මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉහලම ඡන්ද ප්‍රතිශතයකින් කෑගල්ල දිස්ත්‍රීක්කයෙන් දිනවන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් අවධාරණය කර සිටියි.
කෑගල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් එබව කියා සිටියේ, මාවනැල්ල නගරයේ ඊයේ (27) පැවති ''පුළුවන් ශ්‍රී ලංකා'' ජනරැළිය අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, වත්මන් ජනාධිපතිවරයා ඉතා කෙටි කාලයක් තුළ රටේ ආර්ථික, සමාජ, සහ දේශපාලන ස්ථාවරභාවය ස්ථාපිත කරවූ බවත් කෑගල්ල දිස්ත්‍රික්කයට විශාල දායකත්වයක් දැක්වූ බවත් පවසා සිටියේය.
ජනාධිපතිවරයා කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති අතර, තරුණ ප්‍රජාව වෙනුවෙන් කුරුණෑගල විශ්ව විද්‍යාලයේ පීඨයක් පින්නවලට ලබාදී ඇති බව ද ඇමතිවරයා සඳහන් කළේය.
රටේ අනාගතය තරුණ පරපුරට යැයි හැඟවෙමින්, දෙමාපියන්ගේ බලාපොරොත්තුව අනුව, මෙම තරුණ පරපුරට හොඳ අනාගතයක් උදාකර දීමේ වැදගත්කම මෙහිදී ඔහු අවධාරණය කළේය.
තවදුරටත් අදහස් දැක්වූ කනක හේරත් , ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෙකු ජනාධිපතිතුමාගේ ඉතිරි ගමනට සහය දැක්වීමට අද දින අප හා එක් වූ බවත්, ඔහු මෙම මැතිවරණයේදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී සිටින බවත් ප්‍රකාශ කළේය.
එම ජයග්‍රහණය විජයග්‍රහණය කරා ගෙනයාමේදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම ප්‍රතිශතයකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවීමට අප සියලු දෙනා කැපවී සිටින බව ඔහු කියා සිටියේය.
සමීක්ෂණ වාර්තා අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියෙන්ම සිටින දිස්ත්‍රික්ක අතර කෑගල්ල දිස්ත්‍රික්කය ඉහලින්ම සිටින බවත්, මාවනැල්ල ආසනය විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගන්න බවත් ඇමතිවරයා අවධාරණය කළේය.