theleaderlk 01

වෙරිටේ රිසර්ච් ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන යටිතල පහසුකම් විමසුම වේදිකාවේ 2024 අලුත් කිරීමට අනුව මෙරට

ක්‍රියාත්මක මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන තොරතුරු ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කර නොමැති බව අනාවරණයවි ඇති බව එම ආයතනය විසින් නිවේදනය කරනු ලැබ ඇත.

වෙරිටේ රිසර්ච් ආයතනය එම නිවේදනය නිකුත් කර ඇත්තේ අද දින (01) මාධ්‍යහමුවක දී ය.

ව්‍යාපෘතිවල සමස්ත වටිනාකම රුපියල් ට්‍රිලියන 1.01ක්

එම නිවේදනයට අනුව 2024 වසර වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 50ක් මෙම වේදිකාවේ යටතේ විමසුමට ලක්කර ඇත. එම සංවර්ධන ව්‍යපෘති 21ක් දේශීය ණය සහ ප්‍රදානයන් යටතේ ද, 29ක් විදේශීය ණය සහ ප්‍රදානයන් යටතේ ද, ක්‍රියාත්මක වන බවත්, මෙම ව්‍යාපෘතිවල සමස්ත වටිනාකම රුපියල් ට්‍රිලියන 1.01ක් වන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය වැඩි දුරටත් අවධාරණය කරයි.

2016 වසරේ තොරතුරු දැනගැනීමේ පණතෙහි වගන්ති අංක 9 ප්‍රකාරව ව්‍යාපෘතියකට අදාළ තොරතුරු කාණ්ඩ 5ක් යටතේ ප්‍රසිද්ධ කළ යුතු බවත්, ව්‍යාපෘතියේ විස්තර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පදනම සහ ප්‍රතිලාභීන්ගේ විස්තර, ව්‍යාපෘතියේ අයවැය සහ මුල්‍ය වාර්තා, ව්‍යාපෘතියට අදාළ අනුමැතීන්, ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන තොරතුරු සහ කොන්ත්‍රාත්තු, යනාදිය එම කාණ්ඩ පහට අයත් බව වෙරිටේ රිසර්ච් ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.


තොරතුරු හෙළි නොකිරීම වංචා සහ දූෂණවලට ඉනිමං තැනීමක්

එම ආයතනයේ අධ්‍යයනයට අනුව මෙම කාණ්ඩ යටතේ සමස්ත තොරතුරු ජනතාවට හෙළි කර ඇති ප්‍රතිශතය 36%ක් පමණ අඩු මට්ටමක පවතී. ප්‍රසම්පාදනය සම්බන්ධ තොරතුරු පමණක් සැලකුවහොත්, එනම් ව්‍යාපෘතියකට කොන්ත්‍රාත්කරුවන් තෝරාගත් ආකාරය, අරමුදල් සපයාගැනීමේ දී, එකඟ වූ කොන්දේසි ආදී තොරතුරු හෙළි කිරීම 21%ක් තරම් අවම බව ද මෙම අධ්‍යනයෙන් හෙළි වී ඇති බව එම ආයතනය පවසයි.

තොරතුරු හෙළි නොකිරීම වංචා සහ දූෂණවලට ඉනිමං තැනීමක් බවත්, මහා පරිමාණයෙන් මුදල් ගැවසෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය සැලකූ විට එය වඩා බරපතළ වන බවත්, එතැන වන අකටයුතුකම් රටේ ආර්ථිකයට ද, සෘජුවම බලපාන බව ද එම ආයතනය අවධාරණය කරයි. එම හේතුවෙන් ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිසි මාවතට ගැනීමට ප්‍රසම්පාදන ක්‍රියාවලියේ වංචා සහ දූෂණ අවම කිරීමට කටයුතු කිරීම ඉතා වැදගත් බව මෙරට සිවිල් සමාජ සංවිධාන මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද, පෙන්වා දී ඇති බවත්, එහිලා ගත හැකි වැදගත් පියවරක් වන්නේ එම ක්‍රියාවලියේ විනිවිදභාවය වැඩි කිරීම බවත් වෙරිටේ රිසර්ච් ආයතනය යෝජනා කරයි.

ගෙවුණු වසර ගණනාව පුරා දේශපාලන නායකයින් වංචාව සහ දූෂණය මර්දනය කරන බවට නොයෙක් පොරොන්දු දුන්න ද, ඒ කිසිවක් යථාර්තයක්ව නොමැති බවත්, ව්‍යාපෘතියකට අදාළ ප්‍රසම්පාදන තොරතුරු නිසි ලෙස ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකාව තවමත් අපොහොසත් වී ඇති බවත් එහි සඳහන් වේ.

ජනපතිවරණ වේදිකාවේ දෙන පොරොන්දු සැබෑවටම ඉටු කිරිමට නම්...

2024 ජනපතිවරණ වේදිකාවල ද, මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති ඇතැම් ප්‍රතිපත්ති ප්‍රකාශවල ද, වංචාව හා දූෂණය මර්දනය කරන බවට වන නොයෙක් පොරොන්දු දී තිබුණ ද බලය පැමිණි පසු අඩුම තරමින් තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව ව්‍යාපෘති සම්බන්ධ සියලු තොරතුරු ප්‍රගාමීව ජනතාවගේ දැනගැනීමට ප්‍රසිද්ධ කරන්නේ නම් එය ජනපතිවරණ වේදිකාවේ දුන් පොරොන්දු සැබෑවටම ඉටු කිරීමක් වනු ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙම කාර්යය සඳහා විදේශ ණය සහ ප්‍රදාන ලබාදෙන ආයතන සහ විදේශ රජයන්ට ද, රුකුල් දීමට අවස්ථාවක් පවතින බවත්. විදෙස් ණය සහ ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන සම්බන්ධයෙන් වන තොරතුරු හෙළි කිරීමත් අවම මට්ටමක පවතින බවත්, තමන් අරමුදල් සපයන ව්‍යාපෘතිවල තොරතුරු රටේ තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව ප්‍රසිද්ධ කරන බවට කැපවීමක් ශ්‍රී ලංකා රජයෙන් ලබාගැනීමට ඔවුන්ට හැකි බවත් ඒ හරහා, මෙරට දූෂණය පිටු දැකීමේ කර්තව්‍යයට මහගු දායකත්වයක් ලබාදීමට විදෙස් ආයතන සහ රජයන්ටත් හැකි වන බව එම නිවේදනයේ සඳහන් වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා https://dashboards.publicfinance.lk/infrastructure-watch/sh/ වෙබ් අඩවියට පිවිසෙන ලෙස වෙරිටේ රිසර්ච් ආයතනය ආරාධනා කරයි.

(සටහන - ජයසිරි අලවත්ත)

pe2024 2

worky sin

නවතම පුවත්