theleaderlk 01

 කොල්ලකාපු මහජන දේපොළ රජයට පවරා ගැනීම පළිගැනීමක් නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක (AKD)පැවසී ය.


හෙතෙම මෙලෙස පැවසුවේ පසුගිය 20වන දින ගල්ගමුවේ දී පැවති ජන රැලියේ දී ය.

මතු දැක්වෙන්නේ එම රැලියේ දී අනුර කුමාර දිසානායක කළ සම්පූර්ණ අදහස් දැක්වීම ය.

ජනතාවගේ කාර්යභාරය


‘‘මේ ජනාධිපති ඡන්දය මෙතෙක් රට පාලනය කළ දූෂිත පවුල් වළල්ලකින් පොදු ජනතාව අතට බලය මාරු වන ඡන්දය යි. මෙම ඡන්දයේ දී මේ රටේ ජනතාවට විශාල කාර්යභාරයක් පැවරිලා තිබෙනවා. අද ගල්ගමුට රැස්වෙලා  ඉන්න දහස් සංඛ්‍යාත ජනතාව දෙස බලන විට ලබන විසි එක්වැනිදාට ඔබ තිතට ම වැඩේ කරන බව පැහැදිලියි. ඒක සහතිකයි.

අපට මේ ගම්බිම් අලුත් ඒවා නොවෙයි; හොඳට පුරුදුයි. මේ ගම්වල ඉන්න අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ එකතු වෙලා පොර බදලා අපි අපේක්ෂා කරන වෙනස ඇති කරමු. අපිට විශාල වැඩකොටසක් පැවරෙනවා. මේ රට මෙච්චර දුක්විඳින්න ඕන රටක් නොවෙයි. අපිට වඩා පහළින් හිටපු ගොඩක් රටවල් අපව පසුකර ගිහිල්ලා. දකුණු කොරියාව, වියට්නාමය අපට වඩා ගොඩක් යටින් හිටියෙ. මේ කලාපයේ බොහෝ රාජ්‍යයන් මීට අවුරුදු පනහකකට හැටකට කලින් අපිට වඩා පහළින් හිටපු රටවල්. ඒ රටවල් අද කොච්චර ඉදිරියට ගිහිල්ලාද කිවුවොත් ජීවිතය ගැට ගසා ගැනීම සඳහා අපේ රටේ තරුණ තරුණියන්ට එදා අපට වඩා පහළින් හිටපු දකණු කොරියාවට යන්න සිද්ධ වෙලා.

දුප්පත් භාවය නැති නොකරන්නේ ඇයි...?

අපට සිද්ධ වූ මේ විපත ස්වභාවික ව්‍යසනයක් නොවෙයි. මේක අපේ රටේ පාලකයන් විසින් හදපු ප්‍රශ්නයක්. ඒ ගොල්ලන්ට කවදාවත් අපේ රටේ ගම්බද ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න ඕන නැහැ. තරුණ තරුණියන්ට රැකියා දෙන්න ඕන කමක් නැහැ. අපේ ගම්වල ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් නම් ඒ ගොල්ලන්ගේ පස්සේ යන්න ඕන වෙන්නෙ නැහැ. ඒ නිසා එයාලට මේ ගම්වල ජනතාව හැමදාම දුප්පත්භාවයේ ඉන්න ඕනෑ. එතකොට තමයි මේ පාලකයන්ට තමන්ගේ බලය පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ.
මට ආරංචියි, මේ ළඟදී ස.ජ.බ. මන්ත්‍රීවරියක් ඇවිල්ලා මේ ගල්ගමුවෙ ජනතාවට මුහුණ සුදු වෙන්න ගාන්න ක්‍රීම් බෙදුවා කියලා.  දැන් අපේ මේ පළාතේ ඉන්න අම්මලාට තාත්තලාට තිබෙන ප්‍රශ්නය හමේ පාටද? රුපියල් හත්සිය අසූවක බාල ක්‍රීම් එකක්. ගාන්න එපා. මුහුණත් පිච්චෙයි.

මේ විදිහට දීර්ඝ කාලයක් තිස්සේ මේ පාලකයන් මේ ජනතාව රවට්ටනවා. ඇයි ඒ? ජනතාව දුප්පත් තමන්ගේ ප්‍රශ්නේ ඒ අයට විසඳ ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඒ ගොල්ලෝ පස්සෙ යන්න පාර හදනවා; පොළඹවනවා. ඒ නිසා ඒ ගොල්ලෝ කිසි දවසක මේ ගම්වල තිබෙන දුප්පත්භාවය නැති කරන්නේ නැහැ; එහෙම කරන්න වුවමනාවකුත් නැහැ.

දුප්පත්භාවය තුරන් කරන්නේ කෙසේ ද...?

රනිල් වික්‍රමසිංහ කිවුවා මේ කුලියාපිටියේ ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් අරඹනවා කියලා. කුරුණෑගල දරුවන්ට, ඒ කර්මාන්ත ශාලාවෙ රස්සා දෙනවා කිවුවා. ගොවි ජනතාවට ඩෙනිම් එකක් ඇඳන් චුයින්මගම් කකා කුඹුරු කොටන්න පුළුවන් කිවුවා. තරුණයන්ට අතේ දාන්න බ්‍රේස්ලට් දෙනවා කිවුවා. අන්තිමට අරවා මොකුත් නැහැ. ඡන්දෙ ළං වෙලා හාල් කිලෝ දහයක් බෙදනවා.

අපිට දැන් ඕන මොන වගේ ආණ්ඩුවක්ද? රටත් පෝසත් කරන, ජනතාවත් පෝසත් කරන ආණ්ඩුවක්. ඒ නිසා ජාතික ජන බලවේගය හොඳට සැලසුම් කරලා තියෙවා, මේ රට කොහොමද නංවාලන්නේ, ගම්බද දුප්පත්භාවය තුරන් කරන්නේ කොහොමද කියලා. භාණ්ඩාගාරයට එන්න තිබෙන විශාල මුදල් කන්දරාවක් තිබෙනවා. ඒවා භාණ්ඩාගාරයට එන්නේ නැහැ. හිඟ බදු මුදල් විතරක් තිබෙනවා රුපියල් කෝටි එක්ලක්ෂ දහදාහක්. කාගෙ ද මේවා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු බදු ගෙවලා නැහැ. ස.ජ.බ.ට එකතු වුණු ලක්ෂ්මන් වසන්ත පෙරේරා බදු ගෙවලා නැහැ. රනිල්ගෙ යාළුවා ඇලෝසියස් බදු ගෙවලා නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ හිඟ බදු සියල්ල අයකර ගැනීමේ සැලැස්ම හදනවා. භාණ්ඩාගාරයෙට එන ධනය භාණ්ඩාගාරයට එන්න කලින් හොරකම් කරනවා. සීනිවලට බදු ගහපුවම ඒක එන්න ඕනෑ. භාණ්ඩාගාරයට කෝටි එක්දහස් එකසීයක් එන්න කලින් හොරකම් කළා. ඒ විතරක්ද භාණ්ඩාගාරයට ආපු ධනයත් හොරකම් කරනවා. මේ රටට මේ විනාශ වෙන්න හේතුව හොරකම, දූෂණය, වංචාව හා නාස්තිය. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ සියල්ල නතර කරනවා.

ගමේ සාමය පවත්වන විදිය


රනිල් වික්‍රමසිංහ මහත්තයා, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳලා පාර්ලිමේන්තුවට කිලෝ මීටර පහළොවක් ඇති. එනකොට පිටිපස්සෙන් ඇම්බියුලන්ස් එකක් එනවා. විජේරාම හන්දියේ ඉඳන් මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට එනකොට පිටිපස්සෙන් ඇම්බියුලන්ස් එකක් එනවා. කිලෝමීටර් දහයක් වැනි දුරක්. ඇම්බියුලන්ස් එක ගෙදර නතර කරලා තිබෙන්නේ. ඒ දවස්වල ශිරන්ති රාජපක්ෂ එහෙ මෙහෙ යනකොටත් පිටිපස්සෙන් ඇම්බියුලන්ස් එකක් යනවා. දිනේෂ් ගුණවර්ධන ගෙදර ඉන්න කොට ඇම්බියුලන්ස් එක මිදුලේ. ගමේ ඉස්පිරිතාලෙ ඇම්බියුලන්ස් එකක් නැහැ.

මෙන්න මේ නාස්තිය නතර කරන ආණ්ඩුවක් අපි මේ සැරේ හදනවා. මේ හොරකම් කරපු කෝටි ප්‍රකෝටි ධනය ආපසු අපි පවරා ගන්නවා. අපි කාගෙන්වත් පළිගන්නේ නැහැ. අපි ගම්වල දැන් හදලා තියෙනවා කොට්ඨාස සභා. දැන් අපි ඒ කොට්ඨාස සභා මෙහෙය වන්නේ ඡන්දෙ කරන්න. ඡන්දෙන් පස්සේ මේ කොට්ඨාස සභාව තමයි ගමේ සාමය පවත්වාගෙන යන්න වැඩකරන්නේ.

ගහගත්තු යුගය අවසන්

ලංකාවෙ ඡන්ද ඉතිහාසය කැත එකක්. ඡන්දෙන් පස්සේ පැරදුණු අයගේ ගෙවල් ගිනි තිබ්බා; පහර දුන්නා. ගැහැව්වා. ලංගමට වැඩට යන්න බැහැ; කළුතෙල්වලින් නාවනවා. පෙට්ට්‍රෝලියම් එකෙන් එළියට එන්න බැහැ; ගහනවා. හැබැයි අපි දිනුවට පස්සේ කිසිවෙකුට හිරිහැර කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපි මොකටද ගමේ එකට ඉන්න මිනිස්සු එක්ක ගහ ගන්නේ. ඒ ගහගත්තු යුගය අපි ඉවර කරන්න ඕනෑ. ඡන්දෙ නුදුන්න අයත් අපි එකතු කර ගන්න ඕනෑ මේ රට හදන්න.
කොල්ලකාපු මහජන දේපොළ රජයට පවරා ගැනීම පළිගැනීමක් නෙමෙයි. පොදු ජනයාට සාමය ගෙනෙන ආණ්ඩුවක්. ඡන්දෙන් පස්සේ කිසිදු ප්‍රචණ්ඩ වැඩක් නොකරන ආණ්ඩුවක්. ඒ වගේම වංචනිකයන් දූෂිතයන්, අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගය ගොඩනඟන්නේ.

මාසයකට රුපියල් දස දහසක දීමනාවක්

මේ ගම්වල ජනතාව දුප්පත්භාවයේ විෂම චක්‍රයක හිරවෙලා තිබෙනවා. මේ දුප්පත්භාවයට හේතු කිහිපයක් තිබෙනවා. එකක් පරම්පරාවෙන් පරම්පරාවට මේ දුප්පත්භාවය එනවා. අම්මා, තාත්තා දුප්පත් නම් දරුවනුත් දුප්පත් වෙනවා. හොඳ අධ්‍යාපයක් ලබා ගන්න හොඳ නිවසක් හදාගන්න බැරිවෙනවා. තවත් විදිහකට දුප්පත්භාවය ඇති වෙනවා. තමන් කරගෙන හිටපු ගොවිතැන කරගෙන හිටපු ව්‍යාපාරය අලි උවදුර හරි, වෙන මොකක් හරි විපත්තියක් නිසා විනාශ වෙනවා. ණය ගෙවා ගන්න බැරි වෙනවා. ඊළඟ කන්නයේ ඉඳන් දුප්පත්. තව විදිහකට දුප්පත්භාවය ඇති වෙනවා. එයා ලෙඩ වෙනවා. මිය වනවා. එතකොට ආදයම් මාර්ගය අහිමි වෙලා දුප්පත්භාවයට ඇද වැටෙනවා.

මෙන්න මේ දුප්පත්භාවයෙන් ගම්වල ජනතාව මුදා ගැනීමේ සැලැස්මක් ජාතික ජන බලවේගයේ පාලනයකට තිබෙනවා. කෘෂිකර්මාන්තය දියුණු කරලා ග්‍රාමීය පහසුකම් වැඩිකරලා ගම්බද ප්‍රදේශවල කුඩා කර්මාන්ත දියුණු කරලා ඉදිරියට යන්න ටිකක් කල් යනවා. හැබැයි එතකල් ආහාර ගන්න බැරි දරුවන්ට, උගන්නන්න බැරි, හරියට බෙහෙතක් හේතක් කර ගන්න බැරි පවුලක් ඉන්නවා නම් අඩුම රුපියල් දස දහසක දීමනාවක් මාසෙකට දෙනවා. පවුල්වල දුගීභාවයේ තත්වය අනුව එය වැඩි කරනවා. හැබැයි හැමදාටම නොවෙයි. දුප්පත්භාවය තුරන් කරන කල් විතරයි. අපට කියන්න බැහැ, දුප්පත්භාවය නැති කරන කල්, අපි රට හදන කල් කන්න නැතිව ඉන්න කියලා. රනිල් නම් කියනවා දෙදහස් හතළි අටේදී රට හදනවලු. ඉතිං එතකල් කන්න නැතිව ඉන්න ඕනැද? එහෙම වෙන්න ඕන නැහැ.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දුප්පත් ජනතාව බලා ගන්නවා. ඊළඟට ඒ ගොල්ලන්ව දුප්පත්භාවයෙන් මුදා ගන්නවා. අපේ සැලැස්ම ඒකයි. ජාතික ජන බලවේගයේ පාලනය කියන්නේ, රටේ සියලු ක්ෂේත්‍රවලට අදාළ සැලසුම් සහිත පාලනයක්. මෙතෙක් රට පාලනය කළ ව්‍යසනකාරී පාලකයන්ගෙත් අපේ පාලනයේත් වෙනස ඒකයි. රට හැම පැත්තකින්ම දියුණු කර අපි ගොඩනගන බවට අපි ඔබට සහතික වෙනවා.’’




ජාතික ජන බලවේගයට ඡන්දය දෙන හේතුව


ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධදාස විතානාච්චි

ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධදාස විතානාච්චි,

‘‘මම ඕස්ට්‍රේලියාවේ ඉඳලා ආවේ අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති කරවන්න කියලා මේ රටේ යුක්තිසහගත මිනිසුන්ගෙන් ඉල්ලා සිටින්නයි. මට ඊට සුදුසුකම් හොඳට තිබෙනවා. ඔබ සියලු දෙනා ශාප කරන හැත්තෑ හය අවුරුද්දේ මම ජීවත්වෙලා තියෙනවා. ඒ නිසා පසුගිය දශකවල ලංකාවේ සියලු අත්දැකීම් මම අත්විඳලා තියෙනවා. මම එක්දහස් නමසිය හැටපහේ ඉඳන් ඡන්දය පාවිච්චි කරලා තියෙනවා. තුන්වේල කන්න නැති රටක්, බංකොලොත් රටක්, ලෝකෙට ණය වෙච්ච රටක්, දහ අතේ ණය වෙමින් අභිමානය ගැන කථා කරන මෝඩ පාලකයන් ඉන්න රටක් අපිට උරුම වුණේ ඇයි කියලා මම කල්පනා කළා.

ඇයි මම ජාතික ජන බලවේගයට ඡන්දය දෙන්නේ? ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාව ජනාධිපති කරන්න ඕනෑ නිසයි. මම එක්දහස් නමසිය අසු දෙක අවුරුද්දෙ කථා කළේ රෝහණ විජේවීර සහෝදරයා දිනවන්න. අපි පැරදුණා. හැබැයි අවුරුදු හතළිස් දෙකකට පස්සේ අපි මෙවර ස්ථිර වශයෙන්ම අපේ පංතියේ මිනිහෙක්ව අපේ පාලකයා බවට පත්කරනවා. ජනතාව ලොකු වැරැද්දක් කළා. මේ අවුරුදු හැත්තෑ හයේ දි ම ඔබලා, පාලකයා ලෙස පත් කර ගත්තේ අපේ පංතියේ මිනිහෙක් නොවෙයි. විවිධ පක්ෂවලින් විවිධ පාටවලින් විවිධ පංතිවලින් නායකයෝ ආවාට ඔබලාගේ වුවමනාව ඉෂ්ට වුණේ නැහැ. ඔබලා තෝරා ගත්තේ ප්‍රභූ යැයි සැලකූ පුද්ගලයන්. දැන් එය වෙනස් කළ යුතුයි. මහ පොළොවත් එක්ක හැප්පෙන, ඔබගේ රැහේ එකෙක් පත් කර ගන්න අවස්ථාව එනවා ලබන විසි එක්වෙනිදාට.

අතීතයේ අපි කළ අමනකම්

එක්දහස් නමසිය අසූ දෙකේ සිට මේ දක්වා ඔබගේ ඡන්දයෙන් ගිය මිනිස්සු ‘උතුමාණන්ලා’ වුණා. ‘ශ්‍රීමතාණන්ලා’ වුණා. සිංහාසන හදා ගත්තා. රජවරු බවට පත් වුණා. අපි අපේ පංතියේ මිනිහෙක් පාලකයා බවට පත්කර නොගත්ත නිසා තමයි මේ ශාපයට ප්‍රධාන හේතුවක් වුණේ. ඒ නිසා මහජන ආණ්ඩුවක් ඇතිකර ගන්න නම් ඔබ අතරම ඉපදුණු, ඔබලා වගේ දුක්වින්ද, ඔබලාගේ ම පංතියේ දුක වේදනාව හඳුනන අනුර කුමාර දිසානායක සහෝදරයා රටේ ජනාධිපති කළ යුතුමයි. එක්දහස් නමසිය අසූ දෙකේ සිට මේ රට පාලනය කළ හැම ජනාධිපතිවරයෙක් ම මම පෞද්ගලිකවත් දන්නවා. රූපවාහිනී නිවේදකයෙක් හැටියට කටයුතු කළ නිසයි ඔවුන් කළ අපරාධ, දූෂණ, හොරකම් මම හොඳට දන්නේ. අතීතයට ශාප කිරීමෙන් අපේ තිබෙන ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.

අතීතයේ අපේ තිබූ අමනකම්, මෝඩකම්වලින් පාඩම් ඉගෙන ගෙන මේවර වඩා බුද්ධිමත්, නිවැරදි අදූෂිත පාලකයෙක් පත්කර ගන්න අපි තීන්දු කරන්න ඕනෑ. මේ වන විටත් ජාතික ජන බලවේගයට එකතු වුණේ නැති, හිතවත් නැති සහෝදර සහෝදරියන්ටත් මම යමක් කියන්න ඕනෑ. මේ රට මේ විදිහට විනාශ කිරීම ඇරඹුනේ එක්දහස් නමසිය හැත්තෑහතෙන් පසුයි. ධර්මිෂ්ඨ සමාජයක් හදන්න කතා කරලා ධර්ම චක්‍රය පොලීසියේ ලාංජනය කරලා අන්තිමට ධර්ම චක්‍රයේ දාලා ඔබගේ දරුවෝ හැට දහසක් පමණ මේ පාලකයෝ විනාශ කර දැම්මා.

නොමේරූ මනසක් ඇති ළාමක ළදරුවා

එක්දහස් නමසිය අසූ එක සංවර්ධන සභා මැතිවරණයේ දී යාපනයේ පුස්තකාලට ගිනි තිබ්බා. එතන හිටපු ඇමතිවරුන්ගෙන් එක්කෙනෙක් විතරක් දැන් ජීවතුන් අතර ඉන්නවා. එයා තමයි දැන් මේ රටේ ජනාධිපති. යාපනයේ අයට ඒක අමතක වෙලා නැතුව ඇති. අනෙක් එක්කෙනා ගැන කතාකරලත් වැඩක් නැහැ. නොමේරූ මනසක් ඇති ළාමක ළදරුවෙක් වගේ කෙනෙක් එයා. ජනාධිපතිකමට කියා ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමටවත් සුදුසු නැහැ. පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපතිවරයෙක් ‘බැංකු හොරා’ කියලා දැන් ඉන්න ජනාධිපතිට කියන කොට දැන් කෙනා අනෙක් පැත්තට කියනවා ‘කවුද හොරා’ කියලා. එහෙම චෝදනා කර ගත්ත අය දැන් එකට වේදිකාවේ. මොන විහිළුද මේවා? ලබන සැප්තැම්බර් 21දායින් පසු අපේ අපේක්ෂකයා දිනනවාමයි. 22 වෙනිදා වෙන විට ජනාධිපති වෙනවාමයි. ඒක ස්ථිරයි.’’

මොළය අවුල් වුණ රනිල්


WhatsApp Image 2024 08 22 at 06.38.48ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආනන්ද විජේපාල

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආනන්ද විජේපාල,

‘‘මේ රටේ දැවැන්ත අර්බුදයක් ගොඩනැගූ රනිල් පසුගියදා අනුරාධපුර සල්ගාදු පිටියට ගිහින් කියනවා, ලබන අවුරුදු පහත් ඔහුට දෙන්න කියලා. මේ රටේ ජනතාවට තුන්වේල කන්න නැති කරලා, රටේ සෞඛ්‍ය තත්වය ඇද වට්ටලා දූ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තිබෙන අයිතිය ප්‍රපාතයකට ඇද දමලා තමයි ඔහු මේ ඉල්ලීම කරන්නේ. ඒ වගේම විවිධ බොරු පොරොන්දු දෙනවා. වහසි බස් දොඩමින් අපිට අවලාද නගමින් ඉන්නවා. ඔහු ප්‍රකාශයක් කරනවා, අනුර දිසානායක සහෝදරයා අනුප්‍රාප්තික ජනාපධිති ගන්න කියූ අවස්ථාවේ පැනලා කියා කියලා.

 මම හිතන්නේ රනිල් වික්‍රමසිංහගේ මොළේ අවුල් වෙලා. රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය අනතුරේ දමලා. ජනතාවට තුන්වේල කන්න නැති තත්වයක් උදා කරපු මේ රට හැත්තෑ හය වසරක් පාලනය කරපු පාලක පරම්පරාවේ වත්මන් අනුප්‍රාප්තිකයෝ කියන පම්පෝරි කතා මේ රටේ ජනතාව තවත් විශ්වාස කරන්නෙත් නැහැ. ඉවසන්නෙත් නැහැ.

පොලිස්පති නැති රට

මේ රටේ මිනිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත් මේ වන විට මේ පාලකයෝ නැති කරලා තිබෙනවා. ඒ විතරක් නොවෙයි, මේ වන විට විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන සිසුන්ගෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නේ සියයට දහතුනයි; සියයට අසූ හතක් අධ්‍යාපනයෙන් පිටමං කරනවා. ඒ විතරක් නොවෙයි, මුළු අධ්‍යාපන පද්ධතිය තුළ ම දැවැන්ත අර්බුදයක් මේ පාලකයින් විසින් නිර්මාණය කරලා. එහෙම කරපු මොවුන් තවත් අවුරුදු පහක් දෙන්න කියලා තවත් පම්පෝරි ගහනවා. අල්පෙනෙත්තක්, ඉටිපන්දමක්වත් නිෂ්පාදනය නොකරන රටේ පාලකයෝ ආර්ථිකය ගොඩ දැම්මා කියලා කියනවා. ඒ තරම් විහිළුවක් තවත් තිබෙනවාද?

නීතියේ ආධිත්‍යය බිඳදමලා. දිනපතා පාරවල්වල මහා දවල් ඇවිල්ලා වෙඩි තියලා මිනිස්සු මරලා යනවා. පොලිස්පති නැති රටක්. රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණය පැත්තකට දාලා වියරුවෙන් වගේ වැඩ කරනවා. මේක අල්ලස, දූෂණය, වපුරපු රාජ්‍යයක් කරලා. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගිය නැති කරන්න කටයුතු කළ පාලකයෝ තමයි මේගොල්ලෝ. මේක අපේ රටේ ජනතාව සිහිබුද්ධියෙන් තීන්දු තීරණ ගන්න ඕනෙ අවස්ථාවක්.

යුග පෙරළියක් සිදුවන අවස්ථාවක්

අද සජිත්ගේ වේදිකාවේ මොනවද කියන්නේ...? ඩිලාන්ලා, නාලක ගොඩහේවලා, සූජීව සේනසිංහලා වගේ වංචාකාරයො හොරු, දූෂිතයො වේදිකාවේ තියාගෙන සජිත් කියනවා, රට හදන්න ඒගොල්ලන්ට දෙන්න කියලා. මේක සරල බල හුවමාරුවක් සිදුවන අවස්ථාවක් නොවෙයි. දැවැන්ත සාමාජීය, ආර්ථික, දේශපාලන පරිවර්තනයකට රට යොමු කරන්න තිබෙන අවස්ථාවක්. යුග පෙරළියක් සිදුවන අවස්ථාවක්. ඒකට අපි සූදානම් වෙමින් සිටින අවස්ථාවක්. 
 
ගල්ගමුවෙ ජනතාව කියන්නේ මහ පොළව සමග හැපෙමින් කටුක ජීතවියක් ගත කරන ජනතාවක්. අපි මේ කටුකත්වයෙන් මිදෙන්න ඕනෑ. අපේ අනාගත පරම්පරාවට සුඛිත මුදිත රටක් හදලා දෙන්න ඕනෑ. ලබන විසි එක්වැනිදා අනුර සහෝදරයා ඉදිරියේ කතිරය ගසා මාලිමාව දිනවා එයට අවශ්‍ය තීන්දුව මේ රටේ ජනතාව ගනීවි යැයි කියන දැඩි විශ්වාසය අපිට තිබෙනවා.

(සටහන - ජයසිරි අලවත්ත)

 
galgamuwa

pe2024 2

worky sin

නවතම පුවත්