2024 ජනාධිපතිවරණයේ දී එක් අපේක්ෂකයකු විසින් වියදම් කරනු ලැබිය යුතු මුදල කොපමණ ද යන්න නියාමනය කිරිම පිළිබඳ ගැසට් පත්‍රය පසුගිය 18වන (2024/08/18) වන දින නිකුත් කෙරිණ.
ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් විවිධාකාරයේ අදහස් දක්වා ඇති අතර මැතිවරණ කොමිසම් සභාවේ මෙම තීන්දුවට එරෙහිව අලුත් පක්ෂ දෙක තුනක අපේක්ෂකයින් ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝණය වන්නේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමේ අදහසක් ඇති බව ද ගන්නට ලැබිණ.
මැතිවරණ ඉතිහාසයෙහි පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයෙකු මැතිවරණ කටයුතු සම්න්ධයෙන් දරණ්නාවූ වියදම් නෛතිකව නියාමනය කිරීමේ පළමු අවස්ථාව මෙය වන අතර එහි දී දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවේ දී ඉදිරිපත් කෙරුණු යෝජනා පදනම්ව, එක් ඡන්දදායෙකු වෙනුවෙන් උපරිමයෙන් රුපියල් 109 බැගින් වැය කළ හැකි යැයි ඉකුත් 18 වන දින තීන්දු කළ බවත් වාර්තා වි තිබිණ. ඒ අනුව, 2024 සැප්තැම්බර් මස 21 වන දිනට නියමිත ජනාධිපතිවරණය සඳහා පක්ෂයකට හෝ ස්වාධීන අපේක්ෂකයෙකුට වැය කළ හැකි සමස්ථ මුදල වන්නේ රුපියල් මිලියන 1,863.9 (බිලියන 01.9) ක් ය යන්න එම ගැසට් පත්‍ර යේ සඳහන් කර ඇත.
මෙම ගැසට් පත්‍රයේ අඩංගු ධනාත්මක සහ ඍණාත්මක භාවය සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමේ ලිපියක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු සහ ප්‍රවීන දේශපාලන විචාරකයකු වන කුසල් පෙරේරා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇත.
මතු දැක්වෙන්නේ කුසල් පෙරේරා ඉදිරිපත් කළ එම ලිපිය යි.
විද්‍යුත් තැපෑල මගින්
2024 අගෝස්තු 21 වන දින
සභාපති,
ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම් සභාව
මැතිවරණ මහ ලේකම් කාර්යාලය
අංක 02, සරණ මාවත
රාජගිරිය.
සභාපති තුමනි,
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත සහ “2024 ජනාධිපතිවරණ වියදම්” සම්බන්ධයෙනි
අපගේ මැතිවරණ ඉතිහාසයෙහි පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයෙකු මැතිවරණ කටයුතු සම්න්ධයෙන් දරණ්නාවූ වියදම් නෛතිකව නියාමනය කිරීමේ පළමු අවස්ථාව, මෙවර ජනාධිපතිවරණය සමග ඔබගේ සභාපතිත්වයෙන් වන මැතිවරණ කොමිසම් සභාවට බාර වන්නාවූ කාර්යකි. වගකීමකි.
මැතිවරණ කොමිසම් සභාවට එළෙස “2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත” මගින් ලබා දී ඇති ප්‍රතිපාදන අතුරින් ප්‍රධාන කාර්යක් වන, මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් උපරිම වියදම තීන්දු කිරීම සඳහා දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කළ බවත් එහිදී ඉදිරිපත් කෙරුණු යෝජනා පදනම්ව, එක් ඡන්දදායෙකු වෙනුවෙන් උපරිමයෙන් රුපියල් 109 බැගින් වැය කළ හැකි යැයි ඉකුත් 18 වන දින තීන්දු කළ බවත් වාර්තා විය. ඒ අනුව, 2024 සැප්තැම්බර් මස 21 වන දිනට නියමිත ජනාධිපතිවරණය සඳහා පක්ෂයකට හෝ ස්වාධීන අපේක්ෂකයෙකුට වැය කළ හැකි සමස්ථ මුදල වන්නේ රුපියල් මිලියන 1,863.9 (බිලියන 01.9) කි.
මැතිවරණ කොමිසම් සභාවේ මෙම තීන්දුවට එරෙහිව අලුත් පක්ෂ දෙක තුනක අපේක්ෂකයින් ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝණය වන්නේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමේ අදහසක් ඇතැයිද දැන ගන්නට ලැබිණ. ඔවුන්ගේ මූලික අයිතීන් මෙම තීන්දුවෙන් උල්ලංඝණය වන්නේ කෙසේදැයි නොදනිමි. නමුත් මෙම උපරිම මුදල ගණනය කිරීමේ මූලික වරදක් සහ අරමුදල් භාවිතය නියාමනය කිරීමේ පිළිවෙත්හි දොස් ඇතැයි කිව යුතුය.
පළමු කාරණය නම්, කෝවිඩ්-19 වසංගතයට එන්නත් ගෙන්වීමේදී රටේ ජනගහනය අනුව ඇස්තමේන්තු හැදූ ආකාරයට මැතිවරණ ප්‍රචාරක කටයුතු ඡන්දදායකයින් සංඛ්‍යාව අනුව ඇස්තමේන්තු කිරීම වැරදිය. චන්දදායකයින් කියෙව්වා නොකියෙව්වා, පුවත් පතක දැන්වීමකට එහි ප්‍රමාණය, වර්ණ හා පිටුව අනුව නියමිත වියදමක් ඇත. චන්දදායකයින් බැලුවා නොබැලුවා රූපවාහිනි දැන්වීමකට එහි කාලය හා වැඩසටහන අනුව නියමවූ මිලක් ඇත. ඇසුවා නෑසුවා, ගුවන් විදුලි ගාස්තුද එවැනිමය. සෙනග ආවා නාවා, මැතිවරණ රැළි සඳහාවන වියදම තීන්දු වන්නේ ඊට එකතු කරන ප්‍රචාරක කටයුතු හා සම්පත් අනුවය.
එබැවින් මැතිවරණ වියදම ගණන් හැදිය යුතු වූයේ පුද්ගල සංඛ්‍යා අනුව නොවේ. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතෙහි මුදල් වැය කිරීම් පිළිබඳව මැතිවරණ කොමිසම් සභාවට වාර්තා ලබා දියු යුතු යැයි පනතේ 05 වන වගන්තියේ (1)අ සිට (1)ඉ දක්වා වන උප වගන්තිවල සඳහන් වියදම් ශීර්ෂ සඳහා ය. නිදසුනක් ලෙස පනතෙහි 05(1)අ උප වගන්තියේ නියමය අනුව, “ඒ මැතිවරණයට අදාළ ප්‍රචාරක දැන්වීම්, අත්පත්‍රිකා, ධජ, සිතුවම්, ඡායාරූප, දැන්වීම් පත්‍ර හෝ පෝස්ටර්, මුද්‍රණය කිරීම, ප්‍රකාශයට පත් කිරීම, ඇලවීම, ප්‍රදර්ශනය කිරීම හෝ නිරූපණය කිරීම සඳහා....” උපරිමයෙන් වැය කළ හැකි මුදල තීන්දු කළ යුතුව ඇත. මැතිවරණ අරමුදල් නියාමනය කළ යුත්තේ පනතේ උප වගන්ති යටතේ අපේක්ෂකයින් වාර්තා ලබා දිය යුතු එවැනි මුදල් වෙන් කිරීම් අනුව ය.
අනෙක් බරපතලම අවුල ඇත්තේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පිළිවෙත කුමක්ද යන්නෙහිය. පක්ෂයේ හෝ අපේක්ෂකයාගේ පෞද්ගලික ගිණුම් වලින් බැහැරව මැතිවරණ අරමුදල සඳහා වෙනම ගිණුමක් තිබිය යුතු යැයි නියමයක් පනතේ නැත. එබැවින් පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයෙකු මැතිවරණ ප්‍රචාරක අරමුදල් ලෙස භාරගත් නියමිත උපරිම මුදල කොපමණදැයි හා ඒ කාගෙන්දැයි පක්ෂය හා අපේක්ෂකයා ලබා දෙන වාර්තා මගින් මිස බැංකු වාර්තා මගින් මැතිවරණ කොමිසම් සභාවට ස්වාධීනව සනාථ කර ගත නොහැක.
දෙවැන්න, පක්ෂ විසින් හා ස්වාධීන අපේක්ෂකයින් විසින් මේ මැතිවරණ අරමුදල් එකතු කර ගැනීම සඳහා වෙනම බැංකු ගිණුමක් පවත්වා ගත යුතු යැයි සහ එහි අත්සන්කරුවන් විය යුත්තේ කවුරුන්දැයි නිර්දේශ හෝ කොන්දේසි පනතේ කොතැනකවත් සඳහන්ව නැත. එවගේම මේ මැතිවරණ අරමුදල ගණන් හදන්නේ කවදා සිට දැයි යන්නද සඳහන්ව නැත. එබැවින් ඒ තීන්දු කොමිසම් සභාවට බාර ගැනීමට සිදුවනු ඇත. 2024 ජනාධිපතිවරණය සම්බන්ධව මැතිවරණ කොමිසම් සභාව නිකුත්කර ඇති ගැසට් පත්‍ර දෙකෙහි සහ චක්‍ර ලේඛ 07 හි ද ඒ සම්බන්ධව කිසිත් සඳහන් වන්නේ නැත.
අරමුදල ගණනය කිරීමේ දිනය සම්බන්ධ ඒ තීන්දුව කුමක් විය හැකිද? නිදසුනක් වශයෙන් මැතිවරණ අරමුදල නියාමනය කෙරෙන්නේ මැතිවරණ කොම්සම් සභාව විසින් මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිටද? නැතිනම් අපේක්ෂකයින් නාම යෝජනා ලබා දුන් දිනයේ සිටද? නාම යෝජනා බාර ගන්නා දිනය කල් ඇතිව ප්‍රකාශ කෙරෙන හෙයින්, මෙවර අගෝස්තු 15 නාම යෝජනා දිනය සැළකුවහොත් අගෝස්තු පළමු සතියේ දිනක ලබන සැප්තැම්බර මාසයේ පුවත් පත්, ගුවන් විදුලි, රූපවාහිනි දැන්වීම් සඳහා ගෙවූ රුපියල් මිලියන සිය ගණනක මුදල් නියාමනය නොවනු ඇත.
එවැනි අවිනිශ්චිත පසුබිමක, මේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත මෙවර ක්‍රියාත්මක කිරීමට නොහැකි ය. මෙය මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරනවා යැයි කියන්නේ ඡන්දදායකයා රැවටීමකි. එබැවින් ඔබට මා යෝජනා කරන්නේ, මෙම 2024 ජනාධිපතිවරණයෙන් පසු මේ වසරේ හෝ ලබන වසරේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ක්‍රියාත්මක කිරීම සඳහා පනතෙහි ඇති අඩු පාඩු, හිස් තැන් සියල්ල සම්පූර්ණ කිරීම විවෘත ක්‍රියාවලියක් තුල නොපමාව ආරම්භ කළ යුතු යැයි කියා ය.
මෙයට ඔබගේත් කොමිසම් සභාවෙහි සාමාජික සභිකයින්ගේත් පූර්ණ අවධානය ලැබෙණු ඇතැයි අපේක්ෂා කරමි.
ස්තුතියි.
මෙයට ලියාපදිංචි ඡන්දදායෙකු වන,
කුසල් පෙරේරා
150/62බී, යොවුන් මාවත
බෙල්ලන්විල
සබැඳි ලිපි :
ඔබත් එකසිය නමයෙ කෑල්ලක්ද? - (අජිත් පැරකුම් ජයසිංහ)
මැතිවරණ කොමිෂමට එරෙහිව විජයදාස නඩු මගට
රටම බලාසිටි ගැසට්ටුව එළියට - උපරිමය රු 109යි