theleaderlk 01

ඉන්දියාවෙන් ඖෂධ 37ක් ගෙන්වීම සඳහා සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ඉවත්කර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩල කාර්යාලයට දැනුම් දී තිබේ.

සෞඛ්‍ය ඇමැතිවරයා අගෝස්තු මස 13 වැනිදා අංක 24/ 1673/ 610/ 068 යටතේ මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

මෙම කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කළ ඖෂධ 37ක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකර මෙරටට ගෙන්වීමට සුදානම් වන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දුන්හ.

ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයා පසුගිය සිකුරාදා (30) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ගුණාත්මකභාවයෙන් තොර කිසිදු ඖෂධයක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් ලබාගැනීමට කටයුතු නොකරන බවය.

තවද ලියාපදිංචි නොකළ ඖෂධ ආනයනය නොකරන බවද ඇමැති රමේෂ් පතිරණ අවධාරණය කර සිටියේය.

මෙම මාධ්‍ය හමුවෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩල කාර්යාලයට දැනුම් දී ඇත්තේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ඇමැතිවරයා ඉවත්කර ගන්නා බවය.

 

ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පුබුදු ජයගොඩ වෙන්නප්පුවේ පෙරේදා (31) පැවති ජන රැලියකදී කියා සිටියේ එම කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක වූවා නම් අඩසියවසක් පැරණි රාජ්‍ය ඖෂධ සංස්ථාව ස්වභාවික මරණයකට ලක්ව මෙරටේ දේශපාලන ස්වාධීනත්වයට පවා බලපෑම් එල්ල වීමට ඉඩ තිබු බවය.

 

‘‘අපි මේකට විරුද්ධ වෙද්දී සමහර අය කිව්වා ජනාධිපතිවරණය එනතුරු බලමු, ආණ්ඩු මාරුවක් කර පසුව ප්‍රශ්නය විසඳා ගමු කියලා. නමුත් ජනතාව අතර මතයක් ගොඩනැගීම නිසා අදා ඒ උත්සාහය හකුළා ගන්න ආණ්ඩුවට සිදුව තිබෙනවා. අද පත්තරවල වාර්තා කර තිබෙන්නේ රමේෂ්ගේ තීරණය රනිල් වෙනස් කළා කියලා. රනිල් බබාද? මේ කැබිනට් පත්‍රිකා සාකච්ඡා වුණු කැබිනට් මණ්ඩල රැස්වීම්වල මුලසුනේ හිටියේ රනිල්. එයා නොදැන ඒවා එනවා නෙවෙයිනේ. නිදහස් සෞඛ්‍යය සේවය ඇතුළු ජනතා අයිතිවාසිකම් දිනා ගන්නනම් පාර්ලිමේන්තුව, ජනාධිපති මත විශ්වාසය නොතබා ජන මතයක්, ජන බලයක්, ජනතා ක්‍රියාකාරීත්වයක් ගොඩනැගිය යුතුයි. මේ ජනාධිපතිවරණයේදී ඔබ ඡන්දය භාවිත කළ යුත්තේ ඒ ජනතා අයිතීන් පිළිගන්නා හා ඒවා ආරක්ෂා කරන ප්‍රතිපත්තියකට.’’ යැයිද හෙතෙම කීවේය.


(aruna.lk -චාමර පල්ලේගෙදර)

pe2024 2

worky sin

නවතම පුවත්