theleaderlk 01

මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේදී රැස්වීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය සම්බන්ධව සාකච්ඡා කරන බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවැසීය.


දින නියමයක් නොමැතිව කල්දමා තිබෙන පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මණින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කොමිසමට ඊයේ (22 වැනිදා) ලබාදුන් නියෝගය පිළිබඳව විමසීමේදී සභාපතිවරයා මේ බව කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් ඇතැම් පුද්ගලයන් මේ වනවිට මියගොස් ඇති අතර, ඇතැම්හු රැකියා සඳහා විදෙස්ගතව සිටිති. ඇතැම් අපේක්ෂකයෝ දේශපාලනයෙන් ඉවත්ව සිටිති.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර භාරදී තරග නොකරන අපේක්ෂකයන් වෙනුවට වෙනත් අපේක්ෂකයන් යෙදවීමට දේශපාලන පක්ෂවලට හෝ ස්වාධීන කණ්ඩායම්වලට නොහැකි බව ද සභාපතිවරයා කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණයට අපේක්ෂක‍යන් ලෙස ඉදිරිපත්වීමට රජයේ සේවකයන් 3,000ක් පමණ නාමයෝජනා පත්‍ර බාරදී ඇති අතර, මෙවර ජනාධිපතිවරණයේදී රාජකාරි වේලාව තුළදී ඔවුන්ට දේශපාලන කටයුතුවල නිරතවීමට නොහැකි බවත්, එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවත් සභාපතිවරයා පැවැසුවේය.


පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන 340 ක් (ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර) සඳහා සභිකයන් තෝරාපත්කර ගැනීමට නියමිතය. මෙම මැතිවරණය සඳහා අපේක්ෂකයෝ 80,672 නාමයෝජනා බාරදී සිටිති.

මෙම මැතිවරණය ඉකුත් වසරේ (2023) මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට නියමිත වූ අතර, එය පසුව අප්‍රේල් මස 25 වැනිදා දක්වා කල් දැමිණි. එය පසුව දින නියමයක් නොමැතිව කල් දැමිණි.

පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ජනාධිපතිවරණ කාලසීමාව තුළදීම පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කඩිනමින් අවලංගු කිරීමට අදාළව නීතිපති උපදෙස් ලබාගෙන විශේෂ විධි විධාන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට බලාපොරොත්තු වන බවය.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් 90,000කට පමණ මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීනව දේශපාලනය කිරීමේ ගැටලු තත්ත්වයක් උද්ගතව තිබෙන බැවින් විශේෂ විධි විධාන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර නාමයෝජනා අවලංගු කරන ලෙස දේශපාලන පක්ෂ රැසකින් ඉල්ලීම් ඉදිරිපත්ව ඇතැයි ද ඔහු කීවේය.

(aruna.lk -සාලිය කුමාර ගුණසේකර)

pe2024 2

worky sin

නවතම පුවත්