වමේ යැයි කියාගත් ඇතැම් නායකයෝ අටපිරිකර ද රැගෙන පන්සල් ගානේ රස්තියාදු ගසන විට, ඡන්දය ලබාගැනීම සඳහා ආගම විකුණන විට තම පක්ෂයේ ප්‍රතිපත්ති
ප්‍රකාශයේ ආගම රාජ්‍යයෙන් ස්වාධීන කරන ආකාරය පැහැදිලිව ම සඳහන් කර ඇති බව ජන අරගල සන්ධානයේ රවීන්ද්‍ර වික්‍රමසිංහ පැවසී ය.
හෙතෙම එලෙස පැවසුවේ ඊයේ (26) දින මහරගම නගරයේ පැවති ජන රැළිය අමතමිනි.
මතු දැක්වෙන්නේ එම රැලියේ දී රවීන්ද්‍ර වික්‍රමසිංහ සහ ජන අරගල සංධානයේ තවත් කිහිප දෙනකු දැක්වු අදහස් ය.
රනිල්ට ‘පුළුවන්’ දේවල්
‘‘අපි අද කතාකරන්නේ මහරගම ජනතාව වෙනුවෙන්. දැන් අපේක්ෂකයො ගොඩයි. ප්‍රතිපත්ති දෙකයි. රනිල්ලා සජිත්ලා අනුරලා අයි එම් එෆ් එකට වැඳගෙන ඉන්නකොට අද අපි මෙතෙන්ට ඇවිත් ඉන්නෙ ඇත්ත වමේ ප්‍රතිපත්තියක් අරගෙන. අද මෙතන ඉන්නේ මේ සමාජය වෙනස් කරන්න පුළුවන් වමට විතරයි කියලා විශ්වාස කරන අය. සජිත්ලට, අනුරලට තියෙන්නෙ රනිල්ගේ ගමන හැර වෙන ගමනක් නෑ කියලා ලැජ්ජ නැතුව කියද්දි අද මෙතන ඉන්නෙ විකල්පයක් විස්වාස කරන අය.
රනිල් කියනවා එයාට පුළුවන්ලු; මොනවද රනිල්ට පුළුවන්...? ණය ගන්න පුළුවන්; විකුණන්න පුලුවන්. ගාල්ලෙ ගියොත් කොටුව, නුවරඑළි ගියොත් තැපැල් කන්තෝරුව, කොළඹ ගියොත් හිල්ටන් එක යන යන තැන රනිල්ට පුළුවන් විකුණන්න විතරයි.
මහින්ද ගාව හිටපු අය දැන් අන්න රනිල්ගෙ ඔඩොක්කුවේ. ලැජ්ජයි රනිල් ලැජ්ජයි කියපු පවිත්‍රත් අනේ අපිට කියන්න තියෙන්නෙ ලැජ්ජයි පවිත්රෝ කියලා තමයි.
සැබෑ වමක් වෙනුවෙන් කුඩය
අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියනවා විධායක අහෝසි කරන හැටි. අධ්‍යාපනය සෞඛ්‍යය සමාජ අයිතියක් කරන හැටි. ජනවාර්ගික ගැටලුවට විසඳුම් සොයන හැටි ඒ හැම දෙයක් ම අපි පැහැදිලිව ලියල තියෙනවා.
අපි අද ඉදිරිපත් කරල තියෙන්නෙ අරගලය මොහොතේ පැනල නොගිහින් ජනතාව එක්ක හිටගත්ත නායකයෙක්. ඒ නිසා විසි එක්වෙනිදට ගිහිල්ලා සැබෑ වමක් වෙනුවෙන් කුඩය ඉස්සරහ කතිරෙ ගහන්න.’’
රනිල්ගේ දේශපාලන පැටිකිරිය
ජන අරගල සන්ධානයේ ධර්මසිරි ලංකාපේලි,
‘‘මේ ජනාධිපතිවරයා තෝරාගැනීමේ රඟමඬලේ හොඳ හොඳ සෙල්ලම් එළියට එන මොහොතක්. මේ බංකොලොත් වුණා කියන රටේ ජනාධිපති අපේක්ෂකයෝ ජනතාවට පොරොන්දු දෙන විදිය අපිට පේනවා. ලංකාව සුරපුරයක් කරන්න පුළුවන් කියලා එයාලා කියනවා. මේකෙ ප්‍රධාන නළුවෙක් තමයි රනිල්. පුළුවන් ශ්‍රී ලංකා තමයි එයාගෙ පාඨය. ඔව් අපි දන්නවා රනිල්ට ගොඩක් දේවල් පුළුවන්. පහුගිය දශක හතරක පහක රනිල්ගේ දේශපාලන පැටිකිරිය මේ රටේ ජනතාව දන්නවා. අසූ තුනේ කළු ජූලිය, යාපනය පුස්තකාලය ගිනිතැබීම, බට ලන්ද වධකාගාරය... මේවා අපි අමුතුවෙන් මතක් කරන්නෑ. පාර්ලිමේන්තු ගුබ්බෑයමෙ එකසිය තිස්හතරකගෙ ඡන්දෙන් අනුප්‍රාප්තික ජනාධිපති වෙලා කරපු දේවල් මේ රටේ ජනතාව දන්නවා.
අටපිරිකර තරගය
පහුගිය දශක හතක් තිස්සේ ධනපති පාලකයන් මේ රට බංකොලොත් කරාට පස්සේ දැන් රනිල් පූචානං කියනවා; පෝලිං නැති කරාලු, රට බේරගත්තලු. එතකොට මේ අර්බුදයට වගකියන්න ඕන ජනතාවද ? මේගොල්ලො ක්‍රියාත්මක කරමින් ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය. දැන් කියනවා මං වැල්පාලමේ භාගයක් බබා අරං ගියා. දැන් ඉතුරු භාගෙ ගෙනියන්න තව අවුරුදු පහකට එයාට දෙන්නලු. රටේ දරුවන්ගෙ මන්දපෝෂණය වේගයෙන් ඉහළ ගිහිල්ලා. දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා. පාසල් උපකරණ ටික ගන්නවත් විදිහක් නෑ. මේක තමයි රනිල් අයි එම් එෆ් එකත් එක්ක කරේ.
දැන් තරගෙට අටපිරිකර අරං උදේට පන්සල් යනවා. හවසට කාදිනල් හම්බවෙන්න යනවා. ජනාධිපති වෙන්න එක එක නාඩගම් නටනවා. අපි අද ඉදිරිපත් කරන්නේ ජනතාවගේ අපේක්ෂකයෙක්. ඒ තමයි නුවන් බෝපගේ. මේරටේ බංකොලොත් ආර්ථිකයෙන් රට ගොඩගන්න, අයි එම් එෆ් මර උගුලෙන් නිදහස් වෙන්න, රටේ ජනතාව මේ පීඩනයෙන් මුදව ගන්න සැබෑ ප්‍රතිපත්තිය අරගෙන තමයි අද නුවන් බෝපගේ සහෝදරයා මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ.’’
IMF නියෝජිතයා
ජන අරගල සන්ධානයේ සිතාරා කුලරත්න,
‘‘මේ රටේ බහුතරයක් ඉන්නෙ ජීවන බර දරාගන්න බැරුව. අද කෑවොත් හෙට කන්නෙ කොහොමද? දරුවගෙ පාසල් උපකරණ අරන් දෙන්නෙ කොහොමද? ගෙදර ලයිට් බිල ගෙවාගන්නෙ කොහොමද? කියලා තමයි මේ රටේ බහුතරයක් ජනතාවට හිතන්න වෙලා තියෙන්නෙ. මහජන සේවාවන් විදිහට පවත්වාගෙන ගිය ජලය විදුලිය වගේ සේවාවලින් රජය ඉවත් වුණා. අර්බුදය ගැන කතාකරන කවුරුත් මේකට හේතුව කියන්නෑ. මේවා වුනේ ැයි බඑම් එෆ් කොන්දේසිවලට අනුව වැඩ කරන්න වුණ නිසා.
රනිල් කියනවා පුළුවන් නම් බදු අඩුකරල කරල පෙන්නන්නලු. දැන් අයි එම් එෆ් එකේ නියෝජිතයා විදිහට පෙනී ඉන්නෙ රනිල්. පහුගිය කාලේ ආර්ථික පරිවර්තන පනත කියලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ මේ කොන්දේසි.
අපේ බදු ප්‍රතිපත්තිය
සජබ හර්ෂ කියනවා කෘෂිකර්මාන්තයට අදාළ බදු අඩු කරනවලු. හැබැයි ඒවගෙ බදු වැඩි වුණේ කොහොමද කියලා කියන්නෑ. ජාතික ජන බලවේගයත් බදු අඩු කරනවා කියලා කියනවා. හැබැයි මේ කවුරුත් බදු වැඩි වුණේ කොහොමද කියලා කියන්න බයයි. අපි පැහැදිලිව කියනවා අයි එම් එෆ එකෙන් ඉවත් නොවී බදුබර අඩු කරනවා කියන එක විහිළුවක් විතරයි. දැන් රටේ සාමාන්‍ය ජනතාව සියයට අසූ පහක් බදු ගෙවනවා. මහාපරිමාණ ව්‍යාපාරිකයෝ කෝටි ගණං බදු පැහැරහැරල තියෙන්නෙ. ඒ නිසා මේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරලා ජනතාවට සහන දෙන ධනපතින්ගේ බදු වැඩි කරන්න පැහැදිලි වැඩපිළිවෙළක් අපි අරගෙන ඇවිත් තියෙනවා.
සමාජවාදී සමාජයක්
ජාතික ළමාරක්ෂණ අධිකාරිය කියනවා කාන්තාවන්ට, දරුවන්ට සමාජයෙන් විශාල ප්රචණ්ඩත්වයක් වෙලා තියෙනව කියලා. හැබැයි මේවගෙන් සියයට පනහක්වත් විභාග වෙන්නෑ. කාන්තාවන්ට දරුවන්ට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් මේ රටේ නෑ. ඒ නිසා කාන්තාවන්ට දරුවන්ට සමානාත්මතාවය ලැබෙන නීති පද්ධතියක් මේ රටේ හැදෙන්න ඕන. අපි සමාජවාදය කියලා බය නැතුව කියන්නේ එහෙම සමාජයක් ගැන.
අද ජන අරගල සන්ධානය අරගෙන එන්නේ ඒ ප්‍රතිපත්තිය. ඒ නිසා තමයි මේ රටේ ජනතාවට කියන්නෙ මේ රටේ ආණ්ඩුවලට, මේ පීඩනයට විරුද්ධයි. අපි අයි එම් එෆ් එකට විරුද්ධයි කියන පණිවුඩය දෙන්න එළඹෙන විසි එක්වෙනිදා නුවන් බෝපගේ සහෝදරයා වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්න.’’
වෙල්ගමගේ ඉන්ජිම
ජන අරගල සන්ධානයේ වී. වීරසිංහම්,
‘‘ජනතාව තමන්ගේ පරමාධිපත්‍යය බලය පෙන්නල හැටනම ලක්ෂයේ ජනාධිපති පන්නලා පවත්වන පළමු ජනාධිපතිවරණය. මෙච්චර කල් අපි ගහමරාගෙන මේ පාලකයන්ට ඡන්දෙ දුන්නා. හැබැයි ගෝල්ෆේස් එකට: දෙමළ, මුස්ලිම්, සිංහල, කාන්තා - පිරිමි, වෙනත් ලිංගිකත්ව කිසිම බේදයක් නැතුව මිනිස්සු තමයි අරගලයට ආවේ.
රනිල් මේ දවස්වල කියනවා එයාලු අපිව ආරක්ෂා කරේ. රනිල් ආරක්ෂා කරේ රට බංකොලොත් කරපු රාජපක්ෂ පවුල. මේ රටේ ජනතාව ආරක්ෂා කරේ නෑ. දැන් පාර්ලිමේන්තුව ඇතුළෙ ම වෙල්ගම දවසක් කියනවා එයාගෙ එන්ජිම ගැන කළුතර කාන්තාවන්ගෙන් අහන්නලු. අන්න එහෙම තක්කඩින්ව තමයි රනිල් ආරක්ෂා කරේ.
රටේ ස්වෛරීභාවය ගැන ව්‍යවස්ථාව ගැන කතාකරන රනිල් තමයි පහුගිය කාලෙ මැතිවරණය කල් දැම්මෙ. ඒ වරදට අධිකරණයෙන් වරදකරු වුණාම කියනවා ඡන්ද කල් දැම්මෙ මිනිස්සුන්ට කන්න දෙන්න ඕන නිසාලු. රනිල් කියන්නෙ මේ වගේ බොරුකාරයෙක්.
පුරවැසිකම අහිමි කඳුකර ජනතාව
කඳුකර තමිල් ජනතාව මේ රටේ ආර්ථිකයෙන් ලොකු බරක් ඇද්දා. හැබැයි අද මේ පාලකයන් ඒ ජනතාව අමතක කරලා. ලක්ෂ දහයක ජනතාවගේ පුරවැසි කම නැති කරා. දෙදහස් තුන වෙනකල් අපේ හැදුනුම්පතේ තිබුණෙ X කියලා. 80 දශකය වෙනකං අපිට නිදහස් අධ්‍යාපනය අහිමි කරල තිබුණා.
ඒ නිසා අපි කියන්නෙ කඳුකර තමිල් ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් යෝජනා කරන්නෙ ජන අරගල සන්ධානය ඇතුළෙ විතරයි. මේ රටේ හැමෝටම සමාන අයිතිවාසිකම් සහිත ජීවිතයක් ගතකරන්න ඕන කරන යෝජනා තියෙන්නෙ ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්තිය ඇතුළෙ. ඒ නිසා ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්තිය දිනවන්න එකතුවෙමු.’’
හිටගන්න හොඳ ම තැන
ජන අරගල සන්ධානයේ ජෙහාන් අප්පුහාමි,
‘‘මේ මොහොතේ මුන් අපිට මොනවද කරන්නෙ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ජීවත් වෙන්න පුළුවන් රටක නෙමෙයි අපි මේ ඉන්නෙ. අවුරුදු හැත්තෑපහක් හයක් තිස්සෙ මේ අපි විඳවන ජීවිතේ තමයි අපේ දරුවන්ටත් උරුම වෙලා තියෙන්නෙ . හැබැයි ජන අරගල සන්ධානයේ වැඩපිළිවෙළ ඇතුළෙ කොන්ද කෙළින් තියාගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.
රනිල් රාජපක්ෂලා ඇතුලු මිනීමරු නඩය රටේ ජනතාවගේ, දරුවන්ගේ ජීවිතය විනාශ කරල ඉවරයි. මැතිවරණ දිනන්න ඕනම ජරා වැඩක් කරන්න මේගොල්ලො ලෑස්තියි. ඕගොල්ලන්ට මතක ඇති පාස්කු ප්‍රහාරය. තාම මේ ඝාතනයේ සුලමුල හොයා ගත්තද ? නෑ.
මේ ඡන්දෙන් පස්සේ මේ රටේ ජනතාවට ස්වර්ග රාජ්‍ය පහළ වෙන්නෑ. දැන් මගේ යාළුවොත් කියනවා මං වැරදි තැන හිටගෙනලු. හැබැයි මම දන්නවා මම හිටගෙන තියෙන්නෙ හරි තැන. ජන අරගල සන්ධානය තමයි හෙටත් ඔබේ ප්‍රශ්න කතාකරන්නේ.’’
(සටහන - ජයසිරි අලවත්ත)