අපේ රටේ දුප්පත් මිනිසුන්ගේ සතුට වෙනුවෙන් මෙම ක්‍රමය වෙනස් කිරීම සදහා සැප්තැම්බර් 21 අපි සියලු දෙනාට අවස්ථාවක්
ලැබී තිබෙන බව රංගන ශිල්පී අලෝක සම්පත් පැවසී ය.
හෙතෙම මෙලෙස පැවසුවේ කන්තලේ පැවති ජාතික ජන බලවේගයේ රැලිය අමතමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ආලෝක සම්පත්...
අපි කොච්චර අසරණ ද...?
‘‘මගේ දේශපාලන මතය ප්‍රකාශ කරන්න මම තෝරාගත් මාධ්‍යය තමා කලාව. නමුත් ඒ කලාව විඳින්න පුළුවන් ආර්ථික ශක්තියක්, මානසික සුවයක් අපේ රටේ මිනිසුන්ට තිබෙනවාද කියන එක මට ප්‍රශ්නයක්. අපි මොනතරම් නිර්මාණ කළත් වැඩක් නෑ. ඒ නිර්මාණ රසවිඳින්න ප්රක්ෂකාගාරයක් නැත්නම්. ඔබ පොඩ්ඩක් හිතල බලන්න. ඔබේ දූදරුවන් සමග, බිරිඳ සමග, ආදරවන්තිය හෝ ආදරවන්තයා සමග, යාළුවො සමග චිත්‍රපටයක් බැලුවේ කොච්චර කාලෙකින්ද කියල. එච්චර එපා. මේ කන්තලේ වැව් ඉස්මත්තේ ඉඳගෙන ඔබේ දුවට, පුතාට අයිස් ක්‍රීම් එකක්, වඩේ එකක් අරන්දීලා විවේකයෙන් මඳක් හෝ ගතකරන්න ඔබට ආර්ථික ශක්තියක් තිබෙනවාද? ඒ අතින් අපි කොච්චර අසරණද? අපි මොනතරම් බලාපොරොත්තු හීන තියාගෙන ජීවත්වන පරම්පරාවක කොටස්කරුවෝද? තමන්ගේ දරුවන්ගේ අනාගතය, මගේ අනාගතය ගැන මම වගේම ඔබත් කොච්චර වද විඳිනවද? තමන්ගේ මව්පියන්ට, නෑදෑයන්ට යුතුකම් ඉටුකර ගන්න බැරිව අපි කොච්චර වද විඳිනවද? ඒක මේ දේශපාලන හා ආර්ථික ක්රමයේ ප්‍රශ්නයක්.
ඒ නිසා අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕනද, නැද්ද කියා ඔබම තීරණය කළ යුතුයි. අපි මේ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුමයි. අපේ රටේ දුප්පත් මිනිසුන්ගේ සතුට වෙනුවෙන් මේ ක්‍රමය වෙනස් කරන්න සැප්තැම්බර් විසි එක අපිට අවස්ථාවක් ලැබී තිබෙනවා. මේ හොර තක්කඩි දේශපාලන ක්‍රමය අවසන් කිරීම සඳහා එදාට අපි නිවැරදි තීරණයක් ගනිමු. මම දන්නවා ඒ වෙනුවෙන් තමයි මගේ ගමේ, කන්තලේ මිනිස්සු, මගේ මිත්‍රයෝ, හිතවතුන් අද වෙනකොට එකතුවෙලා ඉන්නේ කියල.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක්
මම විශ්වාස කරනවා අපිට සතුටින් නිදහසේ ඉන්න පුළුවන් හොඳ ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් ජාතික ජන බලවේගයට පමණයි කියලා. ඔබත් එය විශ්වාස කරන නිසා තමයි අද මෙම ස්ථානයට රැස්වෙලා ජාතික ජන බලවේගය දිනවන්න ඔබේ ශක්තිය එකතු කර තිබෙන්නෙ. ජාතික ජන බලවේගය අපට අපේ දරුවන්ට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදාකර දෙන්නට පෙරමුණ ගෙන තිබෙනවා.
අපේ රට සහ අපේ මිනිස්සු දුප්පත් කළේ ඔබද? මමද? නැහැ. ඒ තත්වයට අපිව හා රට පත් කළේ මේ රට පාලනය කරපු හොර තක්කඩි දේශපාලන රැළක්. ඒ හොර තක්කඩි දේශපාලන කඳවුරු ගෙදර යවන්න සුදුසුම කාලය තමයි මේක. ඒක කරන්න තමයි අපි දැන් ඔක්කොම එකතුවෙලා ඉන්නේ. අපෙන් හොරකම් කරපු ධනය ආපසු ලබාගන්න, හොරුන්ට දඬුවම් දෙන්න, අපේ රටේ දරුවන්ට යහපත් හෙටක් ගොඩනගන්න මේ රටේ මේ වතාවේ පත්වෙන ජනාධිපතිවරයා ඉන්නෙ අපිත් එක්ක.
21ට ගැළපෙන නායකයා
මේ සැප්තැම්බර් විසිඑක් වෙනිදා අපේ නායක, ඔබේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගෙන අපි රට අලුත් දිසාවකට හැරවීම සඳහා පෙරමුණ ගමු කියන ඉල්ලීම මම ඔබට කරනවා. සැප්තැම්බර් විසි එක මෙරටට බිහිවෙන්නේ නමවෙනි ජනාධිපතිවරයා නෙවෙයි. විසි එක්වැනි සියවසට ගැළපෙන දියුණුම නායකයා. ඔහු අපේ ජනාධිපතිවරයෙක්. මහජනතාවගේ ජනාධිපතිවරයෙක්. ඒ සහතිකය මම ඔබට දෙනවා.
ප්‍රථම මහජන ජනාධිපතිවරයා
මගේ තාත්තා පට්ට යුඑන්පීකාරයෙක්. මගේ තාත්තා යුඑන්පී වුණ හින්දා මගේ අම්මත් යුඑන්පී වුණා. ඒ දෙන්න යුඑන්පී වුණ නිසා අපේ පවුලේ අනිත් අයත් යූඑන්පී වුණා. හැබැයි මම, 3% කාලයේත් හිටියේ ජාතික ජන බලවේගය එක්ක. අද ඉන්නේත් ඒකත් එක්ක. හෙට ඉන්නේත් ඒකත් එක්ක. දැන් ඇත්ත වටහාගත්තු අපේ පවුලේ අයත් අද ජාතික ජන බලවේගය දෙසට හැරෙමින් තිබෙනවා. ලබන සැප්තැම්බර් 21වැනිදාට ඔබේ වටිනා ඡන්දය අනුර කුමාර දිසානායක සහෝදරයාට ලබාදී ඔහුව මේ රටේ ප්‍රථම මහජන ජනාධිපතිවරයා කර, ලස්සන රටක් නිර්මාණය කිරීමේ මහඟු කාර්යයට දායක වෙන්න කියල මම මේ රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.’’
බලෙන් ම දාගත් ‘‘පුළුවන්’’ කෑල්ල
‘‘ත්‍රීකුණාමල දිස්ත්‍රික්කය කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සමගිය නියෝජනය සංකේතවත් කරන දිස්ත්‍රික්කයක්. ඒ වගේම අපි ඉදිරිපත් කරලා තිබෙන සංවර්ධන සැලැස්මට අනුව මෙම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ඒ වෙනුවෙන් විශාල දායකත්වයක් දිය හැකි බව අපේ දැඩි සැලකිල්ලට ලක්වෙලා තිබෙනවා.
අර පුළුවන් කියන නායකයයි, එයාගේ මාමයි එකතු වෙලා මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වටිනා ස්ථාන හා සම්පත් රාශියක් කුණු කොල්ලයට විදේශවලට විකුණා දමා තිබෙනවා. සමහර ඒවා විනාශ කර දමා තිබෙනවා. රනිල්ට බැරි බව මුළුරටම දන්නවා. ඒ නිසා තමයි පුළුවන් කියන කෑල්ල බලෙන්ම දාගෙන තිබෙන්නේ. අපේ ත්‍රිකුණාමලේ කන්තලේ තිබුණු සීනි කර්මාන්ත ශාලාව අක්කර දෙදහස් පන්සීයක භූමි ප්‍රමාණයක්. ආසියාවේ විශාලම සීනි කර්මාන්ත ශාලාව බවට පත්කරන්න තිබුණු තැන. ඒක නැති කළේ කවුද? රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාසලාගේ හවුල් ආණ්ඩු. සුද්දා හදාපු තෙල් ටැංකි ටික අපිට විශාල සම්පතක්. ඒක අපට නැති කළේ කවුද? දැන් ඔය පුළුවන් කියන රනිල්ලාම තමයි. අද අපිට කොටසක් බැරි කරලා, ඉන්දියාවට කොටසක් කරන්න දීලා.
ප්‍රතිසංස්කරණය කරන තෙල් ටැංකි
අපේ ජාතික නිෂ්පාදන සැලැස්මේ බලශක්ති ක්ෂේත්රය ශක්තිමත් කිරීමේදී ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික ඉතා වැදගත්. එය යළි ප්‍රතිසංස්කරණය කර, ඔබට ප්රතිලාභ ලබාදීමට අපේ පාලනයක් තුළ අපි ඉක්මනින්ම පියවර ගන්නවා. අනෙක් අතට ත්‍රිකුණාමල වරාය අපේ රටට විශාල සම්පතක්. ඒකෙ පිහිටීම අතින් ලෝකයේම අති විශේෂ වරායක්. එකෙන් අපේ ආර්ථිකය ගොඩනැගීම සඳහා දායක කරගත හැකි අවස්ථාව අපට නැති කළේ කවුද? ඔය රනිල්ලා, රාජපක්ෂලා, ප්‍රේමදාසලා තමයි. ඒ වගේම ඉල්මනයිට් නිධිය මගින් එකතු කළ අගය මත නව නිෂ්පාදන ක්‍රමවේදයකට සකස් කරලා එම ඛනිජ සම්පතින් විදේශ විනිමය උපයා ගන්න තිබුණ අවස්ථාව අපේ රටට ලබා දෙන්න බැරි කළේ මේ පාලකයන් තමයි.
අනුර සහෝදරයා ජනාධිපති වූ පසු ජනතාවගේ සහභාගිත්වයත් සමග නවීන තාක්ෂණය යොදා එම සම්පත වැඩිදියුණු කර, රටට විදේශ විනිමය උපයා ගන්න අපි සැලසුම් කර තිබෙනවා. කන්තලේ ගොවි ජනපද ව්‍යාපාරය වැනි මහ ගොවි ජනපද ව්‍යාපාර වැඩි දියුණු කරලා, අස්වද්දලා මේ ප්‍රදේශයේ ජනතාවට වගේම රටේ ජනතාවටත් ප්රතිලාභ අත්පත් කරලා දෙන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ අපි සැලසුම් කර තිබෙනවා.
අනාගත සංචාරක පුරය
පොහොර ටික, බීජ ටික, වතුර ටික වෙලාවට දෙනවා නම් මේ ප්‍රදේශය අස්වද්දලා රටේ ජාතික නිෂ්පාදනයටත් කොටසක් දායක කර දෙන්න සූදානම් බව අපි දන්නවා. මේ දේවල්වලින් ප්‍රයෝජනය ගන්න රනිල්ට, සජිත්ලට, රාජපක්ෂලාට බැහැ කියලා දැන් ඔප්පු කරලා හමාරයි. කිරි කර්මාන්තය ගැන කතා කරනකොට කන්තලේ කිරි කියලා කියන්නේ රට පුරාම ප්‍රසිද්ධ එකක්. ඒ විතරක් නොවෙයි, ධීවර කර්මාන්තය ගත්තත්, මිරිදිය ධීවර කර්මාන්තය කන්තලේ වැව හා ගොඩබිම් ජලාශ ආශ්‍රිතව තිබෙනවා.
අනෙක් පැත්තෙන් කින්නියාව වගේ පැතිවලට යන කොට කරදිය ධීවර කර්මාන්තය කරනවා. ත්‍රීකුණාමලයට ගියත්, මුතූර්වලට ගියත් මාළු ටික, කරෝල ටික රටට සපයනවා. ඒ මහා මත්ස්‍ය සම්පත ආර්ථිකයට විශාල වටිනාකමක් එකතු කරන්න පුළුවන් එකක්. නමුත් මේ පාලකයෝ ඒවා සැලකිල්ලට අරන් නැහැ. ඒ ගොල්ලන්ට කරන්නත් බැහැ. දැන් පුළුවන් කිවුවාට එයාලට ඒක කරන්න බැහැ. දැන් ඒ ගොල්ලන්ගේ කාලය ඉවරයි. ඓතිහාසික වටිනාකමක් සහිත සංචාරක ස්ථාන, බෞද්ධ, හින්දු, ඉස්ලාම් පූජනීය ස්ථානවලින්ද ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අඩුවක් නැහැ. ඒ ආශ්රිත විධිමත් සැලැස්මක් යටතේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න හැකි වුණොත් අපේ රටට ඩොලර් උපයා ගැනීමේ හැකියාව ඒ තුළින් ලැබෙනවා.
ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ අපි ඒ දේවල් කරන්න පුළුල් සැලසුම් හදා තිබෙනවා. ත්‍රීකුණාමලය කියන්නේ සංචාරක පුරයක් බවට පත් කරන්න පුළුවන් භූමි ප්‍රදේශයක්. ඒ අනුව අපේ රටේ ආර්ථිකයට විශාල පංගුවක් එකතු කරන්න ඒ මගින් පුළුවන්. මේක ඉතාම සුන්දර දිස්ත්‍රික්කයක්. ඒකෙන් රටට ප්‍රයෝජන අත්කර දෙන්න රනිල්ට බැහැ. සජිත්ටත් බැහැ. රාජපක්ෂලාටත් බැහැ. බැරි බව අමුතුවෙන් කියන්න දෙයකුත් නැහැ. ඔවුන් බැරි බව ඔප්පු කර හමාරයි.
දෙකොන පූට්ටුව
‘ජාතික ජන බලවේගයට වැඩපිළිවෙළක් නැහැ. ඒ ගොල්ලෝ බලයට ආවොත් රට කරන්නේ කෙහොමද?’ කියලා අසමින් සිටි අයගේ දැන් දෙකොන පූට්ටු වෙලා. කට උත්තර නැතිවෙලා. දැන් ඒ ගොල්ලෝ තමන්ගේ ප්‍රතිපත්ති හැදීම පැත්තක තියලා අපේ ප්‍රතිපත්ති ප්රකාශනය අල්ලාගෙන කියෝනවා. සමහරු පොටෝ කොපි ගහගෙන කියෝනවා. මේ දවස්වල අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය වැඩියෙන්ම ඩවුන්ලෝඩ් කරන්නේ සජබයේ කට්ටිය. ඒ ගොල්ලෝ අගෝස්තු විසි දෙවෙනිදා ප්‍රතිපත්ති දාන්න බලාගෙන හිටියේ. ඒත් දැම්මෙ නැහැ. මේ දවස්වල අපේ එක බලාගෙන පිටපත් කිරීම කරනවා. අපි බලමු කවදාද ඒක එළියට දාන්නේ කියලා. ඒ ගොල්ලන්ට වැඩපිළිවෙළක් නැහැ. මේ කාටවත් එහෙම එකක් නැහැ. මේ රට ගොඩනගන “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ජනතාවට උරුම කර දිය හැකි විද්‍යාත්මක හා දියුණුව ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කර තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණයි.’’
(සටහන - ජයසිරි අලවත්ත)