සමස්ත සංක්‍රමණ සංඛ්‍යාව කොරෝනා වසංගත සමයට පෙර පැවති මට්ටමට අඩු කිරීමට අවධානය යොමු කරමින්
ඔස්ට්‍රේලියාව එරට අධ්‍යාපන අවස්ථා ලබා දෙන ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සීමා කිරීමට තීරණය කර තිබේ.
ඔස්ට්‍රේලියාව ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ශිෂ්‍ය වෙළෙඳපොළක් වන අතර, 2025 වසරේදී එරට අධ්‍යාපන අවස්ථා ලබා දෙන ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 270,000 දක්වා සීමා කරනු ඇත.
වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබා දෙන ආයතනවලට පැනවෙන විශාලතම කප්පාදුව මෙය විය හැකි අතර, සෑම උසස් අධ්‍යාපන ආයතනයකට ම වෙන වෙන ම සීමාවක් පනවනු ඇති බව එරට රජය අඟහරුවාදා නිවේදනය කළේ ය.
මෙම කප්පාදුව සම්බන්ධයෙන් එරට තෘතියික අධ්‍යාපන ක්ෂේත්රය කැළඹීමට ලක්වී ඇති අතර, ඇතැම් විශ්වවිද්‍යාල එය "ආර්ථික ම්ලේච්ඡත්වයක්" ලෙස හැඳින්වුව ද, කැන්බරා විශ්වවිද්‍යාලය පවසන්නේ, එම තීරණය මගින් තෘතියික අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මකභාවය සහ දිගුකාලීන පැවැත්ම වැඩි දියුණු කරන බව ය.
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදෙස් සිසු සිසුවියන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ශ්‍රී ලාංකිකයින් නියෝජනය කරන හෙයින් මෙම තීරණය ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට ඍජුව ම බලපානු ඇත.
2024 වසරේ නවතම සංඛ්‍යා දත්ත අනුව, ඔස්ට්‍රේලියාව තුළ ජාත්‍යන්තර සිසු සිසුවියන් 717,500ක් පමණ අධ්‍යාපනය ලබති.
කොවිඩ් වසංගතය අතරතුර ඔස්ට්‍රේලියාව විදේශීය සිසු සිසුවියන් ඔවුන්ගේ මව් රටවලට යවා දැඩි දේශසීමා පාලනයක් හඳුන්වා දුන් අතර, එහෙයින්, උසස් අධ්‍යාපනයට දැඩි පහරක් එල්ල වූ බව එරට අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් පිළිගත්තේ ය.
කෙසේ වෙතත්, විශ්වවිද්‍යාලවල වර්තමානයේ ඉගෙනුම ලබන ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව Covid-19 වසංගතයට පෙර සිටි සංඛ්‍යාවට වඩා 10%කින් වැඩි වී ඇති අතර, පෞද්ගලික වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු සපයන්නන් 50% කින් ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේ ය.
"ශිෂ්‍යයන් ආපසු පැමිණ තිබෙනවා, ඒත්, සැකකටයුතු ව්‍යාපාරවල නිරත වෙන අයත් ඉන්නවා - මිනිසුන් ඉක්මන් මුදලක් උපයා ගැනීම සඳහා මෙම ක්ෂේත්රය අයුතු විදිහට පාවිච්චි කරන්න උත්සහ කරනවා," ක්ලෙයාර් පැවසීය.
භාෂා කුසලතා නොමැති සිසුන් බඳවා ගැනීම, දුර්වල අධ්‍යාපනයක් හෝ පුහුණුවක් ලබා දීම සහ අධ්‍යයනය වෙනුවට රැකියාවට යාමට අදහස් කරන පුද්ගලයින් බඳවා ගැනීම ඇතුළු "ආචාර ධර්ම විරෝධී" හැසිරීම් සම්බන්ධයෙන් ඇතැම් අධ්‍යාපන ආයතනවලට ඔස්ට්‍රේලියානු රජය මීට පෙර චෝදනා කර තිබේ.
"මේ ප්‍රතිසංස්කරණ සැලසුම් කරලා තියෙන්නේ, වඩා හොඳ සහ සාධාරණ තත්ත්වයක් ඇති කිරීමට සහ අධ්‍යාපන ක්ෂේත්රය තුළ වඩා තිරසර පදනමක් නිර්මාණය කිරීමට යි," අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
දැනට පවතින නිවාස හා යටිතල පහසුකම් ගැටලු තවත් තීව්ර කර ඇති ඔස්ට්‍රේලියාවේ වාර්තාගත සංක්‍රමණ මට්ටම්වලට විසඳුම් ලබාදීමට ද මෙම සීමා කිරීම් උපකාරී වනු ඇත.
රජය දැනටමත් ජාත්‍යන්තර සිසුන් සඳහා අවම ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා දැඩි කර ඇති අතර, දෙවන වරට අධ්‍යයන වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නන් පිළිබඳව වැඩි පරීක්ෂාවකට ලක් කරන ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අතර, "නීතිය අවනත නැති" සැපයුම්කරුවන්ට දඬුවම් ලබා දීම ද සිදු කෙරේ.
2025 වසරේ සිට සිදුවන්නේ කුමක් ද?
2025 වසරේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම් සංඛ්‍යාව 145,000 දක්වා නැවත සකස් කෙරෙනු ඇති අතර, එය ඔවුන්ගේ 2023 මට්ටමට ආසන්න අගයක් බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.
පෞද්ගලික විශ්වවිද්‍යාල සහ විශ්වවිද්‍යාල නොවන උසස් අධ්‍යාපනය සපයන ආයතන සඳහා ජාත්‍යන්තර සිසුන් 30,000ක් අලුතින් බඳවා ගැනීමට හැකි වන අතර, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ආයතන සඳහා බඳවා ගන්නා සංඛ්‍යාව 95,000කට සීමා කෙරේ.
ජාත්‍යන්තර සිසුන් සඳහා නිවාස ඉදිකිරීම වැඩි කිරීමට විශ්වවිද්‍යාල සඳහා දිරිගැන්වීම් ද මෙම ප්‍රතිපත්තියට ඇතුළත් වන බව ක්ලෙයාර් පැවසීය.
එහෙත්, උසස් අධ්‍යාපනය සපයන ආයතන පවසන්නේ, මෙය නිවාස හා සංක්‍රමණ ගැටලු සඳහා "පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක්" බවත්, සීමා පැනවීමෙන් අධ්‍යාපන ක්ෂේත්රය විනාශ වන බවත් ය.
ජාත්‍යන්තර අධ්‍යාපනය 2022-23 වසරේදී ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 36.4ක (පවුම් බිලියන 18.7, ඩොලර් 24.7) ආදායමක් ගෙන දුන් අතර එය එම වසරේ රටේ සිව් වන විශාලතම අපනයන ආදායම බවට පත් විය.
ශිෂ්‍ය වීසා මත ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළට
2022-23 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලාංකිකයින් 13,334 දෙනෙකු තාවකාලික ශිෂ්‍ය වීසා මත ඔස්ට්‍රේලියාවට ගොස් ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
එම වසරේ ශ්‍රී ලාංකිකයින් සඳහා ඔස්ට්‍රේලියාව නිකුත් කළ සමස්ත තාවකාලික වීසා සංඛ්‍යාවට සාපේක්ෂව එහි ප්‍රතිශතය 19% ඉක්මවයි.
මේ අතර, 2021-22 වසරේදී ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තාවකාලික ශිෂ්‍ය වීසා 5,528ක් නිකුත් කර ඇති අතර, ඒ අනුව, පසුගිය වසරේදී ශිෂ්‍ය වීසා නිකුත් කිරීම දෙගුණයකට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ.
ඔස්ට්‍රේලියාවේ වැඩි ම සංක්‍රමණිකයින් නියෝජනය කරන රටවල් අතර 11 වන තැන ශ්‍රී ලංකාවට
ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව 2022 ජූනි මාසයේදී කරන ලද සංගණනය අනුව එරට වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් සංඛ්‍යාව 145,430 දෙනෙකි.
ඉන්, 52%ක් පුරුෂයින් වන අතර 48%ක් කාන්තාවන් ය.
එය, ඔස්ට්‍රේලියාවේ වෙසෙන වැඩි ම සංක්‍රමණිකයින් සංඛ්‍යාවක් පැමිණි රටවල් අතර 11 වන ස්ථානයේ පසු වෙයි.
(BBC සිංහල සේවය)
සබැඳි පුවත් :
අනාගතයේදී ඉල්ලුම වැඩි රැකියා ක්ෂේත්‍ර 5 තුළ රැකියාවක් කිරීමට ඔබ ඉගෙන ගත යුතු දේ