ශාන්තිකර සාගරය සහ ටුවාලුහි කලපුවක් අතර බිම් තීරයක ගුවන් දර්ශනයක් (copyright Getty Images)

අදින් මාස තුනකට ආසන්න කාලයකට පෙර දවසක එනම්, පසුගිය ජනවාරි මස 12 වන දා වන විට කොරෝනාවෛරසය (Covid-19 ) චීනයට පමණක් සීමා විය. වෛරසය මුලින් ම ආරම්භ වූ එරටින් පිටත එක ම ආසාදිතයෙකු හෝ එතෙක් වාර්තා නොවිණි.

එහෙත් පසු දින, එනම් ජනවාරි 13 වන දා කොරෝනාවෛරසය ගෝලීය ප්‍රශ්නයක් බවට පත්විය.

තායිලන්තයෙන් එක් රෝගියෙකු වාර්තා වූ අතර අනතුරුව ජපානයෙන් සහ දකුණු කොරියාවෙන් ද කොරෝනාවෛරස් ආසාදිත පුද්ගලයන් හමු වන්නට විය. ඉතා ඉක්මනින් ඇමෙරිකා එක්සත් ජනපදයත් වෛරසයට ගොදුරු විය.

පළමුව කුරගාමින් පැමිණි වෛරසය අද පාලනය කර ගැනීමට අපහසු දුෂ්කර ප්‍රවාහයක් බවට හැරී ඇත.

අද මේ මොහොත වන විට ලෝකය පුරා කොරෝනාවෛරසය (Covid-19 ) ආසාදිත ජන සංඛ්‍යාව දශ ලක්ෂය ඉක්මවා අවසන්ය.

වෛරසය නේපාලයේ පටන් නිකරාගුවා තෙක් ලෝකය ආක්‍රමණය කරනු ලැබ අවසන්ය. මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතී. රෝහල් වාට්ටු කොවිඩ්-19 රෝගීන්ගෙන් පිරී ඉතිරී යමින් දරා ගත නොහැකි මට්ටමකට ළඟා වී ඇත.

 111507498 30be3d42 6d08 4182 9f92 098b729b6ae2       උතුරු කොරියාවෙන් කොරෝනාවෛරස් රෝගීන් වාර්තා වී නොමැති අතර වැඩි වශයෙන් වාර්තා වුනේ මිසයිල අත්හදා බැලීම්ය( copyright EPA)

ලෝක සිතියමෙන් වැඩි කොටසක එවැනි චිත්‍රයක් දක්නට ලැබෙද්දී, වෛරසය පහර නොදුන් යම්කිසි තැනක් අපට මේ මිහිතලයෙන් සොයාගත හැකි ද?

පිළිතුර ඔබ පුදුමයට පත් කරනු ලැබීමට හේතුවිය හැකිය. එය කුමක් ද?
"ඔව් !"
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයන්ගේ සංඛ්‍යාව 193 කි.
'ජෝන්ස් හොප්කින්' සරසවියේ දත්ත භාවිතා කරමින් සකස් කරන ලද බීබීසී ප්‍රකාශනයකට අනුව, මෙයින් දින කීපයකට පෙර, එනම් අප්‍රේල් 02 වෙනිදා වනවිට ලොව රටවල් 18 කින් එකදු කොරෝනාවෛරස් ආසාදිතයකුවත් වාර්තා වී නැත.

එම රටවල් 18:

කොමොරෝස් (Comoros), 
කිරිබති (Kiribati), 
ලෙසෝතෝ ( Lesotho), 
මාර්ෂල් දූපත් (Marshall Islands), 
මයික්‍රොනොසියා (Micronesia), 
නාවුරු (Nauru), 
උතුරු කොරියාව (North Korea), 
පලාවු (Palau), 
සමෝආ( Samoa), 
සාඕ ටොම් සහ ප්‍රින්සිපේ ( Sao Tome and Principe), 
සොලමන් දූපත් (Solomon Islands), 
දකුණු සූඩානය (South Sudan), 
තජිකිස්ථානය(Tajikistan), 
ටොන්ගා (Tonga), 
ටුවාලු (Tuvalu), 
වනුටු (Vanuatu), 
යේමනය (Yemen), 
තුර්ක්මේනිස්ථානය(Turkmenistan),

මෙහිදී සැලකිල්ලට ගත යුතුව ඇති එක්‌ වැදගත් කරුණකි. එනම්, ඇතැම්විට වාර්තා නොකෙරුණ ආසාදනයවීම් තිබිය හැකි බවට විශේෂඥයන් එකඟවීමය.

උදාහරණයක් වශයෙන්, නිල ප්‍රකාශන අනුව උතුරු කොරියාවේ කොරෝනා ආසදිතයන්ගේ සංඛ්‍යාව බින්දුවකි. යුද්ධයෙන් බෙදීගිය දේශයක් වන යේමනයේ තොරතුරු ද එවැනිය.

කෙසේවුවද, වෛරසය තවමත් සේන්දු නොවූ රටවල් පවතී. එයින් වැඩි කොටසක් 'ආගන්තුකයන්' වැඩි වශයෙන් පය නොගසන කුඩා දූපත් රාජ්‍යයෝ වෙති.

එක්සත් ජාතීන්ගේ තොරතුරුවලට අනුව, ඉතාම ස්වල්පයක් ආගන්තුකයන් පිය තබන ලෝකයේ ස්ථාන දහයෙන් හතක කිසිවෙකුත් මේ දක්වා කොරෝනාවෛරස් උවදුරට ගොදුරු වී නැත.

ඊට එක හේතුවක් වන්නේ ඔවුන්ගේ වෙන් වූ හුදෙකලා පැවැත්මයි. අද යුගයේ බල පැවැත්වෙන සමාජ දුරස්ථභාවයට අදාළ රෙගුලාසිවලට අනුව දූපත් ජාතීහු සැබෑ ස්වයං හුදෙකලාභාවයක් සහිත සමාජ වෙති.

එහෙත් එවැනි කුඩා රාජ්‍යයක ජනාධිපතිවරයෙක් පවතින තත්ත්වය සම්බන්ධයෙන් සතුටු නොවෙයි. බීබීසියට ප්‍රකාශයක් කළ එම ජනාධිපතිවරයා සඳහන් කළේ Covid-19 දැනටමත් ජාතික හදිසි තත්ත්වයක් ඉස්මතුකර ඇති බවය.

 111508218 f32b2809 40f2 4823 bc2f 6d683b0acf5a             කොරෝනාවෛරසය පැතිර යාම වැලැක්වීම සඳහා මලාවි හි බන්ධනාගාර රැඳවියන් දෑත් සෝදන අයුරු (copyright AFP)

ශාන්තිකර සාගරයේ දූපතක් වන නාවුරු (Nauru) පිහිටා තිබෙන්නේ වෙනත් ඕනෑම ජනාවාසයකින් කිලෝමීටර් 320 ක් ඈතිනි. කිරිබති රාජ්‍යයට අයත් බනබා (Banaba) දූපත ඔවුන්ගේ ළඟම අසල්වැසියා වෙයි. එහෙත් ඔවුන් අතර දුර කිලෝමීටර් දෙසීයකි. නාවුරු (Nauru) දූපත ආසන්නයේ පිහිටි ප්‍රධාන නගරය ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්(Brisbane) නගරයයි. නාවුරු සහ බ්‍රිස්බේන් අතර දුර කිලෝමීටර් 2,500 කි.

එක්සත් ජාතීන්ගේ සඳහන් කිරීම් අනුව මොනාකෝ' (Monaco) දූපතෙන් අනතුරුව ඊළඟ කුඩාම ජනාවාස භූමිය නාවුරු දූපතය. එහි ජනගහනය දස දහසකට මඳක් වැඩිය. ටුවාලු (Tuvalu) දූපතෙන් අනතුරුව ඊළඟ කුඩාම ජනගහනය සහිත රට නාවුරු වෙයි.

එපමණක් නොව නාවුරු මිහිමත රාජ්‍යයන් අතරින් අඩුම පිරිසක් සංචාරය කළ භූමියයි. ඉතා මෑතක නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවල සඳහන් නොවුනත්, එක් සංචාරක ආයතනයක් පවසන පරිදි වසරකට නාවුරු කරා පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 160 ක් පමණි.

එහෙත් මෙවැනි දුරස්ථ සමාජයක් තවත් ඈත්විය යුතු නැතැයි කෙනෙකු සිතීමට ඉඩකඩ ඇත. එම දුරස්ථ සමාජය සතුවන්නේ එකම එක රෝහලක් පමණි. ශ්වසන අධාරක (ventilators) එකක්වත් එහි නැත. හෙද හෙදියන්ගේ හිඟයක් පවතී. කිසිදු මට්ටමක අන්තරායක් භාර ගැනීමට ඔරොත්තු දෙන පරිසරයක් ඔවුන්ට නොමැත.

කොරෝනා වැලැක්වීමට නාවුරු පාලනය ගත් ක්‍රියාමාර්ග :

Nauru map
කොරෝනා වෛරසය ලෝකය ආක්‍රමණය කරද්දී නාවුරු පාලනය පහත දැක්වෙන ක්‍රියාමාර්ග ගත්තේය.


    1 - මාර්තු 02 - චීනය, දකුණු කොරියාව සහ ඉතාලිය සම්බන්ධයෙන් සංචාරක තහනමක් පැනවීය. ඉන් දින පහකට පසුව එම ලැයිස්තුවට ඉරානයත් එක් කරනු ලැබුණි.

    2 - නාවුරු ගුවන් සේවය මාර්තු මාසයේ මැද භාගයේ පටන් ෆිජි, කිරිබති සහ මාර්ෂල් දූපත් කරා වූ ගුවන් ගමන් අත්ටහිටවනු ලැබුණි. බ්‍රිස්බේන් සමඟ සතියකට පැවති ගුවන්ගමන් වාර තුන, සති දෙකකට එක ගමනක් දක්වා අවම කරන ලදී.

    3 - ඔස්ට්‍රේලියාවේ සිට යළි පැමිණෙන සිය රටවැසියන් සහ වෙනත් පුද්ගලයන් හෝටල්වලට යවා දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක්විය යුතු බවට නියෝග කෙරිණ.

    4 - මෑතදී කිසිදු දේශපාලන රැකවරණ පතන්නෙකු ඔස්ට්‍රේලියාව විසින් නාවුරු කරා ඒවා නැතත්, එසේ එවනු ලබන්නන් දෙසතියක නිරෝධායනයට ලක් කෙරෙනු ඇත.( ඔස්ට්‍රේලියාව නාවුරු දූපතේ සරණාගත කඳවුරක් පවත්වා ගෙන යයි)

තමන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග නාවුරු ජනාධිපති ලියොනෙල් එයින්ගිමේ (Lionel Aingime) විසින් විග්‍රහ කරනු ලබන්නේ "වැට බැඳීමේ සහ වැලැක්වීමේ" උපක්‍රමයක් හැටියටය.

"අපි මේ දේවල් දේශසීමාවට සීමා කරනවා" ජනාධිපතිවරයා පවසයි.

"අපි, අපේ දේශසීමා හැටියට සලකන්නේ අපේ ගුවන් තොටුපොළ. වෙනත් රටවලට යන ගුවන්මගීන්ට මාරුවීමට පහසුකම් සැලසීම (transit facilities) අපේ එම දේශසීමාවේ එක අංගයක්"

නිරෝධායනයේ තබා සිටින පුද්ගලයන්ගේ රෝග ලක්ෂණ තිබේදැයි දිනපතා පරීක්ෂා කරනු ලැබේ. ඔවුන් අතරින් යම් කිසිවෙකුගේ සිරුරෙහි උණ ගතියක් වේනම් ඔහු/ඇය වහාම වෙනත් ස්ථානයක වෙන්කර තබනු ඇත. ඒ අතර ඔහු/ඇය කොරෝනා (Covid-19) පරීක්ෂණයට භාජනය කෙරෙයි. එවැනි අවස්ථාවන්හි යොදාගන්නා ලද පරීක්ෂණ කට්ටල ඔස්ට්‍රේලියාවට යවන අතර, මේ දක්වා ප්‍රතිඵල ලෙස ලැබී ඇත්තේ ඔවුන් කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවය.

අර්බුදයක් මැද ජීවත්වෙන නමුත් නාවුරුවාසී සාමාන්‍ය ජනතාව "සංසුන් සහ සාමූහික" දිවියක් ගෙවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

විශේෂයෙන්ම තම රට පූර්ණ සම්බන්ධතා පවත්වන ඔස්ට්‍රේලියාව සහ තායිවානය ඇතුළු රටවල් තමන්ට දෙන සහයෝගය සම්බන්ධයෙන් නාවුරු ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කරයි.

එපමණක් නොව, තමා අදහන ආගමත් ඔහුගේ කෘතඥතාවයට ලක්වෙයි.

 111508221 gettyimages 1026048550අර්බුදයක් මැද ජීවත්වෙන නමුත් නාවුරුවාසී සාමාන්‍ය ජනතාව "සංසුන් සහ සාමූහික" දිවියක් ගෙවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. (copyright Getty Images)

රතු පාට ලෝක සිතියමක්:

ජනාධිපතිවරයා තම දූපත කොරෝනාවෛරසය කොහෙත්ම නොමැති භූමියක් ලෙස පවත්වා ගැනීමේ ප්‍රයතන්යක නිරතවෙමින් සිටින අතරවාරයේ සෙසු ලෝකය අද එවැනි වාසනාවන්ත තත්ත්වයක නොමැති බව ඔහු වටහාගෙන ඇත.

"අපි හැම මොහොතකම Covid-19 සිතියම බලනවා. ලෝක සිතියම හරියට සරම්ප වසංගත කාලෙක වගේ රතුපාට වෙලා. හැමතැනම රතුපාට තිත් ගොඩක්" යනුවෙන් ඔහු පවසයි.

"ඉතින් ජාතියක් හැටියට, අපි විශ්වාස කරනවා අපේ යාඥාවන් සෙසු ජාතීන්ට මේ දුෂ්කර තත්ත්වයෙන් ගොඩ එන්නට උදව්වක් වේවි කියල"

කොරෝනා වෛරස් උවදුර හමුවේ ජාතික මට්ටමින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලද එකම කුඩා ශාන්තිකර සාගර රාජ්‍යය නාවුරු පමණක් නොවේ.

කිරිබති, ටොන්ගා, වනුටු, සහ තවත් දිවයින් එවැනි පියවර ගනු ලැබ ඇත.

ශාන්තිකර කලාපයේ 'Niue' හි වෛද්‍ය කොලින් ටුකුයිටොන්ගා (Dr Colin Tukuitonga) පවසන්නේ එවැනි පියවරක් ගැනීම නිසැකවම නිවැරදි බවය.

"මේ කෲර වයිරස් සතුරා ඈත්කර තැබිය යුතුයි" වෛද්‍යවරයා පෙන්වා දෙයි.

වෛද්‍ය කොලින් ටුකුයිටොන්ගා මහජන සෞඛ්‍යය පිළිබඳ විශේෂඥවරයකු වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොමසාරිස්වරයකු ලෙසත් කටයුතු කර ඇත. ඔහු දැන් නවසීලන්තයේ 'ඕක්ලන්ඩ්' සරසවියේ වෛද්‍ය පීඨයේ සහකාර පීඨාධිපතිවරයෙකි.

"අපි කතාකරන ශාන්තිකර දූපත්වල දියුණු සෞඛ්‍යය වැඩපිළිවෙලක් නැහැ. ඒවා පුංචි රටවල්. දුර්වලයි. බොහෝ දූපත්වල 'වෙන්ටිලේටර්ස්' නැහැ. වැරදිලාවත් වෛරසය ඇතුල් වුනොත් ජනතාව විශාල ගණනින් විනාශ වේවි"

"මේ දූපත්වල දියවැඩියාව, හෘද රෝග සහ වෙනත් පපුවේ රෝගාබාධ අතින් තියෙන්නේ නරක තත්ත්වයක්. වැඩි දෙනෙක් එවැනි ආබාධවලින් පීඩා විඳිනවා. කොරෝනාවෛරසය අසාදනය වුනොත් එවැනි රෝගීන්ගේ තත්ත්වය තවත් බරපතල වෙනවා"

එවැනි දූපතක වැසියෙක් බරපතල ආබාධයකට ගොදුරු වුනොත්, විදේශයකට යැවීමට සිදුවෙයි. එහෙත් වඩා පහසුවන්නේ එවැනි තත්ත්වයක් මතුවීමට ඉඩ නොදී දේශසීමා වසාදමීමය.

එබැවින් හැකිතාක් කල් කොරෝනාවෛරසය එක වැසියෙකුට හෝ බෝවීමට ඉඩ නොදී පාලනය කර ගැනීම වැදගත් බව වෛද්‍ය කොලින් ටුකුයිටොන්ගා පෙන්වා දෙයි.

"මහා සයුරකින් කොටු වී සිටීම, කුඩා සංඛ්‍යාවක් වූ එම දූපත්වසීන්ට සදාකාලික ප්‍රශ්නයක් වී තිබුනත්, අද එය ඔවුන්ට රැකවරණයක් වී ඇතැ"යි වෛද්‍යවරයා කියා සිටියි.

මහ සයුරින් නොව, ගොඩබිම් දේශසීමාවලින් වටවී ඇති කුඩා රාජ්‍යයන් කීපයක් ද තවමත් කොරෝනා වෛරසයෙන් ඈත තත්ත්වයක පවතී.

මලාවියත් සූදානමින්....

166000a413124719bd4521e5b219293aනැගෙනහිර අප්‍රිකාවේ මිලියන දහ අටක් ජනතාව වාසය කරන ගොඩබිමින් වට වූ රටක් වන මලාවි (Malawi) රාජ්‍යයේ පළමු ආසදිතයා වාර්තා වුනේ, පසුගිය අප්‍රියෙල් 03 - බ්‍රහස්පතින්දාය. දැන් ඔවුහු අභියෝගයට මුහුණදීමට සූදානමින් සිටිති.

පාසල් වසා දමමින්, පසුගිය මාර්තු 20 දිනට පෙර නිකුත් කර තිබුණ සියලු වීසා අවලංගු කළ මලාවි පාලනය, රටතුළ 'ආපදා තත්ත්වයක්' ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත්තේය.

එරට සිදු කෙරෙන කොවිඩ්-19 පරීක්ෂණ වේගවත් කරනු ලැබ ඇතැයි ලිවර්පූල් සරසවියේ ඝර්ම කලාපීය වෛද්‍ය සායන අංශයේ මහජන සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ වෛද්‍ය පීටර් මැක්ෆර්සන් (Dr Peter MacPherson) පවසයි.

ඔහු මලාවි රාජ්‍යයේ සිට සිය සේවය ඉටු කරයි.

මලාවි රාජ්‍යය මෙම කොරෝනා වෛරසයට එරෙහිව සටන් වදින බවට වෛද්‍යවරයා තුළ දැඩි විශ්වාසයක් පවතී.

"කොරෝනාවෛරසය හැම රටක්ම ආක්‍රමණය කරාවි කියල ලැබෙන සාක්ෂිවලින් ප්‍රකාශ වෙනවා. ලෝකයේ Covid-19 වෛරසයට ගොදුරුවෙන අන්තිම රට මලාවි වෙන්න බැරිද?" එය වෛද්‍ය පීටර් මැක්ෆර්සන් පළ කරන අදහසයි.

"අන්තිමටම කොරෝනාවෛරසයට ගොදුරුවිය හැකි කලාපය දකුණු ශාන්තිකර කලාපය වනු ඇතැයි පෙනීයන බවට" සවුතැම්ප්ටන් (Southampton) සරසවියේ ජනගහන අවකාශය සහ වසංගත රෝග පාලනය පිළිබඳ විද්‍යාංශයේ මහාචාර්ය ඇන්ඩි ටෙටම් (Andy Tatem) අනාවැකි පළ කරයි.

"ඒත් අද පවතින ආර්ථික ගෝලීයකරණය තුළ මේවගේ පැතිරයමින් පවතින වසංගත රෝගයකින් බේරීමට කිසිම රටකට හැකිවනු ඇතැයි මට සහතිකයක් නැහැ"

නාවුරු දූපත මෙන් රට වසා තැබීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වුනත් , ඔවුන්ටත් සදාකාලික ගැළවීමක් නැති බවත් මහාචාර්යවරයා සඳහන් කරයි.

"එම දූපත් රාජ්‍යයන් වැඩිවශයෙන් රඳා පවතින්නේ පිටරටින් ආනයනය කරනු ලබන දේ මත. ආහාර හෝ වෙනත් බඩු භාණ්ඩ. එහෙමත් නැත්නම් සංචාරක කර්මාන්තය. අනිත් අංශය තමයි, ඔවුන්ගේ නිෂ්පාදන අපනයනය කිරීම. ඔවුන්ට රට සහමුලින්ම වසා තබන්න පුළුවන්. ඒකෙන් පාඩු සිද්ධවෙනවා. අන්තිමේ දී සිද්ධ වන්නේ රට විවෘත කිරීමට සිදුවීම"

"වසා තබනු ලැබීම සෞඛ්‍යය අතින් ඉතා හොඳයි. නමුත් අද ලෝකයේ විශාල ජනකායක් ඉක්මණින් වෙනස්වෙන සුළුයි. අපට මේ වෛරසයත් එක්ක එක්තරා කාල පරිච්ඡේදයක් සටන් කරන්න සිදුවේවි" යනුවෙන් මහාචාර්ය ඇන්ඩි ටෙටම් වැඩිදුරටත් සඳහන් කළේය.

(බීබීසී සිංහල සේවය - BBC පුවත් සේවයේ ඔවන් අමොස් විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්