theleaderlk 01

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ්  ට සහ අලි සාහීර් මව්ලානා ට අමාත්‍ය ධුර පිරිනමා තිබේ.


එහිදී අලි සාහීර් මව්ලානා ට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා ඇත.

වඩිවෙල් සුරේෂ් ව පත්කර ඇත්තේ කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසය.

ඔවුන් දෙදෙනා අදාළ පත්වීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

වඩිවෙල් සුරේෂ් බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.

2020 මහ මැතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් වැඩිම මනාප හිමිකරගත්තේ ඔහුය.

ඔහු හිමිකරගත් මනාප ඡන්ද ගණන 49,762කි.

තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දක්වන බව ඔහු පසුගියදා පැවසීය.

වඩිවෙල් සුරේෂ් ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

කම්කරු අමාත්‍ය ධුරය දරූ මනුෂ නානායක්කාර ට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හේතුවෙන් අගෝස්තු 09 වනදා සිය පාර්ලිමේන්තු අසුන අහිමි විය. එම තීන්දුවේ සඳහන් වූයේ මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බවයි. ඒ අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේ කටයුතු කළ මනූෂ නානායක්කාර ට එම ධුරය අහිමිවිය.


ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරන අලී සහීර්, පාර්ලිමේන්තුවට පත්වූයේ නසීර් අහමඩ් ට මන්ත්‍රී ධුරය අහිමිවීම හේතුවෙනි.

2023 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ නසීර් අහමඩ් ව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය නිවැරදි බවයි.

ඒ අනුව 2023 ඔක්තෝබර් 17 වනදා මව්ලානා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා ලෙසද කටයුතු කරන මවුලානා,  අගෝස්තු 16 වනදා නිවේදනය කළේ එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දක්වන බවයි.

මේ වනවිට ඔහු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විනය ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බව සඳහන් ය.

(adaderana.lk)

pe2024 2

worky sin

නවතම පුවත්