ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම ලබා දී ඇති සහතිකය ඉවත් කරන
ලෙස රට තුළ ජීවත් වන සිංහල නොවන ජාතීන්ගේ නියෝජිතයන් ඉල්ලා නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේකකයා අවධාරණය කර තිබේ.
ජාතික ජන බලවේගයේ රජයක් යටතේ බුදු දහමට ප්‍රමුඛත්වය නොලැබෙන බවට මැතිවරණ සමයේ විරුද්ධවාදීන් ගෙන යන ප්රචාරයන්ට ඔක්තෝබර් 23 පැවැති මහ සංඝ සමුළුවක් අමතමින් පිළිතුරු දුන් අනුර කුමාර දිසානායක (AKD) සඳහන් කළේ වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යහපාලන සමයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා තුලදී එවැනි කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් නොවු බවයි.
“ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය,” යනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ සඳහන්වේ.
“2015- 19 කාලේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීම පිළිබද සාකච්ඡාවක් තිබුනා. ඒකේ මුලසුන දැරුවේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඒකේ මම නියෝජනය කරා. අපේ බිමල් රත්නායක සහෝදරයා නියෝජනය කරා. සම්බන්ධන් මහත්තයා නියෝජනය කරා. මම ඒගොල්ලන්ගේ, ඇත්ත කතාව අපි කියන්න ඕන නිසා සුමන්තිරන් මහත්තයා නියෝජනය කරා. හකීම් මහත්තයා නියෝජනය කරා. මනෝ ගනේෂන් මහත්තයා නියෝජනය කරා. ඒ කිසිවෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය සංශෝධනය කළ යුතුයි කියලා කවුරුවත් ඉදිරිපත් කළේ නැ. ඒ කියන්නේ හැදුනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය එසේම සුරක්ෂිත වෙමින් තමයි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ."
ජාතික ජන බලවේගයේ රජයක් යටතේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම තහවුරු කර ඇති බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම ඒ අයුරින්ම ආරක්ෂා කරන බවට ජනතා විමුක්ති පෙරමුණටද නායකත්වය සපයන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජාතික භික්ෂු පෙරමුණ විසින් කැඳවන ලදුව සිව් දිගින් වැඩම කළ සඟ ගණ හමුවේ සහතික වී තිබේ.
"ඒ නිසා කවුරුත් මේ 9 වැනි වගන්තිය ඉවත් කළ යුතුයි කියලා සාකච්ඡාවක් හෝ උවමනාවක් නැ. කුඩා කණ්ඩායම්, අන්තවාදීන් අතේ ඇති. පොදු සමාජය තුළ නෑ. හැබැයි මොකද කරන්නේ අන්ත භීතිකාවක් හදනවා, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආවොත් 9 වැනි වගන්තිය අයින් කරන්න යනවලු. නෑ ඒක එසේම පවතින බවට අපේ හාමුදුරුවන් වහන්සේලා ඉදිරිපිට මම කියන්න කැමතියි. මේකද ඒක අර ව්‍යවස්ථා කමිටුව නියෝජනය කරපු සියළු දෙනාම ඒක ප්‍රශ්නයක් කර ගත්තේ නෑ. මේකයි ඇත්ත කතාව."
ශ්‍රී ලංකාව අර්බුදකාරී අවස්ථාවන්ට මූහුණ දෙන විටදී සංඝ සමාජය ප්රගතිශීලී කාර්යභාරයක් ඉටු කරන බවටත් අනුර කුමාර දිසානායක එහිදි වර්ණනාවක් කර තිබුනි.
"අපේ සමාජය කොයි හෝ මොහොතක අසරණ භාවයට පත් වෙනවාද? ඒ මොහොතේදීත්, අපේ භික්ෂු සමාජය ඉතාමත් ප්රමුඛ කාර්ය භාරයක් ඉටු කරලා තිබෙනවා. රට කොතනක හෝ අනතුරුකාරී තත්වයට පත් වෙනවාද ? අපේ හාමුදුරුවන් වහන්සේලා පෙරට ඇවිල්ලා ඒ කාර්ය භාරයට උර දීලා තියනවා. ඒ නිසා අපේ ශිෂ්ටාචාරය ගොඩ නැගීමේ පමණක් නෙමෙයි, අපේ හාමුදුරුවන් වහන්සේලාගේ සමාජ භාවිතාව, සමාජ වගකීම පැත්තෙන් බැලුවොත්, ඉතාමත්ම ප්‍රගතිශිලා කාර්යභාරයක් කරන භික්ෂු ව්‍යාපාරයක්, භික්ෂු සමාජයක් ලංකාවේ තිබෙනවා."
අනාගතයේ පහල වන්නා වු රාජ්‍ය නායකයන්ට ද ගුරු හරු කම් දිය හැකි සංඝ සමාජයක් රට තුළ වැඩ වාසය කරන බවට ජාතික ජන බලවේලගයේ නායකයා එහිදි දැඩි විශ්වාසය පළ කර තිබේ.