ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් නිර්මාණය කළ හොත් කිසිදු දිනක ‘අනේ අපොයි’ කියන්නට ජනතාවට සිදුනොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක (AKD) පැවසී ය.
හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (29) පොළොන්නරුවේ පැවති ජන රැලිය අමතමිනි.
එම ජන රැලියේ දී අනුර කුමාර දිසානායක කළ සම්පූර්ණ අදහස් දැක්විම මතු දැක්වේ.
සතුටු විය හැකි තීන්දුව
‘‘අපේ වැඩිහිටි අය මීට කලින් ආණ්ඩු හැදුවා, නායකයෝ ගෙනාවා. ඒත් අවසානයේ ඉස්පිරිතාලවල බෙහෙත් ටික නැතිවුණා. අධ්‍යාපන පහසුකම් නැති වුණා. ලෝකය ඉදිරියේ බාල්දු වුණු රටක් බවට මේ රට පත්වුණා. අද ණය ගෙවා ගන්න බැරි, ආහාර ටික සපයා ගන්න බැරි ජනතාවක් බවට පත්වී තිබෙනවා. පැරණි ඉතිහාසයෙන් මිදිලා, ලෝකය ඉදිරියේ පිළිගන්නා රටක්, ජනතාවට හොඳ ජීවිතයක්, පොහොසත් රටක් නව ආණ්ඩුවක් අපි හදන්න ඕනෑ. සැප්තැම්බර් 21 දා ඔය ආණ්ඩුව හදමු කියලා අපි යෝජනා කරනවා.
අපට තීරණය කරන්න තිබෙන්නේ පැති දෙකයි. රට දුප්පත් කරපු, ඒගොල්ලන් පොහොසත් වුණු පරණ පාර. එහෙම නැතිනම් මේ රට අලුත් දිසාවකට යොමු කරලා, ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත් කරන්න යෝජනා කරන ජාතික ජන බලවේගයේ පාර. අපි කල්පනා කරන්න ඕනැ මේ දෙකෙන් මොකක්ද අපි තෝරා ගන්නේ කියලා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදපුවාම, කවදාවත් අනේ අපොයි කියන්න සිදුවෙන්නේ නැහැ. මේ සැරේ තමයි තීන්දුව හරියට ගත්තේ කියලා සතුටු වෙන්න පුළුවන්. මම හෝ මේ වේදිකාවේ ඉන්න කිසිවෙකු හෝ මේ දේශපාලනය තෝරා ගත්තෙත්, ආණ්ඩු හදන්න ඕන කියන්නෙත් අපට යමක් උපයා ගන්න නොවෙයි. අපට ඕනැ මේ රට පොහොසත් රටක් කරන්න. අපට ඕනෙ මේ රටේ ජීවත් වෙන ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් දෙන්න. ඒ ඇයි? රස ආහාර වේලක් මොකක්ද කියලා දන්නේ නැතිව අපේ ගම්වල අම්මලා තාත්තලා මියැදෙනවා.
හොඳ පහසුකම් සහිත පාසලක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව අපේ දරුවෝ ඉගෙන ගන්නවා. අපේ තරුණ තරුණියන් විශාල ලෙස අවිනිශ්චිතතාවයකට පත්වෙලා තිබෙනවා. සෑම පැත්තෙන්ම වේදනාවට, දුකට පත්වුණු ජනතාවක් ඉන්නේ. මේක අපේ පරම්පරාවෙන් අවසන් කරන්න ඕනෑ. ඒකට අපි ආණ්ඩුවක් හදමු. එකින් එක අපි පටන් ගනිමු. රට හදන්න නම් හොරකම් නතර කරන්න ඕනෑ. අපිට ආයෝජකයෙක් ආව ගමන් බලන්නේ ඇමතියාට කීයක් දෙනවාද? කියලා. පාරක් හැදුවත් හොරකම් කරනවා, බෙහෙත්වලින් හොරකම් කරනවා. මේ හොරකම ආර්ථිකය වැටීමේ ප්‍රධාන සාධකයක්. හොරකම, වංචාව, දූෂණය නතර කිරීමකින් තොරව අපේ රට හදන්න බැහැ. ඒ විතරක් නොවෙයි හොරකම් කරපු දේපළ ආපහු ගන්න ඕනෑ. ඒ වැඩේ කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි.
අපරාධවලට එරෙහිව සංවිධානාත්මක මෙහෙයුමක්
ඒ වගේම නීතියේ විධානයේ ආධිපත්‍යය අපේ රටට අවශ්‍යයි. ලෝකයේ දියුණු හැම රටක ම නීතිය ඉදිරියේ හැමෝ ම සමානයි. අපේ රටේ ධනය, බලය තිබෙන කෙනාට එක නීතියක්, දුප්පත්, බලය නැති අයට තව නීතියක්. මේ නිසා මත්ද්‍රව්‍ය, අපරාධ විශාල ලෙස වැඩිවෙනවා. අපරාධ, මත්ද්‍රව්‍ය ව්‍යාපාර තිබෙන්නේ සංවිධානාත්මකව. මේවා පිටිපස්සේ දේශපාලනය තිබෙනවා. මේ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සංවිධානාත්මක මෙහෙයුමක් යන්න ඕනෑ. ඒ වැඩේ කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි. පළමුවෙන්ම අපේ ගම්වල දුප්පත්භාවය නැති කරන්න ඕනෑ. දුප්පත්භාවය කියන්නේ කන්න නැතිකම විතරක් නොවෙයි. දුප්පත්කම නිසාම, නොසැලකීමට ලක්කෙරෙනවා. අධ්‍යාපනය නතර වෙනවා.
අපි ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරනවා. දුප්පත්භාවයෙන් ගොඩ එන්න තිබෙන එක පාරක් තමයි අධ්‍යාපනය. අපි අධ්‍යාපන ක්රමයේ වෙනසක් ඇති කරනවා. අපේ ගුරු පුරප්පාඩු තිබෙනවා. රැකියා නැති උපාධිධාරීන් ඉන්නවා. අපි ආරම්භයේදීම පුරප්පාඩු සඳහා විසි දහසක් බඳවා ගන්න සැලසුමක් හදා තිබෙනවා. කිලෝ මීටර් තුනක් ඇතුළත පහසුකම් සහිත පාසලක් හැම දරුවෙකුට ලැබෙන අධ්‍යාපන ක්‍රමයක් අපි හදනවා. නවය වසර හෝ දහය වසරේදී තෝරා ගැනීමේ විභාගයක් තියනවා. ඒ විභාගය අනුව දරුවයි, දෙමව්පියොයි, ගුරුවරයයි එකතු වෙලා දරුවාගේ දක්ෂතාවය අනුව දරුවාට යන්න තියෙන පාරට යොමු කරනවා. එවැනි පාරවල් ගණනාවකින් දරුවන් ඉස්සරහට ගෙනැල්ලා පාසලෙන් එළියට එනකොට වෘත්තියවේදියෙක් හැටියට හෝ අධ්‍යාපනයෙන් ඉස්සරහට යන නව අධ්‍යාපන ක්‍රමයක් ජාතික ජන බලවේගය ස්ථාපිත කරනවා. අධ්‍යාපනය තමයි ගමේ දුප්පත්භාවය තුරන් කරන පාර.
යලට මහට අතර මැද තව කන්නයක්
අපේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කර ගන්න තිබෙන අනෙක් පාර තමයි කෘෂිකර්මාන්තය නගා සිටුවීම. අපි බීජ පර්යේෂණායතන දියුණු කරලා අඩු වියදම් සහිත හොඳ බීජ ගොවියාට ලබා දෙන්න සැලසුම් කොට තිබෙනවා. ගොවිතැනට අවශ්‍ය වතුර ලබාදීමට සුළු හා මධ්‍ය පරිමාණයේ වැව් පද්ධතිය පිරිසිදු කොට නැවත පැරණි කාලයේ පමණටම ජලය පුරවන්න තරමේ ධාරිතාවෙන් වැඩි කරනවා. මහ කන්නය යල කන්නය පමණක් නොවෙයි අතරමැදි කන්නයක් වගා කරන්න අවශ්‍ය වතුර ප්රශ්නය විසඳනවා. යෙදවුම්වලටත් සහනාධාර දීමේ වැඩපිළිවෙළක් අපි සකස් කරනවා. ගොවි ජනතාව ණය බරින් මිරිකිලා ඉන්නේ. අපි ඉතා හොඳින් සමීක්ෂණයක් කරලා, ගෙවා ගන්න බැරි ණය යම් ප්‍රමාණයක් කපා හරින්න අපි යෝජනා කර තිබෙනවා. ඒ වගේම අඩු පොලියට ණයක් ලබා ගන්න සංවර්ධන බැංකුවක් අපි ඇති කරනවා.
මෝල් හිමියන් වෙත විශේෂ අවධානය
ඊළඟට, අපි හැමදාම කියනවා වී සහ හාල් වෙළඳපොළේ විකෘතියක් තිබෙනවා. වී මිල තීරණය කරන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක්. ඒගොල්ලන්ට පොළොන්නරුවෙ ම මිල තීරණය කරන්න පුළුවන්. සුළු හා මධ්‍ය පරිමාණ මෝල් පද්ධතියක් ම තිබුණා. ඒ පද්ධතිය කඩා වැටුණා. ලොකු මෝල් හිමියන්ට ණය දීල තමයි පොඩි මෝල් හිමියන්ට ණය දෙන්නේ. ලොකු මොල් හිමියා අඩු මිලට කිරලා, පොඩි මෝල් හිමිය වී කිරන්න එනකොට මිල වැඩි කරනවා. වැඩි කරලා මේ මෝල් පද්ධතිය ම කඩා වැට්ටුවා. අපි නැවත සුළු හා මධ්‍ය පරිමාණ මෝල් නගා සිටුවලා, ඔවුන් මුහුණ දීල තිබෙන මූල්‍ය දුෂ්කරතාවලට වැඩපිළිවෙළක් හදලා තව මෝල් හිමියන් ගණනාවක් නිර්මාණය කරනවා. වී සහ සහල්වල මිලත් සාධාරණ ලෙස තීන්දු කරන්න පුළුවන්. ගොවි ජනතාව ණය උගුලෙන් ගලවා ගන්නවා.
නව පර්යේෂණ සහ නව සොයාගැනීම්
ඉස්සර ලෝකයේ ආර්ථිකය හයිය තිබුණෙ අමු ද්‍රව්‍ය තිබුණ විදිහට. ලෝකයේ ඉස්සරහට වටිනාකම් හැදෙන්නේ දැනුමට. ලෝකයේ හැමතැනම අලුත් ආර්ථික ප්රවණතා හැදිලා තිබෙන්නේ නව නිර්මාණවලින්; නව නිපැයුම්වලින්. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පර්යේෂණ හා සංවර්ධන අංශය, විද්‍යා හා තාක්ෂණය පැත්ත පුළුල් කිරීම සඳහා සැලසුමක් සකස් කොට තිබෙනවා. අලුත් පර්යේෂණ කරනවා. අලුත් සොයා ගැනීම් කරනවා. ඒවායෙන් නිර්මාණ ඇති කරනවා. අපි දෙදහස් තිහ වෙනකොට අයි.ටී. ඉංජිනේරුවන් ලක්ෂ දෙකක් හදනවා. ඒ මානව සම්පත් ගම්වලට ගලාගෙන යනවා. නව ආදායම් මාර්ග ඉපැද්දෙනවා. ගම්වල ජීවිතය උසස් වෙනවා. ඒ වැඩේ කරන්න තමයි ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ඉල්ලන්නේ. එක පැත්තකින් රට පොහොසත් වෙන්න ඕනෑ. ජනතාවට මුදල් ගලාගෙන එන්න ඕනෑ. අපේ රට දුප්පත් වුණා. පාලකයා පොහොසත් වුණා.
සකන්ඩ් ක්ලාස් වැඩ ඉවරයි
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පියවරෙන් පියවර: අපේ රට පොහොසත් කරන, ජනතාවගේ ජීවිතය ලස්සන කරන ආර්ථිකයක් හදනවා. අද ආණ්ඩුව අරගෙන හෙට මේ වෙනස කරන්න බැහැ. එතකන් ජනතාව බලා ගන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ දෙදහස් හතළිස් අටේ දී ආර්ථිකය හදනවාලු. හතළිස් අටේ දී ආර්ථිකය හදනකම් මිනිසුන්ට කන්න නැතිව, බෙහෙත් ගන්නෙ නැතිව, දරුවා ඉගෙන ගත්තේ නැතිවට කමක් නැහැ. අපි අධ්‍යාපනය ගන්න බැරි, ආහාර ගන්න බැරි, සෞඛ්‍ය පහසුකම් ගන්න බැරි, පවුල්වලට ආරම්භයේ සිටම රුපියල් දහදාහක අවම මුදලක් ගෙවන්න සැලසුම් කොට තිබෙනවා. ගොඩක් අමාරු නම් දහ දාහට වඩා වැඩි මුදලක් ගෙවන්න සූදානම්. හැමදාම ද? හැමදාම ඕන ද?
අපේ ගම්වල ජනතාව අතපාලා ජීවත් වුණු ජනතාවක් නොවෙයි. ගෞරවයක්, වටිනාකමත් තියාගෙන හිටි ජනතාවක්. වී කඳු පිටින් ගොඩගැහුවා. අපේ ගම්වල මතයක් තිබුණා කඩෙන් හාල් කන එක සෙකන්ඩ් ක්ලාස් වැඩක් කියලා. වී තම්බලා හාල් කොටාගෙන කෑවා. වී කඳු ගෙවල්වල ගොඩගහපු පොළොන්නරුවේ ජනතාව. අද හාල් කිලෝ දහයක් ගන්න පෝලිමේ යනවා. ජනතාව දුප්පත්භාවයේ ගිලිටීනයට තල්ලු කළා. අපි මාසිකව දහදාහක දීමනාවක් ගෙවනවා, ආර්ථික වැඩපිළිවෙළ හදලා ආර්ථිකයෙන් ජනතාව පොහොසත් වෙන තෙක් මේ මුදල දෙනවා. අධ්‍යාපනයට, ආහාරවලට, සෞඛ්‍යයට මේ ආණ්ඩුව ගසා තිබෙන බද්ද අයින් කර, ඒ සඳහා යන වියදම අඩු කරනවා.
සුළං බලයෙන් විදුලිය
ඒ වගේම අවුරුදු එකහමාරක්, දෙකක් වැනි කාලයක් ඇතුළත විදුලි බිල තුනෙන් එකක් අඩු කරන්න පුළුවන්. අනාගතයේ සියයට අසු පහක් පමණ බලය උපදවන්නේ පුනර්ජනනීය බලශක්තියෙන්. මන්නරාම් ද්‍රොණියේ සුළං බලයෙන් ගිගාවොට් හතළිහකට වැඩිය නිපදවන්න පුළුවන්. දෙදහස් හතළිහ වෙන විට අපේ රටට මුළු ඉල්ලුම ම ගිගාවොට් අටයි. අපට සුළංවලින් විතරක් මෙගාවොට් හතළිස් දාහක් විතර හදන්න පුළුවන්. අපට විශාල විභවතාවක් තිබෙනවා. එතනට අපි ආයොජනය ගෙනත් මේ සුළං බලය හදන්න ඕනෑ. මේ ගොල්ලොත් ගෙනාවා අදානිව. අදානි විදුලි ඒකකයක් හදන්න ඩොලර් සත අටයි දශම දෙකයි දෙකක් ගන්නවා. හැබැයි ඒ අදානිම ඉන්දියාවේ සුළංවලින් හදනවා ඩොලර් සත හතරට අඩුයි. ඇයි ඒ? ඇමතියාට ගාන දෙන්න ඕනෑ. ඒ ව්‍යාපෘති ගැන නැවත සැලකිල්ලට ලක්කරලා, සුළං බලයෙන්, සූර්ය බලයෙන් විදුලිය නිපදවන ව්‍යාපෘති ඉස්සරහට ගෙනත් අඩු මිලට විදුලියත්, අතිරේක විදුලිය එළියට යවන්නත් සැලසුමක් ජාතික ජන බලවේගය හදා තිබෙනවා.
විධිමත් සුව සේවයක්
අපේ සෞඛ්‍ය සේවය හොඳ මට්ටමක නැහැ. කොහෙන්ද බෙහෙත් ගන්නේ කියලා ලෙඩා තමයි තීරණය කරන්නේ. බෙහෙත් ගැනීම තීරණය කරන්නේ ප්‍රාථමික වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයා ලෙඩාගේ ස්වභාවය බලලා, එයා තමයි ලෙඩේට ප්‍රතිකාර ගන්න යන්න ඕන තැන තීරණය කරන්නේ. යම් පවුල් සංඛ්‍යාවක් තීරණය කරලා, ඒ පවුල් සංඛ්‍යාවට වෛද්‍යවරයෙක් යොදනවා. ලෙඩා ඉස්සෙල්ලාම යන්න ඕනෙ තමන්ගේ වෛද්‍යවරයා ළඟට. එයා ළඟ ඉතිහාසය තිබෙනවා. පවුලේ පරම්පරාවේ රෝග තිබෙනවාද? සියලුම විස්තර ඔහු සතුව තිබෙනවා. එයා යා යුතු ස්ථානයට ලිපියක් දෙනවා. සෞඛ්‍ය සේවය විධිමත් වෙනවා. අද තිබෙන සෞඛ්‍ය සේවය අවිධිමත්. පෝලිමේ ඉන්න ඕන නැති, දොස්තර මහතා ලෙඩා ගැන දන්නවා, එහෙම තමයි විධිමත් සෞඛ්‍ය සේවයක් වෙන්න ඕනෑ.
ස්කූටි ඕනෙ ම ද...?
ප්‍රවාහනයත් ප්‍රධාන ප්‍රශ්නයක්. ලෝකයේ ගොඩක් රටවල්වල පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහනය; දිරි දෙන්නේ පොදු ප්‍රවාහනයට. අපි වැඩිපුර පොදු ප්‍රවාහනය දිරි ගන්වනවා. කාර් එකට මාසෙකට තිස්පන් දහසක් වියදම් වෙනවා. ප්‍රවාහනයට තමන්ගේ වැටුපෙන්, තමන්ගේ ආදායමෙන් ඒතරම් දරන්න ඕනෑද? අද ගාමන්ට්වල වැඩකරන සහෝදරියන් ඉස්සෙල්ලා ම ගන්නේ ස්කූටියක්. පඩිය හතළිස් දාහයි; ස්කූටියට මාසෙකට කැපෙනවා තිස්පන් දහසක්. අන්තිමට මුළු පඩියම ස්කූටියට. පොදු ප්‍රවාහනය පිළිබඳ විශ්වාසයක් නැහැ. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් හදනවා. තමන් කැමති නම්, ආදායම හොඳ නම්, දරා ගන්න පුළුවන් නම්, කාර් එකක් ගන්න. අද දරා ගන්න පුළුවන් හන්දා නෙමෙයි ගන්නේ. යන්න එන්න වෙන විදිහක් නැති නිසා. විශ්වාසවන්ත, පහසුකම් සහිත, හොඳ ප්‍රවාහන සේවයක් නැති නිසා.
පොර බැදුවොත් හොඳ රටක්
අධ්‍යාපනයේ බර අඩුවෙන, ප්‍රවාහනයේ බර අඩුවෙන, සෞඛ්‍ය සේවයේ බර අඩුවෙන ආණ්ඩුවක් අපට ඕනෑ නැද්ද? එහෙම ආණ්ඩුවක් තමයි අපි හදන්නේ. ජාතික ජන බලවේගය මේ සැලසුම් කොට තිබෙන්නේ රට ඉතාම දියුණු කරන, සැලසුම් සහගත ආර්ථික වැඩපිළිවෙළක්. අවුරුදු හතරක් පහක් හොඳට පොර බැදුවොත් හොඳ රටක් බවට මේ රට පත්කර ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙන්න ඕනෑ. මේකෙ අවස්ථා දෙකක් තිබෙනවා. එක බලය ගැනීම. දෙක බලය අරගෙන රට හදන එක. දැන් තිබෙන්නේ බලය ගන්න එක. ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවට කතිරෙ ගහලා පුරවන්න ඕනෑ. මේ ටික දවසේ අපි මහන්සි වෙමු. ශක්තිමත් ජන වරමක්, සැප්තැම්බර් විසි එක්වෙනිදාට ලබා දෙන්න. අපි ඉස්සෙල්ලා ආණ්ඩුව හදමු. පස්සේ අපි හැමෝම එකතු වෙලා මේ රට හදමු.’’
‘මිනිස් බලවේගය’ නම් ආයුධය
ජාතික විද්වත් සංවිධානයේ පොළොන්නරුව දිස්ත්‍රික් සභාපති, පුලතිසිපුර අධ්‍යාපන විද්‍යා පීඨයේ හිටපු උප පීඨාධිපති සමන් පත්ම කුමාර
‘‘මම දේශපාලනයට ආවෙ දෙදහස් දහනමයෙ දි. දැන් අවුරුදු පහයි. ඒ කාලය තුළ මේ රට ගොඩනැගීමට සුදුසුම නායකයා අපට සොයා ගැනීමට හැකිවීම ගැන මම අතිශයින් සතුටට පත්වෙනවා. එක්දහස් නමසිය පනස් හතේදී ඉංග්‍රීසි ශබ්දකෝෂයට වචනයක් එකතු වෙනවා ‘වෙපනයිස්’ කියලා. ඒකෙ තේරුම තමයි ආයුධයක් බවට පත්කර ගන්න බැරි දෙයක් ආයුධයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් වීම. විවිධ මිනිස් බලවේග තමයි අපේ ආයුධ. අද දෙදහස් දහනමයෙන් පස්සේ අපි අද ඒ සියලු සමාජ බලවේග කණ්ඩායම් අපේ ජයග්‍රහණය සඳහා සංවිධානය කරගෙන තිබෙනවා.
අපි විශ්‍රාමික හමුදාවේ දහස් ගණනක් එකතු කළා. කාන්තාවන් දස දහස් ගණනක් එකතු කළා. රට වෙනුවෙන් මහා සංඝරත්නය දැන් අපත් සමග පෙළගැසී ඉන්නවා. ඒ වගේම ත්‍රීරෝද රථ සංගම්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, විද්‍යාඥයින්, කලාකරුවන්, ගොවීන්, ධීවරයින්, කම්කරුවන් සියලු බලවේග අපි එකතු කළා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සතර දිග්භාගයේ සිටින ජනතාව දැන් අපි එකතු කරලා ඉවරයි.
කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තු දෙන්නෙක් මේ ජනාධිපතිවරණ තරගයේ ඉන්නවා. හැබැයි තමුන්නාන්සේලාගේ දහඩිය සුවඳ හඳුනන තඹුත්තේගමින් බිහිවුණු අපේම පංතියේ සහෝදරයෙක් මේ සටනේ ඉන්නවා. සමහරු අපෙන් අහනවා සජිත් එක්ක නේද සටන තිබෙන්නේ කියලා. අපිට එයා සමග කිසිම තරගයක් නැහැ. අපි දැන් ඉන්නේ ජය කණුව පෙනි පෙනී. ඒ ආසන්නයේ සජිත් පේනතෙක් මානෙකවත් නැහැ. ඒ නිසා අපේ රටේ ගමේ කොල්ලෙක් වන අපේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා ලබන සැප්තැම්බර් විසි එක වාර්තා පිට වාර්තා තබමින් ජයග්‍රහණය කරනවා.’’
කෑ ගැසීම අවසන් කරන දිනය
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ටී.බී. සරත්,
‘‘මෙතනට රැස්වෙලා ඉන්න මේ දහස් සංඛ්‍යාත ජනතාව කියා පාන්නේ අන්කිසිවක් නොවෙයි, ලබන සැප්තැම්බර් විසි එක්වැනිදාට මේ රටේ නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා කියන එකයි. අපේ රටේ ගොවි ජනතාව හැමදාමත් ප්‍රාර්ථනය කළේ ඔවුන්ගේ නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලැබෙන්න ඕනෑ කියලා. අන්න ඒ ප්‍රාර්ථනය නියත ලෙසම මල්ඵල ගැන්වෙන දිනය සැප්තැම්බර් විසි එක්වැනිදායි. ගොවියාගේ වී ඇතුළු සියලු නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලබාදීමේ වගකීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් අනිවාර්යයෙන්ම බාර ගන්නවා වගේම මේ රටේ ගොවියා මුහුණදී සිටින සියලු ප්‍රශ්නවලින් ඔවුන් මුදා ගන්නා දිනයත් සැප්තැම්බර් විසි එකයි.
රනිල්ගේ ආණ්ඩුව මේ දවස්වල අපේ ගොවියාගේ වී කිලෝ එක ගන්නේ රුපියල් එකසිය පහට. නිෂ්පාදන වියදමට රුපියල් එකසිය පහක් වෙනවා. මේරටේ ගොවියාගේ වීවලට සාධාරණ මිලක් ගෙවන ආණ්ඩුවක් ලබන විසි එක්වැනිදායින් මේ රටේ ගොවියෝ ඇතුළු සියලු ජනතාව එකතු වෙලා හදා ගන්නවා. මීට අවුරුදු එකහමාරකට උඩදී අරගලයට තුන්මාසයක් ගත වන දිනයේදී අපි අපේ ගොවි ජනතාව සමග කොළඹ හයිඩ් පිටියට ඇවිල්ලා අපි රනිල්ට කිවුවා ‘රනිල් අපි මින් පසසේ ඔයාගෙන් වීවලට සාධාරණ මිලක්, පොහොරවලට සහනයක් ඉල්නන්නේ නැහැ. වතුර ඉල්ලලා එන්නෙත් නැහැ. ඔයාව එළවන සටන ගොවි ජනතාව හැටියට අපි බාරගන්නවා,’ කියලා. ඔන්න අද පුලතිසි පුරවරයෙන් ඒක බාර අරගෙන තිබෙනවා. අපි මේ කොළපාට නිල්පාට ආණ්ඩුවලින් ඉල්ලිම් ඉල්ලලා කෑ ගසන දිනය අවසන් කරලා ගොවියෝ අපි ඔක්කෝම රටේ සමස්ත ජනතාවත් සමග එකතුවෙලා අපිට සාධාරණය ඉටු කරන ආණ්ඩුව ලබන විසි එක්වැනිදා හදා ගන්න එක හදා ගන්නවාමයි.
රතු කොඩි වැල් පමණි
පසුගිය විසිපස්වැනිදා කින්ස් නෙල්සන් මහත්තයා මට අභියෝගයක් කළා. සැප්තැම්බර් විසි එක්වැනිදා එයා සජබ ආණ්ඩුවක් හදනවා ඒක බලන්න එන්න කියලා. මම අද අහනවා, අනේ නෙල්සන් ඔයා අපේ රතුපාට, දම්පාට කොඩි වැල් දැකලා ඒව ගලවන්න කිය කියා නාහෙන් අඬ අඬ පොලීසි ගානේ ගියා නේද? ඒවා දකින කොට ඔයාට නින්ද යන්නේ නෑ කියලා. නෙල්සන් මහත්තයෝ සැප්තැම්බර් විසි එක්වැනිදාට ඔයා කළුවර කාමරයක් හදා ගන්න. ඔයාට මින් පස්සේ පේන්නේ රතු කොඩි වැල් විතරයි. කිල්ස් නෙල්සන් ඔයාගෙ තාත්තාට කරන්න බැරි වැඩේ ඔයා කළා. වාලච්චේනෙන් පටන් අරගෙන ලග්ගලට ගිහිල්ලා, ලග්ගලින් මාතලේට ගිහිල්ලා එතනින් කුරුණෑගලට ගිහිල්ලා දිස්ත්‍රික් සිතියම ලොකු කරන්න ඔයාගේ තාත්තාට බැරි වුණා.
ගිය විසිපස්වැනිදා දිස්ත්‍රික් ගණනකම බඩ ගාලත් මේ තරම් විශාල ජනතාවක් පුලතිසි පුරවරයට එකතු කරන්න ඔයාට බැරි වුණා. එළඹෙන විසි එක්වැනිදා මේ රටේ සුවිශේෂී දිනයක්. අන්න ඒ සුවිශේෂි දිනය මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ජනයා තමන්ගේ විමුක්තියේ දවස, නව සංවර්ධනයේ දවස, නව නිදහස් අරගලයේ දවස බවට පත් කර ගන්නවා. සැප්තැම්බර් විසි එක්වැනිදාට උදෙන්ම ගිහිල්ලා රටත් ජනතාවත් දිනවන්න ශක්තියෙන්, ධෛර්යයෙන් ඉදිරියට එන්න කියලා අපි ඉල්ලා සිටිනවා.’’
(සටහන - ජයසිරි අලවත්ත)