theleaderlk 01

මාස විසිහතරකින් ජනතාව දුප්පත්කමින් මුදවන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ අද (26) කන්තලේ සේරුවිල නගරයේ දී පැවති ජන රැලිය අමතමිනි.

මතු දැක්වෙන්නේ එම රැලියේ දී විපක්ෂනායකවරයා කළ සම්පූර්ණ අදහස් දැක්වීම ය.

දුප්පත්කම තුරන් කරන්නේ කාලවකවානුවකට අනුව යි

‘‘ජීවත් වීමේ මාර්ගයක් නොමැති, පැහැදිලි ජීවනෝපායක් ආදායම් මාර්ගයක් නොමැති එදිනෙදා වේල් තුනවත් සපුරා ගත නොහැකි දුප්පත් ජනතාව වෙනුවෙන් ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම හා ගැමිදිරිය වැඩසටහන්වල හොඳ ගුණාංග එකතු කරලා, අඩුපාඩු තුරන් කරලා, දුගී දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා සඳහා, පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය සහ අපනයනය යන කරුණු කේන්ද්‍ර කරගෙන දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩසටහනක් හරහා මසකට රු. විසි දහසක ප්‍රතිපාදනයක් ලබා දෙමින් මාස විසි හතරකින් දුප්පත්කමින් මුදවන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.  

කවුරුවත් සදාකාලිකව දුප්පතුන් වෙන්න ඕනෙ නෑ; දුප්පත්කම කියන වහල් භාවයට යට වෙන්න වුවමනා නෑ. විවිධ ඛේදවාචක නිසා, අමනෝඥ සටකපට අකාර්යක්ෂම රාජ්‍ය ප්‍රතිපත්ති නිසා දුප්පත් වුණත් සදාකාලිකව දුප්පත්කමේ ඉඳගෙන පිං පඩි ගන්නා සමාජයක් බිහි නොවිය යුතුයි. අභිමානවත් ජනතාවක් සිටින අපේ රටේ කාගේවත් වහලෙක් සේවකයෙක් නොවී අත නොපා ස්වශක්තියෙන් ස්වෝත්සාහයෙන් නැගී සිටීමට කැමැති ජනතාවක් සිටින නිසා කාලවකවානුවක් අනුව දුප්පත්කම තුරන් කරනවා.


කාන්තාව මූලික කරගත් විසි දහසේ සහනය

මේ රුපියල් විසි දහසේ සහනය දෙන විට මාස විසි හතරක් පුරා ලැබෙන මේ ආධාර උපයෝගී කර ගෙන දුප්පත්කමින් මිදෙන්න කටයුතු කළ යුතු යි. ඒ ප්‍රතිලාභ ලබා දෙන්නේ ගෘහයේ සිටින කාන්තාව මූලික කර ගෙන යි. ගෘහයේ සියලු ක්‍රියාදාම විධිමත්ව, ශක්තිමත්ව සහ විනයවත්ව ක්‍රියාත්මක කරන්නේ ගෘහයේ කාන්තාව නිසා ඇය මූලික කර ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

රටට බරක් ලෙස සලකන දුප්පත් ජනතාව නිෂ්පාදන ගමනේ බාරකරුවන් බවට පාර්ශ්වකරුවන් බවට පත් කරනවා. දුප්පත්කම කියන්නෙ බරක් නොවන, රට ගොඩනගන පසුබිම සකස් කරන්නක් නිසා මේ සහනය ලබා දෙනවා. බොරුවෙන් තොර මේ වැඩසටහන මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරනවා.

ජනතාවගේ වගකීම

බංග්ලාදේශයේ ග්‍රාමීන් බැංකු සංකල්පය තුළින් මෙන්ම ලෝකයේ බොහෝ රටවල් කෙටි කාලයක් තුළ දුප්පත්කමින් මිදී ඇති බවට උදාහරණ තිබෙනවා. මේ සඳහා රජයේ සහනාධාරය මෙන්ම අදාළ පුද්ගලයන්ගේ කැපවීමත් අවශ්‍යයි. රට වැටී ඇති අවස්ථාවක එවැනි සහනාධාරයක් ලබා දෙන්නේ අමාරුවෙන් නිසා එහි නිවැරදි ප්‍රයෝජන ගැනීම ජනතාවගේ වගකීමක්.

පොහොර සහ ඉන්ධන සහනාධාරයක්

සමගි ජන බලවේග ආණ්ඩුව හරහා ගුණාත්මකභාවයෙන් ඉහළ කිලෝ පනහක පොහොර මිටිය රුපියල් පන්දහසකට ලබා දෙන අතර දරාගන්න පුළුවන් මුදලකට තෙල් පොහොරත් ලබා දෙනවා. කළු කඩ මාෆියාව නතර කරලා එම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලබා දෙන්න කටයුතු කරනවා. ඊට අමතරව ගොවියාට, ධීවරයාට, ත්‍රීරෝදරථ භාවිත කරන්නන්ට, පාසල් ප්‍රවාහන සේවයේ නිරතව සිටින අයට ශක්ති වී මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාරයක් ලබා දෙනවා.

කපා හරින ණය සහ අයකරගන්නා ණය

පාස්කු ප්‍රහාරයේ ප්‍රතිඵල නිසා, කොරෝනා කෝවිඩ් නිසා, රට බංකොලොත් වීම නිසා, ගොවියා හැම අතකින්ම විපතට වුණා. බාල පොහොර ලබා දීම, පොහොර අහිමි කිරීම, කාබනික පොහොර වංචා කිරීම, නැනෝ පොහොර වංචා කිරීම, ආදිය සිදු වුණ නිසා කනකර දේපළ උගස් කරලා ගොවිතැන් කරපු ජනතාවට විශාල බලපෑමක් සිදුවුණා අද මහා ණය බරකින් ගොවිජනතාව පෙළෙන නිසා මේ වගා ණය කප්පාදු කරනවා.

රජයට හිතවත් ඇමතිවරුන්ගේ ගජමිතුරුන් ඇප රහිතව ණය අරගෙන ඒවා නොගෙවීම නිසා එම ණය කපා හැර තිබෙනවා. ධනවත් ව්‍යාපාරිකයන්ගේ පවා ණය කපාහැර තිබෙනවා. මේ ධනවතුන්ට ආණ්ඩුව සවන් දුන්නාට ගොවි ජනතාවට සවන් දුන්නෙ නෑ. එම නිසා අනීතික ලෙස විවිධ ගජමිතුරු සම්බන්ධතා නිසා කපා හැරි ණය සියල්ල නැවත ලබා ගෙන ඊට පස්සෙ ගොවි ජනතාවගේ ණය කපා හරිනවා.

ගොවි නිෂ්පාදන සඳහා මිල සූත්‍රයක්

එසේම ගොවියාගේ නිෂ්පාදන සඳහා සහතික මිලක් ලබා දෙන අතර ම මහා පරිමාණ මෝල් කරුවන් කූට ක්‍රමෝපායන් තුළින් විවිධ ගිවිසුම් ගසා ගොවියාගේ වී ටික කුණු කොල්ලයට ගෙන ගොවියා මත පීඩනය අසහනය නිර්මාණය කරන එක නැවැත්විය යුතුයි. එම නිසා මේ වී සඳහා ස්ථාවර සහතික මිලක් ලබා දී, ගොවියාට ලාභයක් අත් කර දී, පාරිභෝගිකයාටත් දරාගත හැකි මිලකට සහල් ලබා ගත හැකි මිල සූත්‍රයක් නිර්මාණය කරනවා.’’

ගම් උදාව නැවතත්

ඒ වගේම ගොවීන්ගෙන් උදුරාගත්ත ගොවීබිම් නැවත ලබාදීමට සමගි ජනබලවේග රජයකින් කටයුතු කරනවා.  ඒ වගේම වන අලින් සහ මිනිසා අතර තිබෙන ගැටලුවට, වන සතුන් සහ ගොවින් අතර තිබෙන ගැටලුවට නිශ්චිත විසදුම් ලබාදෙනවා. රක්ෂිත සහ ගොවිබිම් ආරක්ෂා කරමින් වගා හානියට විධිමත් රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරලා වන අලි මිනිස් ගැටුම අවම කරන්න කටයුතු කරනවා. ගම්උදාව වැඩසටහන නැවත ආරම්භ කරලා ග්‍රාමිය නිවාස, නාගරික නිවාස, වතු නිවාස, ධීවර නිවාස, යනාදි වශයෙන් නිවාස ඉදි කරන යුගය නැවත ආරම්භ කරනවා. දුප්පත්භාවය තුරන් කිරිමට දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. විවෘත වැඩසටහනක් ඔස්සේ රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ද ව්‍යාපෘතියක් මගින් තරගකාරි ක්‍රමවේදයකට කන්තලේ සිනි කර්මාන්තශාලාව සක්‍රීය කරලා, රැකියා සපයන, උක් වගාව ශක්තිමත් කරන වැඩපිළි‍වෙළක් දියත් කරනවා. අපි, රටේ ජනතාව අධික දුප්පත්භාවයෙන් මුදවලා ජන සමාජයේ අභිමානවත් ජිවිතයක් ගතකළ හැකි අභිමානවත් සුහුරු පුරවැසියා නිර්මාණය කරන්න කටයුතු කරනවා’’

 
ගොවි ජනතාව රටේ ජීවනාලිය යි - තිස්ස අත්තනායක

rwer324පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක,

‘‘ගොවිජනපදවල ජනතාව අද ජීවත් වෙන්නේ ඉතා අසීරුවෙන්. රටේ ගොවි ජනතාව බිමට ඇද දමලා ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න, ඔවුන්ගේ ගොවීතැනට උදව් කරන්න පසුගිය කාලයේ පැවැති ආණ්ඩු විශාල සේවාවක් සිදුකළේ නෑ. සමගි ජන සන්ධාන ආණ්ඩුවක් යටතේ කෘෂිකාර්මික සංස්කෘතියක් රට තුළ ඇති කරන්න කටයුතු කරනවා. ඒ වගේම ගොවිතැනින් ජීවිත් වන ජනතාව ශක්තිමත් කරන්නත් සමගි ජන සන්ධාන ආණ්ඩුවක් හරහා කටයුතු කරනවා. මහවැලි ව්‍යාපාර වැනි දැවැන්ත කෘෂිකාර්මික බහුකාර්යය යෝජනා ක්‍රම රටේ ඇති කරන්න අපේ පරණ නායකයන් කටයුතු කරා.  ගොවියා නගා සිටුවන්න අපේ පරණ නායකයන් ගත් පියවර ඉදිරියට ගෙන ගොස් රටේ ජීවනාලිය බවට ගොවිජනතාව පත් කරන්න සමගි ජන සන්ධාන ආණ්ඩුවක් යටතේ අපි කටයුතු කරනවා.

ජනතාවගේ යහපත උදෙසා සජිත්

අද වනවිට ෆේස්බුක් එකේ ජනාධිපතිවරු විශාල ප්‍රමාණයක් බිහිවෙලා ඉන්නවා. නමුත් ඔවුන්ට රට පාලනය කරන්න දක්ෂ කණ්ඩායමක් නෑ; රටක් ඉදිරියට ගෙනියන්න දැක්මක් නෑ; රටක් ඉදිරියට ගෙනියන්න ආර්ථික ප්‍රතිපත්තියක් නෑ. ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව තුළත් විශ්වාසයක් නෑ.  ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතා වැනි අද්දැකිම් තිබෙන, ජනතාව පිළිබඳව සංවේදි, ප්‍රතිපත්තිගරුක, කණ්ඩායමක් සිටින නායකයෙක් රටේ ජනාධිපති කළ යුතුයි.

සජිත් ප්‍රේමදාස කියන්නේ ජනාධිපතිවරණයට ඉල්ලන අපෙක්ෂකයන් අතරින් අවංක දේශපාලඥයෙක්. ඔහු දූෂණයට, වංචාවට විරුද්ධව කටයුතු කරන නායකයෙක්. සජිත් ප්‍රේමදාස මහත්තයා රටේ ජනාධිපති වෙන්නේ රටේ සුහහසක් ජනතාවගේ යහපත උදෙසායි.

සජිත් ප්‍රේමදාස මහතා රටේ ගොවි ජනතාව වෙනුවෙන් අලුත් කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න සුදානම් වෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාසට විශාල අවශ්‍යතාවයක් තිබෙනවා රටේ දිළිදුභාවය රටෙන් තුරන් කරන්න.  සමගි ජන සන්ධාන රජයකින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්යෙන් දිළිදුභාවය තුරන් කිරීමට ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.  රටේ තරුණයන් වෙනුවෙන්, කාන්තාවන් වෙනුවෙන් ජාතික වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න සමගි ජන සන්ධාන රජයකින් කටයුතු කරනවා. දුෂණයට, වංචාවට විරුද්ධව කටයුතු කරන ශක්තිමත් ආණ්ඩුවක් රටට අවශ්‍යයි. දුෂණයට, වංචාවට විරුද්ධව කටයුතු කරන ආණ්ඩුවක් පිහිටුවන්න හැකියාව තිබෙන්නේ සමගි ජන සන්ධානය ප්‍රමුඛ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ආණ්ඩුවකට පමණයි.’’

පංති භේද රහිත පංතිය - වෛද්‍ය චමල් සංජීව

sdtw454වෛද්‍ය චමල් සංජීව

‘‘නිර්භයව රටේ සිටින වෘත්තියවේදීන් සහ සිවිල් සංවිධාන සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතු වෙන්නේ රට වෙනස් කරලා ජනතාව ප්‍රාර්ථනා කරන අලුත් රටක් නිර්මාණය කිරීමට තිබෙන සැබෑ අවශ්‍යතාවය නිසයි. රටේ ජනතාව දැන් තිබෙනවාට වඩා හොද සමාජ තත්ත්වයක් අපෙක්ෂා කළා. අද රටේ ජනතාවගේ සමාජ තත්ත්වය පහත වැටී තිබෙනවා නම්, ගොවීන්ට තමන්ගේ අස්වැන්නට නිසි සහතික මිලක් ලබාගන්න නොහැකි වුණා නම්, නියමිත පරිදි පොහොර ලබාගන්න නොහැකි වුණා නම්, දරුවන්ගේ ජීවන තත්ත්ව උසස් තත්ත්වයකට ගෙනියන්න නොහැකි වුණානම්, ඒ රටේ ජනතාව නිවැරදි ජාතික නායකත්වයක් තෝරා නොගැනීම නිසා. ඒ නිසා රටේ ජනතාවට සිදුවෙනවා නව ක්‍රමවේදයක් දියත් කරන්න. දූෂණයෙන් වංචාවෙන් රටේ ජනතාවගේ බදු මුදල සොරකම් කළ දේශපාලන පන්තිය වෙනස් කළ යුතුව තිබෙනවා.  ජනතාව සහ අපි සියලු දෙනා නියෝජනය කරන්නේ නිර්ප්‍රභූ පන්තිය. අපි සියලු දෙනා අතර පන්ති භේදයක් නැහැ.

 

ඖෂධ සැපයීම ඉන්දියානු සමාගමකට

අද වනවිට රජයේ රෝහල්වල තිබෙන ඖෂධවල විශ්වාසවන්තභාවය පිළිබඳව ප්‍රශ්න රැසක් මතුවෙලා තිබෙනවා. ඒ දුෂිත සෞඛ්‍ය පද්ධතිය නිර්මාණය කළේ වර්තමාන පාලන තන්ත්‍රය. ඔවුන් ගුණාත්මක ඖෂධ වෙනුවට රටට ගුණාත්මක භාවයෙන් පහළ ඖෂධ ගෙන එන්න කටයුතු කළා. ඔවුන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ජාත්‍යන්තරය තුළ තිබු විශ්වාසයත් නැති කරලා දැම්මා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා රටට ප්‍රමිතියෙන් තොර ඖෂධ ගේන්න  ඉන්දියානු සමාගමකට ලබා දෙන්න කැබිනට් පත්‍රිකා සකස් වෙමින් තිබෙනවා. මෙම ගනුදෙනු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඉන්දියානු සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න යනවා. මෙම ඉන්දියානු සමාගම උපත්පාලන උපකරණ හදන සමාගමක්.  ඉන්දියාවේ උපත්පාලන උපකරණ හදන සමාගමකට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ කොහොමද ලබාදෙන්නේ.

ඒ වගේම ලංකාවට ලියාංපදිංචි නැති ඖෂධ තිහකට ආසන්න ප්‍රමාණයක් ගෙන්න කැබිනට් පත්‍රිකාවක් අත්සන් කරන්න යනවා. මෙම ඖෂධ සැපයීමට හැකි සැපයුම්කරුවන් ලංකාව තුළ සිටියදී තමයි මෙම ලියාංපදිංචි නැති ඖෂධ ලංකාට ගේන්න රජය කටයුතු කරන්නේ. රටේ මිනිස්සුන්ට ගුණාත්මක බෙහෙත් ලබාදෙන්න , මානව අයිතිවාසිකම් සුරක්ෂා කරන්න , මිනිසුන්ගේ ජිවත් වීමේ අයිතිය ආරක්ෂා කරන්න ජනාධිපතිවරයාට රජයට වගකීමක් තිබිය යුතුයි. ඒ නිසා රටේ රෝහලවල තිබෙන ප්‍රශ්න සඳහා නිසි විසඳුම් ලබා නොදී වගකිම් විරහිතව කටයුතු කරන නිලධාරින් නීතිය හමුවට ගේනන හැකි ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා ලංකාවේ ජනතාවට ජිවිත් වීමේ අයිතිය,  සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට තිබෙන අයිතිය මුලික අයිතිවාසිකම් බවට පත් කරන්න සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන රජය කටයුතු කරනවා.’’

 

ආවේගයට දෙන ඡන්ද - සුජිව සේනසිංහ

dfwr32හිටපු නි. අමාත්‍ය සුජිව සේනසිංහ

‘‘ඔබ තුමන්ලා ජීවත් වෙන්නේ අමාරුවෙන්; හුස්ම ගන්නේ අමාරුවෙන්; වේල් තුන පිරිමහගන්නේ ඉතාමත් අමාරුවෙන්. ලයිට් බිල හයදාහයි. මාසේ ඉතුරැ ටික ගෙවා ගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. හැබැයි තාම හුස්ම ගන්නවා.

ජේ.වී.පී. එක පසුගිය ආණ්ඩු ටිකටම ජැක් එක ගැහුවා; කිසිම වැඩක් නොකරපු අමාත්‍යාශ හතරක් ගත්තා; නියෝජ්‍ය අමාත්‍යාංශ හතරක් ගත්තා; දූණෂ කමිටුවේ අවුරුදු හතක් හිටියා; අල්ලපු හොරෙක් නෑ. මේ රටේ මිනිස්සු ඡන්දේ දෙන්නේ ආවේගවලට. මහින්ද රාජපක්ෂගේ උඩු රැවුලට දුන්නා; රටට ම කෙළියා. ඊට පස්සේ චන්ද්‍රිකාගේ සාරියට දුන්නා. ඝෝඨාභයගේ හිනාවට දුන්නා. අපි තමයි ඔක්කොම කරේ කියන එකට දුන්නා. දීලා වුණ දේ දන්නවනේ. ගිය මාසේ අයි එම් එෆ් පීටර් බෘවර් මහත්තයා හම්බවුණා. එතුමා කිව්වා මේ ඡන්දේ දින්නට පස්සේ මුදල් සම්බන්ධයෙන් ගණුදෙණු කරන්න හරියට ප්ලෑන් එකක් දාගත්තේ නැත්නම් අපිට දෙසැම්බර් මාසයේ ඉඳලා කන්න හම්බ වෙන්නේ නෑ කියලා. ඔබතුමන්ලා මේවා සුළුවට හිතන්න එපා.

 

නැට්ටට ම වැටුණු අපි

ජේ.වි.පී. එකට දීලා බලමු ආයේ ගොඩ එන්න බෑ. ඩොලර් බිලියන සියක් ණයයි. මේ ණය වුණේ කොමිස් ගහන්න රාජපක්ෂලා හොරකන් කරපු නිසා. එහෙම නැතුව: මහවැලිය හදන්න, ඇගලුම් කර්මාන්ත හදන්න නෙමෙයි. ඇගලුම් කර්මාන්ත හැදුවානම් අන්න අපිට ආදායමක් එනවා. මහවැලියක් හැදුවා නම් අන්න ආදායමක් එනවා. හම්බන්තොට වරාය වහලා. මත්තල ගුවන් තොටුපල වහලා. එහෙ හදලා තියෙනවා ශ්‍රවණාගාරයක්; ඒක වහලා. හැබැයි කවුද ඒවා ගෙවන්න ඕන...? අපි ඔයගොල්ලෝ. රාජපක්ෂ පවුල කොමිස් අරගෙන ආසියාවේ ඉන්න පෝසත්ම පවුල බවට පත්වුණා. ගිය මැතිවරණයේ දි මම මේ ගැන ජනතාවට කිව්වා ඝෝඨභය රාජපක්ෂට අත්දැකීමක් නෑ දෙන්න එපා කියලා. ඝෝඨාභය මහත්තයා නියම ගේමක් දුන්නා; අපි නැට්ටටම වැටුණා.

 

පැය විසි හතරක් වැඩ කරන නායකයෙක්

ලික්වාන් යූ, මහතීර් මොහොමඩ්, හිට්ලර් ඔක්කොම එකතු කරලා එකෙක් ගේන්නේ කිව්වා. රට ම හොම්බෙන් ගියා. ඒ නිසා මේ ණය ටික ගෙවා ගන්නේ කොහොමද කියලා ජේ.වී.පී. එකටවත් කිසිම අදහසක් නෑ. ගම්වල සමහර තැන් වල කියනවා නෑ අපි මුන්ටත් දීලා බලමු කියලා. මුන් හැම ආණ්ඩුවක ම හිටියානේ. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අමාත්‍යාංශ හතරක හිටියා. කියන්න බලන්න එක ලයිට් කණුවක් හැදුවද කියලා. මුකුත් කරේ නෑ. එහෙම උන්ට ආණ්ඩු කරන්න පුළුවන්ද? හොම්බෙන් ගිහිල්ලා තියෙන රටක ඩොලර් බිලියන සීයක් ගෙවන්න ඕන. කොහොමද ආණ්ඩුවක් කරන්නේ. පොඩ්ඩ්ක් හිතලා බලන්න මේ රටේ ජනතාව. සහෝදරවරුණි ඉතාමත් අමාරු තැනක අපි ඉන්නේ. හැබැයි මේක ගොඩ ගන්න අපේ මන්ත්‍රීවරුන්ට හැකියාව තියෙනවා.

අපේ ප්‍රේමදාස මැතිතුමා පැය විසි හතරක් වැඩ කරන නායකයෙක්. සුභ සාධනය වෙනුවෙන් එතුමා සල්ලි කෙහෙන් හරි හොයා ගන්නවා. එතුමා පාටි දාන්නේ නෑ පිටරට යන්නේ නෑ; එතුමා ගත් කරන්නේ අල්පේච්ඡ ජීවිතයක්. ගෙවල් විසි දහසකට වැඩිය හදලා තියෙනවා එතුමා අමාත්‍යාංශයේ ඉන්න කාලේ. ඒ අමාත්‍යාංශයේ ඉන්න කොට පන්සල්, පල්ලි කීයක් හැදුවද? ඔබ සියලු දෙනාගේ ම සහයෝගය අපිට දෙන්න අනාගතය අමාරුයි. හැබැයි අපි කොහොමහරි ගොඩ ගන්නවා.’’
 
 
වෙළඳ පොළ සමග තරග කිරීමට ශක්තිය
 
fr454235පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ බණ්ඩාර
 
‘‘මේ රටේ කෘෂිකර්මාන්තය ගොඩ නගන්නට, මේ රටේ අනාගතය ගොඩ නගන්නට, මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ඝෘජුවම දායකත්වය ලබා දෙන අපේ ආදරණීය ගොවි ජනතාව වෙනුවෙන් ලබා දෙන ශක්තිය කුමක්ද කියන එක අපේ නායක තුමා ඊයේ දිනයේ  ප්‍රකාශයට පත් කළා.
 
අපේ රටේ එක එක කාල වකවානුවලට මේ කන්නයේ මිල වැඩිවෙන දේ ලබන කන්නයේ වගා කරන්න හුරුවෙලා ඉන්නවා. ඒ නිසා ඒ කාලයේ දී තුට්ටු දෙකටවත් නිෂ්පාදනය අලෙවි කරගන්න බෑ. ඒක එළවලු ගොවියට විතරයි බලපෑවේ කියලා අපි හිතුවෙ. දැන් ගිය කන්නේ අපි දැක්කා කීරී සම්බාවලට වෙච්ච දේ.  ගිය සැරේ කීරි සම්බා නැහැ කියලා වෙළද පොලේ හිඟයක් මැවිලා ලොකු ඒකාධිකාරියක්, මාෆියාවක් හදාගෙන කීරි සම්බා සහල් වල මිල විශාල ලෙස ඉහළ ගියා. අද කීරි සම්බාවල මිල නාඩුවලටත් සම්බාවලටත් වඩා මිල අඩුයි. ඒ නිසා ඔබට වෙළඳපොළත් එක්ක තරග කරන්නට අවශ්‍ය ශක්තිය කළමණාකරණය සමගි ජනබලවේගයේ රජයක් යටතේ ලබා දෙනවා.’’

 
කිරි ගොවියන්ට තණ බිම්
te4r23පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්
‘‘කන්තලේ කියන්නේ නැගෙනහිර පළාතේ සිංහල ජනතාව ජීවත්වන වැදගත් සරු සාර බිමක්. සිංහල, දෙමළ මුස්ලිම් ජන කොටස් ඉතාම හොදින් ජීවත් වවන ප්‍රදේශයක්. නමුත් මේ කන්තලේ වැවේ ඔරුවකින් ගිහින් මාලු බාගෙන ඉතාම දුක්බර ජීවිතයක් ගත කරනවා. කිරි ගොවියන් මී කිරි අලෙවි කරමින් ජිවත් වෙනවා. නමුත් අවශ්‍ය කරන තෘණ බිම් ප්‍රමාණය ප්‍රමාණවත් නෑ. මේ රටේ කිරි ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි තෘණ බිම් ලබාදීමේ කරතව්‍යය ඉටු කරන බව මේ අවස්ථාවේ දී පවසනවා.

කන්තලේ සීනි කම්හල තාමත් පාළුවට ගිහිල්ලා. අපේ අනාගත ජනාධිපතිතුමන්ගේ ප්‍රතිඥාවක් තමයි: මුලින් හැම ඡන්ද කොට්ඨාසයකට ම හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට ම කර්මාන්ත ශාලා ලබා දීලා, රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දීම. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුවක්  යටතේ එම වැඩපිළිවෙළ දැනටමත් හදලා ඉවරයි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා තමයි මෙරට මුල් වරට ඇගලුම් කර්මාන්ත පටන් ගත්තේ. ඉන්පසුව තමයි මේ රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධානතම මාර්ග සැකසුණේ.

මේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය උපාය මාර් ගිකව වැදගත් තැනක පිහිටුවා තිබීම පිළිබඳව  මුළු ජාත්‍යන්තරයේ ම අවධානය යොමු වෙලා තිබෙනවා. අපි ඒක හරිහැටි පාවිච්චි කරගෙන, මේ රටේ ආරක්ෂාවත් තහවුරු කරගෙන, ජනතාවගේ අභිවෘද්ධිය සඳහා මේ පළාතෙන් උපරිම ප්‍රයෝජනය ගත යුතුයි.’’

(සටහන - ජයසිරි අලවත්ත)

pe2024 2

worky sin

නවතම පුවත්