ඉතියෝපියාවෙන් කෝටිපතියන් ගෙනවිත් ලංකාවේ පාසල් වල සුහුරු පන්ති කාමර හදනවා යැයි බබ්බු වගේ කතන්දර කියන
සජිත් ප්‍රේමදාස වැනි අය රටේ නායකත්වයට නොව ඇමතිකමකටවත් සුදුසු දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජා ඇල දී අද (30) පස්වරුවේ ප්‍රශ්න කළේය.
ලෝකේ ඉන්න කෝටිපතියන් සල්ලි ඔළුව උඩ තියාගෙන අපේ රටේ පාසල් දියුණු කරන්නට ඒවිදැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා, ලංකාවේ දේශපාලනයේ ඇත්ත කතා කරන්නේ කවුද? ප්‍රතිඵල පෙන්වා තිබෙන්නේ කවුදැයි සිතා බලා තීරණ නොගත්තොත් රට යළි ගොඩ ගත නොහැකි අගාධයකට ඇද වැටෙන බව සඳහන් කළේය.
"පාසල් දස දහසටම සුහුරු පන්ති කාමර ලබා දෙන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා. ලෝකෙ වටේම කෝටිපතියන් දස දහසක් හොයාගෙන ඒ අයට පාසල බැගින් භාර දෙන බව සජිත් ප්‍රේමදාස පැවසුවා. මං අහන්නේ රුමේනියාවේ ඉන්න කෝටිපතියා රාගම පාසල භාර ගන්නවද? ආජන්ටිනාවේ ඉන්න කෝටිපතියා ගල්ගමුවේ ඉස්කෝලෙ භාර ගන්නවද ? ඒ රටත් දැන් වැටිලා. ''
''කෝටිපතියෝ දහදාහක් අරගෙන බාර ගන්නවලු. මේක කරන්න පුළුවන් වැඩක්ද? පාසල් දස දහසේ පන්ති කාමර කීයක් තිබෙනවාද? පන්ති කාමර ලක්ෂයක් විතර ඇති. ලෝකෙ ඉන්න කෝටිපතියෝ සල්ලි අරගෙන ඔළුව උඩ තියාගෙන අපේ ඉස්කෝල දියුණු කරන්න ඒවිද? ඔහොම මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න පුළුවන්ද? මොකක්ද මේ. බබ්බු කියලා හිතනවද?''
''අපේ තානාපතිවරුන්ට මේ කෝටිපතියන් හොයාගෙන එන්න කියනවලු. නැත්නම් ඒ අය ඉවත් කරනවාලු. අපිට තානාපති කාර්යාල පනහක් වත් නැහැ. ඉතියෝපියාවෙන් කෝටිපතියන් හොයන්නද කියන්නේ. කියුබාවේ කෝටිපතියො ඉන්නවද? ක්‍රැස්තෝ කෝටිපතියෝ හැදුවේ නැහැ. කෝටිපතියො නැති කළා.''
''හරි කැලිෆෝනියාවට ගිහින් වැලිමඩ ඉස්කෝලේ හදන්න කියලා කෝටිපතියකුට කතා කළා කියමු. එයා කුණුහරුප නොකියාවි කියලා ඔබ හිතනවද?''
'' රටේ ජනතාවට මෙවැනි බොරු කතා කියන්නේ ඇයි? මෙවැනි පුද්ගලයෙක් ඇමතිකමක් කරන්නවත් සුදුසුද?මේ අය හිතන්නේ බබ්බු වගේ.''
''එයා හිතන්නේ අප වීසා සහනය ලබා දුන් නිසා මේ ඔක්කොම ලංකාවට ඒවි කියලා. 2022 වසරේ ආණ්ඩුව බාරගෙන මොහු හැඟුණේ ඇයිද කියලා දැන් අපට තේරුම් ගන්න පුළුවන්.''
ඒ නිසා ලංකාවේ දේශපාලනයේ ඇත්ත කතා කරන්නේ කවුද? ප්‍රතිඵල පෙන්වා තිබෙන්නේ කවුද? කියා තේරුම් ගන්නැයි ජා ඇළ පැවති "පුළුවන් ශ්‍රී ලංකා" ජනරැළිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.