theleaderlk 01

බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට මේ

දක්වාම අපොහොසත් වූ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) සත්‍ය හෙළි වීම වලක්වන්නට වීරිය දරමින් සිටින බවට  දැඩි විවේචනයට ලක්ව සිටී.

මුලතිව් දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි මරියසුරේෂ් ඊශ්වරී මාතාව අගෝස්තු18 ඉරිදා මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කළේ සිය සමීපතමයන්ට යුක්තිය ඉල්ලා දීර්ඝ අරගලයක යෙදී සිටින දෙමළ මව්වරුන්ට තර්ජනය කරමින් මරණ සහතික ලබා දීමට උත්සාහ දරන OMP කාර්යාලය මිනිස් අස්ථි ගොඩගත් මුලතිව් සමුහ සුසාන භුමියද වසා දැමීමට කටයුතු කළ බවයි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ආණ්ඩුවේ බලය යොදා ගනිමින් අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට තර්ජනය කරන බවට මරියසුරේෂ් ඊශ්වරී මාතාව එහිදී තව දුරටත් චෝදනා කර තිබුනි.

" බලහත්කාරයෙන් අතුරුදන් කළ අයගේ නෑදෑයන් වන අපි කොපමණ ප්‍රශ්න වලට මුහුණ දෙමින් සිටියදීත්, අපිට  ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව පුන පුනා අවධාරණය කළත් ආණ්ඩුව දේශීය යාන්ත්‍රණය ගෙනල්ලා ඒ තුලින් OMP ශක්තිමත් කරමින් සිටිනවා. ඒ ශක්තිය පාවිච්චි කරලා අදත් අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට තර්ජනය කරලා, පරීක්ෂණයට එන්න කියලා ලක්ෂ දෙකක් දෙනවා කියලා අම්මලාගෙන්  අත්සන් අරගෙන මරණ සහතිකය දෙන්න සූදානම් වෙනවා."

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගෙන් පසුගිය 15 වැනිදාත් අත්සන් ලබා ගත් ආකාරයත් ඇය එහිදී සදහන් කර තිබුනි.

 

බලහත්කාරයෙන් අතුරුදහන්කරවුවන් වෙනුවෙන් යුක්තිය ලබා දෙන බව පවසමින් ආණ්ඩුව යෝජනා කර තිබෙන අතුරුදන්වූවන් සඳහා නිකුත් කරන සහතිකය ලබා ගැනීමත්, වන්දි මුදල් ලබා ගැනීමත් තම සමීපතමයන් අහිමිව සිටින උතුරු නැගෙනහිර දෙපළාතේ යුද වින්දිත දෙමළ මව්වරු ප්‍රසිද්ධියේම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර සිටිති.

 

මරියසුරේෂ් ඊශ්වරී සභාපතිනිය සති අන්තයේ දී තව දුරටත් පෙන්වා දී තිබුනේ යුද පීඩිත වන්නියේ බොහෝ ප්‍රදේශවල මිනිස් සිරුරු කොටස් හමුවීම ගැන ඒ ප්‍රදේශවල ජනතාව හරහා මේ වන විටත්  තොරතුරු වාර්තා වන බවයි.

"මිනිස් අස්ථි කොටස් හුඟක් ප්‍රදේශවල තියෙන බවට ඒ ප්‍රදේශවල ජනතාව අපිට දැනුම් දෙමින් ඉන්නවා. මේ ආකාරයට අපේ  සහාය නැතිව මිනිස් සුසාන භුමිය වසා දමමින් OMP කාර්යාලය අති විශාල මුදල් ප්‍රමාණයක් එකතු කරලා, එයාලා සක්‍රීයව වැඩ කරනවා කියලා ජාත්‍යන්තරයට පෙන්නුම් කරලා, අපි යට කරන්න OMP කාර්යාලය කටයුතු කරනවා. "

අවුරුද්දකට මදක් වැඩි කාලයක් ගතකොට පුද්ගලයන් 52 දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගැනීමෙන් අනතුරුව කොක්කුතොඩුවායි සමුහ සුසානයේ කැනීම් කටයුතු 2024 ජුලි 15 වැනිදා නිමා  කර තිබුනි.

එම සමුහ සුසානය වසා දැමීමට ක්‍රියා කිරීම ද දැඩි ලෙස හෙළා දකින මරියසුරේෂ් ඊශ්වරී මාතාව සිය හෙලා දැකීමට හේතුද පැහැදිලි කර තිබුනි.

"බොහෝ මිනිස් ඇට සැකිලි ඒ අවට ප්‍රදේශයේ පවතින බව අපිට දැනගන්නට ලැබුනා. ඒ අවට ප්‍රදේශය තවත් පරීක්ෂා කළ යුතුයි. සම්පූර්ණ පරීක්ෂණයක් කරලා අපිට යුක්තිය  ඉටු කිරීමට ජාත්‍යන්තරය ඉදිරිපත් විය යුතුයි. මේකේ මොකක්ද උනේ කියලා දැනගන්න අපි බලාගෙන හිටියා. නමුත් අද අපි ඉන්නේ කලකිරීමෙන්.

 

කොක්කුතොඩුවායි සමූහ සුසානය සම්බන්ධ නඩුව මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් ඉදිරියේ අගෝස්තු 8 වැනි බ්‍රහස්පතින්දා විභාගයට ගැනීමෙන් අනතුරුව සමුහ සුසානයේ සිරුරු ගොඩගැනීමේ කටයුතු නිරීක්ෂණයට එක් වු නීතිඥ වී එස් නිරංජන් පළාත් බද මාධ්‍යවේදීන්ට කියා තිබුනේ සමුහ සුසාන භුමිය හමුවු ඉඩම නැවත එහි හිමිකරුවන්ට ලබා දීම සම්බන්ධයෙන් මීළඟ නඩු දිනයේදී දැනුම් දෙන බවට OMP කාර්යාලය අධිකරණයට දැන්වු බවයි.

 

"සුසාන භුමිය නැවත එහි හිමිකරුවන්ට ලබාදීම සම්බන්ධයෙන් මීලඟ නඩු දිනයේදී දැනුම් දෙනවා කියලා OMP කාර්යාලය දැනුම් දුන්නා."
වසා දමන ලද සමූහ සුසානයෙන් ගොඩගත් සිරුරු කොටස් යුද්ධාවසානයේ අතුරුදහන් වුවන්ගේදැයි සොයාගැනීමට අපේක්ෂා කරන බව (OMP) සභාපති නීතිඥ මහේෂ් කටුලන්ද කැනීම් බිම අසලදී පළාත් බද මාධ්‍යවේදීන්ට කියා තිබුණි.

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් 2023 ජුනි අගදී මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කැබලි අහම්බයෙන් හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.

 
 

pe2024 2

worky sin

නවතම පුවත්