theleaderlk 01

ජනාධිපතිවරණය වර්ජනය පිළිබඳ තීන්දුව නැවත සලකා බැලිමට නම් ඒකීය රාජ්‍යය අහෝසි කොට ෆෙඩරල් ව්‍යවස්ථාවක්

හඳුන්වා දී සියළු ජාතීන් ඒකරාශි කිරීමෙන් පමණක් රට ගොඩනැගිය හැකිය යන සත්‍යය මැතිවරණ ප්‍රකාශනයට ඇතුලත් කරන ලෙස උතුරේ දෙමළ ජාතිකවාදී පක්ෂයක් විපක්ෂ නායකයාට දැනුම් දී තිබේ.

මාස තුනකට වැඩි කාලයක සිට ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස දෙමළ ජනතාව දැනුවත් කිරීමේ යෙදී සිටින දෙමළ ජාතික ජනතා පෙරමුණ අගොස්තු 28 වැනි බදාදා ඒ බව ලිඛිතවම දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරණයේ දී සහාය ලබා දෙන ලෙස අගෝස්තු 21 වැනිදා සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස කර ඇති ආයාචනයට පිලිතුරු සපයමිනි.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගෙන්, විපක්ෂ නායකයා කළ ඉල්ලීමට පිළිතුරු සපයමින් දෙමළ ජාතික ජනතා පෙරමුනේ ප්‍රධාන ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන් පිළිතුරු ලිපියකින් දැනුම් දී ඇත්තේ ඒකීය රාජ්‍ය තුළ දෙමළ ජනතාවගේ ජනවාර්ගික ප්‍රශ්නයට කිසිදු විසදුමක් නොලැබෙන බවයි.

 

ඒකීය රාජ්‍ය තුළ පවතින 13 වැනි සංශෝධනය දෙමළ ජනයාගේ ප්‍රශ්න සදහා විසඳුමක් හෝ විසඳුමක් සඳහා ආරම්භක ලක්ෂ්‍යයක් නොවේ යන්න සිය පක්ෂයේ ස්ථාවරය බවත් එමගින් සජිත් ප්‍රේමදාසට වැඩි දුරටත් දැනුම් දී තිබේ.


යුද නිමාවෙන් දහතුන් වසරකට පසුවත් රට ආර්ථික  බංකොලොත් භාවයට පත් වීමට හේතුව ලෙසද දෙමළ ජාතික ජනතා පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පෙන්වා දී ඇත්තේ ඒකීය රාජ්‍ය ව්‍යුහයයි.

"පසුගිය වසර 76 තුළ ශ්‍රී ලංකාවේ සියලු ආගම්වලට සහ ජාතීන්ට සම තැන ලබාදීම ප්‍රතික්ෂේප කර, ජාතික  වාර්ගික කණ්ඩායම් අතර  වෛරය තීව්‍ර කර, දෙමළ ජනතාවට එරෙහි වාර්ගික යුද්ධයට මඟ පෑදුනාවූ ද, යුද්ධය නිමා වී වසර 13කට පසු රට ආර්ථික බංකොලොත් තත්වයකට පැමිණියාවූ ද හේතුව වත්මන් ඒකීය රාජ්‍ය ව්‍යුහයයි."

ආර්ථිකය ගොඩ ගැනීම සඳහා ද දෙමළ ජාතික ජනතා පෙරමුණ විපක්ෂ නායකයාට යෝජනා කර ඇත්තේ එක් රටක් තුළ ජාතීන් දෙකක් ලෙස පාලනය විය හැකි ෆෙඩරල් පදනම් කරගත් බලය බෙදීමකි.

" ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමටත්, රට ඉදිරියට ගෙන යාමටත්, සියලු වාර්ගික, ආගමික ජනතාවට සාමකාමීව බියෙන් තොරව ජීවත් වීමටත්, ඩයස්පෝරා දෙමළ ජනතාව නොබියව ආයෝජන කිරීමට සහ රට ගොඩනැගීමට ඇති එකම මාර්ගය එක රටක් තුළ ජාතීන් දෙකක් ලෙස ජීවත් විය හැකි ෆෙඩරල් ක්‍රමය පදනම් කරගත් ව්‍යවස්ථාවකි."

 

එවැනි ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී ඒකීය රාජ්‍ය ක්‍රමය අහෝසි කිරීමත්, ඒකාබද්ධ උතුරු, නැගෙනහිර දෙමළ නිජබිම ලෙස පිළිගැනීමත්, දෙමළ ජාතිය සහ එහි ස්වෛරීභාවය පිළිගැනීමත් දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය ගැනීමත් යන මුලික ඉල්ලීම් හතර ඇතුලත් කළ යුතු බවත් දෙමළ ජාතික ජනතා පෙරමුනේ ප්‍රධාන ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට තව දුරටත් අවධාරණය කර තිබේ.
 

පොලිස් බාධා
ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස ඉල්ලමින් දෙමළ ජාතික ජනතා පෙරමුණ මාස තුනකට ඉහතදී ආරම්භ කළ උතුරු නැගෙනහිර ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයට පසුගිය සති අන්තයේ දී පොලීසිය බාධා එල්ල කර තිබුනි.

අගොස්තු 24 වැනි සෙනසුරාදා නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් අත් පත්‍රිකාවක් බෙදමින් සිටියදී පොලීසිය එය වලක්වා තිබුනේ ඡන්දය ලබා නොදෙන ලෙස ඉල්ලීම තහනම් බව පවසමිනි.

ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණ මැතිවරණ කොමසාරිස්වරයාටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කර තිබේ.

ඡන්ද වර්ජන ව්‍යාපාරය වලක්වන්නට පියවර ගත්තේ මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි බව පොලිසිය පවසයි.

මැතිවරණයෙන් වැළකී සිටින ලෙසට අත් පත්‍රිකා බෙදා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සහ මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් යැයි අම්පාර දිස්ත්‍රික්කය භාර මැතිවරණ සහකාර කොමසාරිස් කසුන් ශ්‍රීනාත් අත්තනායක දැනුම් දුන් බව තිරුක්කෝවිල් ම්පොලිස් ස්ථානාධිපති ඩබ් ඒ ඩී පාලිත  පත්ම කුමාර අගෝස්තු 6 දා අම්පාර දිස්ත්‍රික්කයේ මානව හිමිකම් කොමසාරිස්ට යැවූ ලිපියක සඳහන් වෙයි.

සබැඳි පුවත් :
ජනාධිපතිවරණ වර්ජනයට බාධාකළ පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිලි

pe2024 2

worky sin

නවතම පුවත්