theleaderlk 01

ජනතා විමුක්ති පෙරමුණෙන් කිසිදු හොරෙක් නොඇල්ලූ බවත්, ඔවුන් කළේ දූෂණ විරෝධී ෆයිල් ප්‍රදර්ශනය කරමින් තැන තැන යෑම පමණක්

බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසී ය.

හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (19) නීලම්මහර ප්‍රදේශයේ දී පැවැති ජන හමුවකට එක් වෙමිනි.

මතු දැක්වෙන්නේ චම්පික රණවක එම අවස්ථාවේ දී කළ පූර්ණ අදහස් දැක්වීම ය.

අද සටන සජබ සහ ජාජබ අතර පමණයි

“සැප්තැම්බර් විසි එක්වෙනිදා ඔබ අප සියලු දෙනාටම අතිශය වැදගත් ජනාධිපතිවරණයක් එනවා. ඒ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ බරපතළ කරුණු ගණනාවක් සිද්ධ වූ රටක. දැන් මේ රටේ පාලනය කිරීමේ අනාගතය තීරණය කිරීමේ බලය අපේ රටේ ජනතාවට සම්පූර්ණයෙන්ම නැහැ. අපේ ණය හිමියන් තමයි අද රට පාලනය කරන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. අපි දන්නවා අපි උනත් ව්‍යාපාරයක් කරන්න බැංකුවකින් ණයක් ගත්තහම ඒ ණය ගෙවා ගන්න බැරි වුනහම අපේ ඉඩම් දේපළ බැංකුවට සින්න වෙලා. ඒ බැංකුව අපේ අයිතිකාරයා වෙනවා. ඒ වගේ තත්ත්වයක් තමයි අද ශ්‍රී ලංකාවට ඇති වෙලා තියෙන තත්ත්වය.

දෙවෙනි කාරණය මේ රටේ ඇති වූ ඒ අරගලයත් එක්ක, මේ රටේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ගැන විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාවේ විශාල වේදනාවක් එක්ක ඒ දේශපාලන පක්ෂත් එක්ක කෝපයක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා ඇතැම් අය මේ අවස්ථාවේ දී ඒ කෝපාග්නියෙන් ප්‍රයෝජන ලබන්න උත්සාහ කරනවා. වෙනද නම් ඡන්ද තියන්නේ ආණ්ඩුවයි විපක්ෂයයි එක්ක. මේ පාර ඒ මැතිවරණය විපක්ෂයේ කණ්ඩායම් දෙකක් අතර එනම් සමගි ජන බලවේගයයි, ජාතික ජන බලවේගයයි අතර සටනක් බවට පත්වෙලා තියෙනවා. ආණ්ඩුව ගැන අද කතා කරන්න කිසිම කෙනෙක් නෑ.


අපි නොහිටින්න මහින්ද යුද්ධෙට යන්නෙ නෑ

මේ රටේ අද නොයෙක් දෙනා නොයෙක් දේවල් කියනවා. අපි, දෙදහස් දාහතරෙ දි බොහොම අභියෝග මැද තමයි එළියට ආවේ. එළියට ඇවිල්ලා අභියෝග කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට. ඇයි? එතුමා රට බේරගත්තයි කියලා බොහෝ දෙනෙක් එතුමාට ගෞරවය දුන්නට අපි නොහිටින්න එතුමා ඒ යුද්ධෙට යන්නෙත් නෑ. කෙසේ නමුත් ඒ යුද්ධයෙන් රට නිදහස් වුණාට පස්සේ එතුමයි, එතුමගේ පවුලේ අයයි රට කොල්ල කන්න ගියාට පස්සේ ඒ ගැන අනතුරු අඟවලා තමයි අපි එදා ඉදිරියට පය තැබුවේ.

අපිට පුළුවන් වුණා අපරාජිතව හිටපු මහින්ද රාජපක්ෂව පරාජය කරන්න. ඒ වගේම මේ කැස්බෑව, මහරගම, හෝමාගම යනාදි ප්‍රදේශවල මහා දැවැන්ත වැඩි ඡන්දයක් තිබුණු මහින්ද රාජපක්ෂ කඳවුර ඒ වැඩි ඡන්දය අවම කරලා එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා. ඡන්ද හත් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අරගෙන ඒ මහ මැතිවරණයත් අපි ජය ලැබුවා. ඒ වගේම දෙදහස් දහනමයෙදිත් අපි වෙන කොහේවත් ගියේ නෑ. ඒ කඳවුරේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වුණා. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට එරෙහි වුණේ එතුමාට ඒ ජනාධිපතිවරණය නෙවෙයි රට ඉදිරියට ගෙනියන්න හැකියාවක් නැති බව අවබෝධ කරගෙන. එතුමාට ඉතාමත්ම අඩු ඡන්ද සංඛ්‍යාවක් ලැබීමෙන් ඒක මැතිවරණයෙ දි ඔප්පු වුණා.

මහින්දට දිය යුතු හොඳ ම දඬුවම

ගෝඨාභය බලයට පත්වෙලා මුලින් ම අත්අඩංගුවට ගත්තේ මාව. හිතුවා අපිව මර්දනය කරන්න; අපිව බය කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි ඒ අරගලය ඉදිරියට ම ගෙන ගියා. ඒ වගේම ඔහුටත් අන්තිමට රට දාලා යන්න සිද්ධ වුණා. මාව අත්අඩංගුවට ගත්ත වෙලාවේ මම ඔහුට විවෘතව කිව්වා ඔහුව මේ රටේ ආරක්ෂක ලේකම් කරන්නත් අපි තිරෙන් පිටුපස වැඩ කරපු අය බව. අද ජනතාවගේ හිරගෙදර ඉන්නේ අපි නෙවෙයි ඔබතුමයි කියලා අපි එතුමාට අපි කිව්වා. දැන් ඒ සියල්ල සැබෑ වෙලා. ඒ රාජපක්ෂවරු දේශපාලනයෙන් අතුගෑවිලා යන තත්ත්වයක් ඇති වෙලා. \

දෙදහස් විසි දෙකේ ජූලි නමවෙනිදා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඡන්දෙන් නෙමෙයි මහජන නැගිටීමකින් මේ රටේ ආණ්ඩු පෙරළියක්, ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා පලවා හැරීමක්, ආණ්ඩුව පලවා හැරීමක් සිද්ධ වුණා. හැබැයි ඉන් පස්සේ නැවතත් දැන් මේගොල්ලෝ පම්පෝරි ගහගෙන එනවා. මේ රටේ උසස්ම අධිකරණය වූ ශ්‍රේෂ්ඨාධිකරණය රට බංකොලොත් කිරීමේ වගකීම සහ එහි වරද: මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහත්තයාට ලබාදීලා තිබුණත්, බැසිල් මහත්තයලා, මහින්ද මහත්තයලා ආයෙත් පොහොට්ටුවේ නමින් නාමල් පුතා ගේනවා.

 මතක තියාගන්න මහින්ද රාජපක්ෂ හිරේ දාන්න එහෙම නැත්නම් බැසිල් රාජපක්ෂ හිරේ දාන්න දැඩි දඬුවම් දෙන්න බොහෝ දෙනෙක් කතා කරනවා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයට බැසිල් මහත්තයට දෙන්න තියෙන හොඳම දඬුවම තමයි නාමල් පුතාව බින්දුවට බස්සන එක. ඒ නිසා පුළුවන්නම් සැප්තැම්බර් විසි එක වෙනකම් ‘රාජපක්ෂලාට බින්දුවයි රාජපක්ෂලට බින්දුවයි’ කියලා මන්තරේ වගේ මතුරන්න. ඒක තමයි මහින්ද මහත්තයට ඉතිරි ජීවිත කාලයේ දෙන්න පුළුවන් ලොකුම දඬුවම. අන්න ඒ දඬුවම දෙන්න ඔබට අද්විතීය අවස්ථාවක් මේ ජනාධිපතිවරණයේ ලබන විසි එක්වෙනිදට ලැබෙනවා.

සැප්තැම්බර් 21 ලැබෙන අනගි අවස්ථාව

ඊළඟට ඔබට මතක ඇති ගෝඨාභය බලයට ආවේ කොහොමද කියලා. රටක් බියවද්දලා, මහා පරිමාණ ආරක්ෂක ප්‍රශ්නයක් තියෙනවා කියලා, සිංහල බෞද්ධකම ඉතාමත්ම පහත් විදිහට පාවිච්චි කරලා, මුස්ලිම් ජනයා ගැන විශේෂයෙන්ම අර ශාපි ශාබ්දීන් වැනි වෛද්‍යවරු ගැන සම්පූර්ණ බොරු කතා පතුරවලා, බෞද්ධයෝ ඉතාම ආඩම්බරයෙන් හිටපු සත් සතියේ හිටපු මුචලින්ද නාග රාජයාවත් කැළණි ගඟෙන් මතු කරලා, රටේ මාධ්‍ය නාටකයක් මගින් තමයි කරළියට ආවේ. එදා හිටිය කට හැකරයෝ දෙතුන් දෙනෙක් රට වටේ උස්සන් කියාගෙන ගියේ ‘මේ ඉන්නේ දුටුගැමුණු මේ ඉන්නේ ධර්මපාලතුමා’ කිය කිය මේ රට රැවැට්ටුවා. ඒ වගේම මේ රටේ මිනිස්සු ඒ නාටකයට රැවටුණා. ඒ වගේම ඒගොල්ලන්ට දුන්නා බලගතු අමාත්‍යාංශයක්. තෙල් පෝලිම් හැදුවේ වෙන කවුරුවත් නෙවෙයි. ඒ අමාත්‍යාංශ භාර දීපු වැඩ බැරි ඇමතිලා ටික එක්කහු වෙලා. දැන් ඒගොල්ලෝ පොහොට්ටුවෙන් ගැලවිලා වෙනම ඇවිල්ලා තියෙනවා.

දෙදහස් දහනමයෙ අපිව රවට්ටලා හෙළ ගොවිතැන නමින් මේ රටේ තිබුණු ගොවියාව විනාශ කරපු, ධම්මික පැණිය ගෙනල්ලා තිස්දාහක් කොවිඩ්වලට බිලි කරපු ඒ විතරක් නෙවෙයි තෙල්, පෝලිම් හදලා, මිනිස්සු තෙල් පෝලිම්වල මරවපු, විදුලි අර්බුදයක් හදලා, විදුලි අර්බුදයෙන් රට අර්බුදයට යවපු ඒ කණ්ඩායමත් අද මැතිවරණයට ඇවිල්ලා තියෙනවා. අන්න ඒගොල්ලන්වත් බිංදුවට බස්සලා ඒ කට හැකර නඩය සදහටම දේශපාලන කුණු කූඩෙට දාන්න ඔබට රත්තරන් අවස්ථාවක් ලබන සැප්තැම්බර් විසි එක්වෙනිදට ලැබෙන බව මතක තබා ගන්න.

කරන්න බෑ කියපු වැඩ අපි කරලා පෙන්නුවා

රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා එතුමා ස්ථාවරත්වය ගෙනාවයි කියලා. එතුමා ස්ථාවරත්වය ගෙනාවේ කොහොමද? සියලුම ණය ගෙවීම් කල් දමලා. අපි දෙදහස් විසි අටේ ඉඳන් තොග ගානේ ගෙවන්න ඕන; සියලුම ඩොලර් ණය දෙදස් විසිඅටේ  ඉඳන් දෙදහස් තිස් නමය වෙනකන් අඛණ්ඩව ගෙවන්න ඕනේ. මේ පරණ ණය. ඒ නිසා තමයි දැන් මේ තාවකාලික තත්වයක් ඇතිවෙලා තියෙන්නේ, ඒක පළවෙනි දේ. ඊළඟට අද ලයිට් තියෙනවා තමයි, අද තෙල් පෝලිම් නෑ තමයි. අද ගෑස් තියෙනවා තමයි. අද බෙහෙත් තියෙනවා තමයි, අද පොහොර තියෙනවා තමයි නමුත් මොකක්ද ඇත්ත? අද බෙහෙත්වල මිල ගණන් හතර පස් ගුණයකින් වැඩියි. පොහොර මිල ගණන්. රුපියල් තුන්සිය පනහ ට තිබිච්ච පොහොර මිටිය, රුපියල් එක්දහස් පන්සීයට තිබිච්ච පොහොර මිටිය, අද රුපියල් නමදාහයි එකොළොස් දාහයි  නේද?

ඒ වගේම, එදා අපි, යහපාලන කාලේ, මම තමයි බලශක්ති ඇමති; තෙල් ඇමතිකමත් කළා. මතකද? රුපියල් එකසිය පනස් හතට තිබිච්ච ‘අනූ දෙක’ පෙට්රල් අපි රුපියල් එකසිය දාහතරට ට දුන්නා නේද? රුපියල් එකසිය තිස් හතරට තිබිච්ච ඩීසල් අපි රුපියල් අනූ පහට දුන්නා නේද? අපි ඒ සහන දීලත් ඒ තෙල් සංස්ථාව ඉදිරියට ගෙනිච්චා නේද? ඒ විතරක් නෙවෙයි. විදුලි බල ගාස්තු රුපියල් දාසයයි විස්සට තිබිච්ච ඒකකය අපි පහළෙවට ගෙනල්ලා ලංකා විදුලිබල මණ්ඩලය ලාභ කරලා පෙන්නුවා නේද? එදා ලංකා විදුලිබල සමාගමේ සභාපතිවරයා හැටියට මේ බන්දුල චන්ද්‍රසේකර මහත්තයා තමයි ඒ සහන ඔබට ලබා දුන්නේ. ඒ විදියට අපි කරන්න බෑ කියපු වැඩ ටික කරලා පෙන්නුවා. නමුත් දැන් මොකද කරලා තියෙන්නේ? අද විදුලිබල මණ්ඩලය ලාභ කරලා තියෙන්නේ තුන් ගුණයකින් විදුලි ගාස්තු වැඩි කරලා කොච්චර වැඩි කරලද කිව්වොත්, මේ වැස්සත් එක්ක මහා විශාල ලාභයක් ලංකා විදුලිබල මණ්ඩලයට එනවා. මේ පසුගිය මාස පහේ විතරක් ඔවුන්ට ඇවිල්ලා තියෙන ලාභය රුපියල් පහළොස් දාහක්.  සෑම විදුලි පාරිභෝගිකයෙක්ගෙන් ම රුපියල් පහළොස් දාහක් වැඩියෙන් අරන් තියෙනවා. අපි ගෙව්වේ නැත්නම් ලයිටුත් කපලා අමතර දඩයකුත් ගහනවා. අපෙන් ගත්තට පස්සේ ඒ ගැන කතා බහක් නැහැ. තෙල් මිල ගත්තොත් අද පෙට්‍රල් ලීටරයක් මේ රටට එන්නේ රුපියල් එකසිය අනූපහට. විකුණන්නේ තුන්සිය පනහයි. මේ රටට ඩීසල් ලීටරයක් එන්නේ රුපියල් දෙසීයට. විකුණන්නේ තුන්සිය හතළිහට. අන්න එහෙම දැවැන්ත බදු ලාභ උපයලා තමයි අද මේ රටේ මේ මහා සමතයක් ඇති කළා කියල කියන්නේ. මේක සමතයක් ද, මේක ස්ථාවරත්වයක් ද? නෑ. සම්පූර්ණයෙන්ම මේ අර්බුදයට වගකිව යුතු ජාවාරම්කාර පිරිස වෙනම තැනක ඉන්නකොට මේ අර්බුදයට කිසිම විදිහකට වගකීමක් නැති, අසරණ ජනතාව මත බර පටවලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ස්ථාවරත්වය ගෙනල්ලා තියෙන්නේ.

මොන ආණ්ඩුව ආවත් ණය ගෙවන්න වෙනවා

ඒ වගේම එන්නෙ කවර ආණ්ඩුවක් ද? ඒ ආණ්ඩුවට දෙදහස් විසි අටේ ඉඳන් ණය ගෙවන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපි මෙන්න මේ දේ මතක තබා ගත යුතුයි. නැවත වතාවක් ජනතාවට සහනයකුත් දීලා, ආර්ථිකයත් වර්ධනය කරලා, ණය ගෙවන්න පුළුවන් රටක් හදලා, අපේ දරුවන්ට අනාගතය ගෙනියන්නෙ කොහොමද කියන එක අපි බලන්න ඕන මේ මැතිවරණයේදී. අන්න ඒ නිසයි අපි හොඳට තක්සේරු කරලා, මේ සමගි ජන සන්ධානය ශක්තිමත් කරලා, සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරවලා මේ රට මේ ස්ථාවරත්වයෙන් වර්ධනයක් තියෙන රටක් බවට ඒ වගේම සහන අවශ්‍ය මිනිස්සුන්ට සහන ලබා දෙන තැනක් බවට පත් කරන්න අපි කටයුතු කරන්නෙ.


අද කොළඹ කුණු කඳු ගැන කතා කරන්නේ නෑ

ඒ කාලේ කැස්බෑවේ මේ ප්‍රදේශ,: රත්තනපිටිය ආදී ප්‍රදේශ, දිවුල්පිටිය යනාදි ප්‍රදේශ විශාල වශයෙන් වතුරෙන් යට වුණා. ඒකට ගෝඨාභය මහත්තයා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ණයක් අරගෙන වැඩපිළිවෙලක් හැදුවා. ණය ගෙවලා තිබුණෙ නෑ. එදා ඉඩම් සංවර්ධන සංස්ථාව හැටියට ඒ වැඩපිළිවෙළ ගෝඨාභය කරන්න ගත්තා. වැඩේ අනාගත්තා කියලා අපි අත ඇරියේ නෑ. කැස්බෑව ගංවතුරෙන් නිදහස් රටක්. නිදහස් කලාපයක්. කොළඹ නගරය ගංවතුරෙන් නිදහස් ප්‍රදේශයක්. ඒ වගේම පාර්ලිමේන්තුව අද ගංවතුරෙන් නිදහස් කලාපයක්. අපි දැවැන්ත ව්‍යාපෘති කරලා, උමං මාර්ග හදලා, ඇළ මාර්ග හදලා ඒ ප්‍රශ්නය විසඳුවා. කොළඹ කුණු කඳු කඩා වැටුණා, මිනිස්සු ඒවාට යටවුණා. අද කොළඹ කුණු කඳු ගැන කතා කරන්නේ නෑ. කොළඹ කසළවලින් අද විදුලිය නිපදවන ව්‍යාපෘතියක් අපි ගෙනාවා. ඒ වගේම අපි මේ රටේ, මේ කලාපයේ දි ප්‍රධානම ප්‍රශ්නය වෙච්ච ප්‍රවාහන තදබදයට අපි විසඳුම ගෙනාවා. අපි මේ රටට හොඳ බස් රථ ඇණියක් ගේන්න වැඩපිළිවෙළ සකස් කළා. අපි හැදුවා මාකුඹුරේ හොඳ ප්‍රවාහන මධ්‍යස්ථානයක්. කඩවත හොඳ ප්‍රවාහන මධ්‍යස්ථානයක්.

අපේ ඊළඟ ඉලක්කය තිබුණේ මොරටුවේ හොඳ ප්‍රවාහන මධ්‍යස්ථානයක් හදන්න. හදලා සැහැල්ලු දුම්රිය සේවයක් මොරටුවෙන් පටන් අරන් කටුබැද්දට ඇවිල්ලා, කටුබැද්දෙන් පිළියන්දල මේ එකසිය විස්ස මාර්ගයේ කිරුළපනෙන් මරදානට සම්බන්ධ කරන්න තමයි අපි හිතන් හිටියේ. එදා මේ කැස්බෑවේ ජනතාව අර තක්කඩි කටවල්වලට රැවටිලා, අර තක්කඩි මාධ්‍ය ක්‍රියාවලියට රැවටිලා ගෝඨාභය රාජපක්ෂ කියන ඒ මෝඩ ජනාධිපතිව ගෙනාවේ නැත්නම් මේ දෙසැම්බර් මාසේ ඔබ සියලු දෙනාටම තද බදෙන් තොරව කොළඹ යන්න අවස්ථාව අපි උදා කරලා දෙනවා. උන් ඒක මේ රටට නැති කළා.

මාලිමාව අලුත් ව්‍යාපාරයක් නෙවෙයි

අපි මෙතන හිටගෙන ඉන්නේ නිකන් කතා පවත්වලා නෙවෙයි. අපි මේ රටේ බලගතු වෙනස්කම් කරන්න දායක වෙච්ච පිරිසක්. ඒ නිසා අපට විශ්වාසයි මේ රට වර්ධනයක් කරා ගෙනියන්න අලුත් ආර්ථික පිම්මක් පනින්න අපට, මේ සමගි ජන සන්ධානයට ශක්තියක් තිබෙන බව. ඒ වගේම අද ජනතා විමුක්ති පෙරමුණ අලුත් පක්ෂයක් හැටියට කියලා, අලුත් ව්‍යාපාරයක් හැටියට කියලා ඇවිල්ලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ බිහිවෙලා හරියටම අද අවුරුදු හැටක්. ඒක අලුත් පක්ෂයක් නෙවෙයි. ඒ වගේම මාලිමාව අලුත් ව්‍යාපාරයක් නෙවෙයි. ගියවර මැතිවරණයටත් ඉදිරිපත් වුණේ මාලිමාවෙන්. දැන් එයාල හැම කෙනාට ම කියනවා පිල් මාරු කරනවා. ‘ආ මේ ඉන්නේ පනින ගෙම්බෝ, හොරු’ මෙහෙම කිය කියා මාලිමා වේදිකාවේ අද චෝදනා නගනවා. ජනතා විමුක්ති පෙරමුණ පිල් කීයක් මාරු කළා ද? කීදෙනෙක් නම් කොයි කොයි පැත්තට ගියාද? අද නාමයෝජනා දෙන්න මමත් ගියා සජිත් මහත්තයත් එක්ක මැතිවරණ කාර්යාලෙට. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පොල්ගම්පල මහත්තයත් ජනාධිපතිවරණයට ඉල්ලනවා. ජනතා විමුක්ති පෙරමුණේ කම්කරු අංශය භාරව හිටපු දේශපාලන මණ්ඩල සභික සිරිපාල අමරසිංහත් ඡන්දේ ඉල්ලනවා. නන්දන ගුණතිලක මහත්තයා එදා ජනාධිපතිවරණයේ අනූ නමයේ තරග කළා; අද පානදුරේ එක්සත් ජාතික පක්ෂේ සංවිධායක. මම නම් ලැයිස්තුව කියවන්නේ නැහැ. ඒගොල්ලොත් ඔය අනිත් පක්ෂ වගේම පිල් මාරු කරපු ඒ පැත්තෙන් මේ පැත්තට පැනපු කට්ටියක් තමයි. ඒ වගේම ඒගොල්ලන්ගේ ඇතැම් පිල් මාරු නිසා මේ රටේ දැවැන්ත ජන සංහාරයක් සිද්ධ වුණා.

තාක්ෂණ නගරයට ගල් ගහපු අනුර අද තාක්ෂණ සමුළු අමතනවා

මේ රටේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා කියලා කියනවා. ඔව් ඒ තහනම අයිනුත් කළා. එක්දහස් නමසිය අසූ අටේ මාර්තු මාසේ ජේ. ආර්. ජයවර්ධන ඒ තහනම අයින් කළා. හැබැයි මේගොල්ලෝ ඒගොල්ලන්ගේ සන්නද්ධ අරගලය නතර කළේ නැහැ. අපි දන්නවා ප්‍රතිඵලය මොකක්ද කියලා. මේ හැම හන්දියක  ම අපේ දරුවෝ මිය ගියා. රටට මෙහෙවරක් කරන්න හිටපු වැදගත් දරුවෝ රටෙන් පලා ගියා. එක පරම්පරාවක්ම නැති වුණා. ඒ ගැන මොකක්වත් වගකීම අද මේ වෙනකන් තියෙනවද? නෑ. මේ රටේ විශ්වවිද්‍යාලවලින් බිහිවෙච්ච සාරයට රට පාලනය කරන්න එක අවස්ථාවක්වත් ඉඩ දුන්නද? නෑ. ඒ හැම කෙනාවම කැරලිකාරයෝ, වැඩ වර්ජන, ඒ හරහා තමයි රට ගෙනිච්චේ. අද බලන්න... මම දැක්කා අනුර දිසානායක අයි ටී සමුළුවකට ගිහිල්ලා තියෙනවා. මම දන්නේ නැහැ ඒකේ ලියලා තියෙන ඒවා කිසිම දෙයක් උන්නැහේට තේරෙනවද කියලා.

අපි හැදුවා හෝමාගම තාක්ෂණ නගරයක්; සියලු තාක්ෂණ තියෙන විසිදහසක් අපේ දරුවෝ තාක්ෂණයෙන් සන්නද්ධ කරලා ඩොලර් උපයන නගරයක්. මොකද ජනතා විමුක්ති පෙරමුණ කළේ? පෙළපාලි ගියා, ගල් ගැහුවා, අපේ අමාත්‍යාංශ වට කළා. මේ වගේ රැස්වීම්වලට ඇවිල්ලා අපිට හූ කිව්වා. එහෙම කරලා ඒ වැඩපිළිවෙල කඩාකප්පල් කළා; සම්පූර්ණයෙන් ම කඩාකප්පල් කළා. එහෙම නොවුණා නං දැනටමත් විශ්වවිද්‍යාල තුනක් ඇතිවෙලා; විසි දහසක් දරුවෝ ඉගෙන ගන්නවා. එදා තාක්ෂණ නගරයට ගල් ගහපු අනුර අද තාක්ෂණ සේවා අමතන එක තරම් විහිළුවක් තියෙනවද?

ජවිපෙට පාතාලය මර්දනය කරන්න බෑ

මම දවසක් ගියා අපේ හිටපු කතානායක කරූ ජයසූරිය හම්බවෙන්න. එතුමාගේ කාර්යාලයේ වම් පැත්ත තියෙනවා ලස්සන පිළිරුවක්. මං ඇහුවා ‘කතානායකතුමනි, මොකක්ද මේ පිළිරුව?’ කියලා. එතකොට එතුමා කිව්වා ‘මම ඉස්සර වැඩ කරපු ඒ ඇඟලුම් කම්හලේ මම ප්‍රධානියා හැටියට හිටියා. ඒ ප්‍රධානියා හැටියට ඉන්න කාලේ ඒ මූලස්ථානයේ තිබිච්ච පිළිරුව තමයි මේ.’ ‘ඇයි ඒක ඔබතුමා ගෙදර අරන් ආවේ?’ කියලා. මං ඇහුවා. ‘නෑ මේ ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහත්තයලා, ලාල්කාන්ත මහත්තයලා අයුක්ති සහගත විදිහට මහා වැඩ වර්ජනයක් ගෙනිච්චා. ඒ ආයෝජකයා කිව්වා අපි ආයෝජනය අරගෙන යනවා; මේක වහලා දානවා කියලා. මම ඒක සිහිවෙන්න ඒ අංජලෝ පිළිරුව ගෙනල්ලා, මගේ කාර්යාලයේ තියන් හිටියා’ කියලා. මේ විදියට ආයතන වහලා, ආයෝජකයෝ පන්නපු අය දැන් ආයෝජන සමුළුව අමතනවා.

 ඊළඟට පාතාලේ මර්දනය ගැන කියනවා. ආයුධ සන්නද්ධ ප්‍රචණ්ඩ කතා කියනවා. මේගොල්ලන්ගේ සන්නද්ධ අංශය තිබුණේ මේ මඩපාත. ඒක මෙහෙයුවේ ආගිරීස් කොස්තයි, රාගම සෝමේ, කොට සමන් කියන තුන්දෙනා. ඒ තුන් මරපු ගාන කීයද? හයදහස් අටසීයක් මැරුවා. මේ රටේ හිටපු සොත්ති උපාලි ද, ඔය පාතාල නායකයෝ එකෙක්වත් හයදාස් අටසීයක් මරපු අය නෙවෙයි. මේගොල්ලෝ ඒ මෙහෙයුම ගෙනිච්චේ මෙතන ඉඳන්. ඒගොල්ලන්ගේ තරම් ලොකු, ඒ රතු පාතාලේ තරම් බරපතළ පාතාලයක් ලංකාවේ වෙන කොහෙවත් තිබිලා නෑ. ඉතින් මේගොල්ලන්ට පුළුවන්ද පාතාල මර්දන ගැන කතා කරන්න. මේවා පට්ටපල් විහිළු; විහිළු කතන්දර.

කයියනායකලාට අහු වෙන්න එපා

වෙස් මූණක් දාලා තියෙනවා. ආර්ථික විද්‍යාඥයෝ, ව්‍යාපෘති වෘත්තීයවේදීන් විදේශිකයෝ අපට උපදෙස් දෙනවා රට කොරන්න. මතකද ...? මේ කට්ටියම නේද ගෝඨාභය මහත්තයාගේ කාලෙත් වියත්මග කියලා ඇවිල්ලා අපිට කියපු ටික. ඒ කට්ටියමයි මේ ඇවිල්ලා කියන්නේ. මතක තියාගන්න. ඒ කට්ටියමයි අද මේ ඇවිල්ලා අපිට මේ දේශනය දෙන්නේ. හැබැයි රට බංකොලොත් වුණා ම: ඔය රට ඉඳලා උපදෙස් දෙන කට්ටියයි, වෘත්තීයවේදියෝ ටිකයි කවුරුවත් ඉතුරුවෙන්නේ නැහැ. මතක ද...? ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මාක්ස්වාදී පක්ෂයක්. ඒ වගේ පක්ෂ, ලෝකයේ රටවල් ගණනාවක් අල්ලගෙන තියෙනවා. කියුබාවේ, වෙනිසියුලාවේ, අද මොකද වෙලා තියෙන්නේ? වෙනිසියුලාව තමයි ලෝකයේ තෙල් සම්පතෙන් අනූනම රට. අද අනුර දිසානායක වගේ එදා හිව් ගොචාවේස්, රෝස පාට විප්ලවයකින්, කොඩිවැල් එල්ලලා දමලා, බොහොම ආඩම්බරයෙන්, බොහොම ආසඥතාවයෙන් බලයට ආවේ. අද මොකද වෙලා තියෙන්නේ? රටෙන් බාගයක් රටෙන් පිටවෙලා. ඉතිරි රටෙන් බාගෙට කන්න නෑ. දැන් හතර වතාවක් ඡන්ද නෑ. ඡන්ද ඉල්ලලා පාරට බහින මිනිස්සුන්ට වදින්නේ වෙඩි. ඡන්ද ඉල්ලලා පාරට බහින මිනිස්සු අතුරුදහන් වෙනවා. මතක තියාගන්න. අන්න ඒ නිසා මේ සමාජවාදය, මාක්ස්වාදය කියාගෙන ඇවිල්ලා වෙනිසියුලාවට වෙච්ච දේ රටට නම් කරගන්න එපා. අපි එක ගොන්කමක් කළා. කට හැකර කයියනායකලා ටිකකට අහුවෙලා නැවත වතාවක් ඒ විනාශය කරගන්න එපා කියන එක අපි කියනවා.

එදා ඒ අරගලය උත්සන්න වෙලා යනකොට ගෝඨාභය පළවා හැරියට පස්සේ ජූලි නමය, ජූලි එකොළහ මේගොල්ලෝ යනවා පාර්ලිමේන්තුව ගිනි තියන්න. මේ කට්ටියම ගියා මතකයි. අද මේ වෙනකන් නීතිය ක්‍රියාත්මක කරලා නැහැ. එතන්ට ගිය අර දොස්තර පැතුම් කර්නර් අත්අඩංගුවට ගත්තා. හැබැයි ලාල්කාන්තව හඳුන්නෙත්තිව, බිමල් රත්නායකව, හරිනි අමරසූරියව අත්අඩංගුවට ගත්තේ නැහැ. නීතිය ගැන කතා කරනවා. නීතිය ඒ සමමිතික භාවය ගැන කතා කරනවා. ඒක කරලා නෑ. එහෙනම් අපිට පේනවා එදා පාර්ලිමේන්තුව ගිනි තිබ්බා නම් මොකද වෙන්නේ? වෙන්නේ අද බංගලිදේශයට වෙච්ච දේ පාලනයක් නැතුව ගිහිල්ලා අන්තිම අන්තවාදී පිරිසකට කල්ලියකට රටේ පාලනය යට වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න. එළියට දාලා තියෙන රෝස පාට, වෙස් මූණට රැවටිලා, ලේ තැවරිච්ච, උගුරට එනකං මිනී කාපු අයට රටේ පාලනය භාර දෙන්න එපා කියන එක අපි ඔබෙන් ඉල්ලා හිටිනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානම තේමාව

මේ රට ඉදිරියට ගෙනියන්න ඕනේ; ජනතාවට සහන ලබා දෙන්න ඕනේ; දූෂණය නවත්තන්න ඕනේ. දැන් දූෂණය තමයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානම තේමාව. එදා අපි තමයි ඒ දූෂණයට එරෙහිව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට බැස්සේ. එදා රනිල් අග්‍රාමාත්‍යතුමා හැටියට එතුමා ඇති කළා දූෂණ විරෝධී බළකායක්. ඒ දූෂණ විරෝධී බළකායේ විශේෂ බළකා මෙහෙයුම් ප්‍රධානියා කවුද? ගරු අනුර දිසානායක. එතකොට ඒකේ ප්‍රධානියා හැටියට පත් කරපු ආනන්ද විජේපාල ජනතා විමුක්ති පෙරමුණෙන් තමයි දැම්මේ. අන්න ඒ ආනන්ද විජේපාලට ආපු ෆයිල් ටික තමයි ඔය රස කර කර රට වටේ කියවන්නේ. ඒත එකෙකුට දඬුවම් දීලා තියෙනවද? නෑ...

අපි, රටේ දේශ සීමා පාලනය විදේශිකයන්ට දෙන්නේ නැහැ

දැන් මේ වර්තමාන කාලේ ප්‍රධාන දූෂණ දෙකකට දඬුවම් ලැබුණා. එකක් තමයි හොර ඖෂධ මේ රටට ගෙනාපු අර ඒ ගනුදෙනුව. කවුද ඒක කළේ? ජනතා විමුක්ති පෙරමුණද? නෑ. මේ රටේ අර අපේ කාවින්ද ජයවර්ධන දොස්තර මහත්තයා ඒ වගේම අර චමල් සංජීව දොස්තර මහත්තයා, ඒ වගේම සමාජ ක්‍රියාකාරිකයො පාරට බැහැලා තමයි කෙහෙළිය මහත්තයාව හිරේ ඇරියේ. ජනතා විමුක්ති පෙරමුණ කරලා තියෙනවද? නෑ. ඊළඟට මේ රටේ සිදු වූ දැවැන්තම වංචාව තමයි ටිරාන් අලස්ගේ වංචාව. මීට කලිනුත් අර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අය අනුර දිසානායකට කිව්වා පුළුවන් නම් ටිරාන් අලස්ට විරුද්ධව කට ඇරලා කතා කරන්න කියලා. ටිරාන් අලස්ගේ විදේශීය ගනුදෙනුව අනුරගේ ගනුදෙනුව ගැන කිව්වා. මතකද? පෙරටුගාමී කට්ටියව සී අයි ඩී යට ගෙනියපු එක විතරයි කළේ. අද අපිට පේනවා මේ ගැන කට වචනයක්වත් නෑ. අපි රටේ දේශ සීමා පාලනය විදේශිකයන්ට දෙන්නේ නැහැ.

 
කෝප් වාර්තාව විකෘති කළේ සුනිල් හඳුන්නෙත්ති
 
රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාලනය යටතේ රටේ දේශ සීමාව ඉන්දියානු පෙට්ටි කඩයකට විකුණලා තිබුණේ. ඒ වගේම සෑම සංචාරකයෙක්ගෙන් ම ඩොලර් විසිපහයි සත හැත්ත හත ගාණේ කොල්ලකමින් හිටියේ. මම රවුෆ් හකීම්, ඒ වගේම එම් ඒ සුමන්දිරන්, අපි තුන්දෙනාම පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සාමාජිකයෝ හැටියට උසාවියට ගියා. අපි තනියම. කිසිම නීතිඥයෙක් නැහැ. අපිමයි අපේ නඩුව කතා කළේ. ඒ නඩුව අහලා, ඒ ක්‍රියාදාමය තාවකාලිකව අද නතර කරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ අල්ලපු හොරෙක් කියන්න, දැන් කතා පවත්වනවා ඇලෝෂියස් ගැන. මතක තියාගන්න, පාර්ලිමේන්තු කෝප් කමිටුවේ ඩිව් ගුණසේකර හොයාගත්ත වාර්තාවේ, වරදකරුවන් කරලා හිටපු අයව නිදොස් කරලා, ඒ වාර්තාව විකෘති කළේ සුනිල් හඳුන්නෙත්ති මහත්තයා.


කැස්බැවට ජය නම් රටට ම ජය
 
ඔබට එකක් කියන්න ඕනේ. අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ පළපුරුද්ද ඇතුව. අපි දන්නවා වැඩසටහනක්. ඔබට මතක ඇති මේ ආහාර ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය. අප්‍රේල් මාසේ ලොකු ළූණු කිලෝව රුපියල් අටසීයට ගියා. අපි ගිහිල්ලා ඒක එළිදරව් කළාට පස්සේ ඒක දෙසිය විස්සට බස්සන්න අපිට පුළුවන් වුණා. මේ රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහනමයක් කොහොමද පාලනය කරන්නේ කියලා අපි පෙන්නලා තියෙනවා. ඒ වගේම ඩීසල් මත පනවලා තියෙන බදු අඩු කරලා රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න වැඩපිළිවෙළක් අපි යෝජනා කරලා තියෙනවා. අපි නොවෙන්න ලංකා විදුලිබල මණ්ඩලය ඔය ගාණටවත් ඔය විදුලි බිල බස්සන්නේ නැහැ. මේ බන්දුල මහත්තයලා අපි ගිහිල්ලා කරුණු කියලා ලංකා විදුලිබල මණ්ඩලය සියයට හතරෙන් අඩු කරන්න බහදපු බිල සියයට විසි දෙකකින් අඩු කරලා ඔබට සහනය දුන්නේ. කිසිම ප්‍රශ්නයකින් තොරව සියයට හතළිහකින් විදුලි බිල අඩු කරන්න පුළුවන්.

ඔබට මේ සියල්ල ලබා දෙන්න නම් මතක තියාගන්න: ආගන්තුක පිරිස්වලට, අමුත්තන්ට, ආධුනිකයින්ට, මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. එවැනි පර්යේෂණ කිරීමේ අවස්ථාවක් නෙමෙයි මේක. ගෝඨාභය මහත්තයත් පරීක්ෂණ දෙකක් කළා. කාබනික ගොවිතැන් පරීක්ෂණය, ධම්මික පැණි පරීක්ෂණය, දෙකෙන්ම රටට වෙච්ච දේවල් අපි දැක්කා. එහෙනම් ජනතා විමුක්ති පෙරමුණේ පරීක්ෂණය කරන්න ගියොත් වෙන්න තියෙන දේ අපි සියලු දෙනාටම දැන් පැහැදිලියි. ඒ නිසා අපි මේ අවස්ථාවේ පළපුරුදු දූෂණය පැරදිවිය හැකි ඒ වගේම අනාගතයේ දරුවන්ට අනාගතයක් ශක්තිමත් කරන්න පුළුවන් ඒ ආකාරයේ කණ්ඩායමක් ඉන්න, ඒ ආකාරයේ නායකයෙක් ඉන්න සමගි ජන සන්ධානය, සමගි ජන බලවේගය එක්ක එකට එකතු වෙලා මේ කැස්බෑව අපි අනිවාර්යෙන්ම ජයග්‍රහණය කළ යුතුයි. කැස්බෑව අපි ජයග්‍රහණය කළා කියන්නේ රටම ජය ලබනවා කියන එක.”

(සටහන - ජයසිරි අලවත්ත)
 
XFTE434

pe2024 2

worky sin

නවතම පුවත්