රටේ සංවර්ධන ක්‍රියාදාමය වඩා කාර්යක්ෂමව සහ විනිවිද භාවයෙන් ක්‍රියාත්මක කරමින් තම ආණ්ඩුවක් යටතේ වසර තුනක් ඇතුළත
වංචාව සහ දූෂණය අවසන් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.
හෙතෙම මෙලෙස අවධාරණය කළේ අද කොළඹ ITC රත්නදීප හෝටලයේ පැවති ‘‘නාමල් දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශය සමාජ ගතකළ අවස්ථාවේ දී ය.
වංචාව සහ දූෂණය ඇතැමුන්ගේ සටන් පාඨයක් බවට පත්වුව ද එය අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව පවසන නාමල් රාජපක්ෂ රට ගොඩනැගිමට හැකියාවක් සහ වුවමනාවක් තිබෙන දේශපාලන බලවේගය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ ජනතාව වෙනුවෙන් දියුණු රටක් ගොඩනැගීමට කටයුතු කරන බව ද, ඒ සඳහා ශක්තිය ලබාදෙන ලෙස සියලු දෙනාටම ආරාධනා කරන බවද පැවසී ය.
පිටු 45 කින් සමන්විත එම ප්‍රතිපත්ති ප්‍රකාශය 2025 - 2035 දක්වා ක්‍රියාත්මක කෙරෙන පක්ෂයේ වැඩපිළිවෙල ‘‘ඔබ වෙනුවෙන් දියුණු රටක්’’ යන තේමාව යටතේ ඉදිරිපත්කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයේ දී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...
රටේ ඒකීයත්වය පිළිබඳව කොන්දේසි විරහිතව සටන් කරනවා
‘‘මට මේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අපේ පක්ෂයේ නිර්මාතෘවරයාට, නායකයාට වගේම පක්ෂයට මුලින් ම මගේ ස්තුතිය පිරිනමනවා. එදා එස්. ඩබ්ලිව්. ආර්. ඩී.බණ්ඩාරනායක මහතාත්, ඩී. ඒ. රාජපක්ෂ මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟුවේ පංච මහා බලවේගය කේන්ද්‍ර කරගෙනයි; එවකට තිබුණු ආණ්ඩුව තුළ මේ රටේ රෙද්ද බැනියම ඇඳපු, සංස්කෘතියට ගරු කරපු, බෞද්ධ සංස්කෘතිය අතින් ගොඩනැගුණු දේශපාලන බලවේගයක් අවශ්‍ය වූ නිසයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කළා. අපටත් වගකීමක් තිබෙනවා අපි නියෝජනය කරන දේශපාලන කඳවුර ආරක්ෂා කරන්න. ඒක මේ රටේ ඒකීයත්වය පිළිබඳව කොන්දේසි විරහිතව සටන් කරන, විශ්වාස කරන, බෞද්ධ සංස්කෘතිය මත ගොඩනැඟුණු ජනසමාජයක් ආරක්ෂා කළයුතුයි කියලා විශ්වාස කරනවා වගේම දේශීය ආර්ථිකය ගොඩනැගීම තුළින් අපේ මාතෘ භූමියේ ආර්ථිකය ගොඩනැගිය හැකියි කියා අපි දැඩිසේ විශ්වාස කරනවා.
අපි, රට ගැන හිතන දේශපාලන තීන්දු ගත්තා
මෙවර ජනාධිපතිවරණයේ දී මටත් අපේ පක්ෂයටත් ඒ වගකීම ඉටුකරන්න යුතුකමක් තිබෙනවා. අපි පටු දේශපාලන අරමුණුවලට තමන්ගේ වගකීම් පැහැර හැරි දේශපාලන බලවේගයක් නොවෙයි. අපි හැම අවස්ථාවක ම රටේ වගකීම් දරපු, වගකීම් ජයග්‍රහණය කළ දේශපාලන බලවේගයක්. තිස් අවුරුද්දක යුද්ධයක් අවසන් කළ දේශපාලන බලවේගයක්. කොවිඩ් දහනමය වසංගතයට මුහුණදුන් දේශපාලන බලවේගයක්. ඒ වගේම තමයි යම් කුමන්ත්‍රවලින් අපේ බලවේගය පරාජය කරන්න උත්සාහ කළත් අපි නිරන්තරයෙන් කඳවුරත් බලවේගයත් ආරක්ෂා කිරීම සඳහා රට ගැන හිතන දේශපාලන තීන්දු ගත්ත බලවේගයක්. නූතන පරම්පරාව නියෝජනය කරන පුද්ගලයෙක් ලෙස අපේ රට දියුණු රටක් බවට පත්කිරීමේ වගකීම අපි සතුව තිබෙනවා. ඒ හැකියාව අපි සතුව තිබෙනවා.
ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දුන්නේ අපි
ඊළඟ වසර දහය ඇතුළත අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතය දෙගුණයක් බවට පත්කළයුතු වෙනවා. ඒ සඳහා ඉලක්කගත වැඩපිළිවෙලක් සමග අපි ඉදිරියට යායුතු වෙනවා. දෙදහස් පහ වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා මේ රට බාර ගන්නා විට ඩොලර් බිලියන විස්සක තිබුණු ආර්ථිකය ඩොලර් බිලියන අසූ පහක් දක්වා වර්ධනය කරන්න සමත්වුණා. එය දෙදහස් පහළවෙන් පසුව අද දක්වා තවමත් එම සීමාවේ රඳා පවතිනවා. නූතන පරම්පරාවේ සිටින අයෙකු ලෙස බිලියන අසූ පහක ආර්ථිකය බිලියන එකසිය අසූවක් දක්වා පරිවර්තනය කිරීමේ වගකීම අපි බාර ගන්නවා. අපි නූතන පරම්පරාව නියෝජනය කරනවා. ඩිජිටල්කරණය තුළින් මේ රටේ බොහෝ ගැටලුවලට විසඳුම් සොයා ගන්න පුළුවන්. රාජ්‍ය සේවය ගෞරවාන්විත රාජ්‍ය සේවාවක් බවට පත්කරනවා වගේම දේශපාලන මැදිහත්වීමකින් තොරව රාජ්‍ය සේවයේ මාරුවීම්, වැටුප් වැඩිවීම් පිළිබඳව විනිවිදභාවයකින් යුතුව කටයුතු කරනවා වගේම රජයක් විසින් පුරවැසියන්ට සපයන සේවාවන් ඩිජිටල්කරණය තුළින් සැබෑවටම පෝලිම් යුගය අවසන් කරන්න පුළුවන් වෙනවා. ඒ සඳහා ඩිජියල් යාන්ත්‍රණයක් හරහා මාතෘභූමියේ ජනතා සේවාවන් පරිවර්තනය කළයුතු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ මම තාක්ෂණ ඇමැතිවරයා වශයෙන් අපි ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දුන්නා. නමුත් දෙදහස් විස්සෙ සිට එය ක්‍රියාත්මක වුණෙ නැහැ. අපි පිහිටුවන ආණ්ඩුවක් තුළ පළමු මාස හය තුළ අපි හඳුන්වාදුන් ඩිජිටල් හැඳුනුම්පත හරහා මේ රටේ සමස්ත රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරා රැගෙන යන්නත් ජනතා සේවාවන් ඩිජිටල්කරණයට පරිවර්තනය කිරීමේ වගකීමත් බාර ගන්නවා.
වක්‍ර බදු වෙනුවට සෘජු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා
මේ රටේ බදු ප්‍රතිපත්තිය: ජාත්‍යන්තරව, ජාතිකව හෝ සංවිධානයක් මත යැපෙන බදු ප්‍රතිපත්තියක් බවට පත්ව තිබෙනවා. එය සරල වියයුතු වෙනවා. අපි ගෙවන බදු වර්ගීකරණය අඩු වියයුතු වෙනවා. ඒ බදු වර්ග අඩු කරනවා වගේම බදු ගෙවන ප්‍රමාණය වැඩිකළ යුතු වෙනවා. ඒ සඳහා ජාතික හැදුනුම්පත ඩිජිටල්කරණය තුළින් බදු ව්‍යුහය වැඩිකර ගැනීමට අපිට මධ්‍යකාලීව හැකියාව ලැබෙනවා. ඒ වගේම ජනතාවට දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් අපි අනුගමනය කළයුතු වෙනවා. රාජ්‍ය දේපල විකිණීමෙන් පමණක් අසාධාරණ බදුවලින් පමණක් රාජ්‍ය ආදායම වැඩිකළ හැකියි කියන මානසිකත්වයෙන් මිදිය යුතු වෙනවා. වක්‍ර බදු වෙනුවට සෘජු බදු ප්‍රතිපත්තියකට අපි හැකිතාක් පරිවර්තනය කළයුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ඉදිරි මාස කිහිපය තුළ අපි ක්‍රියාත්මක කරනවා. රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය වගේම ටෙන්ඩර් පටිපාටිය තරගකාරී ලන්සු ක්‍රමයට පරිවර්තනය කිරීම තුළින් රටේ බැංකු පද්ධතියෙන් පිටත ඇති ආර්ථිකය බැංකු පද්ධතිය තුළට පරිවර්තනය කිරීම තුළින් එසේ නොමැති නම් ග්‍රේ ඉකොනොමි එකට පරිවර්තනය කිරීම තුළින් මේ රටේ වංචාව හා දූෂණය යන සටන් පාඨය අවම කරන්න පුළුවන්.
වංචාව හා දූෂණය අතුගා දානවා
අවුරුදු තිහක් යුද්ධය කියන කාරණය මත දේශපාලඥයන් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූවා. සමහර නායකයින් සාමය ගේන්න පත්වුණා. තවත් අය ගිවිසුම්වලට පත්වුණා. සාම සාකච්ඡා සඳහා පත්වුණා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා පැහැදිලිවම අවුරුදු තුනක් තුළ රට සංවර්ධනය කළ පමණක් නොව මේ රටේ සියලු ජාතීන්ට ආගම්වලට ආරක්ෂා වන පරිදි තිරසාර සාමයක් රටට උදාකර දුන්නා. ඒ වගකීම අවුදුරු තුනකින් අවසන් කළා. ඒ හා සමානව මැතිවරණ වේදිකාවෙන් සාමය නිදහස කියන සටන් පාඨය ඉවත් වුණා. නූතන පරම්පරාව නියෝජනය කරන දේශපාලඥයෙක් ලෙස අපි ඩිජිටල් යාන්ත්‍රණයට මේ රටේ ජාතික ආර්ථිකය පරිවර්තනය කිරීම තුළිනුත් ප්‍රසම්පාදන ක්‍රමවේදයන් ටෙන්ඩර් පටිපාටිය තරගකාරී ක්‍රමවේදයට පරිවර්තනය කිරීම තුළිනුත් රටේ බැංකු පද්ධතියෙන් පිටත වන ගණුදෙනු බැංකු පද්ධතියට පරිවර්තනය කිරීම තුළින් වසර තුනක් ඇතුළත වංචාව හා දූෂණය කියන සටන් පාඨය මැතිවරණ වේදිකාවෙන් අතුගා දාන්න කටයුතු කරනවා. එදා බොහෝ අය හිතුවා වරාය නගරය හැදුවේ සැලසුමක් නොමැතිවයි කියලා. නෙළුම් කුලුණ හැදුවෙත් සැලසුමක් නැතිවයි කිවුවා. නමුත් අපිට දිගුකාලීන සැලසුමක් තිබුණා.
සෘජු සහ වක්‍ර රැකියා ලක්ෂ විස්සක් දෙනවා
අපි අදටත් විශ්වාස කරනවා දකුණු ආසියාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් ගණුදෙනු කරන මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ගණුදෙනු කේන්ද්‍රස්ථානයක් බවට කොළඹ වරාය නගරය පරිවර්තනය විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය නීති රෙගුලාසි ක්‍රියාත්මක කළයුතුයි. කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගත් රට පුරා ඉදිවීමට නියමිත තාක්ෂණ ගම්මාන නෙළුම් කුළුණ පදනම් කරගෙන නිර්මාණය වන නවීන නූතන ලෝකයේ තාක්ෂණික විප්ලවයත් සමග අපිට ඊළඟ අවුරුදු දහය ඇතුළත සෘජු සහ වක්‍ර රැකියා ලක්ෂ විස්සක් අපේ රටේ නිර්මාණය කිරීමට කටයුතු කරනවා. ලංකාවේ ජාත්‍යන්තර තලයේ ආර්ථික ගණුදෙනුවලට බැංකුකරණයේ මූලස්ථානයක් බවට පරිවර්තනය කරනවා. එදා වරාය නගරය හැදුවේ සෘජු දැක්මක් ඇතිවයි. අද අපේ රටේ ව්‍යවසායකයන් විශාල ලෙස අපහසුතාවයට පත්ව සිටිනවා. නොයෙක් කාරණා තිබෙනවා. ඒ ඇතුළත නූතන පහසුකම් පිළිබඳ විශාල අභියෝගයක් තිබෙනවා.
සංචාරකයන් මිලියන දහයක ආකර්ෂණයක්
බැකුවලින් දෙන පොලී අනුපාතය පිළිබඳව ගැටලුවක් තිබෙනවා. අපේ රටේ සමූපකාර බැංකු ක්‍රමය ඉතාම ශක්තිමත්. ග්‍රාමීය බැංකු ක්‍රමය ශක්තිමත් කිරීම සඳහා රජය මැදිහත් විය යුතුයි. අපි පිහිටුවන ආණ්ඩුවකින් ග්‍රාමීය බැංකුවලට අවශ්‍ය මූල්‍ය දායකත්වය ලබාදෙනවා පමණක් නොව අඩු පොලියට ග්‍රාමීය සහ සමූපකාර බැංකුව හරහා ව්‍යවසායකයාට අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධය ලබාදෙන්නත් අපි කටයුතු කරනවා. ඒ තුළින් මේ රටේ රැකියා උත්පාදනය, ප්‍රවර්ධනය වගේම යැපෙන්නන්ගේ ආර්ථිකයක් වෙනුවට අපේ රට තුළ ගොඩනැගිය හැකි වෙනවා. සංචාරක ව්‍යාපාරය පිළිබඳව බොහෝ අය කතා කරන්නේ අපි ලක්ෂ විස්සක්, තිහක්, හතළිහක්, පනහක් ගේනවා කියන කාරණය යි. එසේ කතා කරන අයට ගුවන් සේවාවන් ගුවන් තොටුපළ, වරාය කේන්ද්‍ර කරගත් මගී පර්යන්ත සංවර්ධනය කරනවිට ඒ පිළිබඳව සුබවාදීව බලන්නේ නැහැ. අපේ රටේ මත්තල, කටුනායක, යාපනය ගුවන් තොටුපළවල් වගේම කොළඹ, ගාල්ල, හම්බන්තොට, ත්‍රිකුණාමලය වරායන් කේන්ද්‍ර කරගත් මගී පර්යන්ත අපි සංචරක ව්‍යාපරයට වගේම ගෝලීය මගී ප්‍රවාහන පහසුකම් සඳහා අවම වශයෙන් ඊළඟ අවුරුදු පහළව තුළ මගීන් මිලියන අසූවකට සේවා සපයන මධ්‍යස්ථානයක් බවට අපේ රට පරිවර්තනය කරනවා. ඒ තුළින් සංචරක ව්‍යාපාරයට අවශ්‍ය මිලියන පහක දහයක සංචාරකයන් ප්‍රමාණයක් අපේ රටට ආකර්ෂණය කරගත හැකි වෙනවා.
වවන්න පුළුවන් හැම අඟලක් ම වවනවා
බලශක්තිය පිළිබඳව අද බොහෝ අය කතා කරනවා. මැතිවරණ වේදිකාවල සටන් පාඨයක් බවටත් පත්ව තිබෙනවා. බලශක්ති සුරක්ෂිතතාවය පිළබඳව බොහෝ අය සාකච්ඡා කරන්නේ නැහැ. උමා ඔය, සාම්පූර් බලශක්ති ව්‍යාපෘති අපේ රටේ ආරම්භ කළේ බලශක්ති සුරක්ෂිතතාවය ආරක්ෂා කරන්නයි. දෙදහස් පහළව විස්ස කාලය තුළ බලශක්ති සුරක්ෂිතතාවය ආරක්ෂා කර තිබුණා නම් අද මැතිවරණ වේදිකාවල සටන් පාඨයක් විදියට පාවිච්චි කරන අයට එය පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. අපි පිහිටුවන ආණ්ඩුවක් තුළ අපේ රටේ බලශක්ති සුරක්ෂිතතාවය ආරක්ෂා කරනවා පමණක් නොව හරිත තාක්ෂණයට රට පරිවර්තනය කරමින් පෞද්ගලික අංශය සමග බලශක්තිය අපනයනය කරන ආර්ථිකයක් බවට අපේ රට පර්වර්තනය කරනවා. අපේ රටේ වවන්න පුළුවන් හැම භෝගයක් ම වගා කළයුතු වෙනවා. මුහුදෙන් හසුවන මාළු විදේශවලින් ගෙනත් වැඩක් නැහැ. අපේ ප්‍රතිපත්තිය මේ රටේ වවන්න පුළුවන් හැම අඟලක් ම වගා කළයුතු වෙනවා. අපේ මුහුදෙන් හසුවන මාළු අපි පිටින් ගේනවා වෙනුවට අපේ ධීවර ක්ෂේත්‍රය ආරක්ෂා කරන්න කටයුතු කරනවා.
ප්‍රඥාවක් කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමවේදයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ නාමල් රාජපක්ෂ අනුගමනය කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය යි. අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව බොහෝ අය කතා කරනවා. අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රඥාව කේන්ද්‍ර කරගත් අධ්‍යාපනය ක්‍රමයකට පරිවර්තනය කළයුතු වෙනවා. අපි රටේ ප්‍රශ්නවලට උත්තර සොයන්න ඕන. ලෝක රැකියා වෙළඳපළේ රැකියාවලට සරිලන ලෙස අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය පරිවර්තනය කළයුතු වෙනවා. අපි රැකියා ලක්ෂ විස්සක් මේ මාතෘභූමිය තුළත් ඉන් පිටතත් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ආයෝජකයන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ ආයෝජකයන්ගේ අයෝජන ඉලක්ක සහගත අයෝජනයවලට පරිවර්තනය වනවා වගේම රැකියා ලක්ෂ විස්ස බිහිකිරීමට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුගමනය කළයුතු වෙනවා. ඒ ප්‍රතිපත්තියට අපි හදන ආණ්ඩුවක් තුළ පරිවර්තනය වෙනවා. ප්‍රඥාවක් කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමවේදයක් වගේ ම, පොත පත අධ්‍යාපනය වගේ ම, නිපුණතාවය කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයකට තරුණ තරුණියන් යොමු කිරීමට අවශ්‍ය ගෞරවාන්විත අගය කිරීමක් කරන්න ආණ්ඩුවක් ලෙස අපි බලාපොරොත්තු වෙනවා.
සමෘද්ධි ලාභියා ව්‍යවසායකයෙක් කරනවා
අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ ගැටලු තිබෙනවා. යටිතල පහසුකම් සංවර්ධනය කළයුතු වෙනවා. ඒ සඳහා පුද්ගලබද්ධ සංවර්ධනය වෙනුවට අවශ්‍යතාවය හඳුනාගෙන ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ සංගම් සමග සාකච්ඡා කොට අවශ්‍යතාවන්ට සරිලන ලෙස අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කළයුතු වෙනවා. සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳව වැරැදි මතයක් තිබෙනවා. බොහෝ අය විශ්වාස කරන්නෙ රුපියල් පන්දහසක දීමනාවක් ලබාදෙන කාරණයක් කියලයි. සමෘද්ධි ව්‍යාපාරය තුළ දිවිනැගුමට එහා ගිය සංකල්පයක් තිබෙනවා. ව්‍යවසායකයන් හදනවා. අනෙක් පැත්තෙන් සුබසාධනය ලෙස බලා සමෘද්ධි ප්‍රතිලාභියාගේ පවුල් සංවර්ධනය කරනවා. සමෘද්ධි ලාභියා රැකියා ගතකිරීම අපේ ඉලක්කයයි. සමෘද්ධිලාභියා මේ රට තුළ ව්‍යවසායකයෙක් බවට පත්කරනවා. අපි පිහිටුවන ආණ්ඩුවක් තුළ සමෘද්ධි ව්‍යාපාරය ආරක්ෂා කරමින්, ශක්තිමත් කරමින් නවීකරණය කරා රැගෙන යනවා. අපි පාරම්පරික ආර්ථික සම්ප්‍රදායෙන් එළියට එන්න ඕන. අපි සාමප්‍රදායික ගණුදෙනු ක්‍රමවේදයෙන් එළියට එන්න ඕන.
අද ලෝකයේ ඩිජිටල්කරණය කරා ඉතාම වේගයෙන් ගමන් කරනවා. ඒ ඩිජිටල්කරණය හරහා ගොඩනැඟුණු ආර්ථික තිබෙනවා. එය අපේ රටේ තරුණ පරම්පරාවට ඉතාම සමීපයි. බොහෝ වෙලාවට අපි අනවශ්‍ය රෙගුලාසි හදුන්වා දීලා නිර්මාණශීලී ආර්ථිකය තුළ ඉන්න තරුණයාට සම්බාධක දමා තිබෙනවා. ඩිජිටල් ආර්ථිකය තුළින් තරුණයාට සම්බාධක දානවිට පිරමිඩ් කරන සමාගම්වලට සම්බාධක දැන්නේ නැහැ. ඒ අනුව රටතුළ සමස්තයක් ලෙස ඩිජිටල් ආර්ථිකය පිළිබඳ වැරැදි මතයක් ගොඩනැගී තිබෙනවා. යම් නියාමනයකට යටත්ව අපේ රට තුළ ගණුදෙනු කරන්න රෙගුලාසි නිර්මාණය කළයුතු වෙනවා. අද මුළු ලෝකයම එතනට ගමන් කරනවා. අපි අපේක්ෂා කරන දළ දේශීය නිෂ්පාදනය සමස්ත ආර්ථික පද්ධතිය සීග්‍ර වර්ධනයකට යන්න නම් නූතන ලෝකයේ ආර්ථික ගණුදෙනු සමග අපි ගමන් කළයුතු වෙනවා. අද මේ රටේ තරුණයන් අපේක්ෂා කරන්නේ එවැනි අලුත් සිතුම් පැතුම් එක්ක මාතෘභූමිය තුළ තමන්ගේ හෙට දවස ගොඩනගා ගන්නයි.
ගමයි පන්සලයි, වැවයි දැගැබයි නැවතත්
අපි හදන තරුණ ආණ්ඩුව, අපි හදන්නේ මේ රටේ අලුත් පරම්පරාවේ ආණ්ඩුවක්. අපි හදන්නේ මේ රට ආසියාවේ සංවර්ධිතම දේශය බවට පරිවර්තනය කරන ආණ්ඩුවයි. අලුතින් හිතන ආණ්ඩුවයි. වැඩිහිටියන්ට බය නැතිව තමන්ගේ දරුවන් සංස්කෘතිය කේන්ද්‍ර කරගත් සමාජය තුළ ගොඩනැඟෙනවා කියන විශ්වාසය වැඩිහිටියන්ට තමන්ගේ දරුවන්ට ගොඩනැගෙන දේශය බෙදුනු නැති ඒකීය රටක් ලෙස පවතින රටක් බවට තහවුරු කරන ආණ්ඩුවක්. අපි ගොඩනගන්නේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කරගත් සියලු ම සංස්කෘතීන් ආරක්ෂා කරන ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව තුළ අපි ගොඩනඟන රටේ ඊළඟ පරම්පරා බාරගන්නා දේමාපියන්ට සහ තරුණයන්ට තමන්ගේ හෙට දවස පිළිබඳ සුරක්ෂිතභාවයක් අවශ්‍ය වෙනවා. එක් පැත්තකින් මත්ද්‍රව්‍ය උවදුර, ළමා අපචාර, කාන්තා හිංසනය වැනි දේට නීති රෙගුලාසි අවශ්‍ය නම් අලුතින් හදමු. එවැනි සමාජ පර්වර්තනයකට අපි යා යුතු වෙනවා. ඒ සමාජ පරිවර්තනයට යන්න නම් මේ රටේ සමාජය නැවතත් ගමයි පන්සලයි, වැවයි දැගැබයි සම්බන්ධ වියයුතු වෙනවා. ගොඩනැඟිය යුතු වෙනවා. ගමේ අයත් සම්බන්ධ වියයුතු වෙනවා. ඒ සම්බන්ධතාවය ගොඩනඟන්න හැකි සහ වුවමනාවක් තිබෙන අවශ්‍යතාවය තිබෙන දේශපාලන බලවේගයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ ජනතාව වෙනුවෙන් දියුණු රටක් ගොඩනඟන්න කටයුතු කරනවා. ඒ සඳහා මේ සියලු දෙනාටම ආරාධනා කරනවා.’’
මේ අවස්ථාවේ දි ම ‘‘ඔබ වෙනුවෙන් දියුණු රටක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අතින් මහා සංඝරත්නය, මැති ඇමැතිවරු, විද්වතුන්, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්, කලාකරුවන් ඇතුළු විද්වතුන් වෙත පිළිගැන්වීම ද සිදු කළේ ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රාජ්‍ය ඇමැතිවරුන් වන ඉන්දික අනුරුද්ධ, තේනුක විදානගමගේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ප්‍රසන්න රණවීර, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, සරත් වීරසේකර, චමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජානක තිස්සකුට්ටිආරච්චි, ඩී. වීරසිංහ, ජයන්ත කැටගොඩ, මහාචාර්ය රංජිත් බණ්ඩාර ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.