theleaderlk 01

දෙමළ පක්ෂ කීපයක සහාය ලබන උතුරේ ස්වාධීන අපේක්ෂකයා මුල්ලිවයික්කාලේ දෙමළ වර්ග සංහාර ස්මාරකයේ ගිනිහුල දල්වා

යුද පීඩිත මුලතිව්හි වට්රාපලෙයි සෙන්තමිල් පිටියේ ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වමින් මැතිවරණ ප්‍රචාරයට මුල පුරා තිබේ.

 සිය මංගල රැලිය අමතමින් දෙමළ ජනපති අපේක්ෂක පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් අගෝස්තු 18 වැනි ඉරිදා අවධාරණය කර තිබුනේ, මෙතෙක් රටේ මුල් පුටුවට පත්වු කිසිවකු විසින් දෙමළ ජනයාගේ ප්‍රශ්න විසදීමට කටයුතු නොකළ බැවින් එය විසදිය යුතු බව ජාත්‍යන්තරයට මෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුවට පෙන්වීමේ අරමුණින් තමන් ජනපති සටනට ඉදිරිපත් වු බවයි.

 "උතුරු නැගෙනහිර මේ ජනවාර්ගික ප්‍රශ්නය තවම විසඳිලා නැහැ. අපි පසුගිය ජනාධිපතිවරු 8 දෙනාටම ඡන්දය දීලා තියනවා. ඒ අට දෙනාම අපිව රැවැට්ටුවා. මේ ජනාධිපතිවරණයේදී අපි රැවටෙන්න සූදානම් නැහැ. අපේ අයිතිය සම්බන්ධයෙන් තියන ප්‍රශ්නය තාම විසදිලා නැහැ. ඒ නිසා එය විසඳිය යුතු බව ජාත්‍යන්තර ප්‍රජාවට සහ ශ්‍රී ලංකා ආණ්ඩුවට පෙන්වීමේ අරමුණින් තමයි දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්න පියවර අරන් තියෙන්නේ."


ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් එහිදී තව දුරටත් අවධාරණය කර තිබුනේ තමන් ජනපති සටනට තරග කිරීමේ අරමුණ මුල් පුටුවේ අසුන් ගැනීම නොව, අහිමි වූ ඊළාම් ජනතාවගේ අයිතිවාසිකම් ප්‍රශ්නය විසඳී නැති බව පෙන්වන සංකේතයක් ලෙස ඉදිරිපත් වීම බවයි.


"මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති වීමට තරග කරන්නේ නැහැ. ඒ වෙනුවට මම සංකේතයක්, අහිමි වූ ඊළාම් ජනතාවගේ අයිතිවාසිකම් ප්‍රශ්නය විසඳී නැති බව පෙන්වන සංකේතයක් තමයි මම."    

 උතුරේ යුද්ධය නිමා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරුන් තිදෙනකු සමග දෙමළ ජනතාවගේ ගැටළු විසදීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වු නමුත් ඉන් කිසිදු ප්‍රතිපලයක් අත් නොවු ආකාරයත්  පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් එහිදී සිහිපත් කර තිබුනි.

 " මේ අවස්ථාවේදී දෙමළ ජනතාවගේ එකමුතුකම ජාත්‍යන්තර ප්‍රජාවගේ හෘද සාක්ෂියට තට්ටු කිරීමට අවස්ථාවක් වෙනවා. අපි එකමුතුව ඉන්නවා. මුල්ලිවයිකාල් යුද්ධය අවසන් වී වසර 15ක් තිස්සේ අපි අයිතීන් නැතුව ඉන්නවා. අපි ජනාධිපතිවරු 3 දෙනෙක් එක්ක කතා කරලා තියනවා. ඔවුන් කිසිම විසඳුමක් දුන්නේ නැහැ. ඒ නිසා අපි ඔබට ඡන්දය දෙන්න සූදානම් නැහැ. අපි මේ රටේ දෙමළ ජනතාව විදිහටම ජීවත් වෙන්න ඕන.  එක්සත් උතුරු නැඟෙනහිර ප්‍රදේශයක අපේ අයිතීන් ඉල්ලා ගැනීමට අපට යුතුකමක් තිබෙනවා."


උතුරු නැගෙනහිරින් දෙමළ පොදු අපේක්ෂකයකු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හේතු ලෙස ඔහු නැවත නැවතත් පෙන්වා දී තිබුනේ රටේ බලයට පත් දකුණේ සිංහල ජනාධිපතිවරුන් සියළු දෙනා දිගින් දිගටම දෙමළ ජනයා රැවටීමයි.


"එල්.ටී.ටී.ඊ යුගයේ ජනාධිපතිවරු පස් දෙනෙක් සහ එතැන් සිට ජනාධිපතිවරු තිදෙනෙක් අපිව රැවැට්ටුවා. මේ පොදු අපේක්ෂකයා එහි ප්‍රතිඵලයයි."

 ඒකීය රාජ්‍යයක් තුළ රටේ බහුතර ජන වර්ගය වෙනුවෙන් පමණක් කටයුතු කිරීම සඳහා රාජ්‍ය නායකයකු තෝරා ගන්නා කටයුතු කරන ජනාධිපතිවරණය දෙමළ ජනතාව විසින් වර්ජනය කළ යුතුයයි ඉල්ලා සිටිමින් දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) උතුරු නැගෙනහිර ගෙන්ගෙට යාමේ ව්‍යාපාරයක් දියත් කරමින් සිටි.

 පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් සාමාජිකත්වය දරන ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තවමත් නිල ස්ථාවරයක් ගෙන නැත. ටෙලෝ පක්ෂයේ සෙල්වම් අඩයික්කලනාදන් සහ ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් ජනාධිපති අපේක්ෂක අරියනේත්‍රන්ගේ මංගල රැලියට සහභාගී වී සිටියහ.
OSOEPRI25

pe2024 2

worky sin

නවතම පුවත්