theleaderlk 01

රට කෙමෙන් කෙමෙන් ආපස්සට ගමන් කළේ 2015 ආණ්ඩුව හේතුවෙන් බව නාමල් රාජපක්ෂ පැවසී ය.


හෙතෙම එලෙස පැවසුවේ පසුගිය 24වන දින දිවුලපිටිය නගරයේ පැවැති ජනහමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ...

මහින්ද චින්තනයේ අගය සහ 2015

ලෝකයේ ම ආර්ථිකය දැවැන්ත කඩා වැටිමකට ලක් වුණත් වේගයෙන් සංවර්ධනය වන ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කරන්න මහින්ද රාජපක්ෂ යුගයට සහ මහින්ද චින්තනයට හැකියාව ලැබුණා. දෙදහස් පහළව අවුරුද්දට පෙර ස්වංපෝෂිත රටක්ව තිබුණු ශ්‍රී ලංකාවට ආදරය කරන දේශපාලන බලවේගය යහපාලන චිත්‍රයක් මවා පෙන්වමින් පරාජයට පත්කරා. ඊට පස්සෙ රට කෙමෙන් කෙමෙන් ආපස්සට ගමන් කරා. මහින්ද රාජපක්ෂ මහතා නතර කළ තැනින් මේ රටේ සංවර්ධනය ආරම්භ කරන්න මම සූදානම්. 

අපි අභියෝගවලට මුහුණ දීපු දේශපාලන බලවේගයක්. ඒ වගේම කිසිඳු අභියෝගයක් මගහැරල නැහැ. දෙදහස් පහේ දී ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභියෝගය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව අපේ බලවේගය බාරගත්තා. ඒක අපි ජයග්‍රහණය කරා. එදා දේශපාලනික වශයෙන් ලෝක ආර්ථික අවපාතයක් පැමිණියා. ලෝකයේ දැවැන්ත ආර්ථික කඩා වැටෙන විටත් ඒ අතර ලංකාව ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකය බවට පත්කරන්න එදා මහින්ද රාජපක්ෂ යුගයටත් මහින්ද චින්තනයටත් හැකියාව ලැබුණා. අපි දෙදහස් පහළවේ දි පරාජයට පත්වුණා. එදා මේ රටට ආදරය කරන දේශපාලන බලවේගය යහපාලනය කියා චිත්‍රයක් මවාගෙන පරාජය කළා; පරාජය කරා පමණක් නොවෙයි රටේ අනන්‍යතාවය විනාශ කරා.

 දෙදහස් පහළවට පෙර අපි ස්වයං පෝෂණය වෙලා තිබුණා. මිනිසුන්ට තුන්වේල කන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. දෙදහස් පහළවෙන් පස්සෙ ඒ තත්ත්වය නැතිවුණා. අපි බලශක්තියෙන් අංග සම්පූර්ණ වෙලා තිබුණා. දෙදහස් පහළවෙන් පස්සෙ එක මෙගාවොට් එකක් හෝ විදුලිබල පද්ධතියට එකතු කරේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා පටන් ගත්ත උමා ඔය, සාම්පූර් බලාගාරය අතරමග නතර කරා, ආර්ථිකය බලා සිටිය දී කඩා වැටුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල වුණා. ත්‍රස්තවාදී බිය, පාසල මුරකරන බිය, දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති බිය අම්මා තාත්තාට ඇතිවුණා.

අපේ ආණ්ඩුව වැටුණ හේතුව


දෙදහස් දර අටේ දි අපිව මහ පාරේ ඇවිද්දවනවා කියල කිවුවා. එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සන්ධාන ගතවීම නිසා, අපි විශ්වාස කරන දේශීය චින්තනය සහ ප්‍රතිපත්ති ඒ දේශපාලන කඳවුරේ නැතිනිසා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදුවා; ඒ අභියෝගයත් ජයග්‍රහණය කළා පමණක් නොවෙයි එතනින් පසුව පැමිණි හැම මැතිවරණයක්ම අපි දිනුවා. කොවිඩ් දහනමය වසංගතය ආවා. ලෝකයේ බලවත් රටවල් ආර්ථික වශයෙන් කඩාගෙන වැටුණා. අපිටත් තිබ්බා මොන ප්‍රශ්න ආවත් අපි ආර්ථිකය හදනවා කියන තැනට වෙලා මිනිස්සුන්ට මැරෙන්න දීලා බලා ඉන්න. එන්නත් ටික ගේන්නේ නැතිව ලෝකයේ ඇතැම් රටවල් වගේ බලන් ඉන්න තිබුණා. නමුත් එදා ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුව තීරණය කළා මිනිස්සුන්ට මැරෙන්න දෙන්න බැහැ කියලා. මිනිස්සු ජීවත්වන තැනට අපි වැඩකළා. අපි ඒ අභියෝගයත් ජයග්‍රහණය කළා. 

කුමන්ත්‍රණයක් ආවා නැවත වරක් මේ රටට ආදාරය කරන බෞද්ධ දේශපාලන කඳවුර කඩාගෙන වට්ටන්න. ඒ අනුව අපේ ආණ්ඩුව වැටුණා. අපිට තීන්දු කරන්න තිබුණා රාජ්‍යය වට්ටනවා ද ආණ්ඩුව වට්ටනවා ද කියලා. අපි තීන්දු කළා ආණ්ඩුව අඩියක් පස්සට ගමු රාජ්‍යය ආරක්ෂා කරනවා කියලා. අද බංගලිදේශයට වෙලා තියෙන්නේ කුමක් ද ? රාජ්‍යය කඩන් වැටිලා. කවුරු පාලනය කළත් රාජ්‍යය කඩන් වැටිලා.  අපි රාජ්‍යය වැටෙන්න දුන්නේ නැහැ. ආණ්ඩුව පස්සට ගත්තා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමඟ අපි ආණ්ඩුවක් හැදුවා. අපි උපරිම සහාය ලබාදුන්නා. සමහර පෝලිම් ඉවත් වුණා. ඇතැම් පෝලිම් දික්වුණා. තෙල් පෝලිම ඉවත්වුණා. පාස්පෝට් පෝලිම දික්වුණා.

රාජ්‍ය සේවය පිළිබඳ අපේ දැක්ම

අපි අලුත් පරම්පරාව බලාපොරොත්තු වන තැනට මේ රට රැගෙන යන්න ඕන. ඒ සඳහා අවශ්‍ය නූතන ප්‍රතිපත්ති අපි අනුගමනය කළයුතු වෙනවා. අපි විශ්වාස කරනවා මේ රට නවීකරණය ක ළයුතුයි කියලා. අපි නවීකරණය වීම රාජ්‍ය සේවයෙන් ආරම්භ කරන්න ඕන. රාජ්‍ය සේවකයාට ගෞරවයක් දෙන්න ඕන. අද සමහර දේශපාලාන නායකයෝ රාජ්‍ය සේවයට තිබෙන තැන බැලුවාම, ඒ අයගේ අදහස් බැලුවාම, පහත් කරලා කතා කරන විදිය බැලුවාම, රාජ්‍ය සේවය නිසි ගෞරවය ලැබෙනවා ද නැද්ද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. අපේ වෘත්තීය සමිතිවලට සලකන විදිය බැලුවාම මේ රටේ වැඩ කරන පංතියට සලකන ආකාරය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීන්දු කළේ ගෞරවාන්විත රාජ්‍ය සේවයක් වගේම වෘත්තීය සමිති ව්‍යාපාරයට ගරු කරන දේශපාලන බලවේගය අපි ආරක්ෂා කරන්න. අපි හැදිච්ච පදනම එතන. අපි විශ්වාස කරනවා රාජ්‍ය සේවය තාක්ෂණයත් සමඟ බද්ධ වියයුතු බව.

තෙල් පෝලිම අවසන්; පාස්පෝට් පෝලිම...?

දරුවන් පාස්පෝට්, රියදුරු බලපත්‍රය, ජාතික හැදුනුම්පත ගන්න පෝලිමේ ගිය යුගය අවසන් කළයුතු වෙනවා. සැබෑ පෝලිම් යුගය අවසන් වන්නේ එවිටයි. දෙහස් දහඅට දෙදහස් දහනමය තෙල් පෝලිම සහ ගෑස් පෝලිම ඇතිවුණා. දෙදහස් වාසි එකේදිත් එවැන්නක් වුණා. ලෝක ආර්ථිකය සහ රටේ ආර්ථිකය සමග ඇතැම් දේ වෙනස් වෙනවා. නමුත් පාස්පෝට් පෝලිම ඇතිවෙන්න දෙන්න බැහැ. ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය ගන්න පෝලිම් හැදෙන්න දෙන්න බැහැ. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණ විප්ලවයක් අපි කළයුතු වෙනවා. තාක්ෂණය සමග ඒ ක්‍රමවේදය අපි බද්ධ කළයුතු වෙනවා. 

ඒ වගේම රාජ්‍ය සේවකයාගේ වැටුප රටේ උද්ධමනය සමග ගැළපිය යුතු වෙනවා. මැතිවරණ වේදිකාවේ මැතිවරණ පොරොන්දුවලට පඩි වැඩිකරන යුගය අවසන් කළයුතු වෙනවා. පසුගිය කාලයේ පඩි වැඩි කරන්න විදියක් නැහැ සල්ලි නැහැ කියපු අය දෙදහස් විසි පහේ සිට පඩි වැඩි කරන්න කතා කරනවා. පසුගිය කාලයේ විදුලිබිල අඩු කරන්නත් බැහැ කිවුවා සල්ලි නැහැ කියලා. දෙදහස් විසි පහේ සිට අඩු කරනවා කියනවා. නමුත් අපි දේශපාලාන වේදිකාවේ දී රාජ්‍ය සේවක වැටුප තීන්දු කරන්න ඕන ද...? රාජ්‍ය සේවකයාගෙ පඩි වැඩිකර ගන්න මැතිවරණයක් එනකල් බලන් ඉන්න ඕන ද...? අපි ඒ සඳහා පැහැදිලි ක්‍රමවේදයක් සැකසිය යුතු වෙනවා.

රැකියා දස ලක්ෂයක්

කවුරු බලයට ආවත් කවදා මැතිවරණයක් තිබුණත් රටේ උද්ධමනයට සාපේක්ෂව මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ හා පුරවැසියන්ගේ ආදායම් වැඩි කළයුතු වෙනවා. ඒ නවීකරණය කරා අපේ රට රැගෙන යායුතු වෙනවා. එවැනි නවීකරණ ප්‍රතිපත්ති මාලාවක් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙනවා. තරුණයන්ගේ විරැකියා ප්‍රශ්නය, මැතිවරණ කාලයේ රැකියා ලක්ෂය, දහස ආදිය ප්‍රතිපත්ති ප්‍රකාශනවල දානවා. නමුත් රැකියා වැඩිකිරීමේ වැඩපිළිවෙල කුමක් ද ? අපි අදටත් විශ්වාස කරනවා මේ රටට ආයෝජකයන් ගේන්න ඕන. ඔවුන්ට සහන දියයුතු වෙනවා. ඒ අයට මේ රටට පැමිණ ආයෝජනයට අවශ්‍ය පරිසරය සැකසිය යුතු වෙනවා. 

ලෝක වෙළඳළල සමග නිෂ්පාදන පිරිවැය අඩුකරමින් අපිත් එක්ක හැප්පෙන, අපේ වගේ ආයෝජන ගේන අනෙක් රටවලට සාපේක්ෂව අපේ රට ආකර්ෂණශීලී වියයුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය නූතන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කළයුතු වෙනවා. රැකියා ලක්ෂයක් නොවෙයි දස ලක්ෂයක් උත්පාදනය කරනවා. ඔබේ දරුවා වෙනුවෙන් ඊළඟ වසර පහ ඇතුළත තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, නිෂ්පාදන ක්ෂේත්‍රය, සේවා ක්ෂේත්‍රයන්වල රැකියා ලක්ෂ දහයක් උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළ අපි මේ රටේ යථාර්ථයක් බවට පත් කරනවා. ඒක අපේ වගකීමක්. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු අපි ළඟ තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය දේශපාලනික උවමනාවන් අපි ළඟ තිබෙනවා. මේ රටේ තරුණයන්ගේ ප්‍රශ්නයට අපි විසඳුමක් දියයුතු වෙනවා.

සංස්කෘතියට සහ ආගමට ගරු කරන සමාජයක්

ලෝක රැකියා වෙළඳපොළට බද්ධ වුණු අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක් කරන්න කටයුතු කරනවා. රැකියා වෙළඳපළට සාපේක්ෂව, රැකියා වෙළඳපළට අනුකූලව රැකියා ගතවීම සඳහා අවශ්‍ය අධ්‍යාපන ක්‍රමයක් අපි හඳුන්වා දෙනවා. රැකියා ගතවීම සදහා අධ්‍යාපනයට යනවා ද උසස් පෙළ කර උපාධියක් දක්වා යනවා ද යන්න තීන්දු කරන්න දරුවන්ට පුළුවන්. ඒ නිදහස අපි නිර්මාණය කරදිය යුතු වෙනවා. එක් පැත්තකින් තරුණයන්, දෙමාපියන් නීතියේ ආධිපත්‍යය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද සමාජය මුහුණපාලා තිබෙන ගැටළු බලන්න. අද ළමා අපචාර දෙස බැලුවාම, මිනී මැරුම් දෙස බැලුවිට දැවැන්ත බිඳවැටීමක් අපේ සමාජයේ තිබෙනවා. ඒ බිඳවැටුණු සමාජය ගොඩනැගීමේ වගකීම ආණ්ඩුවකට තිබෙනවා. 

ඒ නිසා අපේ සංස්කෘතියට, ආගමට ගරු කරන සමාජයක් අපි ගොඩනගන්න ඕන. දරුවා පන්සලෙන්, පල්ලියෙන් ඈත් කරා කියලා, ආගම දහම විශ්වාස නොකරන දේශපාලන ප්‍රතිපත්ති රටේ ස්ථාපනය කරා කියලා මේ රටේ සමාජය ගොඩනැගෙන්නේ නැහැ. ළමා අපචාර, කාන්තා හිංසනයට එරෙහිව දැඩි නීති අපේ රටේ සම්පාදනය කරනවා වගේම ඒවා ක්‍රියාත්මක වියයුතු වෙනවා. ඒ නිසා සමාජය ගොඩනගන්න මේවා වැදගත් වෙනවා. සංස්කෘතිය කේන්ද්‍ර කරගත් සමාජයක් ගොඩනගන්න අවශ්‍ය වෙනවා.

ව්‍යවසායකයින්ට ආයෝජන අවස්ථා

දෙමාපියන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ජීවිත කාලය තුළ හොද ආදායම් මාර්ගයක් උත්පාදනය කරගෙන සතුටින් ජීවත් වෙන්න. අම්මා, තාත්තාගේ බලාපොරාත්තුව දරුවාට හොදට උගන්වන්න. අධ්‍යාපනයට වගේ ම දරුවාගේ දැනුමට හා වෘත්තියට සරිලන රැකියාවක් ලැබෙන්නේ නැතිනම් දුක් විඳිනවා විතරක් නෙවෙයි... දරුවා අපේක්ෂා කරන ආදායම් මාර්ගවලට යන්න නොහැකි වෙනවා. අපි ඒ වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ගමේ ව්‍යාවසායකයා ආරක්ෂා කරනවා. අද බොහෝ අය ව්‍යවසායකයන් ගැන කතා කරනවා. මොකක් ද වැඩපිළිවෙළ...? මේ රටේ ග්‍රාමීය බැංකුව, සමූපකාර බැංකුව ශක්තිමත් කළයුතු වෙනවා. ඒ ග්‍රාමීය බැංකුව හරහා ව්‍යවසායකයන්ට අවශ්‍ය ආයෝජන ලබාදෙන්න කටයුතු කළයුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නත් අපි කටයුතු කරනවා. 

ගම තුළ අලුතින් රැකියා උත්පාදනය කරනවා පමණක් නොවෙයි ගම තුළ අලුත් ව්‍යවසායකයන් බිහි වෙනවා. දේශපාලනික වශයෙන් සමාජීය හා ආර්ථික වශයෙන් ශක්තිමත් පරම්පරාවක් අපේ ගම්මාන තුළ බිහිවෙයි කියා විශ්වාස කරනවා. අපි දේශපාලනික වශයෙන් තීන්දු ගන්නවා.

 සමහර තීන්දු පෞද්ගලිකව ගන්නවා. සමහර අය තීන්දු ප්‍රතිපත්තිමය වශයෙන් ගන්නවා. ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලන තීන්දු තීරණ ගන්නා දේශාලඥයන් අපේ රටේ අඩුයි. අවංකව ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලන තීන්දු ගන්න පිරිසක් අද මෙතන ඉන්නවා. ඒ පණිවුඩය ගමට ගෙනයන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම්. අපේ ගම කේන්ද්‍ර කරගත් සමාජයක් ගොඩනඟන්න දේශීය අනන්‍යාතවය කේන්ද්‍ර කරගත් රටක් ගොඩනඟන්න මේ ජනතාව වෙනුවෙන් පෙළගැසුණු වැඩපිළිවෙලක් සමග මේ රට නැවත වරක් ලොව සීග්‍රයෙන් දියුණු වන රට බවට පරිවර්තනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රට ගොඩනගන්න සූදානම්.   



ඡන්දයට එන අයට උගන්වන පාඩම
 
fa4b1e22 b30e 4081 9163 4467f76885a8
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නාහිමි,
 
‘‘හාමුදුරුවනේ රනිල් මහත්තයා පෝලිම් ඉවර කරා. ඒ නිසා රනිල්ගේ වේදිකාවට නැග්ගොත් හොඳයි නේද කියා මගෙන් ගොවියෙක් ඇහුවා. එදා රජෙක් නොමැති අවස්ථාවකට ගොන්ගාලේගොඩ බණ්ඩාට ඔටුනු පළන්දවපු පරපුරේ අපි ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. යුද්ධය අවසන් කරපු ආදරණීය නායාකයා මහින්ද රාජපක්ෂ දාලා යන්නේ නැහැ. මේ රට ආරක්ෂා කරේ ඔහු යි. යුද්ධය අවසන් කරේ රණවිරුවන් කියා ඇතැමුන් කියනවා. නායකයෝ කී දෙනෙක් හිටියා ද...? යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබාදුන්නා. මැයි නමය අරගලය අපි දන්නවා. 

එදා යුද්ධය පවතින කාලයේ අපේ නායකයෝ විශාල ප්‍රමාණයක් ඝාතනය කරා. එදා මැයි නමවෙනිදා මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරය ඇතුළෙ ම මරා දමන්න ඇතැමුන් උත්සාහ කළා. ඒ වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරා. නමුත් ජාතියේ වාසනාට මහින්ද රාජපක්ෂ මහතා එදා බේරුණා. නමුත් මේ සටන අපි කරන්නේ ජාතිය, ආගම, රට බේරා ගන්නටයි. එහෙම නැතිව ගෑස් ටැංකිය බේරා ගන්න නොවෙයි. මේ රටේ සංස්කෘතිය බිමට සමතලා කරන්නත් ඔවුන්ට අවශ්‍ය වුණා. නමුත් මේ රටේ ඕනෑම අයෙකුට ඉන්න පුළුවන්. නමුත් වේළුකුමාරට ඉන්න බැහැ. දිගම්බරම් පහර දෙනවා. මේ සංස්කෘතිය තුළ ඕනම කෙනෙකුට ඉන්න පුළුවන්. එහෙම සංස්කෘතියක් නිර්මාණය කරේ මහින්ද රාජපක්ෂ මහතායි.

 මේ කට්ටිය කටයුතු කරන්නේ තමන්ගේ ආත්මය පාවා දෙන්නයි. නාමල් රාජපක්ෂට ඡන්දය දෙන්න අවශ්‍ය ඇයි කියා අපි තීන්දු කරන්න ඕන. දෙදහස් පහළව වසර වනවිට මේ රටේ වරාය, ගුවන් තොටුපළ, අධිවේගී මාර්ග සාදා තිබුණා. පාවා දෙන දේශපාලනය අපේ රටෙන් නතර කළයුතු වෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ පිංතූරය උඩින් ගහලා ඡන්දයට එන සැමට අපි පාඩමක් ඉගැන්විය යුතු වෙනවා. ජාතියට පණ දෙන්න පුළුවන් නායකයින් මේ රටට පත්කළ යුතු වෙනවා.’’

අදත් කුමන්ත්‍රණ ක්‍රියාත්මකයි - රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ
 
anuuruddhaw
විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ
 
‘‘අද අපේ කඳවුර වෙනුවෙන් පෙනී සිටින පිරිසක් ඉන්න්වා. නමුත් වරදාන, වරප්‍රසාද වෙනුවෙන් අපේ කඳවුරෙන් යන පිරිසකුත් ඉන්නවා. මේ මැතිවරණ කොට්ඨාසය ඵෙතිහාසික එකක්. වම නියෝජනය කළ දැවැන්තයින් මේ ආසනයේ ඉන්නවා. නමුත් ඒ අයගේ පවුල්වල විශාල පිරිසක් විවිධ වරප්‍රසාද වෙනුවෙන් වෙන්ව යන මොහොතක මම මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී ඉන්නවා. ස්වාභාවධර්මය එදා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පුටුව දක්වා ගෙනාවා. අපි අසීරු අවස්ථාවල කටයුතු කරනවා. ඒ අභියෝග ජයගනිමින් අපි ඉදිරියට ගමන් කරනවා. 

දෙදහස් පහළව වසරේ අපිට අත්වුණු ඉරණම කුමන්ත්‍රණයකින් සිදුවුණා. අදත් එවැනි කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා. මේ මැතිවරණ සටනේ ඕනෑම පක්ෂයකට මෙවැනි පිරිසක් ගේන්න හැකියාව නැහැ. මේ පද්ධතිය තිබෙන්නේ අපි ළඟ විතරයි. මේ කඳවුරට අපි නායකත්වය දිය යුතු වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා කිසිදා වම පාවා දුන්නේ නැහැ. මේ දිනවල එක එක දූතයෝ විශාල මුදල් රැගෙන අපි ළඟට එනවා. නමුත් ඒ කියන උන්ට රනිල් දිනවන එක හිතකර වුණත් වමට නම් ඉතාම අහිතකරයි. මේ වෙලාවේ අපි රට, ජාතිය ගැන සිතා කටයුතු කළයුතු වෙනවා. අපි ඒ වෙනුවෙන් යුතුකම ඉටුකරනවා. අපි ග්‍රාමීය කමිටු ස්ථාපිත කර අවසන්. අපි ඡන්ද ව්‍යාපාරයේ ඉන්න්වා. ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. අපි එදා දිවුලපිටියෙන් ඡන්ද පනස් එක්දහසක් ලබාගත්තා. ඡන්ද එක්දහස් හයසීයක් ලබාගත් රනිල් මහතා දිනවන්න කියා අපෙන් ඉල්ලනවා. ඒ නිසා අපි අපේ වැඩපිළිවෙල ඉදිරියට ගමන් කළයුතු වෙනවා.’’

අපි රට කරන්නෙ මහින්ද රාජපක්ෂගෙ විදියට - ජොන්ස්ටන් ප්‍රනාන්දු
 
johnny345
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු,
 
‘‘අද අපි එකතු වෙලා ඉන්නේ අපේ රට ඊළඟ අවුරුදු පහ බාරදෙන්නේ කාටද කියා තීන්දු ගන්නයි. අපේ රට සංවර්ධනය කිරීම, තරුණ තරුණියන්ට රැකියා ලබාදීම, ආර්ථික වර්ධනය ආදිය මෙහි දී තීරණය කළයුතු වෙනවා. දෙදහස් පහළව වසරේ සිට දෙදහස් දහනමය වර්ෂය දක්වා මේ රටට ඇතිවූ ඉරණම අපි දන්නවා. එදා මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් නොවුණා නම් අද මේ ඉරණම අපේ රටට අත්වන්නේ නැහැ. එදා අපේ මහලේකම්වරයා අපේ පක්ෂය පාවා දුන්නා. රට ජාතිය ගැන කතා කළ නායකයින් ඒ කුමන්ත්‍රණයට අසු වුණා. කුමන්ත්‍රණය හැමතැනම ක්‍රියාත්මක වුණා. සියලු බලවේග එක්ව දෙදහස් පහළව වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්කළා. ඒ නිසා මේ සියලු දෙනා රටට සිදුවූ අපරාධයට වගකිව යුතු වෙනවා. 

මහින්ද රාජපක්ෂ මහතා මේ රටට දැවැන්ත සංවර්ධනයක් ගෙනාවා. රටේ ආර්ථිකය වේගයෙන් සංවර්ධනය කරන්න එදා මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා. නමුත් එතුමා පරාජයට පත්වීමෙන් පසුව රටේ ආර්ථික වර්ධනය අඩාල වුණා. අද ලෝකයේ ප්‍රවණතාවය තමයි තරුණ නායකයන්ට අවස්ථාව දීම, ඒ අනුව තායිලන්තය, ප්‍රංශය වගේ රටවල් ඒ ක්‍රමය අනුගමනය කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා මේ රට මෙහෙයවපු ආකාරයට නව තාක්ෂණය සමග රට මෙහෙයවන්න නාමල් රාජපක්ෂට අවස්ථාව තිබෙනවා.’’   

එදා ඉන්ධන ගෙනාපු විදිය
 
kutti4564
පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි,
 
අපි එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කරන්න කිවුවේ නැහැ. රාජපක්ෂවරුන් තමයි එහෙම කිවුවේ. ඒ නිසා ඉතිරි අවුරුදු පහක් ජනාධිපති කරන්න බැරි ඇයි කියා ප්‍රසන්න රණතුංග අහනවා. අවුරුදු දෙකකට රනිල් පත්කරා තමයි. එයා පත්කරේ අපි. ඒ අරගලය වෙලාවේ කිවුවා රාජපක්ෂලාට ඇමැතිකම් දෙන්න බැහැ කියලා. පොහොට්ටුවේ කෙනෙකුට ජනාධිපතිකම, අගමැතිකම දෙන්න බැහැ කිවුවා. ඒ නිසා තමයි පොහොට්ටුවේ නොවෙන කෙනෙක් විදියට රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරේ. අපි එදා ආණ්ඩුවක් විදියට සහාය ලබාදුන්නා. ඒ කළ දේ ප්‍රසන්න රණතුංගට අමතක වෙලා තිබෙනවා. එදා තිබුණු ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවක් ලෙස අපිට වගකීමක් තිබුණා. අස්ථාවර රට ස්ථාවර නොකර දාලා දුවන්නේ නැහැ. ඒ නිසා පෝලිම් නතර කරන්න අවශ්‍ය පියවර ගත්තා. අද ප්‍රසන්න රණතුංග අගමැති වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියා ආරංචියි. මහින්ද රාජපක්ෂ මහතා තිස් වසර යුද්ධය අවසන් කරන්න ක්‍රියාමාර්ග ගත්තා. මහින්ද රාජපක්ෂ මහතා මේ රටට වැදගත් සේවාවක් සිදුකළා. මහින්ද චින්තන ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නා. රට සංවර්ධනය කරන විදිය, ඉදිරියට ගමන් කරන විදිය, ජාත්‍යන්තර වශයෙන් ගණුදෙනු කරන විදිය ඒ තුළ තිබෙනවා.

ඒ ප්‍රතිපත්තියි ඉතා හොඳින් නිර්මාණය කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා නතර කළ තැනින් නාමල් රාජපක්ෂට මේ රටේ සංවර්ධනය පටන් ගන්න පුළුවන්. රට සංවර්ධනය කරන විදියක් සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක ළඟ නැහැ. රනිල් වික්‍රමසිංහට ඒ ප්‍රතිපත්ති ගැළපෙන්නේ නැහැ. එදා මුදල් ඇමැති ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් සාකච්ඡා කොට ඩොලර් බිලියන හතරක සහන ණය මුදලක් ලබාගත්තා. ඒකෙන් තමයි අපිට ඉන්ධන, ආහාර ගේන්න අවශ්‍ය පියවර ගත්තේ.

අතීතය අමතක කුහකයෝ
weera3453
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ,
 
අපි අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරනවා. මහින්ද මහත්තයා මේ රට බාරගන්න අවස්ථාව වනතෙක් අපි ජීවත් වුණේ කැලේ. නමුත් මහින්ද රාජපක්ෂ මහතා මේ රට බාරගත් පසුව අපිට ආයෙත් නිවෙස්වල ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා. මහින්ද රාජපක්ෂ මහතා අපේ රටට සාමය ගේන්න, සංවර්ධනය කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා. මහින්ද රාජපක්ෂ මහතකා එලෙස කටයුතු කළ නිසා තමයි අපි අද මෙහෙම රැස්වීම් පවත්වන්නේ. බෙදාගත්ත බත් එක කාලා හෙට උදේ නැගිටින්න අවස්ථාව ලැබෙයිද කියා විශ්වාසයක් නොමැතිව එදා අපි නිදාගත්තේ. මම ත්‍රස්තවාදී ජනතා විමුක්ති පෙරමුණෙන් බැට කැව පුද්ගලයෙක්. 

එදා ත්‍රස්තවාදීන් පහර දුන්න ආකාරය මම ඇස් දෙකින් දැක තිබෙනවා. නමුත් ඒ තත්ත්වය මේ රටේ කුහකයන්ට අද අමතකයි. එහෙම අවිශ්වාසයක් තිබුණ රටක අපි ජීවත් වුණේ. අද රෑට කන්න නැතත් හෙට උදේ බය නැතිව නැගිටින්න පුළුවන් කියා විශ්වාසයක් තිබෙනවා. එහෙම තිබුණු රටකට නිදහස් වීමේ අයිතිය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. මේ රට බේරාගත්ත නායකයා දාලා යන්නේ පාහරයන් කියා මම කියනවා. මට එහෙම දාලා යන්න බැහැ. ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පරාජය කරන්න මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා. ත්‍රස්තවාදය පරාජය කරන්න බැහැ කියලා අපේ කට්ටියත් කියනවා. එහෙම රට බේරගත්ත නායකයාගේ පුත්‍රයා අද ජනාධිපතිවරණයට ඉදිරිපත්ව තිබෛනවා.

කොන්ද පණ තියෙන නායකයා

පොලිස් බලතල, ඉඩම් බලතල දෙන්නේ නැහැ කියා කියන්න් තරම් කොන්දක් තිබෙන්නේ නාමල් රාජපක්ෂට පමණයි. අපි අද නියෝජනය කරන්නේ මේ රට සංවර්ධනය කරන්න පියවර ගත්ත කායකයාගේ කඳවුරයි. මහින්ද රාජපක්ෂ මහතා මේ රට බාර ගන්නා විට අපේ ගමට තිබුනේ එක දුරකතනයයි. අපේ ගම්වලට දුරකතන තිබුනේ නැහැ. නමුත් දෙදහස් පහ වසරින් පසුව දුරකතන, වාහන පැමිණෙන ආර්ථිකයක් නිර්මාණය කළා. ජනතා විමුක්ති පෙරමුණ විසින් අපේ රටේ හැට දහසක් තරුණ තරුණියන් මරා දැම්මා. ඔවුන්ගේ ප්‍රතිපත්තිය තවමත් වෙනස් වෙලා නැහැ. අරගලයෙන් පසුව අපි නිහඬයි. නමුත් අපි දැන් කට ඇරිය යුතු වෙනවා. අපි නියෝජනය කරන්නේ මේ රට බේරාගත්ත නායකයාගේ පක්ෂය. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ තමන්ගේ ගුරුවරයාට වෙඩි තබා මරා දමන පක්ෂයක්. නාමල් රාජපක්ෂ මහතා එළඹෙන විසි එක්වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජය ගන්නවා.’’

මෙහි දී යුද ගැටුම් නිමා කරමින් රට සංවර්ධන මාවතට යොමුකළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට උපහාර පිරිනැමුනු අතර එම තිළිණය රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ අතින් මහින්ද රාජපක්ෂ වෙත පිළිගැන්වීම සිදුවිණි.


පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී රත්නායක ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

(සටහන - ජයසිරි අලවත්ත)

 
NR 345
NR 346

pe2024 2

worky sin

නවතම පුවත්