තමා සහ තමාගේ කණ්ඩායම බාර් පර්මිට්, වයින් ස්ටෝර්ස් පර්මිට් සහ වරප්‍රසාද වරදානවලට මිලදී ගත නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (21) කටුනායක පැවැති ජන රැලිය අමතමිනි.
මතු දැක්වෙන්නේ එම රැලියේ දී සජිත් ප්‍රේමදාස කළ සම්පූර්ණ අදහස් දැක්වීම ය
මම ජනාධිපති වූ සැණින් පාස්කු ප්‍රහාරකයින්ට දඬුවම් දෙනවා
‘‘මම ඇතුළු අපේ කණ්ඩායම මුදලට, තනතුරුවලට ආත්මගරුත්වය පාවා දීලා වෙන්දෙසි වෙන්නෙ නෑ. ඒ වගේ ම අපි රට විකුණන්නේ හෝ වෙන්දේසි කරන්නේ හෝ ජනතාව පාවා දෙන්නෙත් නෑ. ඒ නිසා මාව විශ්වාස කරන්න.
‘‘කොච්චිකඩේ කටුවාපිටිය මඩකළපුව හා හෝටල් ගණනවක සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය ගැන මේ මොහොත වන විටත් සත්‍ය අනාවරණය වී නැහැ. ඒ ප්‍රහාරයට නායකත්වය දුන් අය ගැන දැනුවත් නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සත්‍ය හෙළි කරනවා කියල කතෝලික ප්‍රජාව ප්රමුඛ සමස්ත ජනතාව ම නොමග යැවුවා. ඔහුගෙන් පස්සෙ බිහි වුණ රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අඩිපාරේ ම ගිහින් මේ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන සත්‍ය හෙළිදරව් වීම වළක්වන්න කටයුතු කරා.
පසුගිය දවසක මම කාදිනල් හිමියන් හමු වෙච්ච අවස්ථාවේ සැප්තැම්බර් විසි එක්වැනිදා මම ජන වරමින් ජයග්‍රහණය කරලා ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අගතියට පත් සාමාජිකයකු ලෙස පාස්කු ප්‍රහාරයේ සත්‍ය සෙවීමට දේශීය හා විදේශීය විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත් කරලා, විනිවිදභාවයෙන් යුක්තව සත්‍ය හොයලා, මේකට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙනල්ලා ලබා දිය හැකි උපරිම දඩුවම ලබා දෙන බව කිව්වා. මෙම ප්‍රහාරයෙන් පසුව මේ දේවස්ථාන නැවත හදන්න වැඩ කළේ මම ඇතුළු පිරිස. අපි, විපතට පත් පවුල්වල ප්‍රජාවට ගෙවල් පවාහදල දුන්නා; ගෙවල් හදලා, ජීවනෝපාය හදලා දුන්නා කියල මේ නැතිවුණ වටිනා ජීවිත ලබා දෙන්න පුළුවන් ද? මේ දේවස්ථාන ගොඩනගන විට එවක ආණ්ඩුවේ අය ඒකට බාධා කරා. ඒ මොන දේ කරත් ඒ වටිනා ජීවිත ආයෙ ලබාගන්න බෑ. තමා හොරු ත්රස්තවාදීන් රකින්නේ නැති බවත් රණසිංහ ප්‍රේමදාස ගේ නාමයෙන් මේ සුලමුල මේ සත්‍ය සොයනවා සේම මෙයට සම්බන්ධ සියලු දෙනාට දැඩි දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන ලබා දෙනවා
අපි රැකියා නොමැති තරුණයන් වෙනුවෙන් ව්‍යවසායකයන් මිලියනයක් නිර්මාණය කර ඔවුන්ට තමන්ගේම ජීවනෝපාය කර ගෙන යාමට අවස්ථාව ලබා දෙනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ම තරුණ සංවර්ධන මධ්‍යස්ථාන ඇති කරනවා. යොවුන් සේනාංක කම්කරු අමාත්‍යාංශය යටතේ එම මධ්‍යස්ථාන එක වැඩපිළිවෙළකට ගෙන ක්‍රියාත්මක කරනවා. නව තාක්ෂණ දැනුම, සුහුරු දැනුම ලබා දී සුහුරු පුරවැසි පරපුරක් නිර්මාණය කරනවා.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් ගොඩගැනීමට නව වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. කඩාවැටුණු මේ ව්‍යාපාර ගොඩගන්න ප්රාග්ධනය ලබ දෙනවා. දුප්පත්කම තුරන් කිරීමේ අරමුණින් ශක්තිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. දූෂණය, වංචාව හොරකම තුරන් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මට අගමැති කම ගන්නැයි ගෝඨාභයත් කිව්වා
දින පනස් දෙකේ දි වගේ ම ගෝඨාභය රාජපක්ෂ පවා අගමැතිකම බාරගන්න මට කතා කළා. ඒවා ප්රජාතන්ත්රවාදී විරෝධී නිසා මම ඒවා කළේ නෑ. ඒවා බාර ගත්තා නම්: හොරු රකින්න, රට බංකොලොත් කළ, පාස්කු ප්‍රහාරයෙ සත්‍ය වසන් කරන අය රකින්න සිදුවෙනවා මේ අවස්ථාවේ මම ඒ ගැන සතුටු වෙනවා. ජනතාවගේ ආශිර්වාදයෙන් මිස මම බලය ලබා ගන්නෙ නෑ.’’
(සටහන - ජයසිරි අලවත්ත)