ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොව මැතිවරණ ප්‍රකාශනයක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසී ය.
හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (27) පැවති ‘ජාතික ජන බලවේගයේ ඇස්බැන්දුම් ප්‍රකාශනය’ යන මැයෙන් වූ මාධ්‍ය හමුවක දී ය.
මතු දැක්වෙන්නේ එම අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කළ සම්පූර්ණ අදහස් දැක්වීම ය.
ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොවන මැතිවරණ ප්‍රකාශය
ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොවෙයි; මැතිවරණ ප්‍රකාශනයක් විතරයි. මේ ලියවිල්ල ක්‍රමයේ වෙනසක් පතා කියලා ඉදිරිපත් කරාට ඒ ක්‍රමයේ වෙනස සඳහා භාවිතා කරන ඔවුන්ගේ දර්ශනය මොකක්ද? ඒ දර්ශනය වෙළෙඳපොළ ආර්ථිකය මත පදනම් වෙච්ච එකක්ද? සමාජවාදී ආර්ථිකය මත පදනම් වෙච්ච එකක් ද? ප්‍රායෝගිකවාදී දර්ශනයක් ද? එහෙමත් නැත්නම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දැක්මක්ද? වශයෙන් දාර්ශනික ක්‍රියාවලියේ කිසිවක් ප්‍රකාශ කරලා නෑ. මීට පෙර ඔවුන් දූෂිත යැයි කියාගන්නා බොහෝ දේශපාලන පක්ෂත් ඔවුනුත් ඉදිරිපත් කරලා තියෙන මැතිවරණ ප්‍රකාශනවලට බොහොම සමාන ප්‍රකාශනයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ.
ණය තිරසරකරණය ගැන එහි එකඟතාවක් නෑ. තමන් ඉන් වෙනස් වන්නේ කොතනින් ද, ඊට යොදාගන්නා නිර්ණායකය කුමක් ද කියලා ජාජබ හෙළි කළ යුතුයි. ජාතික ජන බලවේගයේ විශ්ලේෂණය එක්ක තමන් එකඟ ද යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්න ඕන.
ජාජබ විශ්ලේෂණය සමග IMF එකඟ ද...?
ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතා ලියවිල්ලක් අත්සන් කරලා තියෙනවා. ඒ එකඟතා ලියවිල්ලට පදනම් වෙලා තියෙන්නේ ණය තිරසරභාවය පිළිබඳ තියෙන විශ්ලේෂණය. මේක මත පදනම් වෙලා තමයි යම් යම් ඉලක්ක ආණ්ඩුවට, ශ්‍රී ලංකා රජයට ලබාදීලා තියෙන්නේ. දැන් ඒක ඇත්තට ම ආර්ථික පරිවර්තන පනත නමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ගෙනවිල්ලා ඒක රටේ නීතියක් බවටත් පත් කරලා තියෙනවා. ඒකේ පදනම තමයි අර ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය.
ජනාධිපතිවරණයෙන් පස්සේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ කොටස අපට ලබා දීම සඳහා වන කොන්දේසි ගණනාවක් ඉටු කළ යුතුව තියෙනවා. ඒක දෙසැම්බර් මාසයේ ලබාගත යුතුයි. ඒක දෙසැම්බර් මාසයේ ලබාගන්නට නම්, අපි ඒ අයගේ කොන්දේසි ඉටු කළ යුතුයි. එසේ කළා නම් අපට ලෝක හා ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් මුදලක් ලැබෙන්න නියමිතයි. ඒ මුදල් එක්ක තමයි මේ අයවැය සකස් කරලා තියෙන්නේ. මෙච්චරයි අපේ ආදායම. මෙච්චරයි අපේ වියදම කියලා. මේ අයවැය තුලනය කරලා තියෙන්නේ. එතකොට අයවැය තුලනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් රටට උදා වෙනවා.
ගිනස් පොතට එකතු විය යුතු කරුණු
ජනාධිපති ක්‍රමය අහෝසි කරලා, පාර්ලිමේන්තු ක්‍රමය ඇති කරන බවත් නව මැතිවරණ ක්‍රමයක් බිහිකරන බවත්, කිව්වට මේ රටේ මේ විශාල වශයෙන් ප්‍රශ්නගත වෙලා තියෙන පළාත් සභා ක්‍රමය ගැන කිසිම වචනයක් ප්‍රකාශ කරලා නෑ. බලය බෙදීමක් එහෙම නැත්නම් පරිපාලන විමධ්‍යගත කිරීමක් හඳුන්වලා දෙනවා නම් ඒ කවර ආකාරයේ එකක්ද කියන එක ගැන කිසිම සඳහනක් නෑ.
අපි එක්තරා කාලයක මේ රටේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා එල් ආර් ටී ගේනකොට ඒවට විරුද්ධව ගල් පෙරළපු, ඒවා උපහාසයට ලක් කරපු, එක පැත්තකට විතරයි මේවා යන්නේ. ලෝකයේ ගිනස් පොතට එක්කහු වෙන්න ඕනේ කියලා එහෙම විහිළු තහළු කරපු, ජනතා විමුක්ති පෙරමුණ නොහොත් ජාතික ජන බලවේගයේ අය තමන්ගේ ප්‍රතිපත්තිය බවට ප්‍රකාශ කර කරලා තියෙනවා. හෝමාගම තාක්ෂණ නගරයට විශාල විරෝධයක් කරපු ජනතා විමුක්ති පෙරමුණම තාක්ෂණික උද්‍යාන බිහි කරන්න යනවා. ඔවුන්ට බුද්ධිය පහළ වීම ගැන සතුටුයි. දැන් ඒක ගිනස් පොතට යා යුතුයි.
ජවිපෙට හෝ ජාජබයට බුද්ධිය පහළ වීම
තොරතුරු තාක්ෂණය පමණක් නෙවෙයි... නැනෝ තාක්ෂණ, ජීව තාක්ෂණ, ජාන තාක්ෂණ, රොබෝ තාක්ෂණ, මේ වගේ ගොඩාක් දේවල් සඳහා තමයි හෝමාගම, මාතර, පේරාදෙණියේ, කිලිනොච්චියේ තාක්ෂණ නගර හතරක් යෝජනා කළේ. මේකෙන් හෝමාගම එක විතරයි අපි නිර්මාණය කරන්න මැදිහත් වුණේ. ඒකට විශාල විරෝධතාවයක් ගොඩනැගුවා. දැන් ඒගොල්ලොම යෝජනා කරලා තියෙනවා ඒගොල්ලන්ගේ පාලනයක් යටතේ බස්නාහිර, දකුණු ආදී පළාත්වල තාක්ෂණ උද්‍යාන බිහි කරන්න යනවා කියලා.
දිනුවොත් භාරකාර ඇමති මණ්ඩලයක් ද...?
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුව හරහා, රාජ්‍ය ආදායම් ඉහළ නංවන්නේ කොහොමද කියන එකට සාම්ප්‍රදායික උත්තර ඇරෙන්න, ඒ කියන්නේ තව කාර්ය මණ්ඩල බඳවා ගැනීම්, නීති පද්ධති සකස් කිරීම, වැනි දෑ වලට අමතරව, වෙනත් කිසිම අතිරේක යෝජනාවක් ඉදිරිපත් වෙලා නෑ. මේ කණ්ඩායම මොකක්ද කියන එක ගැන අපට විධිමත් භාවයක් පේන්න නැහැ. රටේ ප්‍රබල මූල්‍ය, බලශක්ති, ප්‍රවාහන යනාදි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඉන්න කණ්ඩායම මොකක්ද කියන එක ගැන කිසිම පැහැදිලි කිරීමක් නැහැ.
අපට නම් දැන් සතුටුයි - කරු පරණවිතාන
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සභාපති, කරු පරණවිතාන,
“හැමදාම ප්‍රතිපත්ති ගැන කතා කරපු, උද්ඝෝෂණය කරපු, පන්ති පවත්වපු අය මූලික වශයෙන් තමන්ගේ ප්‍රතිපත්තිය මේකේ ඉදිරිපත් කරලා නෑ. මේක ප්‍රතිපත්තිමය ලියවිල්ලක් හැටියට අපි දකින්නේ නෑ. මේක මැතිවරණ ප්‍රකාශනයක්. ඉතින් ඇත්තෙන්ම ගත්තොත් එහෙම ජනතා විමුක්ති පෙරමුණ එක්දහස් නමසිය හැට පහේ ඉඳලා දැන් මේ පසුගිය අවුරුද්ද දක්වාම අපි දැකපු දේ තමයි හැමදාම කියපු කාරණාවක් තමයි, මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් ම ඒ අය, ඒගොල්ලෝ කියපු කාරණාව තමයි, ඔය ප්‍රශ්නය විසඳන්න මේ මේ තියෙන ක්‍රමය යටතේ. හැමදාම ඒ අය මේ සහමුලින්ම වෙනස් වූ ක්‍රමයක් ගැන දේශනා කරා; පරිකල්පනය කරා; පුරුදු කළා. ඒක මූලික වශයෙන් සමාජවාදී.
හැබැයි අර දැනටත් විවේචන එල්ල වෙන විදිහට සමාජවාදය ගැන එක අකුරක් මේකේ ලියලා නෑ. ඒකෙන් අපිට පේනවා ප්‍රතිපත්ති අතෑරලා තියෙනවා කියන එක. හැබැයි අපි සතුටු වෙනවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැරි ප්‍රතිපත්තිවලින් දේශපාලන පක්ෂ විතැන් වෙලා වෙන විදිහට කල්පනා කරන්න පටන් ගැනීම ගැන ඒ ගැන අපිට ආරෝවක් නෑ. අපි ඒ ගැන සතුටු වෙනවා.
අලියා ගෙනාවට හෙණ්ඩු නෑ
එයාලා ලොකු යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් මම ඒ ලේඛනය කියෙව්වා. උදාහරණයක් හැටියට, සෑම පුරවැසියෙකුට ම විශ්‍රාම වැටුපක් දෙන්න යෝජනා කරලා තිබෙනවා. ඊළඟට දුප්පත්කම තුරන් කිරීම පැත්තෙන් ගත්තොත් එහෙම සෑම සිය දෙනෙකුට ම, ක්ෂේත්‍ර නිලධාරියෙක් දැනට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ විශාල වියදම් ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සමහර දේවල් හොඳයි. අපි ඒවා නරකයි කියලා කියන්නෑ. ඒ සාර සංග්‍රහවාදීව ඉදිරිපත් කළාට, ඒ ප්‍රතිපත්තිමය පදනමේ, සමහර යෝජනා හොඳයි. හැබැයි, අවසාන වශයෙන් අලියා ගෙනල්ලා හෙන්ඩුව ගෙනල්ලා නෑ වගේ. අවසාන වශයෙන් මේවා ක්‍රියාත්මක කරන්න ධනය කෝ? කොහොමද රට ධන උපායන රටක් බවට පත් කරන්නේ කියන එක සම්බන්ධයෙන් මේ පක්ෂය ඉතාම පුදුමාකාර විදිහට, මාරාන්තික විදිහට නිහඬ වෙලා තිබෙනවා.
මේ ලස්සන රටකට අදාළ ලස්සන වචන තිබුනට පොහොසත් රටක් කරන්න පුළුවන්. රටේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් වැඩපිළිවෙළක් මේ පක්ෂය තුළ නෑ. ඒක අවසාන කරලා තිබෙන්නේ රට අනුරට කියලා. අනුර දිසානායක මහත්මයාට මේ ආකාරයට මෙන්න මේ වගේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට භාර දුන්නොත් අපිට ඉතාම පැහැදිලිවම කියන්න තියෙන්නේ රට පෝසත් රටක් කෙසේ වෙතත් මේ අද තියෙනවාටත් වඩා දුප්පත්කමේ අගාධයට වැටිලා: වෙනිසියුලාවට, උතුරු කොරියාවට ගිය තත්වය මූණ දෙන්නයි වෙන්නේ.”
මෙම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පාඨලී චම්පික ලබා දුන් පිළිතුරු
මෙන්ඩිස් සමාගම ආරක්ෂා කරන්නේ කවුද...?
ප්‍රශ්නය:
ඔබතුමන්ලා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙ නියෝගයක් දුන්නහම... ඒක කරන්න නිර්දේශ කළාට පස්සේ ක්‍රියාත්මක කරන්න යම්කිසි විදියකින් තව නියෝගෙකුත් ගන්න ඕනෙ ද?
පිළිතුර:
‘අපේ සුරාබදු කොමසාරිස්තුමා අපිට දීලා තියෙන වාර්තාවල තියෙනවා එතුමාගේ නමින්ම, ගුණසිරි මහත්තයාගේ නමින්ම එවපු ලිපියේ තියෙනවා බිලියන 7.9 ක හිඟ බදු තියෙනවා කියලා. එතකොට අපි සමන් ජයසිංහ මහත්තයා ඉන්න කාලේ නියෝගයක් දුන්නා නොවැම්බර් පළවෙනිදා ගිය අවුරුද්දේ මේ නොගෙවපු අය මහා ගාණක් නැහැ. මේ නොගෙවපු අය ඇත්ත වශයෙන්ම ඉන්නේ ප්‍රධාන වශයෙන්ම හතර දෙනයි නැත්නම් පස් දෙනයි. ඒකෙනුත් දෙන්නෙක් තමයි ප්‍රධාන. මේගොල්ලන්ගේ බලපත්‍ර තාවකාලිකව අත්හිටුවන්න කියලා. ඒ නියෝගය ඔහු පිළිඅරගෙන බලපත්‍ර අත්හිටෙව්වා. දින හතරක් ඇතුළත ඒ අත්හිටුවීමෙන් පස්සේ හිඟ බදු ගෙවීම සඳහා වෙච්ච එකඟතාවයකට අත්සන් කළා නොවැම්බර් හතර. මට මතක හැටියට මේ හැමෝම අත්සන් කරලා සතියකට පස්සෙ රුපියල් මිලියන එකසිය හතළිහකට ආසන්න ප්‍රමාණයක් ගෙවාගෙන ආවා. ඇවිල්ලා එක සමාගමක් විතරක් දෙසැම්බර් හතර වෙනිදා නැවත ගෙවීම අත්හිටෙව්වා.
එතකොට අපි කිව්වා ඒ සමාගමේ බලපත්‍රය නතර කරන්න කියලා. බලපත්‍රය නතර කරනවා වෙනුවට දෙසැම්බර් 31 වෙනකොට පාර්ලිමේන්තුව කල් තැබුවා. පාර්ලිමේන්තුව කල් තැබුවාම ක්‍රම සහ විත්ති කාරක සභාව අහෝසි වුණා. ඊළඟට අපි කාරක සභාව නැවත ස්ථාපිත කරන කොට සුරාබදු කොමසාරිස් පුටුවේ නෑ. ඔහුව අයින් කරලා. ඉතින් ඒක නිසා දැන් ගුණසිරි මහත්මයා අපිට කියන්නේ මුදල් ඇමති හෝ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මට නියෝගයක් දෙන්න ඕනේ මේ බලපත්‍ර තාවකාලිකව නවත්තන්න ඕනේ කියලා. ඒ වෙන අර්ථෙකින් කිව්වොත් කියන්නේ ජනාධිපතිතුමානේ මුදල් ඇමති. ජනාධිපතිතුමා තමයි මේ බදු හොරු රකින්නේ කියලා තමයි මේ ගුණසිරි මහත්තයා කියන්නේ. ජනාධිපති මාධ්‍ය කාර්යාලයටම ඇවිල්ලා ඔය කියන්නේ වෙන මුකුත් නෙමෙයි ජනාධිපතිතුමා තමයි මේ මෙන්ඩිස් සමාගම ආරක්ෂා කරන්නේ කියලා. ඒකයි එතුමා කියන්නේ. ඇත්තටම මේ ජනාධිපතිතුමාව ගලවගන්න කියලා ඇවිල්ලා ජනාධිපතිතුමාගේ සළුපිළි උනා දැමීම තමයි මේ කරලා තියෙන්නේ. හැබැයි අපරාදේ කියන්න බෑ මේ ගුණසිරි මහත්තයා ඒක.. පාර්ලිමේන්තුව අපේ කොමිටිය ඉදිරියෙදිත් එහෙම්මම කළා. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් පෙන්නලා දුන්නා ඒගොල්ලෝ ලියුම් යවලා තියෙනවා ක්‍රම සහ විධි කාරක සභාවේ නියෝග පිළිපදින්න කියලා. ඉතින් ඒ ලියුම් තිබියදීත් තමයි කිව්වේ. ඒ වගේම ඔහු අමූලික බොරුවක් කිව්වා. මේ බදු තියෙන්නේ තාම බිලියන අනූවයි කියලා.
මේ කියන්නේ අපි වැරදි තොරතුරු ඉදිරිපත් කරනවා කියලනේ. අපි මේ තොරතුරු දාලා තියෙන්නේ පාර්ලිමේන්තුවටයි. මේ තොරතුරු අපි අරන් තියෙන්නේ අපි ගිහිල්ලා නෙවෙයි. මේ අදාළ දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් විසින් අපට ලිඛිතව ලබා දීපු තොරතුරු. ඉතින් ට්‍රිලියනයකට අධික බදු පොලු තියලා තියෙනවා. ඒ ඇතැම් ඒවා නඩු හැටියට තියෙනවා වෙන්න පුළුවන්. ඇතැම් ඒවා එක්ක ගැටුම් තියෙනවා වෙන්න පුළුවන්. ඒක බදු ක්‍රමයේ ප්‍රශ්නයක්. නමුත් රේගු දෙපාර්තමේන්තුවේ, සුරාබදු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරු මත තමා අපි පදනම් වෙලා මේ වාර්තා ඉදිරිපත් කරලා තියෙන්නේ. අනිත් එක මේක මම තනියෙන් කරපු එකක් නෙමෙයි. අපේ ආණ්ඩු පක්ෂයේ, විපක්ෂයේ සියලු ම මන්ත්‍රීවරු එකතුව පළකරපු දෙයක්. ඔහු මේ මාධ්‍ය ප්‍රකාශයෙන් කරලා තියෙන්නේ රට නොමඟ යැවීමක්. ඉතින් මෙන්ඩිස් සමාගමට විතරක් බදු නොගෙවා මත්පැන් නිෂ්පාදනය කරන්න දීලා තියෙන විශේෂ බලපත්‍රය මොකක්ද කියලා; විශේෂ වරප්‍රසාදය මොකක්ද කියලා ගුණසිරි මහත්තයා රටට පැහැදිලි කරන්න ඕන.”
මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ උපසභාපති තීක්ෂණ ගම්මන්පිල ද එක්ව සිටියේ ය.
(සටහන - ජයසිරි අලවත්ත)