theleaderlk 01

IMF සම්බන්ධයෙන් විවාද කරන්නට එන්නැයි රනිල් වික්‍රමසිංහ අනෙක් පක්ෂවලට ආරාධනා කළ ද,

ඔහු ආරාධනා කරන විවාදවලට යන්නට තරම් වෙනස් ප්‍රතිපත්ති ඒ පක්ෂවලට තිබේ ද යනුවෙන් ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ විමසී ය.

ඔහු එලෙස විමසුවේ ඊයේ (26) මහරගම නගරයේ පැවති ජනරැලිය අමතමිනි.

එහි දී නුවන් බෝපගේ සහ ජන අරගල සන්ධානයේ ළහිරු වීරසේකර දැක්වූ අදහස් මතු දැක්වේ.

පාළුගෙයි වළං බිඳින රනිල්

‘‘ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වෙලා සති තුනක් තිස්සේ අපි ජනතාව ආමන්ත්‍රණය කරමින් ඉන්නවා. ඒ, මේ පොරපිටියට හුදු අපේක්ෂකයෙක් දාල නෙමෙයි. දැන් අපි ගෙයින් ගෙට නගරයෙන් නගරයට අරගෙන යන්නේ අපේ වැඩපිළිවෙළ. ඒ අතරේ අපි දකිනවා පිට්ටනි පුරවන මැතිවරණ ව්‍යාපාර.

ඊයෙ රනිල් කියනවා ‘අයි එම් එෆ් තමයි එකම ප්‍රතිපත්තිය... ඒ නිසා ඒ ගැන විවාද කරන්න අනිත් පක්ෂවලට ආරාධනා කරනවා,’ කියල. අපි අහන්නේ ඔය රනිල් කතාකරන විවාදවලට යන්න තරම් වෙනස් ප්‍රතිපත්තිය ඔය කියන පක්ෂවලට තියනවද ? ඒ නිසා පාළුගෙයි වළං බිඳින විවාද එපා. රනිල් එක්ක ඔය අනිත් අපේක්ෂකයො ඔක්කොම එක පැත්තෙ තියලා අපි එක පැත්තක තනියම ඉඳගෙන විවාද කරන්න අපි ලෑස්තියි කියලා අපි රනිල්ට අභියෝග කරනවා.

රැඩිකල් ප්‍රතිසංස්කරණ වෙනුවට හුරතල් ප්‍රතිසංස්කරණ

ඔන්න දැන් අද තව පක්ෂයක් කන්දක් තරම් විලිලලා අනිතිමට කෙන්දක් එළියට දැම්මා. සංවාද කතන්දර ගොඩක් කියලා ඒගොල්ලො මුලින්ම හැලුවේ වාම කෑල්ල. අපි හිතුවෙ ජනතාවාදයවත් ඉතුරු වෙයි කියලා . මෙන්න මේගොල්ලො රැඩිකල් ප්‍රතිසංස්කරණ වෙනුවට හුරතල් ප්‍රතිසංස්කරණ ගෙනල්ලා. ජනතාවගෙ ප්‍රශ්නවලට උත්තර නැති ප්‍රතිපත්ති ගෙනල්ලා දැන් ජනතාවට කියනවා ඒවා ක්‍රියාත්මක කරන්න බලය දෙන්නලු. උදේ හවස බස්වල යන මේ මහරගම නගරයේ අහිංසක මිනිස්සු අපි දකිනවා. අපි පමුණුවට ගියොත් නූල්පොටේ බොත්තමේ ඉඳලා සියල්ල වැඩි වෙලා නිසා ඇඳුම් ටික විකුණගන්න බැරි මිනිස්සු ටිකක් තමයි දකින්න ලැබෙන්නේ. මේක තමයි යථාර්ථය . ඇයි මේ...?

අයි එම් එෆ් එක ඇවිත් කිව්වා වැට් බද්ධ සියයට අටේ ඉඳන් සියයට පහළව දක්වා වැඩි කරන්න කියලා . ඒ අයි එම් එෆ් එක කොන්දේසි නිසා නේද දරාගන්න බැරි තරම් බදු වැඩිවෙලා තියෙන්නෙ...? අයි එම් එෆ් එක ඇවිත් කියනවා අධ්‍යාපනය සෞඛ්‍ය විකුණන්න, රාජ්‍ය ආයතන විකුණන්න, ජනතාවගේ ඊ ටී එෆ් සහ ඊ පී එෆ් අරමුදල් කප්පාදු කරන්න. මේ යෝජනාවලින් තමයි ජනතාව පීඩාවට පත් කරේ. අපි අහනවා අද ඔය එළිදක්වපු වැඩපිළිවෙළ ඇතුළෙ අයි එම් එෆ් එකට විරුද්ධව එක සඳහනක් තියනවද? අයි එම් එෆ් එකෙන් ඉවත් වෙන්න යෝජනා තියනවද ?

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අවුල

අපෙන් අහනවා ඡන්ද කඩන්නද එන්නෙ කියලා? අපි කියනවා අපි එන්නේ ඡන්ද කඩන්න නෙමෙයි... අපි එන්නේ අයි එම් එෆ් එක එකට විරුද්ධව; අපි එන්නේ ඉන්දියානු මැදිහත්වීම්වලට එරෙහිව. මේ රටේ ජනතාව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරා. පහුගිය කාලේ වාර්තාගත ඡන්ද දීලා බන්දුලලා, දිනේෂ්ලා, මධුර විතානගේලා, දොලවත්තලා මේ දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තු යැව්වා. දැන් මේ හැත්ත බුරුත්තම රනිල්ගේ වේදිකාවේ නැගලා රනිල්ට විරුද්ධ ජනතා මතය පාවාදෙනවා. මේක තමයි මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අවුල. අපි කියනවා මේ වෙනුවට අපි යෝජනා කරන්නේ ජනතාවට බලය ලැබෙන මහජන සභා හැදෙන ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක්.

ජාතික ප්‍රශ්නයට අපේ විසඳුම

ජාතික ප්‍රශ්නයටවත් ජනතාවට උත්තරයක් දෙන්න මේගොල්ලන්ට බැහැ. උතුරේ ජනතාවට, මුස්ලිම් ජනතාවට, මලහෛ තමිල් ජනතාවට තමන්ගේ ප්‍රදේශ පාලනය කරගෙන එකම රටක නිදහසේ ජීවත් වෙන්න පුලුවන් එකම වැඩපිළිවෙළ තියෙන්නෙ ජන අරගල සන්ධානය ඇතුළෙ විතරයි. අපෙන් අහනවා මේ වැඩපිළිවෙළ දින්න පුළුවන් ද කියලා. අපි අහනවා... සජිත්ලට ඒගොල්ලන්ගෙ වැඩපිළිවෙළ අස්සෙ පනස්හත් දහසක මූලික වැටුපක් දෙනවා කියන්න වුණේ ඇයි කියලා...? වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකර හිටිය ජාතික ජන බලවේගයට ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න වෙන තැනට පත් කරේ කවුද? ජනාධිපති වෙන්න සූට් මහගෙන හිටපු අපේක්ෂකයන්ට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා කියන්න වුනේ කවුරු නිසාද? ඒ ජන අරගල සන්ධානය නිසා. 

 
ඒ නිසා අපි කියනවා අපි දැනටමත් දිනලා ඉවරයි . අපි මෙතනින් නවතින්නෑ ඉස්සරහට: ගමක් ගානේ, වැඩබිමක් ගානේ, ගෙයක් ගානේ, අපි අපේ වැඩපිළිවෙළ අරගෙන යනවා; ජනතාව දැනුවත් කරනවා; මේ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවන්න මැදිහත් වෙනවා. ඒ නිසා ඔබ ජයග්‍රහණය කරවන කුඩය ලකුණ, ජන අරගල සන්ධානය ජයග්‍රහණය කරවන්න ඔබේ ඡන්දය භාවිතා කරන්න.’’

ජයග්‍රහණය හිමි විය යුත්තේ කාටද...?
 
lahiru34
ජන අරගල සන්ධානයේ ළහිරු වීරසේකර
 
‘‘මේ මහපරේ ඉන්නෙ රැකියාවට ගිහිල්ලා එන ම්නිස්සු. මේ මිනිස්සු ගෙදර යන කොට රෑ අට නමය වෙනවා. මේ පාරෙන් එහා පමුණුවේ රෙදිකඩ පාන්දර තුනේ ඉඳලා තාම විවෘතයි. මේ එහාපැත්තෙ තියෙන අපේක්ෂා රෝහලේ මිනිස්සු තවම බෙහෙත් පෝලිමේ ඉන්නවා. ඒ නිසා අපි කියනවා ජය වෙන්න ඕන මේ රටේ අහිංසක වැඩ කරන මිනිස්සුන්ට; ජය වෙන්න ඕන තමන්ගේ ජීවිතේ විඳින්න වෙලාවක් නැති, දරුව එක්ක බිරිඳ එක්ක සැමියා එක්ක ජීවත් වෙන්න වෙලාවක් නැති, ආදරේ කරන්න වෙලාවක් නැති, පැය ගාණක් වැඩ කරන්න වෙන මිනිස්සුන්ට. මීට අවුරුදු 100කට කලින් වැඩකරන මිනිස්සුන්ගේ වැඩ දිනය පැය අටක් කරන්න ඕන කියලා මිනිස්සු අරගල කරා. අද ඕටී එක පවා නොගෙවා මරව මරව මිනිස්සුන්ගෙන් වැඩ ගන්න නරුම සමාජයක් වෙලා.

අපි නොදන්න බඩු මිල

දැන් රනිල් හැමදාම පොළේ යනවා. අර මැනිං මාකට් එක වගේ එළවළු මිල, ගෑස්වල මිල කියවනවා. හැබැයි අපි රනිල්ට කියනවා මේ බඩු ඉස්සර තිබිච්ච මිල අපිට හොඳට මතකයි කියලා. රුපියල් එක්දහස් පන්සීයට තිබ්බ ගෑස් එක තමයි අද තුන්දහස් හත්සීයක් වෙලා තියෙන්නෙ රුපියල් හාරසිය පනහට පොඩි එකාට ගෙනිච්ච කිරි පැකට් එක තමයි දැන් එක්දහස් ගාණට ගිහිල්ලා තියෙන්නෙ. රුපියල් අසූවට අනූවට තිබ්බ හාල් ටික තමයි දැන් රුපියල් දෙසීය තුන්සීය වෙලා තියෙන්නෙ. ඒ නිසා අපිට ඒවා අමතක නෑ කියලා අපි රනිල්ට කියනවා. අහිංසක වතු කම්කරුවට රුපියල් දෙදාහක් දෙන්න බැරි සිස්ටම් එක ෆේල් නැද්ද? වැඩ කරන මිනිස්සුන්ට විවේකයක් දෙන්න බැරි සිස්ටම් එක ෆේල් නැද්ද? අහිංසක ගොවියා බඩගින්නේ ඉද්දි ඔහුගේ වී ටික කොල්ල කන ඩඩ්ලි සිරිසේනට හෙලිකොප්ටර් තියන මේ සිස්ටම් එක ෆේල් නැද්ද ? අපි කියනවා මේ සිස්ටම් එක ෆේල් මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන.

වෙනස් කළ යුතු බදු ප්‍රතිපත්තිය

මේ රටේ 85:15 බදු ප්‍රතිපත්තිය වෙනස් වෙන්න ඕන . මේක හතළිහ හැට දක්වාවත් ගේන්න ඕන. මේ මහාපරිමාණ ව්‍යාපාරිකයන්ට බදු ගහන්න ඕන. උන් අදටත් නොගෙවා පැහැර හැරපු බදු අයකරගන්න ඕන; නොගෙවා පැහර හැරපු ණය අයකරගන්න ඕන. ඩොලර් බිලියන පනස් හයක් රටින් පන්නල තියෙන්නෙ. ඒ නිසා මේ මහපරිමාණ ධනයට අත තියලා මේ ධනය මේ රටේ ජනතාවට අත්පත් කරල දෙන්න ඕන ඒකට ඕන කරන ප්‍රතිපත්ති ජන අරගල සන්ධානය ඉදිරිපත් කරල තියනවා. හෝරා කාපු සල්ලි දියව් කියලා අරගලේ දි මේ රටේ ජනතාව හඬ නැගුවේ ඒ වෙනුවෙන් තමයි. ඒ නිසා ඒ ජනතවගේ ප්‍රතිපත්තිය නියෝජනය කරන නුවන් බෝපගේ සහෝදරයා කුඩය ලකුණ ජයග්‍රහණය කරවන්න ඉදිරිපත් වෙමු.’’

(සටහන - ජයසිරි අලවත්ත)

සබැඳි ලිපිය :
අපි, ආගම රාජ්‍යයෙන් ස්වාධීන කරනවා - ජන අරගල සන්ධානය

NB3874582347

pe2024 2

worky sin

නවතම පුවත්