රණවිරුවගේ හද ගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් තිබෙනවා නම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බිහි කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් යැයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පැවසී ය.
හෙතෙම මෙලෙස පැවසුවේ පසුගිය 27වනදින කුරුණෑගල මාවතගම සති පොළ ක්‍රීඩාංගණයේ පැවති ජන රැලිය අමතමිනි.
සියලු ජාතීන්ට නිදහසේ හුස්ම ගැනීමට අවශ්‍ය පරිසරය සකසා දුන් වීරෝධාර රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප්වල තිබෙන ගැටලුව තම ආණ්ඩුවක් යටතේ විසඳීමට පියවර ගන්නා බවත්, රණවිරුවගේ හද ගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් තිබෙනවා නම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බිහිකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් පෙන්වාදෙන නාමල් රාජපක්ෂ, තම පක්ෂය රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායමක් බව අවධාරණය කරන අතර ම ලෝකයේ ඇතැම් රටවල යුද්ධ පවතින විට පෙනි පෙනී දරුවෝ, සිවිල් පුරවැසියෝ, කාන්තාවො ඝාතනය කරන නමුත් ශ්‍රී ලංකාව ලෝකයමට පෙනෙන්න සජීවීව පුංචි දරුවෝ, තරුණයෝ මුදාගත් බවද කියා සිටියේය.
එම රැලියේ දී වැඩිදුරටත් අදහස් පළ කළ නාමල් රාජපක්ෂ...
මගේ වගකීම
‘‘අපි හැමදාම මේ රටට ආදරය කරපු දේශපාලන බලවේගයක්. අපි කවදාවත් රටට අහිතකර දේශපාලන තීන්දුවක් අරගෙන නැහැ. ඒ වගේම තමයි හැමවිටම මේ රටේ මින්ස්සු ගැන හිතලා අපි තීන්දු තීරණ ගත්තා. එක වෙලාවක එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කරන්න අපි තීන්දුව ගත්තා. ඒ මේ රටේ ඉපදෙන්න ඉන්න පරම්පරාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න. මංමාවත් ටික හැදුවා. ඇළ වේළි ටික හැදුවා. කොළඹ පාසැල්වලට සමාන පාසැල් මේ මාවතගමට, කුරුණෑගල දිස්ත්‍රික්කයට ගෙනවා. ගමේ දරුවට නගරෙ දරුවගේ අධ්‍යාපනය ගන්න පුළුවන් පරිසරයක් එදා අපි හදලා දුන්නා.
කොළඹට, මහනුවරට පමණක් සීමා වුණ රාජ්‍ය සේවය වගේම පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ රැකියාවලට ගමේ දරුවටත් අවකාශය හදලා දුන්නා. අවාසනාවකට දෙදහස් පහළවේ දී අපි වෙනසක් කළා. මේ රටේ ජනතාව සියල්ලම අතරමග කඩාගෙන වැටුණා. මම හිතනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ සංවර්ධනය නවත්වපු තැනින් රට ඉදිරියට අරන් යන්නෙ කොහොමද කියන කාරණය තමයි මට තියන වගකීම සහ අභියෝගය වෙන්නෙ.
රණවිරුවා සහ යුද අපරාධකරුවා
මේ රටේ ඒකීයත්වය පිළිබඳව අපි විශ්වාස කරනවා. මේ රටේ රණවිරුවට නිසි ගෞරවය අපි දෙන්න ඕනෙ. අද මහා සංඝරත්නයට අපහාස කරනවා. සංඝරත්නයට අපහාස කරනවා කියන්නෙ මේ රටේ බෞද්ධ සංස්කෘතිකයට අපහාස කරා වගෙයි. කේන්ද්‍රීය වූ සංස්කෘතිය විනාශ කරලා සංස්කෘතිකමය වශයෙන් යටත් විජිතයක් බවට පත් කර ගන්න දේවල් ක්‍රියාත්මක වෙනවා. අනෙක් පැත්තෙන් මේ රට බේරා ගත් රණවිරුවාට අපහාස කරනවා. ඔවුන්ගේ ජීවිත පූජා කරලා තමයි ඊළඟ පරම්පරාවට නිදහසේ හුස්ම ගන්න පුළුවන් පරිසරයක් හැදුවෙ. ඒ අයට නිසි ගෞරවය අපි දෙන්න ඕනෙ. ඔවුන්ගේ සුබසාධනය අපි බලන්න ඕනෙ. ඒ වගේම තමයි රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප්වල තිබෙන ගැටලු අපි විසඳනවා.
අපි රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටපු කණ්ඩායමක්. අපි දොළොස් දහස් පන්සියයක පිරිසක් පුනරුත්ථාපනය කළා; රැකියා දුන්නා. එහෙම කරලත් ලෝකය අපේ රණවිරුවා දකින්නේ යුද අපරාධකරුවෙක් විදිහටයි.
බදු අඩු කළ යුතු ද, වැඩි කළ යුතු ද?
අපේ ම සමහර දේශපාලනඥයෝ තමන්ගේ පටු වාසිවලට ජාත්‍යන්තරයට ගිහිල්ලා අපේ රණවිරුවො පාවලා දුන්නා. අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කියලා කිව්වා. අපහාස කරන්න පටන් ගත්තා. ඒ නිසා අපි දැඩි සේ විශ්වාස කරනවා මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරගත්තු දේශපාලන බලවේගයක් අපි ගොඩනගා ගන්න ඕනෙ. අද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට අමාරුයි. වර්තමානයේ තිබෙන නිෂ්පාදන පිරිවැය වැඩියි. විදුලි බිල, ප්‍රවාහනය යන සියලුම කාරණා එක්ක අසීමිත, අසාධාරණ බදු ප්‍රතිපත්තියක් වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා.
එදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් බදු අඩු කළා. අපිට චෝදනා කළා. අපි අදත් විශ්වාස කරනවා මේ රටේ ජනතාවට දරාගත හැකි ක්‍රියාත්මක කරන්න ඕනේ කියන කාරණාව. රටේ ජනතාවට දරාගන්න බැරි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරා කියලා රාජ්‍ය භාණ්ඩාගාරයට ආදායම් වැඩි වෙන්නෙත් නැහැ. රටේ ජනතාවට සාධාරණයක් වෙන්නෙත් නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම සාධාරණ බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.
තරුණයන්ගේ ආණ්ඩුවක්
අපි දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කරනවා. අද සමහර දේශපාලඥයෝ හිතනවා පිටින් ගෙනල්ල කන්න දෙන එක ලාභයි කියලා. අපි විශ්වාස කරනනේ මේ රටේ වගා කරන්න පුළුවන් හැම භෝගයක්ම අපි වගා කරන්න ඕනෙ කියලා. ඒ වගා කරන්න අවශ්‍ය පහසුකම් ටික අපි දෙන්න ඕනේ. අඩු භූමි ප්‍රමාණයෙන් වැඩි අස්වැන්නක් ලබාගන්න පුළුවන් තාක්ෂණය අපි දෙනවා. ඒ තුළ මේ රට කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කරන්න පුළුවන් හැම පියවරක්ම ගන්න අපි කටයුතු කරනවා. දරුවාගේ බුද්ධි මට්ටමට, නිපුණතාවයට ගැළපෙන රැකියාවක් ලබාගන්න තමයි තරුණයන් බලාපොරොත්තු වෙන්නේ. රැකියා ලබාගන්න තවදුරටත් දේශපාලන පක්ෂ හෝ දේශපාලනඥයන් පිටුපස යන්න මේ රටේ තරුණ පරම්පරාව සූදානම් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි හදන්නේ තරුණයන්ගේ ආණ්ඩුවක්. තරුණයන්ගේ ආණ්ඩුවක් තුළ නිපුණතාවයට, හැකියාවට, පුහුණුවට පළපුරුද්දට අභිමානයෙන් යුතුව රැකියාවක් කරන්න පුළුවන් පරිසරය මෙන්ම වපසරිය අපි නිර්මාණය කරනවා.
අද මේ ආසනය ගත්තත් කර්මාන්තපුර තිබෙනවා. ඒ තිබෙන කර්මාන්තපුරවලට අවශ්‍ය යටිතල පහසුකම් ටික අද තියෙනව ද...? මහින්ද රාජපක්ෂ යුගයෙන් පස්සේ කිසිම කර්මාන්තපුරයක යටිතල පහසුකම් දියුණු වෙලා නැහැ. ඒවට අපි ආයෝජකයෝ ගේන්න ඕනෙ. ආයෝජකයෝ ගේනකොට නිකං ආයෝජකයෝ ගෙනල්ලා හරියන්නෙ නැහැ. ඒ කියන කර්මාන්තවලට අවශ්‍ය පුහුණු ශ්‍රමය මේ ගම්වල දරුවන්ට අපි පුහුණු කරනවා. ඒ පුහුණු කිරීම තුළින් පමණයි කර්මාන්තශාලාවේ හෝ ආයතනයේ රැකියාවක් අපේ ගමේ දරුවට ලැබෙන්නේ. ඒ වැඩපිළිවෙලත් එක්කයි අපි ආණ්ඩුවක් පිහිටුවන්නේ.
රැකිය යුතු සංස්කෘතිය
අද මැතිවරණ වේදිකාව දිහා බැලුවම සමහර ප්‍රතිපත්ති ප්‍රකාශන කියන ඒවා ප්‍රායෝගික ද නැද්ද කියන ප්රශ්නය අපි හැමෝටම තියෙනවා. සමහරු මැතිවරණ වේදිකාව තුළ ආගම, දහම, සංස්කෘතිය පාවලා දෙනවා. මේ රටේ සංස්කෘතියට හානියක් වන කිසිම දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කරන්න ඉඩ තියන්නේ නැහැ කියන එක මම වගකීමෙන් කියනවා. අපේ සංස්කෘතියට හානි වන කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. අපි ඡන්දය ගන්න සංස්කෘතියට හානි වන කිසිම දෙයක් බොරුවට පොරොන්දු වෙන්නෙත් නැහැ. අපි අපේ සංස්කෘතිය රකින්න ඕනේ.
අද බොහෝ වෙලාවට සමාජ මාධ්‍ය දිහා බැලුවම කාන්තා හිංසනය, දරුවන්ට වෙන අපචාර, කාන්තාවන්ට වෙන අසාධාරණකම් නොයෙක් අය කතා වෙනවා. ඒ සඳහා අවශ්‍ය නීති රීති අපි සම්පාදනය කරන්න ඕනේ. ඒ වගේම තමයි ඒ දේවල් සඳහා පවතින නීති රීති ක්‍රියාත්මක වෙන්නත් ඕනෙ. මේ වගේම තමයි මේ බිදුණු සමාජයේ අපි ගොඩනගන්න ඕනේ. ඒ බිඳුණු සමාජය ගොඩනගන්න අවශ්‍ය දේශපාලනික නායකත්වයක් ලබා දෙන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම්. අපි මේ රටේ ආර්ථිකය හදනවා. ගමේ ආර්ථිකය හදනවා. පොඩි මනුස්සයාගේ ආර්ථිකය හදනවා. ඔබ වෙනුවෙන් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම්. ඒ සඳහා සියලු දෙනාම පෙළ ගැසෙන්න.’’
රනිල්ගේ පෝලිම්
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නායක හිමි
‘‘ලංකා ඉතිහාසයේ රජවරු 200 ක් පමණ සිට තිබෙනවා. දුටුගැමුණු මහ රජතුමා පරිච්ඡේද ගණනාවක් ලියා තිබෙනවා. රුවන්වැලි සෑය, මිරිසවැටිය, ලෝවාමහාපාය හැදුවා. එතුමා එදා එළාරට එරෙහිව සේනාව රැස්කර මේ සටන දිනලා රට එක්සත් කළා. එදා ත්රස්තවාදීන් රට ආක්‍රමණය කරනවිට, දළඳා හාමුදුරුවන්ට පහර දෙනවිට, ශ්‍රී මහා බෝධිය ළඟ සිල්ගත්ත පිරිස මරා දමනවිට, අම්පාරේ මිනිස්සු මරන විට මේ රට බේරා ගත්තේ මහින්ද රාජපක්ෂ මහතායි. දුටුගැමුණු මහ රජු නොදුටු අපි ඒ වගේම මේ රට බේරා ගත්ත මහින්ද රාජපක්ෂ මහතා දකින්න පුළුවන්.
අද පෝලිම් යුගය අවසන් කළේ රනිල් වික්‍රමසිංහ කියනවා. පෝලිම්වල ඉන්නත් බෙල්ල තිබෙන්න ඕන. බෙල්ල තියාගෙන ජීවත් වෙන්න අවස්ථාව දුන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. නැති අරගලයක් නිර්මාණය කොට, මේ රටේ පෝලිම් යුගයක් ඇති කළේ රනිල් වික්රසිංහයි. අවසානයේ ජනාධිපතිකම ගත්තා. මේ රට නිදහස් නිවහල් රාජ්‍යයක්. ඒකට මහින්ද රාජපක්ෂ මහතා හයිය දුන්නා. වරාය හැදුවා, මහා මාර්ග, අධිවේගී මාර්ග හැදුණා, ගුවන් තොටුපළ හැදුවා. මේ රටේ දැවැන්ත සංවර්ධනයක් කරන්න මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා. අද අපේ රණවිරුවන් දහස් ගණනක් ආබාධිත තත්ත්වයෙන් ඉන්නවා. අද ඇතැමුන් දෙබිඩි පිළිවෙලතක් අනුගමනය කරනවා.
අභියෝගයට අභියෝග
ඡන්දය ගන්න ඕන දෙයක් කියනවා. නමුත් නාමල් රාජපක්ෂ කරන දේ බය නැතිව කියනවා. අපිට මේ රට ආරක්ෂා කරන නායකයෙක් ඕන. අපි අසූ අට අසූ නමයෙ දුක් වින්දා. මගේ සහෝදරයා හමුදාවේ සිටියා. දවසක් පොඩි ළමයි දෙන්නෙක් ගෙදරට ආවා. හමුදාවේ මල්ලිට ඉවත් වෙන්න කිවුවා. නමුත් තාත්තා ඒක ගණන් ගත්තේ නැහැ. ඒ වගේ තත්ත්වයක් එදා තිබුණේ. ජනතා විමුක්ති පෙරමුණ එදා රටට මහා විනාශයක් කළා. මෙවර ඡන්දය සිතා බලා දියයුතු වෙනවා. ඇතැමුන් ගැන විශ්වාස කරන්න එපා. සත්‍යය විශ්වාස කරන්න. අපේ රටට නැවත ගෝත්‍රික සමාජයක් ගෙන ආයුතු නැහැ. අපේ පක්ෂයේ ඉන්න සාමාජිකයන්ට පහර දුන්නා. නිවාස ගිනි තිබ්බා. මන්ත්‍රීවරු මරා දැම්මා. එහෙම කරලා මිනිස්සු යටපත් කරගෙන සිටියා. ගමේ හිටියාට කතා කළේ නැහැ. පොහොට්ටුවට අසාධාරණයක් වුණා.
මේ ජනාධිපතිවරණයෙන් පසුව පොහොට්ටුවෙන් තරග කරන නාමල් රාජපක්ෂ තවත් තිස් අවුරුද්දකට නායකත්වය දෙනවා. නාමල් රාජපක්ෂ ඉගෙන ගෙන තිබෙනවා. ජාත්‍යන්තර සබඳතා තිබෙනවා. ඒක නිසා මේක කළමනාකරණය කරගන්න පුළුවන්. අභියෝගයට අභියෝග කරන්න පුළුවන් ජාතිය හදන රට හදන නායකයෙක් මේ රටට අවශ්‍ය වෙනවා. දුටු ගැමුණු රජතුමා වෙනුවෙන් පරිච්ඡේද ලියවුණා නම් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ද පරිච්ඡේද ලියවිය යුතුවෙනවා.’’
කළ ගුණ සැලකීම
ජානක තිස්සකුට්ටිආරච්චි,
‘‘මේක රටේ තීරණාත්මක මැතිවරණයක් වෙනවා. අපේ රටේ විධායක ජානධිපතිවරු කිහිපදෙනෙක් සිටියා. නමුත් ඔවුන් මතකයි. ඇමැතිවරු, විපක්ෂ නායකවරු, මන්ත්‍රීවරු අමතකයි. අපි. පත්කරන ජනාධිපතිවරයා යටතේ තමයි මේ රට තිබෙන්නේ. ඇමැතිවරයාගේ ඇමැතිකම ඉවත් කරන්න ජනාධිපතිවරයාට පුළුවන්. ජේ.ආර් ජයවර්ධන ජනාධිපති වෙලා එක්දහස් නමසිය අසූ තුන වසරේ දී කළු ජූලිය ඇති කළා. සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. එදා හමුදාවේ මිනී හයක් බොරැල්ල කනත්තට ගෙනවිත් ආදාහනය කළ අවස්ථාවේ දෙමළ ජනතාව මරා දමන්න ඔවුන්ගේ වෙළඳසල් ගිනි තබන්න කටයුතු කළා. එයින් පසුව නායකයින් කටයුතු කළ ආකාරය අපි දන්නවා.
දෙදහස් පහ වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළා. හමුදාවට වැඩිම තරුණ තරුණියන් පිරිසක් එකතු වුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා. ඒ නිසා එතුමාට සලකන්න ඕන. මහින්ද රාජපක්ෂ මහතා මේ රටට ණය නැහැ. යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ මහතා මේ රට සංවර්ධනය කරන්නත් කටයුතු කළා. දෙදහස් පහළව වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා පරජායට පත්වූ පසුව මෛත්‍රීපාල සිරිසේන් මහතා බලයට ආවා.
13 ගැන කෙළින් කතාව
දෙදස දහනමය වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගන්න සමත් වුණා. කෙසේ වුවත් පැවැති තත්ත්වය හේතුවෙන් දෙදහස් විසි දෙක වසරේ දී රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වෙන්න අපි උදව් කළා. මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. නාමල් රාජපක්ෂත් ඒ ජනාධිපතිවරණ සටනේ ඉන්නවා. අපි පළමුව බලන්නේ මාතෘභූමියයි. මාතෘභූමිය වෙනුවෙන් පෙනී ඉන්න නාමල් රාජපක්ෂට මගේ ඡන්දය ලබාදෙනවා. නාමල් රාජපක්ෂ හැර අනෙකුත් අපේක්ෂකයන් සියලු දෙනා දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා කියනවා. නමුත් එය ක්‍රියාත්මක නොකරන බවට නාමල් රාජපක්ෂ කෙළින්ම කියනවා. ඒ අනුව මේ ඡන්දය ඔහුට ලබාදෙනවා.
දැන් අනුර කුමාර දිසානායක මහතාත් ඡන්ද සටනේ ඉන්නවා. බැරිවෙලාවත් ඔහු ජනාධිපති වුණොත් කොහොමද මේ රට හදන්නේ. ඔහුට හදලා පුරුදු නැහැ. කඩා බිඳ දමලා තමයි පුරුදු. හම්බන්තොට වරාය තිබෙනවා ද නැද්ද කියා ඔහු කියයුතු වෙනවා. නතර වුණු ග්‍රාම සංවර්ධනය ඔහු පැමිණියාම පටන් ගන්නවාද කියා දැනගන්න අවශ්‍යයි. ඒ නිසා අනුර කුමාරට මේ රටේ බලය ගන්න බැහැ. පිල්ලෙයාන් කියනවා ජනතා විමුක්ති පෙරමුණ කොටින්ට ආයුධ දුන්නා කියලා. යම්කිසි විදියකින් ජනතා විමුක්ති පෙරමුණට බලය ගියොත් එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආදියේ මිනිස්සු මරා දානවා. ඒ නිසා අනුර කුමාර දිනන්නේ නැහැ.’’
ආරක්ෂා කළ යුතු කඳවුර
සමන්ප්රිය හේරත්
‘‘අපෙන් බොහෝ දෙනෙක් අහනවා ජනාධිපතිතුමාට සහාය දෙන්න තිබුණානේ කියලා. නමුත් අපි මේ වෙලොවේ සතුටු වෙන්නේ අපිට හුස්ම් ගන්න් අවස්ථාව දුන්න මහින්ද රාජපක්ෂ මහතාගේ කඳවුර නියෝජනය කිරීම ගැනයි. මහින්ද මහත්තයා දකුණේ දී වගේම උතුරට ගිහිල්ලත් බය නැතිව කරන දේ කියනවා. කියන දේ කරනවා. අපි සැමට එක හා සමානව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අද රටේ තිබෙනවා. නාමල් රාජපක්ෂ මහතාත් ඒ පිළිබදව කතාකර තිබෙනවා. මේ රටේ විධායක ජනාධිපතිවරු පස්දෙනෙක් යටතේ යුද්ධ කළා. එදා අපිට ජීවිතවලට විශ්වාසයක් තිබුණේ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ මහතා නිසා අපි අද විශ්වාසයෙන් කතා කරනවා. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ මහතාගේ කඳවුර ආරක්ෂා කරන්න ඕනෑම කැපකිරීමක් කරනවා.
ලංකාවේ ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙනවා. නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මහතායි. ඒ අවස්ථාවේ ධනපති පංතිය කිවුවේ මොකක්ද මේ කරන පිස්සු වැඩේ කිවුවා. එයින් පසුව පැවැති මැතිවරණයෙන් කන්නංගර මහතා පරාජයට පත්කළා. අද අපි ඒ මහතා ජාතික වීරයෙක් බවට පත්කර තිබෙනවා. ඒ වගේම අනගාරික ධර්මපාල තුමා මේ රටේ ආගමික පුනරුදයක් ඇතිකළා. අවසානයේ දී එතුමාට කිවුවේ හොරු කියලයි. අවසානයේ මේ රටෙන් යන්නේ ඉතාම කණගාටුවෙන්.
ආණ්ඩු මාරු වනවිට මාරුවෙන ප්‍රතිපත්ති
අද අනගාරික ධර්මපාලතුමාගේ නමින් උපහාර පවත්වනවා. ඒ වගේ ඉතිහාසය විසින් මේ අය වීරයන් බවට පත්කර තිබෙනවා. ඒ වගේම අද නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳව කතා කරනවා. මේ නිසා අපි අපේ කඳවුර ආරක්ෂා කරගත යුතු වෙනවා. සිරිමාවෝ මැතිනිය මෙරටට විශාල සේවාවක් සිදුකර තිබෙනවා. අසරන ජනතාවට ඉඩම් ලබාදෙන්න ඒ මහත්මිය කටයුතු කර තිබෙනවා. ඒ වගේම ගොවිජනපද ව්‍යාපාර ආරම්භ කළා. නමුත් එක්දහස් නමසිය හැත්තෑ හත වසරේ දී ආසන අටට බස්සලා එතුමිය ගෙදර යවුවා. ඒ නිසා අපිට මේ අවසථාවේ අභියෝග තිබෙනවා. අපේ පක්ෂයට මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබාදෙනවා. අපි මෙවර ජනාධිපතිවරණය සඳහා පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න තීරණය කළා. අද ඇතැම් අපේක්ෂකයන් අනුරාධපුරයෙන් එහාට ගිහින් නැහැ. මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කළා පමණක් නොව මේ රටට දැවැන්ත සංවර්ධනයක් ඇති කළා. අපේ රටේ බොහෝ වෙලාවට ආණ්ඩු මාරු වනවිට ප්‍රතිපත්ති මාරුවෙනවා. නමුත් එවැන්නක් වියයුතු නැහැ.’’
ජවිපෙ දක්ෂතාව
සුමිත් උඩුකුඹුර
‘‘අද ජනාධිපතිවරණය සිවුකොන් සටනක් ලෙස දකිනවා. අපි සමඟ මවුබිමට ආදරය කරන කඳවුර ඉන්නවා. ඒක තමයි අපේ හයිය. මහින්ද රාජපක්ෂ මහතා මේ රටට සිදුකළ සේවය නිසා විශාල පිරිසක් අද මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. එදා අපිට හැටනම ලක්ෂයක් හිටියා. අපේ පාක්ෂිකයන් බිය කිරීම තුළින් පිරිසක් අපෙන් ඈත් වුණත් ලක්ෂ පනහක් විතර අපිට ඉන්නවා. නමුත් නාමල් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනවා.
ජනතා විමුක්ති පෙරමුණ දක්ෂයි මිනිස්සු මරන්න. ගෙවල් ගිනි තියන්න. ඒ තමයි අනුර කුමාර දිසානායකලාගේ හපන්කම. එක්දහස් නමසිය හැත්තැ හත, අසූ අට, අසූ නමය වගේම දෙදහස් විසි දෙකේ කාලවල ජනතා විමුක්ති පෙරමුණ ඒ දේ කළා. ඔවුන් ත්‍රස්තවාදී කණ්ඩායම් ආකාරයට වැඩ කරනවා. එදා සොරකම් කළා. මිනී මැරුවා. බස් ගිනි තිබ්බා. ගොවිජන මධ්‍යස්ථාන ගිනි තිබ්බා. පොලිසි ගිනි තිබ්බා. ඔවුන්ගේ ඊෂ්‍යාව සහ වෛරය තමයි තිබෙන්නේ.
මහින්ද රාජපක්ෂ මහතා මේ රටට සාමය උදාකළ නායකයායි. එතුමාගේ පුතා මෙරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. සජිත් ප්රේමදාසා මහතාගේ පියා රට පාලනය කරන කාලයේ එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන්ට ආයුධ දුන්නා. තරුණ තරුණියන් හැට දහසක් ක් ඝාතනය කළා. අපි කළගුණ දන්න මිනිස්සු.
උන්ට හොඳයි අපිට නරකයි
එදා යුද්ධයට ගිහින් තරුණ තරුණියන් මිය යනවිට මේ මහපොළව සුව කළේ මහින්ද රාජපක්ෂ මහතායි. ජනතා විමුක්ති පෙරමුණ සිය ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කර තිබෙනවා. පුද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපිත කරන බවට ඔවුන් සඳහන්කර තිබෙනවා. පසුගිය කාලයේ පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්න යනවිට විරෝධය පාමින් මහා විනාශයක් කළා. අපේ නායකයින් ඒක කරනවා නම් හොඳ නැහැ. ඔවුන්ට කරන්න හොඳයි.
අද තරුණ තරුණියන් විශ්වවිද්‍යාලයට ගිය දවසේ සිට උද්ඝෝෂණ කරනවා. අවුරුදු පහක් හයක් යනවා උපාධියක් ගන්න. අපේ ප්‍රතිපත්තිය ඊට වඩා වෙනස්. සංචාරක කර්මාන්තය දියුණු කරන්න අපි සැලසුම් කර තිබෙනවා. මේ රට සංචාරකයන්ගෙන් පිරි රටක් බවට පත්කරන්න සැලසුම් අපිට තිබෙනවා. කළගුණ දන්න මිනිස්සු හැටියට අපි හරි තැන සිටිය යුතු වෙනවා. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළයුතු වෙනවා.’’
මෙම ජන රැලිය සඳහා: කුරුණෑගල ප්‍රධාන සංඝනායක හුනුපොල සද්ධාතිස්ස නාහිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, මාවතගම ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක කමල් පෙරේරා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.