රට ගොඩගත හැක්කේ කයිය නායකයන්ට නොව වැඩ කරන නායකයන්ට බව සජබ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පැවසී ය.
හෙතෙම මෙලෙස පැවසුවේ තඹුත්තේගම නගරයේ දී පැවති මහජන රැලිය අමතමිනි.
විපක්ෂ නායකවරයා එහිදී මෙසේද පැවසිය.
කයියනායක සහ මගේ වෙනස
‘‘මම තඹුත්තේගම මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක බස් රථයක් දිලා පැය පැය හතළිස් අටක් යන්නත් කලින් කයිය නායකයෝ ටික මට ‘බස් මෑන්’ කියලා නම් පටබැනිදා. වසර හැත්තෑ හයක ප්රජාතන්ත්රවාදී ඉතිහාසය තුළ ප්‍රථම වතාවට මෙරට විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය රටට සේවයක් කරා; සක්වල හා හුස්ම වැඩසටහන් තුළින් පාසල් පද්ධතියට අගයක් එකතු කරා. එවායේ වටිනාකම රුපියල් බිලියනයකට ආසන්න යි. කයිය නායකයෝ දන්නේ කයිවාරු ගහන්න මිස වැඩ කරන්න නෙවෙයි. වැඩ කරන්න පුළුවන් හොඳම, ශක්තිමත් හා බුද්ධිමත් කණ්ඩායම ඉන්නේ මගේ ළඟයි.
කපා දැමෙන වගා ණය
කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා අපි ගුණාත්මකභාවයෙන් ඉහළ බීජ ලබා දෙනවා. ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොරත් ලබා දෙනවා. කිලෝග්‍රෑම් පනක පොහොර මිටිය රුපියල් පන්දහසකට ලබා දෙන්න කටයුතු කරනවා. රසායනික තෙල් දරාගත හැකි මුදලකට ලබා දෙනවා. වංචාවකින් දූෂණයකින් තොරව ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා තෙල් පොහොර ටික ලබා දෙන අතර ම ඊට අමතරව ඉන්ධන සහනයක් ද ලබා දෙනවා. ගොවි ජනතාව: පාස්කු ප්‍රහාරය, කොරෝනා කොවිඩ්, නැනෝ පොහොර වංචාවෙන්, කාබනික පොහොර හොරකමින් පසුව දැවැන්ත කඩා වැටීමකට ලක් වුණා; ඔවුන්ගේ දේපළ, කන-කර උගසට තියලා වගා කරත් අද වන විට මේ පිරිස ණය බරින් මිරිකිලා නිසා අපි බලයට පත්වුණ වහාම එම වගා ණය ද කපා දමනවා.
ගොවි ජනතාවට සහනදායී ණය
ආණ්ඩුවේ ගජමිතුරු කෝටිපතියන්ගේ සුපිරි සල්ලිකාරයන්ගේ ණය කපා හරින්න පුළුවන් නම් අහිංසක ගොවියාගේ ණයත් කපා හරින්න පුළුවන්. සුපිරි පොහොසතාට විතරක් නෙවෙයි... ගොවියාටත් රටේ සමාන තැනක් හිමිවිය යුතු යි. ගජමිතුරු සම්බන්ධතා නිසා අනීතිකව කපා හැරපු ඒ ණය නැවත අය කර ගන්නවා. එම ණය අය කරගෙන ගොවියාගේ ණය කපා හරිනවා. එමෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලින් ජනතාව මුදවා ගන්නාවා.
(සටහන - ජයසිරි අලවත්ත)