සුරාබදු පොලු තැබූ සමාගම්වල බලපත්‍ර අහෝසි කර, බදු අයකර පෙන්වන්නැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක,
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට අභියෝග කර සිටියි.
ඔහු එසේ අභියෝග කර සිටියේ, ඊයේ (26) කොටිකාවත්ත ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අවසානයේ දී මාධ්‍ය වේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අදහස් දක්වමිනි.
එහි දී අදහස් දැක්වූ මන්ත්‍රිවරයා පවසා සිටියේ තමා පරිසර අමාත්‍ය ධුරය දරන සමයේ වැඩ අවසන් කළ අරුවක්කාලු කසළ අංගණය වෙත කසළ රැගෙන යෑම සඳහා 2019 වසරේ බලයට පත් ආණ්ඩුවට වසර පහක් ගත වූ බවයි.
සුරා බදු නොගෙවා මගහැර සිටින මත්පැන් ව්‍යාපාරිකයන් පිළිබදව ද සිහිපත් කළ මන්ත්‍රිවරයා පවසා සිටියේ බදු නොගෙවා සිටින ව්‍යාපාරිකයින්ගේ බලපත්‍ර අහෝසි කරන ලෙසයි.
එමෙන් ම වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව ද දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බව ද ඔහු සිහිපත් කළේ ය. ඒ, විසා නිකුත් කිරීම සඳහා පුද්ගලික ආයතනයකට පැවරීමේ දි සිදු කර ඇතැයි පවසන වංචාවක් සම්බන්ධයෙනි.
මතු දැක්වෙන්නේ එම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්න සහ මන්ත්‍රිවරයා ලබා දුන් පිළිතුරු ය.
මුලින් තමන්ගේ බදු ටික එකතු කරලා පෙන්නන්න කියලා එතුමාට කියනවා..
ප්රශ්නය:
සුරාබදු කොමසාරිස්වරයා ජනාධිපතිට කියලා තියෙනවා ඔය කියන තරම් බදු හිඟයක් නෑ කියලා.?
‘‘මං දන්නෑ එතුමා එහෙම එකක් කිව්වද කියලා. පළමුවෙන් ම එතුමාගෙන් ඉල්ලා හිටිනවා සුරා බදු කියන්නේ, මත්පැන් කියන්නේ අත්පිට මුදලට විකුණන දෙයක් පනතට අනුව. බිලියන 7.9ක බදු තියෙනවා අතීත බදුත් එක්ක. මේ වසරේත් තියෙනවා විශාල බදු හිඟයක්. ඒක අපේ වාර්තාවේ තියෙනවා. මුලින් තමන්ගේ බදු ටික එකතු කරලා පෙන්නන්න කියලා එතුමාට කියනවා.
මේ රටේ 2023.12.31ට අය කර නොගත් හිඟ බදු ප්‍රමාණය රු. බි. 1120 යි. ඒ වගේ ම 2023 වර්ෂයේ අත්හරින ලද බදු ප්‍රමාණය රු. බි. 978 යි. මේ දෙක එකතු කළා ම රු. බිලියන 2000 යි. ඒක තිබුණා නම් ඇත්තටම අපේ රටේ රාජ්‍ය ආදායම දෙගුණ කර ගන්න තිබුණා. ඒ නියම සංඛ්‍යා ලේඛන අරන් තියෙන්නේ අපේ අතින් නෙමෙයි. ඒ අදාළ ආයතන වෙතින්.
සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරපු වාර්තාවලින් තමයි ඒක අරන් තියෙන්නේ. ඉතින් ඒ නිසා එවැනි දෙයක් එතුමා කිව්වා නම් මං මවිත වෙනවා. මොකද එතුමාගේ බදු ටික අය කරලා පෙන්නන්න කියලා එතුමාට මම කියනවා. එතුමන්ලාට අපි නියෝග දුන්නා. මේ බදු ගෙවන්නේ නැති සමාගම් දෙකක් තියෙනවා. ඒ සමාගම් දෙකෙන් එක සමාගමක් බොහොම නිර්දය විදිහට, කැත විදියට, නිර්ලජ්ජිත විදිහට බදු ගෙවීම් පැහැර හැරලා තියෙනවා. නමුත් මුදල් අමාත්‍යාංශයට හෝ සුරා බදු දෙපාර්තමේන්තුවට කොන්දක් නෑ මේ අයගේ බලපත් තාවකාලිකව නතර කරලා මේ බදු අය කර ගන්න.
මේ බලපත්‍රය තාවකාලිකව නවත්තලා බදු අය කර ගැනීමේ ක්‍රියාදාමයක් 2023 නොවැම්බර් 01 වෙනිදා කළා. ඒ ක්‍රියාවලිය දැන් අත්හැරලා තියෙනවා. ඒ නිසා කරුණාකරලා ඒ බදු පොලු තියපු සමාගම්වල බලපත්‍ර අහෝසි කරලා පුළුවන් නම් බදු අය කරලා පෙන්නලා ඔය වගේ කතා පවත්වන්න කියලා සුරා බදු දෙපාර්තමේන්තුවටත්, මුදල් අමාත්‍යාංශයටත් කියන්න ඕනේ.’’
ආයෙත් රැලිවලට අහුවෙන්න එපා...
ප්රශ්නය:
අරුවක්කාලු කසළ අංගනය විවෘත කරලා තියෙනවා. මං හිතන්නේ ඔබතුමාගේ ව්‍යාපෘතියක්. මොකද ඒ ගැන හිතන්නේ?
පිළිතුර:
‘‘අරුවක්කාලු කසළ අංගනය බොහෝම විරෝධතා මැද හදලා අපි ඒක සම්පූර්ණ කළේ 2019. නමුත් ඒ කසල පටවන තැනත්, ඒ වගේ ම ඒ දුම්රිය කටයුතු ටිකත් කරන්න අවුරුදු පහක් ගියා. අපි සතුටු වෙනවා ඒ දේ කරන එක ගැන. ඒ හින්දා පළමුවෙන් මම ඉල්ලා හිටිනවා අපි කොළඹ කසළින් විදුලිය නිපදවන කෙරවලපිටියේ බලාගාරයක් තියෙනවා. ඒකේ තියෙනවා විශාල අළු ප්‍රමාණයක් ඉතුරු වෙලා. මුලින්ම ඒ අළු ප්‍රමාණය එතනට ගෙනිහිල්ලා තැන්පත් කරන්න. ඒ වගේ ම බස්නාහිර පළාතේ ප්රශ්නය අරුවක්කාලු කසළ අංගණයෙන් මේ සියවසට ඒ කියන්නේ 2100 විසඳෙනවා. ඒක අපි කළේ රජයේ අරමුදල්වලින්. ඒ ගැන අපි ආඩම්බර වෙනවා. ඒකට විශේෂයෙන්ම සහයෝගය දීපු සියලු ම නිලධාරීන්ට අපි ස්තූතිවන්ත වෙනවා. අපේ කසළ ලොරිවලට ගල් පහරවල් දීපු අය. ඒක පෙරළා ඒකට ගිහිල්ලා ඒකේ ආයතන හානි කරපු අයටත් අපි ස්තූතිවන්ත වෙනවා. ඒ බාධා නිසා තමයි අපේ ධෛර්යය වැඩි වුණේ.’’
ප්රශ්නය:
මැතිවරණ කොමිසමට මැතිවරණ පැමිණිලි දහසකට වැඩිය ඇවිල්ලා තියෙනවා. එයින් සීයට අනූවක් ම පොදු දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන්?
පිළිතුර:
‘‘ඔව්... ඒ පිළිබඳ මැතිවරණ කොමිසම නිකම් වාර්තා නිකුත් කරන්නේ නැතිව ක්‍රියා කරන්න ඕනෙ ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. එකක් රු. 190 යි කියලා තියෙනවා අපේක්ෂකයෙකුට වියදම් කරන්න පුළුවන්. දැන් මේ බස්වලින් සෙනඟ ගෙනෙල්ලා, රැස්වීම් පවත්වන ඒවයේ අයවැය වාර්තා පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කරන්න ඕනෙ. ඒ වගේ ම විශේෂයෙන්ම මාධ්‍ය හැසිරීම, සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය හැසිරීම පිළිබඳ. අපට එදා නාම යෝජනා දීපු දවසේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කිව්වා අපේක්ෂකයින්ගේ අපේක්ෂකත්වය තහනම් කරන්නත් අපේක්ෂකයෙක් ජනාධිපති වුණහම ඒක කරන්නත් එතුමාට බලය තියෙනවා කියලා. අපි බලා ගෙන ඉන්නවා එතුමා මේ මූලික කාරණා සම්බන්ධයෙන්: රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම, ජනමාධ්‍යවල හැසිරීම සහ අරමුදල් රිසි සේ පාවිච්චි කිරීම කියන මේ කාරණා සම්බන්ධයෙන් එතුමා ගන්න පියවර ගැන කුමක් ද කියලා.’’
ප්රශ්නය:
කඩවත බහුවිධ මධ්‍යස්ථානය විවෘත කරලා තියෙනවා. ඒ ගැන ඔබ මොකද කියන්නේ?
පිළිතුර:
‘‘ඇත්තටම මේ රටේ අවාසනාවන්ත ඉතිහාසයක ලොකු ප්‍රතිබිම්බයක්. කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් හැදුවේ, කොට්ටාවේ වගේ ම, රාගම ඉඳන් සැහැල්ලු දුම්රිය සේවයක් ගෙනල්ලා කඩවතට. කඩවතින් කැලණියට ගෙනල්ලා. කැළණියෙන් මේ අංගොඩ, කොලොන්නාව ප්‍රදේශයට ගෙනල්ලා, කොලොන්නාවෙන් මේක මරදානට ගෙනියන්න. ඉතින් අර 69 ලක්ෂයක් පෙන්නලා රවට්ටලා, ඒ ව්‍යාපෘති සියල්ල අවසන් කළා. අද 2024 අගෝස්තු, මේ වෙන කොට ඒ සැහැල්ලු දුම්රිය කැලණිය ප්‍රදේශයෙන්, ඒ වගේම කොළොන්නාවෙන් මරදාන කරා යන්න තිබුණා. 2019 මාධ්‍ය සංග්‍රාමයකට අහු වෙලා රැවටීමකට අහු වෙලා, වීරයෙක් ජනාධිපති කරන්න උත්සාහ නො කළා නම්, ඒ වගේ ම නැවත වතාවක් ඒ වගේ රැළිවලට අහු වෙන්න එපා. මහපොළවේ ප්‍රායෝගික්ව වැඩ කරපු මිනිස්සු විශ්වාස කරන්න.’’
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගැටලුව පිළිබඳ කරුණු දැක්වූ මන්ත්‍රිවරයා...
වීසා වංචාව සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි...
ජනාධිපතිවරයාට කොන්දක් නෑ. මේ ආගමන විගමන පාලකවරයා ඉවත් කරලා හරි මේ ඇමතිවරයා ඉවත් කරලා හරි රටට එන සංචාරක පිරිස වැඩි දියුණු කර ගන්න. අනිත් පැත්තෙන් මේ රටේ අපේ තරුණ ජනතාව විදේශගත වීමෙන් තමයි තමන්ගේ අනාගතය සාර්ථක කර ගන්න උත්සාහ කරන්නේ. ඒ සම්බන්ධයෙන් මේ ඇමතිවරයාට එරෙහිව දැඩිව ක්‍රියාත්මක විය යුතුයි. ආගමන විගමන පාලක වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි. එතනත් බරපතළ වංචාවක් සිද්ධ වෙනවා. ඒ හරහා රටින් පිටරටට ගිහිල්ලා යම්කිසි මුදලක් රටට දායක කරන්න තිබුණු අවස්ථාව නැති වෙනවා. මේ ඇමතිවරයා කටයුතු කරන්නෙ, ආගමන විගමන පාලකයෝ ඉවත් කරලා. ඔහු උසාවියේ නියෝග පිළිනොපැදීම සම්බන්ධයෙන් ඉදිරි කාලයේ දී අපි ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනවා.’’