වැල් පාලමේ ගමන අතරමග නතර කළහොත් සියලු රට වැසියන් ගඟට ඇද වැටෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ
මාවනැල්ලේ "පුළුවන් ශ්රී ලංකා" ජනපතිවරණ ජනරැළිය අමතමින් අද( 27) පැවසීය.
රටේ ආර්ථිකය හදන්නට කිසිදු සැලසුමක් ඉදිරිපත් නොකරන සජබෙ සහ ජවිපෙ උත්සාහ කරන්නේ වැල් පාලමේ රැහැන් දෙපැත්තෙන්ම කපා දමා ජනතාව ගඟට ඇද දැමීමට යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
වැල් පාලමේ ඉතිරි කොටස ගෙවා දමා දුෂ්කර ගමන අවසන් කොට ආර්ථික සමෘද්ධිය උදාකර ගන්නවාද? නැතිනම් ගඟට වැටී අනාගතය නැති කරගන්නවාද? කියා සැප්තැම්බර් 21 වෙනිදා ජනතාව බුද්ධිමත් තීරණයක් ගත යුතුව ඇතැයි ජනාධිපතිවරයා කීය.
"බදු අය කරන්නේ නැතැයි සමහර පක්ෂ කියනවා. විකල්ප බදු නැත්නම් කරන්නේ කුමක්ද? එවිට ආදායම අඩු වෙනවා. වැල් පාලම කපා දමා ගියොත් අප යන්නේ ගඟට.
මේ බද්ද අඩු කරනවා, අර බද්ද අඩු කරනව යැයි කියනවා.
ජනතා විමුක්ති පෙරමුණේ ප්රතිපත්ති ප්රකාශයෙන් බිලියන දෙසීයක්වත් ආදායම අඩු වෙනවා. ඒ කියන්නේ වැල් පාලම කපා දමනවා. වැඩියෙන් දෙනවා කියනවා. ආදායම අඩුකර වැඩියෙන් දෙන්නේ කොහොමද?
ගණිතය දන්නේ නැතිනම් ආර්ථිකය දන්නේ නැතිනම් එහෙම කියන්න පුළුවන්.
මේ අය බලන්නේ වැල් පාලම එක පැත්තකින් නොව දෙපැත්තෙන්ම කපා දමන්නයි.
මම ජවිපෙ ප්රතිපත්ති ප්රකාශය සම්පූර්ණයෙන්ම කියෙව්වා. ඔබට එය කියවන්න මාස දෙක තුනක් යාවි. ඒ අතරතුර ඡන්දය තිබෙන නිසා අපට ඡන්දය දී ඊට පසුව ඒ ප්රතිපත්ති කියවා බලන්න.
අප වැල් පාලම අතහරින්නේ නැතිව මේ ගමන යා යුතුව තිබෙනවා. ආර්ථික ස්ථාවර බව ඇති කර එහි ප්රතිඵල ලබා දිය යුතුයි" යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.
මාවනැල්ල බස් නැවතුම්පොලේදී මෙම ජනරැළිය පැවැත්විණි.