theleaderlk 01

පනස් දෙදෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගැනීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත වසා දැමු කොක්කුතොඩුවායි සමුහ සුසානය සම්බන්ධයෙන් සත්‍ය හෙළි කර යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් යුද වින්දිත මාතාවන් විරෝධයක් දියත් කර තිබේ. 


2024 ජුලි 15 වැනිදා කැනීම් කටයුතු නිමාකළ මුලතිව්, කොක්කුතොඩුවායි සමුහ සුසානය අසලට දෙමළ ජනතා නියෝජිතයකුද සමග රැස්වු උතුරේ දිස්ත්‍රික්ක පහම නියෝජනය කරන බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් එක හඩින් කියා සිටියේ උතුරු නැගෙනහිර සියලු සමුහ සුසාන සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය බවයි. 

 

විරෝධතාවයට නායකත්වය දුන් මුලතිව් දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි මරියසුරේෂ් ඊශ්වරී මාතාව සදහන් කළේ උතුරෙන් හමුවු සමුහ මිනි වලවල් හතරටම යුක්තිය ඉටු නොවු අතර කොක්කුතොඩුවායි සමුහ සුසානයෙන් ගොඩ ගත් අස්ථි වල හිමිකරුවන් කවුරුන් වූවත් ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතු බවයි. 

 

kt2 

"කොක්කුතොඩුවායි වගේ සමුහ මිනිවලවල් හතරක් සොයා ගෙන තියනවා. මිනි වලවල් හතරට අදාල සාක්ෂි තියනකොටත් කිසිවක් සිදු වෙලා නැහැ. හදිසියේ දීපු තීන්දුව පිළිගන්න බැහැ. අපගේ වටිනා ඥාතීන්, එයාලා අපගේ ඥාතීන් හෝ සටන්කාමීන් උනත් වලපුදා අයට යුක්තිය ලැබෙන්න ඕනෑ." 

සිය සමීපතමයන්ට යුක්තිය ඉල්ලා ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලයේ යෙදී සිටින දෙමළ මව්වරුන්ට තර්ජනය කරමින් මරණ සහතික ලබා දීමට උත්සාහ දරන OMP කාර්යාලය සමුහ මිනිවළ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන්නේ කෙසේදැයි ඇය එහිදී වැඩි දුරටත් ප්‍රශ්න කර තිබුනි. 

"අතුරුදහන් වූවන්ට එරෙහිව ක්‍රියා කරන OMP කාර්යාලය, සමූහ මිනීවළට යුක්තිය ඉටු කරන්නේ කොහොමද කියන එකයි අපේ ප්‍රශ්නය. කොහොම නමුත් ජාත්‍යන්තර ප්‍රජාව OMP කාර්යාලයට ගරු කරන්නේ ඇයි කියලා දන්නේ නැහැ. " 

 

වසා දමන ලද සමූහ සුසානයෙන් ගොඩගත් සිරුරු කොටස් යුද්ධාවසානයේ අතුරුදහන් වුවන්ගේදැයි සොයාගැනීමට අපේක්ෂා කරන බව (OMP) සභාපති නීතිඥ මහේෂ් කටුලන්ද කැනීම් බිම අසලදී මීට පෙර පළාත් බද මාධ්‍යවේදීන්ට කියා තිබුණි. 

 

“කොක්කුතොඩුවායි සමුහ මිනි වලට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ, මන්නාරම මිනි වලට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ, තිරුකේතීස්වරම් මිනී වලට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ, යාපනය මිනි වලට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ, කොක්කුතොඩුවායි සමුහ මිනි වලට යුක්තිය - හමුදාව වග කිව යුතුයි,” ආදී සටන් පාඨ කියමින්, සිය සමීපතමයන් අතුරුදහන් දෙමළ මව්වරුන් දියත් කළ විරෝධයට දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී  සෙල්වරාසා ගජේන්ද්‍රන් මෙන්ම උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් ද එක්ව සිටියහ. 

විරෝධතාවයට එක්ව සිටි බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ වව්නියාව දිස්ත්‍රික් සභාපතිනි සිවානන්දන් ජෙනීටා මාතාව එහිදී කියා සිටියේ  සමුහ සුසානයෙන් ගොඩ ගන්නා ලද ඇඳුම් පැළඳුම් ද  උපයෝගි කරගනිමින් ඒවා අයත් කාලය පිළිබදව පරීක්ෂණ සිදු කළ යුතු බවයි. 

"සමුහ මිනි වලවල් කිහිපයක් සොයා ගෙන තිබුනත් ඒවා වසර ගණනාවක් පරණ බව ආණ්ඩුව ප්‍රකාශ කරමින් ඉන්නවා. මේ මිණී වලේ රෙදි පවා නොදිරා තියනවා නම් ඇඳුම් වසර කිපයක් නොදිරා තියනවාද කියලා සිතා බලන්න ඕන. ඒ නිසා ඇඳුම් මත පදනම්ව පරීක්ෂණ කරන්න පුළුවන්. කෙසේ නමුත් සාක්ෂි තිබියදීත් ඔවුන් මේ මිනි වලවල් පිළිබද විෂය අවසන් කිරීමට උත්සාහ දරනවා." 

 

Kt 1

සමුහ සුසානයෙන් ගොඩගත් අටසැකිලිවල සැබැ හිමිකරුවන් සොයා ගැනීම සදහා ජාත්‍යන්තර මැදිහත්වීමක අවශ්‍යතාවය ඇයද එහිදී දැඩි ලෙස අවධාරණය කර තිබුනි. 

 

"ජාන පරීක්ෂණ සිදු කළ යුතුයි. වලදාපු අය කවුද කියලා කවුරුත් දන්නේ නැහැ. එසේනම් එහි වැළලී ඇත්තේ කවුරුන්ද කියන එක තමයි අපගේ ප්‍රශ්නය. කවුද කියලා අපිට කියන්න බැහැ. ඒ නිසා අපි ජාත්‍යන්තරයට කියනවා ජාත්‍යන්තර මැදිහත්වීමෙන් ඒ ගැන සොයා බලන්න කියලා. අපි අභ්‍යන්තර  යාන්ත්‍රණය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ගියද අතුරුදහන් වූවන් වෙනුවෙන් ජාත්‍යන්තර යුක්ති යාන්ත්‍රණයක් අපි ඉල්ලා සිටිනවා. සමුහ මිනි වල සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව අපි ඉල්ලා සිටිනවා." 

කොක්කුතොඩුවායි සමූහ සුසානය සම්බන්ධ නඩුව මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් ඉදිරියේ 2024 අගෝස්තු 8 වැනි බ්‍රහස්පතින්දා විභාගයට ගැනීමෙන් අනතුරුව මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සමග කියා සිටියේ වලදමා සිටි පුද්ගලයන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය, වයස, උස ප්‍රමාණය ආදී තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. 

"මෙම කැණීමේදී ලබාගත් අස්ථි කොටස් 25 ක් යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අංශය වෙත මාරුකර යවා, පසුගිය 02 වැනිදා සිට දෙදිනක් පරීක්ෂණ සිදු කළා. ඉදිරි සතිවලදී එය දිගටම සිදුවෙනවා. මාස හයක් ඇතුළත අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගේ සම්පූර්ණ වාර්තා බලාපොරොත්තු වෙනවා." 

 

කොක්කුතොඩුවායි විමර්ශනයට පුරෝගාමී වී සිටි වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව විසින් 2024 මාර්තු මාසයේ අධිකරණයට දැනුම් දී තිබුනේ සමූහ මිනීවලෙන් ගොඩගන්නා ලද අස්ථි කොටස් අනූව දශකය මැද භාගයේ අවිධිමත් ලෙස වල දමන ලද විමුක්ති කොටි සාමාජිකයන්ගේ බවයි. ඔවුන් වෙඩි පහරින් මියගොස් ඇති බව ඔහු නිසැක නිගමනයයි. 

 

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් 2023 ජුනි අගදී මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කැබලි අහම්බයෙන් හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය. 

 

 

pe2024 2

worky sin

නවතම පුවත්