ජනාධිපතිවරණය ආසන්නව තිබියදී නිල සංචාරයක් සඳහා ඊයේ (29) මෙරටට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ 'පාත්ෆයින්ඩර්' පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ අතර පැවති විශේෂ සාකච්ජාව දේශපාලන ක්ෂේත්රයේ විශේෂ අවධානයකට ලක්ව ඇත.
මෙම හමුවේදී ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා වෙත ඉන්දු – ශ්‍රී ලංකා භෞතික සබඳතාව පිළිබඳ අධ්‍යයන කණ්ඩායම් වාර්තාවේ පිටපතක් ද මිලින්ද මොරගොඩ විසින් පිරිනමා ඇත.
ඉන්දු – ශ්‍රී ලංකා භෞතික සබඳතාව පිළිබඳ පාත්ෆයින්ඩර් පදනමේ අධ්‍යයන කණ්ඩායම් වාර්තාව මාර්ග, දුම්රිය, විදුලිය සහ ඛනිජ තෙල් යන අංශවල භෞතික සම්බන්ධතා සඳහා පුළුල් සැලැස්මක් සපයයි.
මෙම සම්බන්ධතා මුලපිරීමේ අවසාන ඉලක්කය වන්නේ දෙරට අතර ආර්ථික ඒකාබද්ධතාව හරහා ශ්‍රී ලංකාවේ වාර්ෂික ආර්ථික වර්ධන වේගය සියයට 3ක සිට සියයට 6 දක්වා ඉහළ නැංවීම බව වාර්තාවේ දැක්වේ.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ මිලින්ද මොරගොඩ, මේවනවිට ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ වෙත සහය පළකරමින් සිටියි.
ශ්‍රී ලංකා – ඉන්දීය ද්විපාර්ශ්වික මිතුදම තවදුරටත් සවිමත් කරමින් ඊයේ (29) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සමඟ ඉන්දීය නියෝජිතයින් සිව්දෙනකු මෙරටට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත එම නියෝජිත කණ්ඩායම පැමිණෙන අවස්ථාවේ පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.