තමා බලයට පත් වූ විගස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව කේන්ද්‍රීය ප්රජාතන්ත්රවාදී ක්‍රමය ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ රුවන්වැල්ල දෙහිඕවිට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන රැළිය අමතමිනි.
මතු දැක්වෙන්නේ එම රැළියේ දී විපක්ෂ නායකවරයා කළ කතාවේ සංක්ෂිප්ත සටහනකි.
රනිල් කියන්නේ රාජපක්ෂලා ආරක්ෂා කරන අයිජීපී
‘‘ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා කියලා නායකයෝ හැමෝම කයිවාරු ගැහුවට ඒක වෙනස් වෙනස් කරේ නෑ. සමහර පාලකයෝ ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා කියලා දළදා වහන්සේ ඉදිරියේ පවා අත්සන් තැබුවා ජනාධිපති පුටුවට ගියාම ඔවුන්ට ඒවා අමතක වුණා. මට තනතුරු තාන්න මාන්න සම්බන්ධයෙන් ආසාවක් නෑ. ඒ නිසා තමා බලයට පත් වහාම, හැකි ඉක්මනින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තුව කේන්ද්‍රීය ප්රජාතන්ත්රවාදී ක්‍රමය නැවත ස්ථාපිත කරනවා.
මම වගකීම් බාර නොගත් බවට විවිධ පාර්ශ්ව කියමින් යනවා. රාජපක්ෂලා සිටින තැන තමා මම ඉන්නෙ නෑ. අද රටේ ජනාධිපති රාජපක්ෂලාට කත් ඇදලා, රට විනාශ කරලා, රට බංකොලොත් කරපු කණ්ඩායම්වල ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වෙලා; රාජපක්ෂලා ආරක්ෂා කරන අයි. ජී. පී. වී ටවලා; රාජපක්ෂලා රැකගන්න පොලිස්පති වෙලා.
මම ඩීල් දාලා නෑ
මම ප්‍රශ්නවලින් පැනල යන්නෙ නෑ. හැමදාමත්ම ජනාධිපතිවරණ අභියෝග ඉදිරියේ මම ඉදිරිපත් වෙලා තියෙනවා. මම වෙනත් අපේක්ෂකයෝ දාලා පක්ෂයේ නායකත්වය රැකගන්න ස්ථාවරයේ හිටියෙ නෑ. තව දින කිහිපයකින් එළඹෙන ජනාධිපතිවරණයේ දී හොරු සමග ඩීල් නැති දේශපාලන ගිවිසුම්වලට ජනමතය පාවා නොදෙන ඡන්දය ගත් ජනතාව අමතක නොකරන කෙලෙහිගුණ දන්නා යුගය බිහි කරනවා. ඒ යුගය පොඩි මිනිහා රජ කරන ස්වර්ණමය සංවර්ධන යුගය බවට පත් කරලා, මේ රට විනාශ කරපු; බංකොලොත් කරපු හොරු අල්ලන යුගය බවට පත් කරනවා. මට: හොරු, වංචාකාරයෝ, දූෂිතයෝ එක්ක ඩීල් නෑ. හොරු, වංචාකාරයෝ එක්ක ඩීල් නැති නිසා මම අනුප්‍රාප්තික ජනාධිපතිකම් බාගන්නෙ නෑ. මම ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති පුටුවට එන්නේ රටේ අයිතිකාරයා විදියට නෙවෙයි; තාවකාලික බාරකාරයා විදියට; පොදුජන සේවකයා විදියට; හොරු අල්ලලා, හොරු හොරා කෑ සම්පත් නැවත රටට ලබා ගන්නා ජනාධිපති විදියට.
දැන් රටේ හරි අඩක් දුප්පතුන් වෙලා
පළිගැනීම, වෛරය, ක්‍රෝධය, තන්හාව අසීමිත ලෙස බලය භාවිත කිරිම තියෙන හැමදේම උපයෝගී කර ගෙන ජනතාවගේ ඡන්ද බලයත් අහිමි කරලා තමන්ගේ පුටුව රැක ගැනීම වගේ ම ආත්මාර්ථකාමීත්වයෙන් ප්‍රචලිත වූ යුගයක ජිවත් වන මොහොතක ජන සමාජයේ බරපතළ අසාධාරණකම් තියෙනවා. ආදායම් බෙදී යාමේ විෂමතා තියෙනවා. රටෙන් හරි අඩක් දුප්පතුන් වෙලා. මේ අයට කිසිදු විසඳුමක් නෑ. නූපන් දරුවාගේ ඉඳලා කුඩා දරුවා දක්වාත්; මවු පරපුර, යොවුන් පරපුර, සිසු පරපුර, වැඩිහිටියන් ආදී සමස්ත ජනතාවම අසීමිත විදියට පීඩනයට සහ අසහනයට ලක්වෙලා.
ජනතාව දුප්පත් වෙලා, ජනාධිපතිගේ මිතුරෝ පොහොසත් වෙලා
ඇත්ත කතා කරන නිර්ව්‍යාජ විනිවිදභාවී මෙන්ම දූෂණය වංචාව හොරකම තුරන් යුගය යුගය සමගි ජන බලවේගය නිර්මාණය කරනවා;ආර්ථික පුනරුදයක් ඇති කරනවා. මේ වන විට රටේ ආර්ථිකය සිරගත කරලා. ක්ෂුද්‍ර හා සාර්ව ආර්ථිකය කොටුකරලා. රටේ කිසි ප්‍රශ්නයක් නෑ කිව්වට, පොලිම් නෑ කිව්වට හැමදේම ස්ථායීකරණයට ලක් වෙලා කිව්වට පෝලිම් නැති කරල තියෙන්නෙ සහනාධාර කපලා, මිල වැඩි කරලා, අසහනය වැඩි කරලා සහ ජනතාවගේ ජන ජීවිත කුඩා කරලා. ජනාධිපතිවරයාට හිතු හිතු ආකාරයට රට සවාරි යාම, ගජමිතුරන්ට ගෝලයන්ට කොන්ත්‍රාත් ලබා දීම, ලාබ ලබා දීම ආදිය නම් අපූරුවට කෙරෙනවා. මේ වන විට තුන්වේල කන්න නැති ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සිටින මේ රටේ ඒ ජනතාව දුකින් මුදවන යුගය සැප්තැම්බර් විසිඑකවෙනිදා නිර්මාණය කරනවා.’’
(සටහන - ජයසිරි අලවත්ත)