රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග කිසිදු ජනාධිපතිධුර අපේක්ෂකයෙකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක සඳහන් කර නැතැයි
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසී ය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (02) කොළඹ පැවැති ‘පුළුවන් ශ්‍රී ලංකා’ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...
රට යථාවත් කළේ කවුද?
‘‘මීට වසර දෙකයි මාස තුනකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාරගන්න අවස්ථාවේ රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්වෙලා, විදෙස් සංචිත ඩොලර් මිලියන දහනමයක් දක්වා පහත බැහැලා, තෙල්, ගෑස්, බෙහෙත් ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට විදෙස් විනිමය නැතිව, ජනතාව දින ගණන් පෝලිම්වල හිටියා. ඒ තතත්වයෙන් රට බේරාගෙන රට යථාවත් කළේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා.
මේ අතරතුර අයි.එම්.එෆ් සංවිධානයේ පළමු වාරිකය ගන්න අවුරුද්දකට වැඩි කාලයක් ගතවුණා. ඇමරිකන් ඩොලර් බිලියන දෙකයි දශම පහක් ලබාදීමේ එකඟතාවය මත, වර්ෂයෙන් වර්ෂය ඩොලර් මිලියන තුන්සිය තිස්තුනේ කාණ්ඩ හැටියට ලබාදීම ආරම්භ කළා. අපි කොහොමද අපේ ආර්ථිකය මෙහෙයවන්නේ කියලා ඒ අය ඉතාම සුපරීක්ෂාකාරීව බලාගෙන හිටියා. එකඟතා කඩකරනවා ද කියලා බැලූවා. වසර දෙකක කාලයකින් ණය හිමි රටවල් සහ සංවිධාන සමග එකඟතාවයකට එන්න පුළුවන් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස නැවත වතාවක් ඉතිරි කාලසීමාව තුළ, දීලා තිබෙන ණය ආධාර ඉදිරියට ගෙනයාමට, අලුතෙන් ගන්නවා නම් ඒ ණය ගැනීමට.
මේ සියල්ල කිසියම් රාමුවක් තුළ කරන්න වෙන්නේ. ඒ අතරතුර වෘත්තීය සමිති අංශය වරින් වර අඛණ්ඩව වෘත්තීය අරගලවල යෙදුණා. එක අතකින් සාධාරණයි. වැටුප් වැඩිවීමක් අවශ්‍යයි. උද්ධමනය හැත්තෑ හය දක්වා වැඩිවුණා. දැන් ඒක අඩුවෙලා තියෙනවා. බැංකු පොලී අනුපාතය සියයට විසි අට දක්වා ගියා. අද සියයට දහයට පහළට ඇවිල්ලා. රටේ ආර්ථික වර්ධන වේගය ඍණ අතින් ධන අතට ඇවිත් තියෙනවා. මේවා ආර්ථික වශයෙන් රටක සංවර්ධනය පිළිබඳ මනින උපමාණ.
රට මේ තත්ත්වයට ගෙනාවෙ වෘත්තිය අරගල මැද්දෙ
ජනාධිපතිතුමා මේ සියලූ කරුණු සලකා බලලා රට ක්‍රමානුකූලව ඉදිරියට ගෙනෙන අතරතුර රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතාවය පිළිබඳ කමිටුවක් පත් කළා. ඒ හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියකු වන උදය සෙනෙවිරත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. දහ දෙනෙක් ඉන්නවා ඒ කමිටුව දෙදහස් විසි හතර මැයි මාසේ පත්කළේ. අගෝස්තු මාසයේ දොළොස් වෙනිදා ඒ කමිටුවේ අතුරු වාර්තාව ඉදිරිපත් කළා. එහි තුන අංකෙයෙන් කරුණු දහඅටක් ඉදිරිපත් කරල තියෙනවා. රජයේ සේවකයින්ගේ විවිධ කාණ්ඩ, එකම සේවාව තුළ විෂමතාවයන් , විවිධ සේවාවන් තුළ විෂමතාවයන් හටගෙන තිබුණා. වැටුප් වැඩිකිරීමත් සමග මේ විෂමතාවයන් ඉවත් කිරීමයි රජයේ පරමාර්ථය වුණේ. වෘත්තීය අරගල මැද්දේ තමයි රට මේ තැනට ගෙනාවේ. කමිටුව ඒ සඳහා තිබෙන නිර්ණායක උපමාණ පාදක කරගත්තා.
රාජ්‍ය සේවකයින්ගේ අද වැටුප් ගෙවන්න වාර්ෂිකව රුපියල් බිලියන එක්දහස් දෙසීයක් හා විශ්‍රාමිකයට රුපියල් බිලියන හාරසීයක් වැය වෙනවා. බලයට එන ඕනම ආණ්ඩුවකට අද තිබෙන මට්ටමේ වැටුප් ගෙවන්න නම් රුපියල් බිලියන එක්දහස් හයසීයක් මේකට වෙන් කරලායි අනික් කටයුතු පටන් ගන්න වෙන්නේ. මෙහෙම කරනකොට අපිට කොන්දේසියක් තිබෙනවා. රාජ්‍ය සේවක වැටුප දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට තුනයි දශම හතක ප්‍රතිශතයට තියාගන්න ඕනෑ. දල දේශීය නිෂ්පාදිතය හැත්තෑ පහට තියෙන අවස්ථාවේ එයින් වැය කරන්නේ හතයි දශම හතයි. දළ දේශීය නිෂ්පාදිතයේ අගය දැන් අසූ පහ වෙනකොට සියයට තුනයි දශම හතේ අගය ප්‍රමාණාත්මකව වැඩියි..
මෙහෙම කරනකොට අපිට කොන්දේසියක් තිබෙනවා. රාජ්‍ය සේවක වැටුප දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7 ප්‍රතිශතයට තියාගන්න ඕනෑ. දල දේශීය නිෂ්පාදිතය 75ට තියෙන අවස්ථාවේ එයින් වැය කරන්නේ 3.7යි. දල දේශීය නිෂ්පාදිතයේ අගය දැන් 85 වෙනකොට 3.7 අගය ප්‍රමාණාත්මකව වැඩියි..
24% සිට 50% දක්වා රාජ්‍ය සේවා වැටුප් වැඩි වීමක්
ඊළඟ අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදිතය අනුවට එයි කියලා පුරෝකථනය කරනවා. එහෙම කරන්න අපනයන වැඩිවෙන්න ඕනේ. නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ. ඒ අනුව දෙදහස් විසි පහට නියමිත අයවැය සකස් කරමින් තිබෙනවා. ඒ අයවැයට ඇතුළත් කිරීමෙන් පස්සේ ලබන වසරේ දෙදහස් විසිපහේ ජනවාරි පළවෙනිදා ඉඳලා මේ වැටුප් වැඩිවීම ක්‍රියාත්මක වෙනවා. ඒක සියයට විස හතරේ සිට සියයට පනහ දක්වා වූ පරාසයක් තුළ වෙනස් වෙනවා. මේක හුදු වැටුප් වැඩිවීමක් නෙවෙයි. රාජ්‍ය සේවයේ වසර ගණනාවක් තිබුණු විෂමතාවය ඉවත්කරමින් කරන වැටුප් වැඩි කිරීමක් නිසා තමයි මෙය මේ පරාසය තුළ සිදු වෙන්නේ.
මේ වැටුවිෂමතාවයට විසඳුම් ලබාදීම අවසන් වෙනකොට අවමය සියයට පනහ දක්වා වැඩි වෙන්නත් පුළුවන්. සම්මත කළ කැබිනට් පත්‍රීකාව කරුණු දෙකකට අනුමැතිය දුන්නා. අතුරු වාර්තාවේ තුනේ සිට දහ අට දක්වා කරුණු ප්‍රතිපත්තිම වශයෙන් ඒ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දුන්නා. ඒ වගේම අදාළ යෝජනා දෙදහස් විසි පහ වර්ෂයේ අයවැයට ඇතුළත් කිරීමට අනුමැතියත් දීලයි මේ සම්බන්ධයෙන් වාර්තා නිකුත් කළේ. අයි.එම්.එෆ් එක දෙදහස් විසි පහේ අයවැය ලේඛණය දැකසීමේ දී සහයක් ලෙස ඩොලර් මිලියන හත්සීයක් ලබා දෙන්න නියමිතයි. දෙදහස් විසි හය වෙනකොට ඩොලර් මිලියන හයසියක් ලබා දෙනවා. දෙදහස් විසි හත වෙනකොට ඩොලර් මිලියන පන්සීයක් දෙනවා. ඒ අයගේ ගාන අඩු වෙනකොට අපි නිෂ්පාදනය, ආයෝජන වැඩි කරගන්න ඕනේ.
වෘත්තිය නිපුණ අය බද්දෙන් නිදහස්
අප ඉදිරිපත් කළේ ප්‍රතිපත්ති ප්‍රකාශන මාලාවක් නෙවෙයි. අපි පවත්වාගෙන යන රජයක්. අපි කියන්නේ මේ මෙහෙයුම ඉදිරියට ගෙනයන බවයි. එහි දහසයවෙනි පිටුවේ බදු සහන සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. දැනට ක්‍රියාත්මක වන බදු ස්ථර අතර පරතරය පුළුල් කිරීමටත්, බදු ප්‍රතිශතය සංශෝධනය කිරීමටත් යෝජනා කරලා තියෙනවා. තව නොබෝ දිනකින් ඒ යෝජනා ක්‍රියාත්මක වෙනවා. ඒ යෝජනා අයි.එම්.එෆ් එකට යවලා ඒ අයගේ යෝජනා අපට එවලා තියෙනවා. ඒ ගැන තීන්දුවක් ගන්න දින කීපයක් ගතවේවි. වෘත්තිය නිපුණ අය බද්දෙන් නිදහස් කරන්න සේවා දිරි දීමනාවක් ගෙවනවා. අතුරු බදු හැකිතාක් දුරට අඩු කරනවා.
රාජ්‍ය සේවය ප්‍රධාන සේවා වට්ටම් හතරකට වෙන් කරලා, එක් එක් ඛාණ්ඩය සඳහා ඇති මාර්ග උපදේශ අනුව ප්‍රාථමික සේවාවන්වල එන්. වී.කියු තුනේ සිට වැටුප් ගැළපීමක් සිදුවෙනවා. සෙසු සේවාවන්වල අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් කියන දෙක ම එකට අරන් වැටුප් ගැළපීම කරනවා. එයින් සියලු ම රාජ්‍ය සේවකයින්ගේ ජිවන වියදම් දීමනාව රුපියල් විසිපන් දහසක් වෙනවා. රාජ්‍ය සේවයේ අවම ආරම්භක වැටුප ජීවන වියදම් දීමනාව සමග දළ වැටුප රුපියල් පනස් පන්දහසක් වෙනවා. එතනින් ඉහළට වැටුප් ගැළපීමක් වෙනවා. ව්‍යාපාරික ස්වරූපයේ රාජ්‍ය සමාගම්, බැංකුවලට මේක අදාළ නැහැ. ඒවායේ වෙනම වැටුප් වැඩිවීමේ ක්‍රමයක් තියෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල, ව්‍යවස්ථාපිත මණ්ඩල, සංස්ථා, රාජ්‍ය සේවය මේකට ඇතුළත් වෙනවා. සියයට විසි හතර අවමයත්, සියයට පනහත් ලෙස උපරිම පරාසයකින් වැටුප් වැඩිවීමක් කරන්නේ වැටුප් විෂමතාවය ඉවත් කරගන්නයි.
අනාගතයේ දී ගුරුවරු ලෙඩ වෙන එකක් නැහැ
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය තියෙන්නේ අවුරුදු විසි නමයක් තිස්සේ. මේ ප්‍රශ්නයට සම්පූර්ණ විසදුමක් මෙමගින් ලැබෙනවා. මෙතන සමස්ත රාජ්‍ය සේවයේ ම විෂමතාවය ඉවත්කිරිමක් සිදුවෙන නිසා දෙදහස් විසි පහේ ජනවාරි පළවෙනිදා සිට මෙය ක්‍රියාත්මක වීමත් සමග වෘත්තීය අරගල එන එකක් නැහැ කියලා අපි හිතනවා. ගුරුවරු, විදුහල්පතිවරු ලෙඩ වෙන එකක් නෑ. පන්ති කාමරවල දරුවන්ගේ අධ්‍යාපනය හොඳින් කරගෙන යන්න අපිට පුළුවන් වෙයි. විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ අනධ්‍යයන අයට ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නෙටත් මෙයින් විසඳුම ලැබෙනවා. විසඳුම් දෙනකොට මහාචාර්යවරුන්ට ප්‍රශ්නයක් එන්නෙත් නැහැ.
වැටුප වැඩිවෙනවාත් එක්ක දායකත්ව රක්ෂණ ක්‍රමවේදයක් එනවා. ආණ්ඩුවේ දායකත්වයයි රාජ්‍ය සේවකයින්ගේ රුපියල් දාහක අවම දායකත්වයක් එක්ක රක්ෂණ වැඩ පිළිවෙළක් සියලූම රාජ්‍ය සේවකයින්ට දෙනවා. එතකොට අවුරුදු ගණන් බයිපාස් කරන පෝලිමේ ඉන්න ඕන නෑ. රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික රෝහලකින් වුණත් ප්‍රතිකාර ගැනීමේ ක්‍රමවේදයකට යන්න පුළුවන්. ඒ රක්ෂණ ක්‍රමය ඉදිරි කාලයේදී විශ්‍රාමකින් හා සහ අනිත් අයට ලබා දෙන්න කටයුතු කරනවා.
වැටුප් වැඩි වෙන්නෙ මෙහෙමයි
ජීවන වියදම් දීමනාව රුපියල් විසි පන්දහසකින් වැඩි කරනකොට විශ්‍රාමිකයින්ටත් සියයට පනහක් ලැබෙනවා. ඊට අමතරව විෂමතාවය ගළපනකල් විශ්‍රාමිකයින්ට රුපියල් තුන්දහසක අතුරුදීමනාවක් දුන්නා. දෙදහස් විස්සට පෙර විශ්‍රාම ගත්ත අයගේ විෂමතා ඉවත් කිරීමත් මේකට පදනම් වෙලා තියෙනවා. මේකෙන් දැනට වෘත්තීන් දහයක වැටුප් වැඩිවීම ප්‍රකාශ කරලා තියෙනවා. උදාහරණ විදියට කාර්යාල කාර්ය සහායක තුන් වන ශ්‍රේණියට රුපියල් පන්දහස් හාරසිය පනහකින්, දෙවන ශ්‍රේණියට රුපියල් අට දහස් හත්සිය හැටකින්, පළවෙනි ශ්‍රේණියට දහදාස් නමසිය පනහකින්, විශේෂ ශ්‍රේණියට දහතුන් දහස් නමසිය අසුවකින්. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ තුන්වන ශ්‍රේණියට රුපියල් අටදහස් තුනිසිය හතළිහක්, දෙවන ශ්‍රේණියට එකොළොස් දහස් හයසිය අනූවක්, පළවෙනි ශ්‍රේණියට පහළොස් දහස් හයසිය අසූ පහක් වැඩිවෙනවා. වැඩිම පිරිසක් ඉන්න කළමණාකරණ සහකාර ක්ෂේත‍්‍රයේ තුන්වන ශේණියට රුපියල් දහ දහස් එකසිය හතළිහක්, පළවෙනි ශ්‍රේණියට දාහත් දහස් පන්සිය පනහකින් වැඩිවෙනවා. බඳවා ගත් සංවර්ධන නිලධාරීන් පනස් දෙදහසෙන් විසි තුන් දහසක් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට දාලා දහසය දහසක් ඉතුරුයි. ඔවුන් අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස බදවා ගැනීමට නියමිතයි. ඔවුන් උපාධිධාරින් නිසා සියලු ම සංවර්ධන නිලධාරීන් තුන්වන ශ්‍රේණිය දෙළොස් දහස් හත්සිය දහයකින්, පළවෙනි ශ්‍රේණිය විසිපන් දහස් එකසිය පනහකින් වැටුප් වැඩිවෙනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඔවුන්ගේ තුන්වන ශ්‍රේණියේ දෙළෙස් දහස් අටසිය අසූ පහකින්, පළවෙනි ශ්‍රේණිය විසිපන් දහස් දෙසිය හැත්තෑ පහකින් කින් වැඩිවෙනවා. විකිරණවේදීන් හා ඖෂධවේදීන්ගේ පළවෙනි ශ්‍රේණිය විසිපන් දහස් හත්සිය විස්සකින් වැඩිවෙනවා. හෙද නිලධාරීන් පළවෙනි ශ්‍රේණිය විසි හය දහස් එකසිය හැට පහකින් වැඩිවෙනවා. වෛද්‍යවරුන්ගෙත් ඒ අනුව වැඩිවෙනවා. විදුහල්පතිවරුන්ගේ තුන්වන ශ්‍රේණිය විසි තුන් දහස් හාරසිය විසිපහක්, දෙවන ශ්‍රේණිය විසි නමදහස් නමසිය තිස්පහක්, පළවෙනි ශ්‍රේණිය තිස්නම දහස් පන්සිය අනු පහ. විද්‍යාපීඨ ගුරුවරුන්ට දාහත් දහස් හාරසිය අසුවක්, උපාධි ගුරුවරුන්ගේ දහනම දහස් විසි පහකින් වැඩි වෙනවා. ගුරු සේවයේ තුන්වන ශ්‍රේණිය විසි දහස් හාරසිය විසි පහකින්, තුන්වන ශ්‍රේණිය තිස් අටදහස් විස්සකින් වැඩි වෙනවා. මේකෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විතරක් නෙවෙයි, ඊට ඉහළින් තියෙන ගුරු උපදේශක, අධ්‍යාපනඥ, අධ්‍යාපන පරිපාලන සේවයේත් සමානුපාතිකව වැඩි වීමක් වෙනවා. හැමෝටම සාධාරණයක් වෙනවා. ඉදිරියේදී සෙසු වෘත්තීන් සඳහා ද වැටප් වැඩිවීම හා විෂමතා ඉවත්වීම කමිටුව මගින් ප්‍රකාශයට පත් කරයි. මේ සදහා රුපියල් බිලියන දෙසිය පනහක් වැයවන බව ගණනය කරලා තියෙනවා.
කිසිම ප්‍රපත්ති ප්‍රකාශනයක වැටුප් විෂමතාවට විසඳුම් නෑ
බජට් එකට ලැබෙන අයි. එම්. එෆ්. සහයෝගයත් සමග අපට මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්. දෙදහස් විසි පහ පදනම විදිහට අරගෙන අවුරුදු තුනෙන් තුනට ජීවන වියදම් දීමනාව අඩු වැඩි වීම සිද්ධ වෙනවා. එතකොට ලබන අවුරුද්දේ මේක කළාම අවුරුදු තුනක් ගැටලුවකින් තොරව රාජ්‍ය සේවය පවත්වාගෙන යන්න පුළුවන්. නව බඳවා ගැනීම් කරද්දී රාජ්‍ය සේවය ඩිජිටල් කිරීමත් සැලකිල්ලට අරගෙන තියෙනවා. ප්‍රධාන අපේක්ෂකයෝ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරා. අපි අවම වැටුප් පනස් පන්දාහයි කියපුවම, සජබ කියනවා පනස් හත්දහසයි කියලා. හැබැයි ඒ අයගේ පරාසය පෙන්වන්නේ නෑ. මේ අය වගේ අතාර්කික උපමාණයක් නැති මාර්ගෝපදේශයක් නැති වැඩපිළිවෙළක නෙමෙයි අපි ඉන්නේ.
වැටුප් විෂමතාවයට විසඳුමක් කිසිම ප්‍රතිපත්ති ප්‍රකාශනයක ඉදිරිපත් කරලා නැහැ. අපේ මෙහෙයුම ප්‍රතිපත්ති ප්‍රකාශනය දාන්න ඕන නෑ. ප්‍රතිපත්ති ප්‍රකාශනයට පෙරාතුවයි කමිටු වාර්තාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගත්තෙ. ඒක නිසා අපිට ආයෙමත් ප්‍රතිපත්තියකට මේක දාන්න ඕන නැහැ. ප්‍රතිපත්ති දාලා තියෙන්නේ බදු සහන දීම ගැන පමණයි. අද ප්‍රධාන පෙළේ අපේක්ෂකයින්ගේ පක්ෂවල වෘත්තීය සමිති ගුරුවරුන් කොළඹට කැඳවලා විෂමතාව ඉවත් කරනවා කිව්වට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ ගැන කිසිම දෙයක් නැහැ. අවුරුදු දෙකකින් අපි රටේ තත්ත්වය යථා තත්ත්වයට ගෙනාවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ අයගෙන් ඇමැතිවරයා විදියට මම ඉල්ලීමක් කරනවා ඒ විශ්වාසය ඉදිරියටත් පවත්වා ගෙන යන්න කියලා. ගුරුවරුන්ට මොඩියුලර් ක්‍රමය මත වැටුප් වර්ධක උසස්වීම් දීම වෙනුවට සරල ක්‍රමයට කොමිෂම සමග එකඟතාවයකට ආවා.
ජනවාරි පළවෙනිදා සිට සියල්ල ක්‍රියාත්මකයි
අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රය පුරප්පාඩු හයසිය දාහතක් පුරවන්න මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. ගුරු උපදේශකවරුන් දෙදහසක් බඳවාගන්න රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලබා ගෙන තිබෙනවා. ගුරු අධ්‍යාපනඥ සේවයේ අටසිය දාහතක් බඳවා ගන්න අවසන් කටයුතු කරලා තියෙනවා. ගෙවුණු අවුරුදු දෙක තුළ ගුරුවරු විසිපන් දහස් හත්සිය අසූ අටක් බඳවාගෙන තිබෙනවා. සංවර්ධන නිලධාරීන් දහසය දහසක් අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට අධිකරණ එකඟතාව ගන්න කටයුතු කරලා තියෙනවා. විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට අලුතෙන් කතිකාචාර්යවරු බඳවාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. එක් ලක්ෂ හැටදහසක් වන විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂක ශිෂ්‍යයින්ට යම් සහනයක් ලබා දෙන්න අදාළ කැබිනට් පත‍්‍රිකාවක් අද කැබිනට් එකට ඉදිරිපත් කරනවා.
(සටහන - ජයසිරි අලවත්ත)
සබැඳි පුවත්
රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා අගයකින් ඉහළට