මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ආශිර්වාදයෙන්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ආරම්භ කළ මත්ද්‍රව්‍ය විරෝධී ‘යුක්තිය මෙහෙයුම’
අත්හිටුවා එම මෙහෙයුම යටතේ රඳවා ගෙන ඇති සියලු පුද්ගලයන් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට යළිත් වරක් නිර්දේශ කර තිබේ.
“මත්ද්‍රව්‍යවලට නැඹුරුතාවයක් ඇති ජනතාවට ප්‍රජා මූලික ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ හානිය අඩු කිරීමේ සහාය ලබා දීම, සහ මානව හිමිකම් සහ මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රතිපත්ති සඳහා අන්තර්ජාතික මග පෙන්වීම්වලට ගැලපෙන ආකාරයට මානව හිමිකම් සහ මහජන සෞඛ්‍යය කේන්ද්‍රීය මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තියක් ගොඩනැගීම සහ ක්‍රියාත්මක කිරීම,” මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාගේ යෝජනාවයි.
එම නිර්දේශය දැක්වෙන්නේ මේ වසරේ සැප්තැම්බර් 9 වැනිදා සිට ඔක්තෝබර් 9 වැනිදා දක්වා වු මසක කාලයක් තුළ රැස්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 57 වැනි සැසියට මහකොමසාරිස් වොල්කර් ටර්ක් අගොස්තු 22 වැනිදා නිකුත් කළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබද වාර්තාවේය.
එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලයක් මේ වසරේ ජනවාරි 22 නිකුත් කළ නිවේදනයක් මගින් ද ඉල්ලා තිබුනේ ‘යුක්තිය මෙහෙයුම’ වහාම අත්හිටුවා එම මෙහෙයුම සමාලෝචනය කර මතට ඇබ්බැහිවූවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සෞඛ්‍ය හා මානව හිමිකම් මත පදනම් වූ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.
‘දෙපාරක් හිතන්නේ නැතිව’ ගිනිඅවිය පාවිච්චි කරන මෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ වසරේ අප්‍රේල් මාසයේදී පොලිසියට දුන් නියෝගයක් එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ විශේෂ අවධානයට යොමුවී තිබේ.
යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මීට ඉහත දී නිකුත් කළ ලිපියට ප්‍රතිචාර දක්වමින් ටිරාන් අලස් ජනවාරි 18 වැනිදා සදහන් කර තිබුනේ එම ලිපිය ‘තුට්ටු දෙකකට මායිම් නොකරන’ බවයි.
ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා මසක කාලයක් තිබියදී නිකුත් කර ඇති අලුත්ම එජා වාර්තාව බලයට පත්වීමට අපේක්ෂා කරන සැමටම සිහිපත් කර දී ඇත්තේ රටේ දෙමළ ජනතාවට අදාලව තවමත් විසඳා නැති ගැටළු විසඳීම කඩිනමින් කළ යුත්තක් බවයි.
ඡන්ද විමසිම්වලින් පසුව අලුතින් තේරීපත් වන ආණ්ඩුව, හදිසි කාර්යයක් වශයෙන්, යුද්ධයේ මූලික හේතූන් ආමන්ත්‍රණය කරන හා සියල්ලන් ඇතුළත් වන ශ්‍රී ලංකාව සඳහා ජාතික දැක්මක් අනුගමනය කළ යුතු අතර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට සහ දේශපාලන අධිකාරිය විමධ්‍යගත කිරීමට අවශ්‍ය මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ ආයතනික සංශෝධන සිදු කොට වගවීම සහ සන්හිඳියාව පෙරට ගෙන ආ යුතු බවද අවධාරණය කර තිබේ.
විශේෂයෙන්ම වින්දිතයන්ගේ දුක්පීඩාව හඳුනා ගැනීමට, බරපතළ මානව හිමිකම් උල්ලංඝන සිදු කිරීමේ දී හමුදාවේ සහ අනෙකුත් ආරක්ෂක බලකායන්ගේ භූමිකාව පිළිගැනීමටත්, අතීතයේ සිදු කළ සහ වර්තමානයේ සිදු වන උල්ලංඝනය කිරීම් ආමන්ත්‍රණය කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත්වීම නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනයට මූලික බාධා බවට පත්ව ඇති බවද එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.
"බරපතළ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ යයි විශ්වාස කළ හැකි බොහෝ ව්‍යුහයන් සහ රාජ්‍ය යාන්ත‍්‍රණයේ සමහර සාමාජිකයන් ඒ තැන්වලම සිටීමෙන් අර්ථාන්විත වගවීමේ ප්‍රගතියක් ඇති කිරීම වළක්වන අතර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් දිගටම සිදු වේ," යන්න පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය මහ කොමසාරිස් ගේ කලින් වාර්තාවලින් කරන ලද නිර්දේශ තවත් වර්ධනය කරමින් පහත සඳහන් නිර්දේශ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ඉදිරිපත් කර තිබේ.
(අ) වෙනස් කොට නොසැලකීම සහ කාන්තාවන්ට සහ සුළුතර ප්‍රජාවන්ට එරෙහිව වෙනස් කොට සැලකීම, වෛරය සහ ප්‍රචණ්ඩත්වය උසි ගැන්වෙන ආගමික ක්‍රියාකාරිකයන්ගේ කතා සහ ක්‍රියා වැළැක්වීම සහ හෙළා දැකීම ඇතුළත් සියල්ලන් ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පදනම්ව ශ්‍රී ලංකාව සඳහා සියල්ලන් ඇතුළත් කර ගන්නා බහුත්වවාදී දැක්මක් ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීම,
(ආ) නිදහස් සහ සාධාරණ මැතිවරණ හරහා ආණ්ඩුවේ සියලු මට්ටම්වල දේශපාලන සහභාගිත්වයට ඇති අයිතිවාසිකම සහතික කිරීම,
(ඇ) හමුදාව පවරා ගෙන ඇති ඉඩම් නිදහස් කිරීම, උතුරු සහ නැගෙනහිර අලුතින් ඉඩම් අල්ලා ගැනීම නතර කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් රඳවා ගෙන ඇති සියලු දෙනා නිදහස් කිරීම සහ වින්දිතයන්ගේ සිහිපත් කිරීමේ මුලපිරුම් අපරාධයක් සේ සැලකීම ඉවත් කිරීම සහ ඒවාට සහාය ලබා දීම වැනි විශ්වාසය ගොඩ නැගීමේ පියවර ක්‍රියාත්මක කිරීමෙන් සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාත්මක කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම,
(ඈ) ආණ්ඩුවේ, ආරක්ෂක අංශවලට හෝ තානාපති තනතුරුවලට මෙන්ම විශේෂයෙන් සංක්‍රාන්තික යුක්තිය සහ වගවීම සාක්ෂාත් කර ගැනීමට පිහිටුවන ලද කිසියම් ආයතනයක ඉහළ මට්ටමේ තනතුරුවලට මානව හිමිකම් චෝදනා කළ බවට විශ්වාස කළ හැකි අය පත් කිරීමෙන් හෝ උසස්වීම් ලබා දීමෙන් වැළකී සිටීම සහ බලයෙන් ඉවත් කිරීම,
(ඉ) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම විලම්බනය කිරීම සහ ඒ වෙනුවට ගෙන එන කිසියම් පනතක් අන්තර්ජාතික මානව හිමිකම් නීතියට සහ ප්‍රති-ත්‍රස්ත නීති සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් විසින් කලින් සකස් කළ ප්‍රමිතීන්ට ගැලපෙන බවට සහතික කිරීම,
(ඊ) මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත, ICCPR පනත, කෙටුම්පත් කර ඇති රාජ්‍ය නොවන සංවිධාන පනත සහ විදුලි සංදේශන පනතට යෝජිත සංශෝධන ඇතුළත් මතයක් දැරීමේ නිදහස සහ ප්‍රකාශනයේ, සංගම් පැවැත්වීමේ සහ සාමකාමී රැස්වීමේ නිදහස ට ඇති අයිතිවාසිකම අනවශ්‍ය ආකාරයෙන් සිමා කෙරෙන පවතින හෝ යෝජිත පනත් අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම,
(උ) අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම, නීතියෙන් පරිබාහිරව සිදු කෙරෙන ඝාතන, වධ හිංසා පැමිණවීම, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ වෙනත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් තහනම් බවත් ඒ ගැන ක්‍රමානුකූලව විමර්ශනය කොට දඬුවම් කරන බවත් හමුදාවේ, බුද්ධි අංශ සහ පොලීසියේ සියලු අංශවලට පැහැදිලි උපදෙස් මගින් ප්‍රසිද්ධියේ නිකුත් කිරිම,
(ඌ) හදිසි කටයුත්තක් සේ අදාල තොරතුරු තක්සේරු කිරීමට සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ පසුගිය දශකවල සිදු කරන ලද අන්තර්ජාතික මානුෂීය නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාලව ස්වාධීන අභිචෝදනාත්මක තීරණ ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යන්ගෙන් වෙනස් වූ ස්වාධීන අභිචෝදනාත්මක අධිකාරියක් පිහිටුවීම,
(එ) නීතිය බලාත්මක කිරීමේ දී, වානිජ සහ සිවිල් කටයුතුවලදී හමුදාවේ මැදිහත්වීම වැළැක්වීම සහ උතුරු සහ නැගෙනහිර පළාත්වල හමුදාව නතර කර තැබීම සැලකිය යුතු ආකාරයෙන් අඩු කිරීම,
(ඒ) සියලු ආකාරයේ සෝදිසි කිරීම් සහ හිරිහැර කිරීම් සහ මානව හිමිකම් ආරක්ෂකයන්ට, ජනමාධ්‍යවේදීන්ට, මානව හිමිකම් උල්ලංඝනයේ වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල් වලට විශේෂයෙන්ම කාන්තාවන්ට එරෙහි පලිගැනීම් වහාම නතර කිරීමට සියලුම ආරක්ෂක ආයතනවලට සහ බුද්ධි අංශවලට නියෝග කිරීම,
(ඔ) අව වරප්‍රසාදිත සහ කොන් කරන ලද පුද්ගලයන්ගේ සහ කණ්ඩායම්වල ජීවන මට්ටම කෙරේ බලපාන වියදම් කපා හැරීමේ පියවර තක්සේරු කිරීම සහ සැහැල්ලු කිරීම, විශේෂයෙන්ම මෙම පුද්ගලයන් ගේ සහ කණ්ඩායම්වල අන්තර්ජාතික ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික හිමිකම් සම්මුතිය යටතේ කේන්ද්‍රීය අන්තර්ගතය වූ හිමිකම් ආරක්ෂා කිරීමට සුදුසු පියවර සියල්ල ගැනීම,
(ඕ) මානව හිමිකම් භුක්ති විඳීම කෙරේ දූෂණයේ නිෂේධනීය බලපෑම තක්සේරු කිරීම සහ මානව හිමිකම් බැඳීම් සමග සම්බන්ධව ඇති දූෂණ විරෝධී පියවර සම්මත කිරීම, සහතික කිරීම,
(ක) සමාජ ආරක්ෂණයට මූල්‍ය ප්‍රතිපාදන වැඩි කිරීම ඇතුළත් අව වරප්‍රසාදිත සහ කොන් වූ පුද්ගලයන් සහ කණ්ඩායම්වලට සමාජ ආරක්ෂණ පියවර ලැබෙන බවට සහතික කිරීම,
(ඛ) පාරද්‍රශ්‍ය, උපදේශනාත්මක, අපක්ෂපාති සහ වෙනස් කොට සැලකිමක් නැති මාර්ගවලින් ඉඩම් ආරවුල් විනිශ්චය කිරීම සහ ආගමික ස්ථාන ඉදි කිරීමේ දී අන්තර්ආගමික සංවාදයක් පැවැත්වීම සහතික කිරීම,
(ග) යුක්තිය මෙහෙයුම නතර කොට මෙම මෙහෙයුම යටතේ රඳවා ගෙන ඇති සියලු පුද්ගලයන් නිදහස් කරන්න. මත්ද්‍රව්‍යවලට නැඹුරුතාවයක් ඇති ජනතාවට ප්‍රජා මූලික ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ හානිය අඩු කිරීමේ සහාය ලබා දීම, සහ මානව හිමිකම් සහ මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රතිපත්ති සඳහා අන්තර්ජාතික මග පෙන්වීම්වලට ගැලපෙන ආකාරයට මානව හිමිකම් සහ මහජන සෞඛ්‍යය කේන්ද්‍රීය මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තියක් ගොඩනැගීම සහ ක්‍රියාත්මක කිරීම,
(ඝ) සියලු පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් වැළැක්වීම සඳහා වූ අන්තර්ජාතික සම්මුතියේ 31 වගන්තිය යටතේ කරනු ලබන සන්නිවේදන ලබා ගැනීමට සහ සැලකිල්ලට ගැනීමට බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ කොමිටියේ ශක්තතාවය පිළිගැනීම සහ අන්තර්ජාතික අපරාධ අධිකරණයේ රෝම ව්‍යවස්ථාව අනුමත කිරීම,
බරපතල මානව හිමිකම් උල්ලංඝනය කළ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව විදේශවලදී නීති මගින් කටයුතු කරන ලෙසද මහකොමසාරිස් වොල්කර් ටර්ක් නැවතත් ඉල්ලා තිබේ.
මානව හිමිකම් මණ්ඩලයට ද එහි සාමාජික රාජ්‍යයන්ට ද මහකොමසාරිස්වරයා පහත දැක්වෙන නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
(අ) පිළිගත් භූමි ප්‍රදේශයෙන් පරිබාහිර හෝ විශ්ව අධිකරණයේ පිළිගත් මුලධර්ම යටතේ, අදාල අන්තර්ජාතික ජාල සහ අන්‍යොන්‍ය නීති ආධාර ක්‍රියාවලීන් යටතේ සහ දිවි ගලවා ගත් අය, එම පවුල් සහ ඔවුන් ගේ නියෝජිතයන් ගේ සහයෝගයෙන් ජාතික අධිකරණයේ අධිකරණ ක්‍රියා පටිපාටි හරහා ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශ්වයන් විසින් සිදු කරන ලදැයි කියන අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී සහ අභිචෝදනා ඉදිරිපත් කිරීමේ දී සහයෝගයෙන් කටයුතු කිරීම,
(ආ) ශ්‍රී ලංකාවේ වගවීමේ ප්‍රගමනය සඳහා වෙනත් අන්තර්ජාතික නෛතික විකල්ප යොදා ගැනීම සලකා බැලීම,
(ඇ) අන්තර්ජාතික නීතිය සමග ගැලපෙන සහ වගවීමේ පියවර පුළුල් සීමාවක කොටසක් වශයෙන් බරපතළ අන්තර්ජාතික මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ බරපතළ මානුෂීය නීති උල්ලංඝනය කිරීම් සිදු කෙළේයැයි විශ්වාස කළ හැකි පුද්ගලයන්ට එරෙහිව භාවිතය තහනම් කිරීම සහ සංචාරක තහනම වැනි තවදුරටත් ඉලක්ක කර ගත් සම්බාධක පැනවීම සොයා බැලීම සහ,
(ඈ) පලිගැනීමේ තර්ජනයට මුහුණ දී ඇති ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් රැකවරණය ලබා දීමේ පියවර සමාලෝචනය කිරීම සහ වධ හිංසා පැමිණවීම හෝ වෙනත් බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ තර්ජනයක් පවතින අය ආපසු කැඳවීමෙන් වැළකි සිටීම සහ,
(ඉ) ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අදාල අපරාධවල වගවීම පිලිබඳ වැඩ අධීක්ෂණය සහ වාර්තා කිරීම සහ ශක්තිමත් කිරීම දිගටම පවතවා ගැනීමට මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට නොකඩවා සහයෝගය ලබා දීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් විසින් ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර තිබේ.