ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් පිළිබඳව අධීක්ෂණය සඳහා පිහිටුවා ඇති අධිකාරිය විසින් වසර එකහමාරක කාල පරිච්ඡේදයක් තුළදී වාර්තා වී ඇති වදහිංසා සහ ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධ පැමිණිලි 3,000කට ආසන්න ප්‍රමාණයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දී තිබේ.
ඒ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වී මාස හයක් ගතවීමත් සමගය.
දිගින් දිගටම සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳව මෙම භයානක තත්වය හෙළි වූයේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වොල්කර් ටර්ක් අගොස්තු 22 වැනිදා නිකුත් කළ නවතම සවිස්තරාත්මක වාර්තාව මගිනි.
“පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් සිදුකරන වදහිංසා සහ පීඩාකාරී සැලකීම් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව පවතින” බව සැප්තැම්බර් මස 9 වැනිදා සිට මාසයක කාලයක් පුරා පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 57 වැනි සැසිය වෙනුවෙන් සම්පාදිත වාර්තාවේ දැක්වේ.
“රට තුළ මූලික හිමිකම් සහ නිදහස භුක්ති විඳීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට හැකියාව ඇති කනසල්ලට තුඩුදෙනසුලු ප්‍රවණතා” මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ගේ වාර්තාව තුළින් අවධාරණය කෙරේ.
මෙම සොයාගැනීම් පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL) විසින් එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්ගේ කාර්යාලයට (OHCHR) ලබා දී ඇති තොරතුරු සහ දෙමළ බස කතා කරන උතුරේ වින්දිතයන් සමග කළ සාකච්ඡා මතය.
වාර්තාව පවසන අන්දමට, “ශ්‍රී ලංකා හිමිකම් කොමිසම විසින් මානව හිමිකම් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්ගේ කාර්යාලයට දැනුම් දී ඇත්තේ 2023 ජනවාරි මස සහ 2024 මාර්තු මස අතරතුර කාලයේදී කොමිසමට වදහිංසා පිලිබඳ සිද්ධීන් 2,845 ක් සහ අවමන් සහගත සැලකීම් පිලිබඳ පැමිණිලි 675 ක් ලැබී ඇති බවයි.”
“2023 ජනවාරි මස සහ 2024 මාර්තු මස අතරතුර කාලයේදී, බහිර්නීතික ඝාතන 21ක්, අත්අඩංගුවේ සිදු වූ මරණ 26ක්, සහ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම් පිලිබඳ පැමිණිලි 1,342ක් ලැබුණු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වාර්තා කර ඇත. රජය විසින් මානව හිමිකම් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්ගේ කාර්යාලයට දැනුම් දුන්නේ, 2023 සහ 2024 වසරවලදී වාර්තා වූ රඳවා තබාගැනීම අතරතුරදී සිදු වූ මරණ ගණන පිළිවෙලින් 14ක් සහ තුනක් වන බවත්, රඳවා තබාගැනීම් සහ ගැටුම් අතරතුරදී සිදුවන මරණ වැළක්වීම සම්බන්ධයෙන් පොලිසිය විසින් චක්‍රලේඛ අංක 2747/2023 නිකුත් කර ඇති බවත් ය.”
මානව හිමිකම් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්ගේ කාර්යාලය තවදුරටත් පවසන්නේ, “ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් ප්‍රධාන වශයෙන්ම යාපනය, කිලිනොච්චි, මන්නාරම, මුලතිවු, සහ වව්නියා දිස්ත්‍රික්ක තුළදී දෙමළ ජාතිකයන්ට එරෙහිව සිදුකර ඇති පැහැර ගැනීම්, අත්තනෝමතික රඳවා ගැනීම්, වදහිංසා, පීඩාකාරී සැලකීම්, සහ ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධ මෑතකාලීන චෝදනා අධ්‍යයනය කර ඇති බවත්, මෙම සිදුවීම් 2024 ජනවාරි මස තරම් මෑත කාලයේත් වාර්තා වන බවත්,” ය.
මේ සම්බන්ධයෙන් “පැහැදිලි රටාවක් මතු වී” ඇති බව පවසන වාර්තාව, දේශපාලන විරුද්ධවාදීන්, යුක්තිය ඉල්ලා විරෝධතා දක්වන්නන් සහ හිටපු දෙමළ විමුක්ති කොටි සාමාජිකයන් යැයි සැක කෙරෙන පුද්ගලයන් මෙවැනි සිදුවීම්වල ප්‍රධාන ඉලක්ක බව සිදුවීම් ගණනාවක් හරහා තහවුරු වන බව කියා සිටී.
“දෙමළ පුද්ගලයන් - ප්‍රධාන වශයෙන්ම අතුරුදන්වීම් හෝ ඉඩම්/පරිසර අයිතීන් සම්බන්ධ විරෝධතාවලට, යුද වින්දිතයන් සිහිපත් කිරීමට, සහ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට (LTTE) සම්බන්ධව සිට ඇති බව හෝ එම සංවිධානය සමග සබඳතා පැවැත්වූ බවට විශ්වාස කෙරන පිරිමින් - නිරීක්ෂණය කිරීම හෝ ඡායාරූප ගතකිරීම සිදු වූ අතර, ඉන් පසුව, පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හෝ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ (TID) නිලධාරීන් ලෙස වාචිකව තමන්ව හඳුන්වාගත් පුද්ගලයන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.”
හෙළි නොකළ ස්ථානවලට දෑස් බැඳ රැගෙන ගිය පුද්ගලයන් දින තුනත් පහත් අතර කාලයක් ප්‍රශ්න කිරීම්වලට ලක්කර තිබේ.
“වදහිංසා සහ කෘර, අමානුෂික හා අවමන් සහගත සැලකීම් සිදුකිරීම සඳහා ආරක්ෂක අංශ විසින් විවිධ තාක්ෂණික ක්‍රම භාවිත කළ බව විශ්වාසදායක සහ නිශ්චිත තොරතුරු” මානව හිමිකම් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්ගේ කාර්යාලයට ලැබී ඇත.
“සාකච්ඡාවට සහභාගී වූ පුද්ගලයන් ගණනාවක් තවදුරටත් වාර්තා කර තිබුණේ, ප්‍රශ්න කිරීම් අතරතුරදී හෝ රඳවා තබාගැනීමේ කුටිය තුළදී දුෂණය කිරීම, වෘෂණ මිරිකීම, නිරුවත් වීමට බල කිරීම, සහ පියයුරු සැපීම ඇතුළු ලිංගික වදහිංසාවලට මුහුණදුන් බවයි. එවැනි නොසැලකීම් නවත්වාගැනීමේ අරමුණින්ම තොරතුරු ගොතා පැවසීම, එසේත් නැත්නම් ‘පාපොච්චාරණය කිරීම’, සිදු කළ බවත්, හිස් කොළ හෝ වින්දිතයන්ගෙන් බහුතරයකට කියවීමට නොහැකි සිංහල බසින් තිබූ ලියකියවිලිවලට අත්සන් කළ බවත්, වින්දිතයන් විසින් පවසා ඇත.”
මෙම සිදුවීම් මාලාව අවසන් වන්නේ වරදකරුවන් තමන්ගේ සාක්කු පුරවා ගැනීමත් වින්දිතයන් රට හැරදමා යාමත් සමග වන අතර, එය, යුද සමයේ සිටම දණ්ඩමුක්තිය ලැබී තිබුණු හිංසාකාරී සහ දූෂිත ක්‍රියාවන් ය.
“සාකච්ඡාවට සහභාගී වූ පුද්ගලයන් සෑමදෙනාම පාහේ විස්තර කළේ ඥාතියකු විසින් ආරක්ෂක අංශවල සිටින යම් පුද්ගලයකුට අල්ලසක් ලබාදීමෙන් පසුව ඔවුන්ව නිදහස් කළ බවත්, එය බොහෝ අවස්ථාවලදී සිදු වූයේ අතරමැදියකු හරහා බවත් ය. ඉන් පසුව, ඔවුන් රට හැර පලා ගොස් ඇත.”
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රජය පවසා ඇත්තේ එජා සංවිධානය නගන චෝදනාවල ප්‍රමාණවත් තොරතුරු නොමැති බවයි. වාර්තාවට අනුව, රජය තවදුරටත් පවසා ඇත්තේ පැහැරගැනීම්, නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම්, සහ වදහිංසා පිලිබඳ චෝදනා බරපතල ලෙස සලකන බවත්, පුළුල් විමර්ශන සිදුකිරීමට සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කැප වී සිටින බවත් ය.
“අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම, බහිර්නීතික ඝාතන, වධ හිංසා පැමිණවීම, ලිංගික ප්‍රචණ්ඩත්වය, සහ වෙනත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් තහනම් බවත් ඒ පිලිබඳ ක්‍රමානුකූලව විමර්ශනය කොට දඬුවම් කරන බවත් හමුදාවට, බුද්ධි අංශවලට, සහ පොලීසියේ සියලු අංශවලට පැහැදිලි උපදෙස් ප්‍රසිද්ධියේ නිකුත් කරන ලෙස,” මානව හිමිකම් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්ගේ කාර්යාලය රජයට නිර්දේශ කර ඇත.