙලා තියෙනවා. වසර තිහක යුද්ධයකට ඍජුව මුහුණ දුන් ඔබට තියෙන ගැටලු අපිට දැනෙනවා. එම ගැටලු සඳහා අප ළඟ පිළිතුරු තිබෙනවා. ඒ සදහා අපේ නියෝජිතයා ජයග්‍රහණය කරවන්න කියලා ඉල්ලනවා.’’
අපි එකමුතුකම ආරක්ෂා කරනවා - උදය ගම්මන්පිල
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල,
‘‘උතුරේ ඔබයි දකුණේ අපියි එක පවුලක දරුවෝ. අපි අතර සමානකම් ඕනෑතරම් තියෙනවා. භාෂාවක ඇති වැදගත් ම වචනය තමයි අපිට ජීවය ලබා දුන්න කෙනාට කියන නම ඔබ කියන්නෙත් අම්මා. අපි කියන්නෙත් අම්මා. අක්කා, මාමා, තොසේ, පිට්ටු ඕනෑ තරම් සමාන වචන සිංහල සහ දෙමළ භාෂාවල තියෙනවා. අපි කෝවිලට ගිහින් ඔබේ දෙවියන් වදිනවා. ඔබ කෝවිල ඇතුළෙ ම අපේ බුදුහාමුදුරුවන්ට වඳිනවා. අපේ ඇඳුම් එක වගේ. කෑම එක වගේ. අපේ සංස්කෘතිය එක වගේ. අපිට එකට ඉන්න ඕන නම් අපිට ඒකට ඕනෑ තරම් හේතු තියෙනවා. ඒත් පොඩි පොඩි වෙනස්කම් පෙන්නලා අපිව භේද කරලා අපිව විනාශ කරන්න සුළු පිරිසක් උත්සහ කරමින් ඉන්නවා. ඒ අය ජාතිවාදය වපුරලා මන්ත්‍රීධුර ගන්නවා; ඒ අය වෛරය වපුරලා මුදල් හම්බ කරනවා. ඔබ හැමදාම දුක් විඳිනවා.
අපි දෙමළ ජනතාවට ආදරෙයි. ඒත් අපිව බෙදල වෙන් කරලා. අපි අතර වෛරය වපුරවන දෙමල බෙදුම්වාදයට අපි විරුද්ධයි. අපි දෙමළ සංස්කෘතියට ගරු කරනවා. ඒත් නැති කුල භේදයක් හදලා කෙනෙක් උසස් කෙනෙක් පහත් කියලා සලකනවට අපි විරුද්ධයි. බුදු හාමුදුරුවෝ දේශනා කළේ කෙනෙක් බ්‍රහමණයෙක් වෙන්නේ ක්‍රියාවෙන් මිස උපතින් නෙවේ කියලා. කවුරු හරි කුල භේදයක් ගැන කතා කරනවා නම් අන්න එයා තමයි පහත් ම කුලේ කෙනා. ජාති භේද නැති කුල භේද නැති එකමුතු ලංකාවක් බිහි කරන්න අපිත් සමග එකතු වෙන්න. උතුර දකුණ යා කරන පාලම බවට පත් වුන අරුන් සිද්ධාර්ථන්ට ජය වේවා.’’
විග්නේෂ්වරන් ස්වයං පාලනයක් ඉල්ලනවා - විමල් විරවංශ
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ,
‘‘තරුව ලකුණ අපේ බුදු දහමත් එක්ක බැදුණු ලකුණක්. ජනතාවට මග පෙන්වූ ලකුණක්. ඒ වගේ තමයි උතුරේ ජනතාවට, දකුණේ ජනතාවට, නැගෙනහිර ජනතාවට, වතුකරයේ ජනතාවට මග පෙන්වන තරුව දිලිත් ජයවීර පමණයි. ඔහු ජය ගන්නවා ම තමයි. මේ මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවේ ඉන්නවා ඔබ දන්නවා. උන්නැහේලා යාපනයේ දී හම්බ වෙන්න බැහැ. තමන්ගේ ප්‍රශ්නයක් ගැන ගිහින් කතා කරන්න බැහැ. අපි දකුණේ මන්ත්‍රීවරු. අපි මාසයකට සතියකට සැරයක් මහජන රැස්වීම් තියන්න ඕන. ඔවුන් ඇවිත් අපිට දුක් ගැනවිල්ල කියනවා. අපි ඒකට ඇහුම්කන් දීලා පුළුවන් ඒවා විසදනවා. විසඳුවේ නැත්තම් ඊළඟ පාර ගෙදර යන්න වෙනවා. සුමන්තිරන් ආව ද කලෙකින්? අනිත් අය ආවා ද කාලෙකින්? යාපනයෙන් ඡන්දය ඉල්ලලා දෙමල සිංහල ජාතින් ඇනකොටා ගන්න හැමදාම කතා කරන ඒ ලේ පිපාසිතයින් ආවා ද මිට කලින් ඔබලා හම්බ වෙන්න මේ ප්‍රදේශවලට?
මහජනතාව බදු ගෙවන මුදල්වලින් වසර ගාණක් විශ්‍රාම වැටුප ලබපු නඩත්තු වෙච්ච විග්නේශ්වරන් මහත්තයෝ උතුරට ස්වයං පාලනයක් ගෙන දෙන්න කතා කරන්නේ ඇයි? කවුද නිදහස් අධ්‍යපනය උතුරට දුන්නේ? සි. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා. සාමාන්‍ය දෙමළ මිනිහට සිංහලයාගේ සේරප්පුවලින් සපත්තු මහන්න හිතුණේ නැහැ. හැබැයි වෙල්ලාල පැළැන්තියේ මහත්වරුන්ගේ නෝනලාට හිතුණා සිංහලයාගේ හමෙන් සපත්තු මහන්න. ඒ නිසා අපි ඔක්කොම එකට එකතු වෙමු. සියලු ජාතින් එකට එකතු වෙමු. මේ රට ගොඩ නගන ලකුණ, මේ රට හදන ලකුණ තරුව පමණයි.’’
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථ, ලංකා ජනතා ජාතික පක්ෂයේ නායක විෂවකාන්තන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වී සිටියහ.
(සටහන - ජයසිරි අලවත්ත)