theleaderlk 01

මෙවර ජනපතිවරණයේ දී හොරකම නැවැත්වීමට ප්‍රායෝගික යෝජනාවක් ගෙනැවිත් තිබෙන්නේ දිලිත් ජයවීර පමණක් බව

උදය ගම්මන්පිල පවසයි.

හෙතෙම මෙලෙස පැවසුවේ අද (20) දින පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.

මතු දැක්වෙන්නේ එම මාධ්‍ය හමුවේ දී උදය ගම්මන්පිල කළ අදහස් දැක්වීමේ සංක්ෂිප්ත සටහනකි.

වැදගත් වෙන්නෙ හොරකම නැවැත්වීම

‘‘සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක මහත්වරුන් හොරු අල්ලන බව මන්තරයක් වගේ මැතිරුවට මෙවර ජනපතිවරණයේ දී හොරකම නැවැත්වීමට ප්‍රායෝගික යෝජනාවක් ගෙනැවිත් තිබෙන්නේ සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා විතරයි. සජිත් ප්‍රේමදාස මැතිතුමාත් අනුර දිසානායක මැතිතුමාත් මන්තරයක් වගේ මතුරන දෙයක් තමයි මම ජනාධිපති වුණාම හොරු අල්ලනවා කියනවා ඒක.  ඒ මහත්වරු නොදන්නවා වුණත් එක්දහස් නවසිය හැත්තෑ හතේ දී ජේ ආර් කිව්වෙත් හොරු අල්ලනවා කියලා.  එක්දහස් නවසිය අනූ හතරෙ දි චන්ද්‍රිකා කිව්වෙත් හොරු අල්ලනවා කියලා.  දෙදහස් පහළවේදි සිරිසේන කිව්වෙත් හොරු අල්ලනවා කියලා.  නමුත් අල්ලපු හොරෙක් නෑ.  කෙහෙල් හොරු වගේ නොවේ සුදු කරපටි හොරු අහු වෙන්න හොරකම් කරන්නේ නෑ.  ඒ නිසා හොරකම් කළාට පස්සේ හොරා පස්සෙන් දුවන එක වෙනුවට හොරකම් කිරීම නැවැත්වීමයි වැදගත් වෙන්නේ.

දිලිත් මැතිතුමා හොරු නැති කරන්නේ සල්ලි නැති කරලා; කාසි සහ නෝට්ටු භාවිතය සම්පූර්ණයෙන් තුරන් කරලා. ක්‍යුආර් කේතයක් හරහා බැංකු ගිණුමෙන් බැංකු ගිණුමට මුදල් මාරු කරන ක්‍රමයක් එතුමා යෝජනා කරලා තිබෙනවා.  එතකොට සෑම ගනුදෙනුවක් ම බැංකුවල සටහන් වෙනවා.  ආණ්ඩුවට අධීක්ෂණය කරන්න පුළුවන්.  එතකොට කාටවත් අල්ලසක් ඉල්ලන්න බෑ.  ව්‍යාපාරිකයින්ට ආදායම අඩුවෙන් පෙන්වලා බදු ගෙවීම පැහැර හරින්න බෑ.  ජනතාවට ඔප්පුවේ වටිනාකම අඩුවෙන් දාලා මුද්දර ගාස්තු පැහැර හරින්න බෑ.  ලොකු පොඩි භේදයකින් තොරව රටේ කාටවත් හොරකම් කරන්න බෑ. දැන් නම් අපේ වැඩ පිළිවෙල එකිනෙකා හොරකම් කරමින් ඉන්න බවනම් ඔවුන්ගේ ප්‍රකාශ දැක්කම පේනවා.

 
සජබ ගන්නෙ බේරෙ වැව වගේ මිනිස්සු
ජවිපෙ නලින්ද ජයතිස්ස මැතිතුමා කියනවා චම්පික අපේ පස්සෙන් ආවා.  අපි එයාව භාර ගත්තේ නෑ කියලා.  ආණ්ඩුව කියනවා රනිල්ව වර්ණනා කරමින් හිටියට අපි චම්පිකව ගත්තේ නෑ කියලා. එතකොට චම්පිකගේ තුන්වන තේරීම තමයි සජිත්. අනුර සහ රනිල් දෙන්නාම ප්‍රතික්ෂේප කළ නිසා තමයි චම්පික සජිත් ගාවට යන්නේ.  අර රත්තරන් හොරෙන් ගෙනාව අලි සබ්‍රිවත් ගත්තු රනිල් චම්පිකව ගත්තේ නෑ කිව්වාම ගල්අඟුරු ගිල්ලාම කෙතරම් කළු වෙනවා ද කියන එක හිතා ගන්න පුළුවන්.  කවුරුත් ගන්නේ නැති අයව සජබ ගන්නේ කාගෙත් කුණු එකතු වෙන බේරේ වැව බවට සජබ පත් වෙලා ද කියලා අපි අහන්න කැමැතියි.
 

සජබ කියන්නෙ රනිල්ගෙ දරුවෙක්
ආයෝජන මණ්ඩලය අහෝසි කරලා එහි බලතල ජනාධිපති අතට ගන්න ආර්ථික පරිවර්තන පනත ගෙනාවාම සජබ කෑගැහුව්වේ ජනාධිපති ඒකාධිපතියෙක් වෙන්න හදනවා කියලා.  දැන් සජිත් මොකද කියන්නේ?  ආයෝජන අනුමත කරන one stop shop බවට ජනාධිපති ලේකම් කාර්යාලය පත් කරනවාලු.  එතකොට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයක් මොකටද ? ආයෝජන මණ්ඩලයක් මොකටද?  ආයෝජන ප්‍රවර්ධන ඇමතිගේ බලතල ජනාධිපති යටතට ගන්නයි සජිත් හදන්නේ.  

ඊට පස්සේ ජනාධිපති කාර්යාලයේ ශාඛා සෑම දිස්ත්‍රික්කයක ම දානවාලු. මොකක්ද මේ සජිත් කරන්න යන්නේ? රනිල්ට ඒකාධිපතියා කියමින් රනිල්ටත් වඩා ජනාධිපති බලය පතුරන එකයි කරන්න යන්නේ. අමතක කරන්න එපා. සජබ කියන්නේ එජාපයේ කුසේ වැඩුණු රනිල්ගේ එකම දරුවා. සජිත්ගේ ජීවවිද්‍යාත්මක තාත්තා ආර් ප්‍රේමදාස මැතිතුමා වුණත් දේශපාලන තාත්තා රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. ප්‍රේමදාස මැතිතුමා මොලේ පාවිච්චි කරලා සජිත්ව දේශපාලනයට ගෙන ඒම ප්‍රතික්ෂේප කළා. එහෙව් සජිත්ට එක්දහස් නවසිය අනු හතරෙදි නාමයෝජනා දුන්නේ රනිල්. ඒ නිසා රනිල් පරදන්න සජිත්ට ඡන්දේ දෙනවා කියන්නේ රාජ්‍ය බලය වම් අතින් දකුණු අතට මාරු කරනවා කියන එක විතරයි.’’
 
පිවිතුරු හෙළ උරුමය කොළඹ දිසා සංවිධායක ශිරන්ත ජයලත් ද මෙහිදී අදහස් දැක්වු අතර පිවිතුරු හෙළ උරුමය නැගෙනහිර කොළඹ ආසන සංවිධායක සරත් ඩයස් ද මෙම මාධ්‍ය හමුවට එක්විය.

(සටහන - ජයසිරි අලවත්ත)
 

 
 

pe2024 2

worky sin

නවතම පුවත්