theleaderlk 01

මරියසුරේෂ් ඊශ්වරී මාතාව

 

රටේ නායකත්වය බාර දීම සදහා මහජන ඡන්දයෙන්, අයකු තෝරා පත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනාධිපතිවරණයට හවුල් වීමෙන් වැලකි සිටීමට යුද පීඩිත දෙමළ මව්වරුන් තීරණය කර තිබේ.

රටටත්, ලෝකයටත් බරපතල පණිවිඩයක් දෙමින් මුලතිව් දිස්ත්‍රික්කයේ මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගම් වලට නායකත්වය දෙන දෙමළ මාතාවන් පෙන්වා දී ඇත්තේ රටේ ජනාධිපති ලෙස කවුරුන් පත් වුවද යුද්ධයෙන් බැට කෑ දෙමළ ජනයාට යුක්තිය ඉටු නොවන බවයි.

යුද සමයේත්, ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර සහාය ඉල්ලා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ පවත්වාගෙන යන යුද වින්දිත මව්වරුන්ගේ දීර්ඝතම අරගලයේ අගෝස්තු මස 30 වැනිදා පැවැත්වෙන් උතුරු, නැගෙනහිර දෙපළාතේ විරෝධතා වලට දෙමළ ප්‍රජාවගේ සහාය ඉල්ලීම වෙනුවෙන් අගෝස්තු 27 වැනිදා මුලතිව්හිදී මෙන්ම මන්නාරමේදී මාධ්‍ය හමු පවත්වා තිබුනි.

සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වෙන ජනාධිපතිවරණය පිළිබදව ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදීන් විමසු පැනයට පිළිතුරු ලබා දෙමින් බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ මුලතිව්  දිස්ත්‍රික් සභාපතිනි මරියසුරේෂ් ඊශ්වරී මාතාව කියා තිබුනේ ජනාධිපති ඡන්දයක් ගැන විමසීමේදී ඇති වන්නේ අප්පිරියාවක් බවයි.

"බලහත්කාරයෙන් අතුරුදහන් කරපු අයගේ නෑදෑයන්ට මේ තාක් කල් ජනාධිපතිලගෙන් හරි, දේශපාලන නියෝජිතයන්ගෙන් හරි කිසිම විසඳුමක් ලැබිලා නැහැ. මෙහෙම තත්වයක් තියෙද්දී ඕගොල්ලෝ ජනාධිපති ඡන්දයක් ගැන අහනකොට අපිට ඇතිවෙන්නේ මහ අප්පිරියාවක්."
 

දෙමළ ජනයාට යුක්තිය ලබා දීමට අලුතින් පත්වන ජනාධිපතිවරයා හෝ කිසිදු මැදිහත්වීමක් සිදු නොකරන බවට දැඩි විශ්වාසයක් පළ කරමින් ඇය අවධාරණය කර තිබුනේ එවැනි තත්වයක් හමුවේ ජනාධිපතිවරණයට කිසිදු අයුරකින් සහ සම්බන්ධ නොවන බවයි.


"අපිව මරපු අය වෙන්න පුළුවන්, අපිව උස්සං ගිය අය වෙන්න පුළුවන්, ඒගොල්ලන්ව ආරක්ෂා කරන කෙනෙක් තමයි ජනාධිපති වෙන්නේ. ඔන්න පුලුවන්නම්, අලුතින් පත්වෙන ජනාධිපති අපිට විරුද්ධව අපරාධ කරපු අයව ජාත්‍යන්තර උසාවියට නැග්ගුවොත් අපි එයාව ඉහලින් පිලිගන්නවා."

 

Manuel Uthayachandraමනුවෙල් උදයචන්ද්‍රා මාතාව

බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ මන්නාරම දිස්ත්‍රික් සභාපතිනි මනුවෙල් උදයචන්ද්‍රා මාතාවත් අගෝස්තු 27 වැනිදා මන්නාරමේදී මාධ්‍යවේදීන් හමුවේ කියා තිබුනේ පත්වන කිසිදු සිංහල ජනාධිපතිවරයෙකුගෙන් පලක් නොවන අතර සිය සමීපතමයන් වෙනුවෙන් ජාත්‍යන්තර යුක්තිය ඉල්ලා සිටින්නේ ඒ හේතුවෙන් බවයි.

"පත්වෙන ජනාධිපති වෙන්නේ සිංහල දේශපාලකයෙක්. සිංහල දේශපාලකයෙක් පත්වුනාම අතුරුදහන් වෙච්චි තරුණයන්ට විසඳුමක් ලැබෙයි කියලා අපිට විශ්වාසයක් නැහැ. ඒ හින්දා තමයි ජාත්‍යන්තරය දිහා බලාගෙන ඉන්නේ. කොයි ජනාධිපති ආවත්, කොයි දේශපාලකයා පත්වුනත් අපි ඒකට වගකියන්නේ නැහැ. මොකා ආවත්, ඇවිත් ගියාවේ."

උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහට අයත් බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් යාපනයේදීත්, නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක තුනට අයත් බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් ත්‍රිකුණාමලයේදීත් අගෝස්තු මස 30 වැනිදා, වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන්ට යුක්තිය ඉල්ලා විරෝධතා දියත් කිරීමට කටයුතු සංවිධානය කර තිබේ.

pe2024 2

worky sin

නවතම පුවත්