යුද පීඩිත කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දෙමළ පාසලක නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවයක නිර්මාණයක් සම්බන්ධයෙන් ත්‍රස්ත පොලිසිය විසින් විදුහල්පතිවරයා,
ගුරුවරුන් මෙන්ම සිසුන් ද පොලීසියට කැඳවා දිගින් දිගටම ප්‍රශ්න කිරීමෙන් නොනැවතී සෝදිසියේ යෙදෙන නිසා මුල් ගුරුතුමා ප්රමුඛ ගුරු කාර්ය මණ්ඩලය දැඩි මානසික පීඩාවකට ලක්ව සිටී.
කිලිනොච්චිය, කෝනාවිල් දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරුන් පත්ව සිටින පීඩාකාරී තත්වය පැහැදිලි කරමින් ඉන්නාසිමුත්තු සත්‍යසීලන් ගුරු පියා පෙන්වා දෙන්නේ පොලීසියේ ක්‍රියා කලාපය දෙමළ ප්‍රජාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමක් ලෙසිනි.
"මෙය අධ්‍යාපනික ප්‍රජාව බිහිකරන ගුරුවරුන්ට මනෝවිද්‍යාත්මකව බලපාන එක් කරුණක්. ඒ වගේම දෙමළ ප්‍රජාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමක්. මේ රටේ ආණ්ඩුව දෙමළ ජනතාවට සලකන්නේ දෙවැනි පන්තියේ පුරවැසියන් විදිහට බව මේකෙන් පේනවා."
ජාතීන් අතර සංහිදියාව ගොඩ නැංවීම හා ප්රතිසන්ධානය ගැන ප්‍රකාශ කරමින් ආණ්ඩුව මෙලෙස කටයුතු කිරිම විහිලු සහගත බව ගුරු සංගම් නායකත්වය පවසයි.
2024 මාර්තු 14 වැනිදා කෝනාවිල් දෙමළ මහා විද්‍යාලයේ පැවැති නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවයක් වෙන්වෙන් සකස් කළ නිවාසයක ද්වාරය ලෙස ශ්‍රී ලංකා සිතියමක, දෙමළ ජනයා ජීවත් වන ප්‍රදේශ සංකේතවත් කරමින් කළ නිර්මාණයක් භාවිතයට ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල ප්‍රචාරයක් ලැබීමත් සමග උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් මත පාලසට පැමිණි කිලිනොච්චිය දකුණ අධ්‍යාපන කොට්ඨාස කාර්යාලයේ නිලධාරීන් පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පති, උප විදුහල්පති, නිවාස බාර ගුරුවරුන්ගෙන් සහ නිවාසවල නායකත්වය ගත් ශිෂ්‍යයන් සමග සාකච්ඡාවත් පවත්වා වාර්තාවක් සකස් කර ඇත.
ඉන්නාසිමුත්තු සත්‍යසීලන් ගුරු පියා පවසන්නේ ඊට සතියකට පමණ පසු සිය පාසලට පැමිණි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) යේ කිලිනොච්චි, පරන්තන් ඒකකයේ නිලධාරීන් පාසලේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, ගුරුවරුන් කිප දෙනෙකුගෙන් එම ආකෘතිය සම්බන්ධයෙන් කරුණු විමසමින් ප්‍රකාශ සටහන් කරගත් බවයි.
ඊට පසු දිනෙක පාසලේ විදුහල්පතිවරයා CTID යේ කිලිනොච්චි, පරන්තන් ඒකකයට කැදවා පැය 4 ක පමණ කාලයක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවයේ විකට ඇඳුම් තරගයකට ඉදිරිපත් වු සිසුන් දෙදෙනකු දෙමාපියන් සමග ත්‍රස්ත පොලීසියේ පරන්තන් ඒකකයට කැඳවා, ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න කර ඇති බවයි ඉන්නාසිමුත්තු සත්‍යසීලන් ගුරු පියා පවසන්නේ.
ඒ සම්බන්ධයෙන් පාසල් බලධාරීන් විසින් දිවයිනේ පුමුඛතම ගුරු සංගමයක් වන, ලංකා ගුරු සංගමය දැනුවත් කිරීමෙන් පසු ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මෙන්ම කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයෙන් ඒ සම්බන්ධයෙන් විමසීම් කළ බවද ඉන්නාසිමුත්තු සත්‍යසීලන් සඳහන් කරයි.
ඉන් අනතුරුව ත්‍රස්ත පොලිස් ප්‍රශ්න කිරීම් තාවකාලිකව නැවතුන නමුත් ඒ දින වලදී නාදුනන පිරිසක් වාහන වලන් පාසල අවට සැසිසැරූ අතර එම වාහන උතුරු මැද පළාතේ සහ බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
අගොස්තු පළමු වැනිදා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) යේ කිලිනොච්චි, පරන්තන් ඒකකයේ නිලධාරීන් විසින් පාසලේ ගුරුවරුන් කීප දෙනකුට අගෝස්තු 8 වැනිදා එම ඒකකය වෙත පැමිණෙන ලෙස නැවත දැනුම් දී තිබේ.
ඒ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය යළි දැනුවත් කිරීමෙන් පසු එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඒ සම්බන්ධයෙන් මැදිහත් වු අතර ප්‍රකාශ ලබා දීම සදහා CTID වෙත පැමිණිමට අවශ්‍ය නොමැති බවට ත්‍රස්ත පොලීසිය එම ගුරුවරුන්ට දැනුම් දුන් බවත් සත්‍යසීලන් ගුරු පියා සදහන් කරයි.
යළිත් අගොස්තු 13 වැනිදා උදැසන 7.30 ට පමණ පාසලට පැමිණි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) යේ කිලිනොච්චි, පරන්තන් ඒකකයේ නිලධාරීන් එදිනම උදැසන 10 ට සිය ඒකකයට පැමිණෙන ලෙස පාසලේ උප විදුහල්පතිවරයාට සහ ගුරුවරුන් තිදෙනකුට කරන ලද නියෝගය පරිදි එම පිරිස එදිනම එම ඒකකයට ගොස් ප්‍රකාශ ලබා දී තිබේ.
14 වැනිදා පාසලේ ක්‍රිඩා ගුරුවරයාද පරන්තන් ඒකකයට කැඳවු බව පෙන්වා දෙන ඉන්නාසිමුත්තු සත්‍යසීලන් ගුරුතුමා අවධාරණය කරන්නේ පාසල් ගුරුවරුන් සහ සිසුන් කළ වරද කුමක්දැයි පොලීසිය හෙලි නොකළ බවයි.
"පවතින තත්වය හෙළිදරව් කරලා තමයි නිවාස සැරසිලි සිදු කරන්නේ. දකුණේ යුද හමුදා සන්නද්ධ රථ ප්‍රදර්ශනය කරලා තිබුනා. අපේ භූමියේ අප මුහුණ දී ඇති ඛේදවාචක සහ අප මුහුණ දෙන අර්බුදය ප්‍රදර්ශනය කිරීම ගැටලුවක් නම්, අපිට සලකන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්.
දෙමළ පාසල් සිසුන්ගේ කලා කෘතියක් විඳ දරා ගන්නට නොහැකි සිංහලයන් දිගින් දිගටම කරන පීඩාවන් හමුවේ දෙමළ ජනයාගේ මානසිකත්වය කෙබඳු දැයි සිතා බලන ලෙස ගුරු පියා ඉල්ලා සිටි.
"මේ තත්වය තුළ වාර්ගික සංහිඳියාව ගැන කොහොමද අපිට සිතන්න පුළුවන්. මේක කලාවක්. ඒක ඔයාලාට පිළිගන්න බැරිනම් ඇත්තටම ඒක අත්විඳපු අපේ මානසිකත්වය ගැන හිතන්න."
ත්‍රස්ත පොලීසියේ ක්‍රියා කලාපය හරහා පාසල් සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ අයිතිවාසිකම් කඩ වී ඇති බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය බලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්නේ ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනයා ජීවත් වන ප්‍රදේශ නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කිරීමේ අයිතියවත් පාසල් සිසුන්ට නැතිද යන්නයි.