ජනාධිපතිවරණයේ දී එක් අපේක්ෂකයෙකුට ඡන්ද දායකයන් වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව ගණනය වන්නේ අපේක්ෂකයින්
නාමයෝජනා භාර දුන් අගෝස්තු 15 දින සිට ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය වන සැප්තැම්බර් 21 දක්වා වූ කාල සීමාව තුළ සිදු කරන වියදම් වලට පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එ රත්නායක පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සිදු කරන වියදම් ගණනය වන කාල සීමාව පිළිබඳව අප කළ විමසීමේ දීය.
ගැසට් නිවේදනයේ ජනාධිපති අපේක්ෂකයන්ගේ වියදම් ගණනය වන කාල සීමාව සඳහන් කොට නැතත් නාමයෝජනා භාර ගැනීමෙන් දින පහක් තුළ ජනාධිපති අපේක්ෂකයන් සමග සාකච්ඡා කොට වියදම් සීමාව පිළිබඳව තීරණයක් ගත යුතු බව දක්වා ඇති බැවින් ඒ අනුව ජනාධිපති අපේක්ෂකයන්ගේ නාමයෝජනා භාරගත් දිනයේ සිට ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය දක්වා වූ කාලය තුළ අපේක්ෂකයන් සිදු කරන වියදම් පමණක් ගණනය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළ බව සභාපතිවරයා පැවසීය.
සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ නොයෙක් අඩුපාඩු ඇති බව තමා ද පිළිගන්නා බවත්, දින වකවානු පිළිබඳව පැහැදිලි සඳහනක් නොමැති තැන්වල දී මැතිවරණ කොමිෂන් සභාව උපකල්පනය කරමින් තීන්දු තීරණ ගන්නා බවත් ය.
ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකුට ඡන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 109 කි. ඒ අනුව, එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ හතළිස් දහස් තුන්සිය පනස් හතරක් වූ සමස්ත ඡන්දදායකයන් වෙනුවෙන් එක් අපේක්ෂකයකු වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව වන්නේ රුපියල් මිලියන 1862කි. (කෝටි 186කි)
(anidda.lk - ඇන්තනී වෙරංග පුෂ්පික)
සබැඳි ලිපි :
'2024 ජනාධිපතිවරණ වියදම්' - කුසල් පෙරේරා ගෙන් මැකෝ ට ලිපියක්
ඔබත් එකසිය නමයෙ කෑල්ලක්ද? - (අජිත් පැරකුම් ජයසිංහ)
මැතිවරණ කොමිෂමට එරෙහිව විජයදාස නඩු මගට
රටම බලාසිටි ගැසට්ටුව එළියට - උපරිමය රු 109යි